පොත් ලැයිස්තුව

බහුශ්‍රැත ගුණය

star_outline

​බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණි එක්තරා බ්‍රාහ්මණයෙක් "ස්වාමීනී, බහුශ්‍රැත වන්නේ කෙසේද? ධර්මධර වන්නේ කෙසේද?" යනුවෙන් විමසී ය. එවිට තථාගතයන් වහන්සේ එතුමන්ට මෙසේ දේශනා කළහ:

​"බහු ඛෝ භික්ඛු මයා ධම්මා දේසිතා : සුත්තං ගෙය්‍යං වෙය්‍යාකරණං ගාථා උදානං ඉතිවුත්තකං ජාතකං අබ්භුතධම්මං වේදල්ලං. චතුප්පදාය චේපි භික්ඛු ගාථාය අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මපටිපන්නෝ හෝති බහුස්සුතෝ ධම්මධරෝති අලං වචනායාති."

​"බ්‍රාහ්මණතුමනි, මම බොහෝ කොට ධර්මය දේශනා කරන ලද්දෙමි; සූත්‍ර ආදී නවාංග ශාස්තෘ ශාසනය දේශනා කළෙමි. යම්කිසි භික්ෂුවක් එම ධර්මයෙන් එක ගාථාවක හෝ අර්ථය දැනගෙන, ධර්මය දැනගෙන, ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි යෙදෙන්නේ නම්, ඔහු බහුශ්‍රැත වෙයි, ධර්මධර වෙයි" යනුවෙන් දේශනා කළහ.

​මෙය අංගුත්තර නිකායේ බහුශ්‍රැත සූත්‍රයෙහි සඳහන් වන පාඨයකි. එම දේශනාවට අනුව තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද ගාථාවක් හෝ එක් සූත්‍ර දේශනාවක් හෝ එක් දහම් කොටසක් හෝ අර්ථය දැනගෙන හෙවත් එහි නියම අර්ථය අට්ඨකථාවන්ට අනුරූපව ඉගෙනගෙන, ධර්මය හෙවත් පාලි ධර්මය මනාකොට දැනගෙන, ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි යෙදෙන්නේ නම් ඔහු බහුශ්‍රැත වන බවද ධර්මධර වන බවද තථාගතයන් වහන්සේ දේශනා කළහ. බොහෝ කොට ධර්මය අසා ඇති තැනැත්තා සුතධර වෙයි, නොඑසේ නම් සූත්‍රධර වෙයි; එහෙත් ඔහු බහුශ්‍රැත නොවෙයි. ධර්ම කාරණාවන්ද ඒවායේ අර්ථයන්ද මනාකොට දැනගෙන පිළිවෙත් පුරන සත්පුරුෂයෝම බහුශ්‍රැත වෙති, ධර්මධර වෙති.

​මජ්ඣිම නිකායේ සේඛ සූත්‍රයෙහිද බහුශ්‍රැත බව විස්තර කර ඇත:

​"බහුස්සුතෝ හෝති සුතධරෝ සුතසන්නිචයෝ. යේ තේ ධම්මා ආදිකල්‍යාණා මජ්ඣේකල්‍යාණා පරියෝසානකල්‍යාණා සාත්ථා සබ්‍යඤ්ජනා කේවලපරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං අභිවදන්ති. තථාරූපාස්ස ධම්මා බහුස්සුතා හොන්ති ධතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා."

​බහුශ්‍රැත වෙයි, අසන ලද දෙය ධරාගෙන සිටියි, ධර්මය රැස් කරගෙන සිටියි. මුල යහපත් වූද, මැද යහපත් වූද, අග යහපත් වූද, අර්ථ සම්පන්න වූ, ව්‍යංජන සම්පන්න වූ, සර්ව සම්පූර්ණ වූ, පිරිසිදු වූ, නිර්වාණ මාර්ගය ප්‍රකාශ කරන්නා වූ යම් ධර්මයක් වේද, එම ධර්මය බොහෝ කොට අසා ඇත, ධාරණය කරගෙන ඇත, වචනයෙන් පුරුදු පුහුණු කර ඇත, මනසින් නුවණින් බලා ඇත. එම ධර්ම කාරණාවන්ගේ අර්ථය සහ කාරණාව ප්‍රඥාවෙන් මනාකොට අවබෝධ කරගෙන ඇත. එබඳු තැනැත්තා බහුශ්‍රැත වන බව සේඛ සූත්‍රයෙහි සඳහන්ය.