මජ්ඣිම නිකාය
චූලපුණ්ණම සූත්‍රය (අසත්පුරුෂයා වදාළ කොටස)
එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර පූර්වාරාමයෙහි වැඩ වාසය කළ සේක. ඒ සමයෙහි භාග්‍යවතුන් වහන්සේ පණ්ණරසි පොහෝ දවසක, සොලොස් කලාවෙන් පිරුණු චන්ද්‍ර මණ්ඩලය සහිත රාත්‍රියෙහි භික්ෂු සංඝයා පිරිවරාගෙන එළිමහනෙහි වැඩ සිටි සේක. එවිට භාග්‍යවතුන් වහන්සේ නිහඬව වැඩ සිටියා වූ භික්ෂු සංඝයා දෙස බලා භික්ෂූන් ඇමතූ සේක.
"මහණෙනි, අසත්පුරුෂයාට 'මොහු අසත්පුරුෂයෙක්' කියා සත්පුරුෂයාව දැනගත හැකිද?"
"ස්වාමීනී, එසේ කළ නොහැකිය."
"සාධු! මහණෙනි. යම් කාරණාවකින් අසත්පුරුෂයෙකුට 'මොහු අසත්පුරුෂයකුයි' කියා දැනගැනීමට අවකාශයක් ඇත. යන කාරණාවට ඉඩක් නැත."
මහණෙනි, අසත්පුරුෂයා:
- අසද්ධර්මයෙන් සමන්වාගත වෙයි.
- අසත්පුරුෂයන් ඇසුරු කරන්නේ වෙයි.
- අසත්පුරුෂ සිතුවිලි සිතයි.
- අසත්පුරුෂ සාකච්ඡා කරයි.
- අසත්පුරුෂ වචන කියයි.
- අසත්පුරුෂ කටයුතු කරයි.
- අසත්පුරුෂ දෘෂ්ටියෙන් යුක්ත වෙයි.
- අසත්පුරුෂ දාන දෙයි
"කතඤ්ච භික්ඛවේ අසප්පුරිසෝ අසද්ධම්මසමන්නාගතෝ හෝති? ඉධ භික්ඛවේ අසප්පුරිසෝ අස්සද්ධෝ හෝති, අහිරිකෝ හෝති, අනොත්තප්පී හෝති, අප්පස්සුතෝ හෝති, කුසීතෝ හෝති, මුට්ඨස්සති හෝති, දුප්පඤ්ඤෝ හෝති. ඒවං කෝ භික්ඛවේ අසප්පුරිසෝ අසද්ධම්මසමන්නාගතෝ හෝති."
මහණෙනි, අසත්පුරුෂයා අසද්ධර්මයෙන් සමන්වාගත වන්නේ කෙසේද? මහණෙනි, මෙහි අසත්පුරුෂයා අස්සද්ධ වෙයි; අහිරික වෙයි; අනොත්තප්පී වෙයි; අප්පස්සුත වෙයි; කුසීත වෙයි; මුට්ඨස්සති (මුලා වූ සිහි ඇත්තේ) වෙයි; දුප්පඤ්ඤ (ප්‍රඥාව නැත්තේ) වෙයි. මහණෙනි, මෙසේ අසත්පුරුෂයා අසද්ධර්මයෙන් සමන්වාගත වෙයි.
අස්සද්ධා යනු
අස්සද්ධා යනු ශ්‍රද්ධාව නැති බවයි. අසත්පුරුෂයා තුළ බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්ධාව නැත. ඔහු බුදුරජාණන් වහන්සේ සියල්ල අවබෝධ කරගත් කෙනෙක් බව නොපිළිගනියි. තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද ශ්‍රී සද්ධර්මය මුල, මැද, අග යහපත් වූ, මනාකොට දේශනා කරන ලද ස්වාක්ඛාත ධර්මයක් බව පිළිනොගනියි. තථාගත ශ්‍රාවක පුත්‍ර වූ මහා සංඝරත්නය ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ යහපත් මාර්ගයෙහි ගමන් කරන පිරිසක් බව පිළිනොගනියි. මෙසේ අසත්පුරුෂයා අස්සද්ධාවෙන් යුක්ත වෙයි.
අහිරික යනු
අහිරික යනු පවට ලැජ්ජාව නැති බවයි. අසත්පුරුෂයා කයින් පව් කිරීමට ලැජ්ජා නොවෙයි. වචනයෙන් පව් කිරීමට ලැජ්ජා නොවෙයි. සිතින් පව් කිරීමට ලැජ්ජා නොවෙයි. නොයෙක් පාපක අකුසල ධර්මයන්ට පත්වීමට ලැජ්ජා නොවෙයි.
අනොත්තප්පී යනු
අනොත්තප්පී යනු පවට බය නොවීමයි. අසත්පුරුෂයා කයින් පව් කිරීමට බය නොවෙයි. වචනයෙන් පව් කිරීමට බය නොවෙයි. සිතින් පව් කිරීමට බය නොවෙයි. නොයෙක් පාපක අකුසල ධර්මයන්ට පත්වීමට බය නොවෙයි. මෙසේ අසත්පුරුෂයා පාපයට බය නැති කෙනෙක් වෙයි.
අල්පස්සුත
අසත්පුරුෂයා අල්පස්සුත (අල්පශ්‍රැත) වෙයි. ඔහු බොහෝ කොට ස්වාක්ඛාත සද්ධර්මය අසා නැත, ධාරණය කරගෙන නැත, වචනයෙන් පුරුදු කර නැත, නුවණින් ධර්මයෙහි අර්ථකාරණා වටහාගෙන නැත. මෙසේ අසත්පුරුෂයා බහුශ්‍රැත නොවෙයි.
කුසීත
අසත්පුරුෂයා කුසීත වෙයි. ඔහු අකුසල ධර්මයන් ප්‍රහාණය කොට කුසල ධර්මයන් උපදවා ගැනීම පිණිස වීර්ය නොකරයි. මෙසේ අසත්පුරුෂයා කුසීත වෙයි.
මුට්ඨස්සති
අසත්පුරුෂයා මුට්ඨස්සති (මුලා වූ සිහි ඇත්තේ) වෙයි. ඔහුට පෙර කළ දේ හෝ කී දේ මතක තබා ගැනීමේ සිහි නුවණ මඳය; එබැවින් සති සම්ප්‍රජන්‍යයෙන් තොරව වාසය කරයි.
දුප්පඤ්ඤෝ
අසත්පුරුෂයා ප්‍රඥාව නැති කෙනෙකු වෙයි. අසත්පුරුෂයාට කුසල අකුසල ධර්ම පිළිබඳ අවබෝධයක් නැත; චතුරාර්ය සත්‍යය ධර්මය පිළිබඳවද අවබෝධයක් නැත. මෙසේ අසත්පුරුෂයා ප්‍රඥාව නැති කෙනෙකු වෙයි.
"කථඤ්ච භික්ඛවේ, අසප්පුරිසෝ අසප්පුරිසභත්තී හෝති: ඉධ භික්ඛවේ, අසප්පුරිසස්ස යේ තේ සමණබ්‍රාහ්මණා අස්සද්ධා අහිරිකා අනොත්තප්පිනෝ අප්පස්සුතා කුසීතා මුට්ඨස්සතිනෝ දුප්පඤ්ඤා, ත්‍යාස්ස මිත්තා හොන්ති තේ සහායා. ඒවං ඛෝ භික්ඛවේ, අසප්පුරිසෝ අසප්පුරිසභත්තී හෝති."
මහණෙනි, අසත්පුරුෂයා අසත්පුරුෂයන් ඇසුරු කරන්නේ කෙසේද? මහණෙනි, මෙහි අසත්පුරුෂයාට යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ අස්සද්ධ (ශ්‍රද්ධාව නැති), අහිරික (පවට ලැජ්ජාව නැති), අනොත්තප්පී (පවට බය නැති), අප්පස්සුත (බහුශ්‍රැත නොවන), කුසීත (කම්මැලී), මුට්ඨස්සති (මුලා වූ සිහි ඇති), දුප්පඤ්ඤ (ප්‍රඥාව නැති) වෙත්ද, ඔවුහුම ඔහුගේ මිත්‍රයෝ වෙති; ඔහුගේ සහායයෝ වෙති. මහණෙනි, මෙසේ අසත්පුරුෂයා අසත්පුරුෂයන් ආශ්‍රය කරයි.
අසත්පුරුෂයා කවුද
අසත්පුරුෂයා යනු ශ්‍රද්ධාව නැති, පවට ලැජ්ජාව නැති, පවට බය නැති, බහුශ්‍රැතභාවය නැති, කුසීත වූ, මුලා වූ සිහි ඇති, ප්‍රඥාව නැති කෙනෙකි. එම අසද්ධර්මයන්ගෙන් සමන්වාගත ඔහු, එබඳුම අසද්ධර්ම ඇති අසත්පුරුෂ ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඇසුරු කරති. එසේම අසත්පුරුෂයා අසත්පුරුෂ සිතුවිලි හෙවත් චින්තන සිතති. ඒ පිළිබඳව තථාගතයන් වහන්සේ මෙසේ පැහැදිලි කළ සේක:
"කථඤ්ච භික්ඛවේ, අසප්පුරිසෝ අසප්පුරිසචින්තී හෝති: ඉධ භික්ඛවේ, අසප්පුරිසෝ අත්තව්‍යාබාධායපි චේතේති, පරව්‍යාබාධායපි චේතේති, උභයව්‍යාබාධායපි චේතේති. ඒවං ඛෝ භික්ඛවේ, අසප්පුරිසෝ අසප්පුරිසචින්තී හෝති."
මහණෙනි, අසත්පුරුෂයා අසත්පුරුෂ සිතුවිලි සිතයි. මහණෙනි, මෙලොව අසත්පුරුෂයා තමාට දුක පිණිසද සිතයි, අන් අයට දුක පිණිසද සිතයි, තමාටත් අනුන්ටත් යන දෙපිරිසටම දුක පිණිසද සිතයි. මහණෙනි, මෙසේ අසත්පුරුෂයා අසත්පුරුෂ සිතුවිලි සිතයි.
කෙටි විස්තරය.
තථාගතයන් වහන්සේ මේ ආකාරයෙන් අසත්පුරුෂ චින්තනය පැහැදිලි කළ සේක. අසත්පුරුෂයා යනු තමාට අහිත පිණිස, අවැඩ පිණිස, අයහපත පිණිස, බාධාව පිණිස සිතන කෙනෙකි. අන් අයටද අහිත පිණිස, අවැඩ පිණිස, අයහපත පිණිස, දුක පිණිස සිතන කෙනෙකි.
එසේම අසත්පුරුෂයා අසත්පුරුෂ මන්ත්‍රණ හෙවත් අසත්පුරුෂ කතා ඇති කෙනෙකි. ඒ පිළිබඳව තථාගතයන් වහන්සේ මෙසේ දේශනා කළහ:
"කථඤ්ච භික්ඛවේ, අසප්පුරිසෝ අසප්පුරිසමන්තී හෝති: ඉධ භික්ඛවේ, අසප්පුරිසෝ අත්තව්‍යාබාධායපි මන්තේති, පරව්‍යාබාධායපි මන්තේති, උභයව්‍යාබාධායපි මන්තේති. ඒවං ඛෝ භික්ඛවේ, අසප්පුරිසෝ අසප්පුරිසමන්තී හෝති."
මහණෙනි, අසත්පුරුෂයා කෙසේ නම් අසත්පුරුෂ මන්ත්‍රණ (කතා) ඇති කෙනෙක් වෙයිද? මහණෙනි, මේ ලෝකයෙහි අසත්පුරුෂයා තමාට අයහපත පිණිස කතා කරයි, අන් අයට අයහපත පිණිස කතා කරයි, තමාටත් අනුන්ටත් යන දෙපිරිසටම අයහපත පිණිස කතා කරයි. මහණෙනි, මෙසේ අසත්පුරුෂයා අසත්පුරුෂ මන්ත්‍රණ හෙවත් කතා ඇති කෙනෙක් වෙයි.
අසත්පුරුෂ වචන
මේ ලෝකයෙහි ඇති අසත්පුරුෂ වචන ප්‍රධාන වශයෙන් හතරකි. බොරු කීම අසත්පුරුෂ වචනයකි. කේලාම් කීම අසත්පුරුෂ වචනයකි. පරුෂ වචන කීම අසත්පුරුෂ වචනයකි. හිස් වචන කීම අසත්පුරුෂ වචනයකි.
බොරු කීම යනු සත්‍ය වචනය නම් වූ එකම ධර්මය ඉක්මවා කතා කිරීමයි.
කේලාම් කීම යනු අසමගියට හේතු වන ආකාරයෙන් කතා කිරීමයි. කේලාම් කියන්නා පිරිස් අසමඟි කරවති, භේදභින්න කරවති, ඔවුනොවුන් අතර ඇති සුහද බව නැති කරති, ඔවුනොවුන් අතර අප්‍රිය ස්වභාවයක්, අමනාප ස්වභාවයක් උපදවති.
පරුෂ වචන කියන්නෝ පළමුවෙන්ම තමාගේ සිත දූෂණය කර ගනිති. ඉන්පසුව පරුෂ වචනය අසන කෙනාගේ සිතද දූෂණය කරති, අපිරිසිදු කරති, අන් අයගේ සිත් රිදවති. අන් අය තුළ අසතුට අකැමැත්ත අසහනය ජනිත කරවති. අන් අයට චිත්ත පීඩාවෝ ලබාදෙති.
හිස් වචන කියන අය සිහියෙන් තොරව එසේ කියති. අන් අයගේ සිත්සතන් තුළ අසිහිය වර්ධනය කරවති.
මෙම චතුර්ථවිධ වචනයෙන් සිදුකරන පාප කර්මයන් බහුලව සිදු කරන ලද්දෝ මරණින් මතු අපාගාමී වෙති. අපායෙන් නිදහස් වී මිනිස් ලොවට පැමිණියත්, එහි ඉතිරි විපාක වශයෙන්, ප්‍රවෘත්ති විපාක වශයෙන් බොහෝ දුක්පීඩාවෝ විඳිති.
කථඤ්ච භික්ඛවේ, අසප්පුරිසෝ අසප්පුරිසවාචෝ හෝති: ඉධ භික්ඛවේ, අසප්පුරිසෝ මුසාවාදී හෝති. පිසුණාවාචෝ හෝති. ඵරුසවාචෝ හෝති. සම්ඵප්පලාපී හෝති. ඒවං ඛෝ භික්ඛවේ, අසප්පුරිසෝ අසප්පුරිසවාචෝ හෝති."
මහණෙනි, අසත්පුරුෂයා කොපමණකින් අසත්පුරුෂ වචන කතා කරන කෙනෙක් වෙයිද යත්; මහණෙනි, මේ ලෝකයෙහි අසත්පුරුෂයා බොරු කියයි, කේලාම් කියයි, පරුෂ වචන කියයි, හිස් වචන කියයි. මේ ආකාරයෙන් අසත්පුරුෂයා අසත්පුරුෂ වචන කතා කරන කෙනෙක් වෙයි.
අසත්පුරුෂ ක්‍රියාව
"කථඤ්ච භික්ඛවේ, අසප්පුරිසෝ අසප්පුරිසකම්මන්තෝ හෝති: ඉධ භික්ඛවේ, අසප්පුරිසෝ පාණාතිපාතී හෝති, අදින්නාදායී හෝති, කාමේසුමිච්ඡාචාරී හෝති. ඒවං ඛෝ භික්ඛවේ, අසප්පුරිසෝ අසප්පුරිසකම්මන්තෝ හෝති."
මහණෙනි, අසත්පුරුෂයා කොපමණකින් අසත්පුරුෂ ක්‍රියා කරන කෙනෙක් වෙයිද යත්; මහණෙනි, මේ ලෝකයෙහි අසත්පුරුෂයා ප්‍රාණඝාතය කරයි, අන් සතු දෙය සොරකම් කරයි, කාමයෙහි වරදවා හැසිරෙයි. මහණෙනි, මෙසේ අසත්පුරුෂයා අසත්පුරුෂ ක්‍රියා කරන කෙනෙක් වෙයි.
අසත්පුරුෂ ක්‍රියා යනු ත්‍රිවිධ කාය දුෂ්චරිතයයි. සතුන් මැරීම, සොරකම් කිරීම, කාමයෙහි වරදවා හැසිරීම යන මේවා කාය දුෂ්චරිතය. සතුන් මරණ තැනැත්තා සතුන් කෙරෙහි කරුණාව නැති කෙනෙකි, දයාව නැති කෙනෙකි, මෛත්‍රිය නැති කෙනෙකි. සතුන් වෙත නිර්භය බව හෙවත් අභය ලබා නොදෙන කෙනෙකි. සතුන්ට සුවසේ ජීවත්වීමේ හැකියාව අහිමි කරන කෙනෙකි. හෙතෙම ප්‍රාණඝාතයෙහි යෙදී වාසය කරන දරුණු සිතක් ඇති කෙනෙකි. සත්ව ඝාතනය තුළින් තමාගේ අත් දෙකෙහි ලේ තවරා ගත් අපිරිසිදු කෙනෙකි. මෙලොවම බොහෝ රෝග පීඩාවලට ලක්වෙති, නින්දා අපහාසවලට ලක්වෙති, සිහි මුලාවී මරණයට පත්වෙති, මරණින් මතු අපාගාමී වෙති. මිනිස් ලොව උපදින ජීවිතවලදී අල්පායුෂ ඇති අය බවට පත්වෙයි, බොහෝ රෝග පීඩා ඇති අය බවට පත්වෙයි, බොහෝ දුක් දොම්නස් විඳින අය බවට පත්වෙයි.
සොරකම් කිරීමද මහත් වූ පාපයකි. සොරකම් කරන්නා වූ තැනැත්තා අන් අයට මෛත්‍රිය දක්වන කෙනෙකු නොවේ, කරුණාව දක්වන කෙනෙකු නොවේ, අන් අයට නිර්භය බව ලබාදෙන කෙනෙකු නොවේ. එහි විපාක වශයෙන් ඔහු සමහර විට මෙලොවම ධන හානියට පත්වෙයි, සිහි මුලාවී මරණයට පත්වෙයි, මරණින් මතු නිරයේ උපත ලබයි. මිනිස් ලොවට පැමිණි කාලවලදී ඉතා දුප්පත් වී උපත ලබයි. ඇඳුම් පැළඳුම්ද, ආහාරද, කාම සම්පත්ද, ක්‍රීඩාවද ඉතා දුක සේ ලබන කෙනෙක් වෙයි. ඔහුට සුවසේ ජීවත්වීමට පහසු විහරණ සහිත නිවසක්ද නොලැබෙයි. යන්තමින් කුස පුරවාගන්නට සිදුවෙයි, තමා කැමති ආහාරපාන අනුභව කරන්නට නොලැබෙයි, තමා කැමති ආකාරයෙන් වස්ත්‍රාභරණ පැළඳීමට අවකාශ නොලැබෙයි. නොසිතූ අවස්ථාවලදී ධන හානිවලට පත්වෙයි. ගින්නෙන් වන උවදුරුවලට, ජලයෙන් වන උවදුරුවලට, රජුන්ගෙන් වන උවදුරුවලට, අප්‍රිය දායාදයන්ගෙන් වන උවදුරුවලට ලක්වෙයි.
දුරාචාරයෙහි හැසිරීමද පාපයකි. තමාට අයත් නොවන කාන්තාවන් සමඟ වැරදි හැසිරීමෙහි යෙදීම දුරාචාරයයි. තමාට අයත් නොවන කාන්තාව යනු තමාගේ විවාහක කාන්තාව හැර අන් සියලු කාන්තාවෝය. කාන්තාවන් සඳහා තම විවාහක ස්වාමියා හැර අන් සියලු පුරුෂයෝ තමාට අයත් නොවන පුරුෂයෝය. තමාට අයත් නොවන අය සමඟ වරදෙහි බැඳීම අකුසල කර්මයකි. විපාක වශයෙන් මෙලොවම නින්දා අපහාස ලබති, අනුන්ගෙන් පහර කති, රජයෙන් දඬුවම් ලබති, සිරගෙවල්වල යාමට සිදුවෙයි, අසිහියෙන් මරණයට පත් වෙති, මරණින් මතු අපාගාමී වෙති. අපායෙන් නිදහස්ව මනුස්ස ලෝකයට පැමිණි කල්හිද බොහෝ දුක් වේදනාවෝ ඔහු පසුපස හඹා එති.
අසත්පුරුෂ දෘෂ්ටිය
අසත්පුරුෂයාට ඇත්තේ අසත්පුරුෂ දෘෂ්ටියකි හෙවත් මිත්‍යා දෘෂ්ටියකි. අසත්‍ය වූ දෙයක් සත්‍ය වශයෙන් දැකීම මිත්‍යා දෘෂ්ටියයි. "මිච්ඡාදිට්ඨි සමාදානා සත්තා ගච්ඡන්ති දුග්ගතිං" යනුවෙන් බුදුරජාණන් වහන්සේ මිත්‍යාදෘෂ්ටිය සමාදන් වූ සත්වයෝ අපාගාමී වන බව දේශනා කළහ. මිත්‍යා දෘෂ්ටිය තරම් බලවත් වූ වෙනත් අකුසලයක් ලෝකයෙහි නැති බවද තථාගතයන් වහන්සේ ඉගැන්වූහ. අසත්පුරුෂයා සතුව පවතින එම මිත්‍යාදෘෂ්ටි ස්වභාවය පිළිබඳව උන්වහන්සේ මෙසේ දේශනා කළ සේක.
"කථඤ්ච භික්ඛවේ, අසප්පුරිසෝ අසප්පුරිසදිට්ඨී හෝති: ඉධ භික්ඛවේ, අසප්පුරිසෝ ඒවංදිට්ඨී හෝති: ‘නත්ථි දින්නං, නත්ථි යිට්ඨං, නත්ථි හුතං, නත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකෝ, නත්ථි අයං ලෝකෝ, නත්ථි පරෝ ලෝකෝ, නත්ථි මාතා, නත්ථි පිතා, නත්ථි සත්තා ඕපපාතිකා, නත්ථි ලෝකේ සමණබ්‍රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යේ ඉමඤ්ච ලෝකං පරඤ්ච ලෝකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවේදෙන්තී’ති. ඒවං ඛෝ භික්ඛවේ, අසප්පුරිසෝ අසප්පුරිසදිට්ඨී හෝති."
මහණෙනි, අසත්පුරුෂයා කොපමණකින් අසත්පුරුෂ දෘෂ්ටිය ඇති කෙනෙක් වෙයිද යත්: දානයෙහි විපාක නැත, යිට්ඨයෙහි (මහා දානයෙහි ) විපාක නැත, හුතයෙහි ( පූජාවන්හි) විපාක නැත, සුකට දුක්කට කර්මයන්ගේ ඵල විපාක නැත, මෙලොව නැත, පරලොව නැත, මව නැත (මවට කරන කර්මයන්ගේ විපාක නැත), පිතා නැත (පියාට කරන කර්මයන්ගේ විපාක නැත), ඕපපාතික සත්වයෝ නැත (මැරී උපදින සත්ව කෙනෙක් නැතැයි යන්න අදහස් කරනමැරී බව අටුවාව කියයි). යම් කෙනෙක් මෙලොවත් පරලොවත් තමා විසින්ම විශිෂ්ට ඥානයෙන් දැනගෙන ප්‍රකාශ කරද්ද, එබඳු මනා ප්‍රතිපදාවෙහි ගමන් කරන (සම්මාපටිපන්න) මහණ බමුණෝ ලෝකයේ නැතැයි දකියි. මහණෙනි, මේ ආකාරයෙන් අසත්පුරුෂයා අසත්පුරුෂ දෘෂ්ටිය ඇති කෙනෙක් වෙයි.
දස වස්තුක මිථ්‍යාදෘෂ්ටිය.
මිච්ඡාදිට්ඨිකස්ස භික්ඛවේ ද්වින්නං ගතීනං අඤ්ඤතරා ගති පාටිකඞ්ඛා නිරයෝ වා තිරච්ඡානයෝනී වාති.
මහණෙනි, මිථ්‍යා දෘෂ්ටිය ගත් තැනැත්තා නිරය හෝ තිරිසන් යෝනිය හෝ යන ගති දෙක අතරින් එකක් බලාපොරොත්තු විය යුතුය.
ලෝකයෙහි පවතින ඉතා දරුණුම අකුසලය මිථ්‍යාදෘෂ්ටියයි. මිථ්‍යාදෘෂ්ටිය තරම් මහත් වූ තවත් අකුසලයක් නැතැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළහ.
වැරදි සහගත වූ දෙය සත්‍ය වශයෙන් දැකීම මිථ්‍යාදෘෂ්ටියයි. එය කොටස් දහයකට බෙදා විස්තර කර දී ඇත.
1. නත්ථි දින්නං:
දානයෙහි විපාක නැත. අසරණ අහිංසක කෙනෙකුට උපකාර කරන අදහසින් හෙවත් අනුග්‍රහ කරන අදහසින් යමක් දීම මින් අදහස් කරයි. එහි පිනක් නැති බවත් ඉන් වන යහපතක් නැති බවත් මෙම දෘෂ්ටිකයෝ සිතති, කියති.
2.නත්ථි යිට්ඨං:
මහා දානයේ විපාක නැත. මහාදානම් යනු මහත් සේ දෙනු ලබන විශාල දානයන්ය. එබඳු දාන කළ හැකි බවද, එහෙත් එහි ඵල විපාකයක් නැති බවද මෙම මිථ්‍යාදෘෂ්ටිය දරන්නෝ සිතති.
3..නත්ථි හුතං:
ආහුන පාහුන මංගල කිරියාය තං කාතුං සක්කාති ජානාති. තස්ස පන ඵල විපාකෝ නත්ථිති ගණ්හාති. (ධම්ම සංඝනී අට්ඨකථා)
දුර සිට ගෙනවිත් පූජා කරන දෙය ආහුන නම් වෙයි. ගෙනවිත් පිදිය යුතුය යන තේරුම එහි ඇත. ආගන්තුකයන් උදෙසා සකසන ලද භෝජනය පාහුණ නම් වෙයි. එම භෝජනය ප්‍රතිග්‍රාහකයෙකු හමු වුවහොත් දන් දීමද සිදු කරනු ලබයි. මංගල අවස්ථා ආදියේදීත් පිරිනමන දාන තිබේ. මේ සියලු දානයන් කිරීමට හැකියාව ඇතැයි දනී; එහෙත් එහි ඵල විපාක නැතැයි යන අදහසක් දැරීම නත්ථි හුතං යන මිථ්‍යාදෘෂ්ටියයි. මෙම මිථ්‍යාදෘෂ්ටිය ගන්නා ලද තැනැත්තා සිල්වතුන් ගුණවතුන් උදෙසා පූජා වස්තු ගෙනවිත් පූජා කරන්නේ නැත. ආගන්තුකයින් උදෙසා සකසන ලද භෝජන ප්‍රතිග්‍රාහකයෙකු ලැබුණු විටද නොදෙන්නේය. උපන්දිනය, විවාහය, නිවසට පදිංචි වීම ආදී විශේෂ මංගල සම්මත දිනවලදීද ආශීර්වාද ලබා ගැනීමේ අදහසින් දන් නොදෙන්නේය.
4.නත්ථි සුකටදුක්කතානං කම්මානං ඵලං විපාකෝ:
යහපත් සේ කරන ලද කර්මයන්ගේද අයහපත් සේ කරන ලද කර්මයන්ගේද විපාක නැත.යනුවෙන් සිතීම මෙම මිථ්‍යාදෘෂ්ටියයි. . යහපත් සේ කරන ලද කර්ම යනු දස කුසල කර්මපථයෝය. අයහපත් සේ කරන ලද කර්ම යනු දස අකුසල කර්මපථයෝය. ඒවා කිරීමට හැකියාවක් ඇත. එහෙත් එහි ඵල විපාකයක් නැත. යනුවෙන් මෙම දෘෂ්ටිකයෝ සිතති. මෙම මිථ්‍යාදෘෂ්ටිය ඉතා බලවත්ය. මෙම මිථ්‍යාදෘෂ්ටියෙන් යුක්ත වූවෝ කුසල අකුසල කර්ම සහ කුසල අකුසල කර්ම විපාක පිළිනොගනිති. එනිසාම බොහෝ අකුසල ධර්මයෝ රැස් කර ගනිති. තමාද අකුසල් කරමින් අන් අයද අකුසලයන්හි යොදවති, සමාදන් කරවති. අකුසලයෙහි දරුණු විපාකයක් නැතැයි කියති. ප්‍රාණඝාතය බහුල වීමටත්, සොරකම් කිරීම බහුල වීමටත්, කාමමිථ්‍යාචාරය බහුල වීමටත්, බොරු කීම බහුල වීමටත්, කේලාම් කීම බහුල වීමටත්, පරුෂ වචන කීම බහුල වීමටත්, හිස් වචන කීම බහුල වීමටත්, අන් අය සතු වස්තුවට ආසා කිරීම බහුල වීමටත්, ව්‍යාපාදය බහුල වීමටත්, මිථ්‍යාදෘෂ්ටිය බහුල වීමටත් මෙම මිථ්‍යාදෘෂ්ටිය පදනම් වන්නේය.
5.නත්ථි අයං ලෝකෝ:
පරලෝකයෙහි සිටි තැනැත්තාට මේ ලෝකයක් නැත යන අදහස මින් කියවෙයි. මෙම මිථ්‍යාදෘෂ්ටිය දරන්නා අතීත සසර ගමන පිළිනොගනිති. අතීත සසරෙහි ගමන් කරන ලද කෙනෙකුට කර්මානුරූපව ඉපදීමක් සිදුවන බව විශ්වාස නොකරති. මව්පියන් නිසා පමණක් ඉපදීම සිදුවන බව සිතති. මෙයද ඉතා දරුණු වූ වැරදි අදහසකි. භෞතිකවාදය යනුවෙන්ද මෙය හඳුන්වයි.
6.නත්ථි පරලෝකෝ:
මේ ලෝකයෙහි සිටි තැනැත්තාට පරලොවක් නැත යනුවෙන් සිතීම මෙම මිථ්‍යාදෘෂ්ටියයි. මෙම මිථ්‍යාදෘෂ්ටිය දරන්නෝ මරණින් මතු කර්මානුරූපව උපදින බව විශ්වාස නොකරති. මරණයත් සමඟම ජීවිතයත් ආත්මයත් අවසන් වන බව ඔවුහු සිතති.
7.නත්ථි මාතා:
8.නත්ථි පිතා:
මව නැත. පියා නැත. මෙම මිථ්‍යා දෘෂ්ටිය දරන්නෝ මව්පියන් සිටින බව දනිති. එහෙත් මව්පියන්ට උපකාර කිරීමෙන් පින් සිදු වන බව විශ්වාස නොකරති. මව්පියන්ට නොසැලකීමෙන් පව් සිදුවන බව විශ්වාස නොකරති.
මව්පියෝ දරුවන්ට බොහෝ උපකාර කරන්නෝය. දරුවන්ගේ අත්පා නොකඩා රැකවරණ සලසන්නේ මව්පියෝය. දරුවන් පෝෂණය කරන්නේද මව්පියෝය. මේ ලෝකයට අපව හඳුන්වාදීම මව්පියන් විසින් කරන ලදී. අනන්ත අප්‍රමාණ ගුණ ඇති මව්පියන්ට සැලකීමෙන් කුසලයක් සිදු නොවන බව විශ්වාස කිරීම ඉතා බලවත් පාපයකි. මව්පියන්ට නොසලකන්නෝ මරණින් මතු නිරයගාමී වෙති. මෙලොවදීම බොහෝ දෙනාගේ නින්දා අපහාස ආදියට ලක්වෙති.
9..නත්ථි සත්තා ඕපපාතිකා:
ඕපපාතික සත්වයෝ නැත යනුවෙන් විශ්වාස කිරීම මෙම මිථ්‍යා දෘෂ්ටියයි. මව්පිය සම්භවයකින් තොරව උපදින සත්වයෝ ඕපපාතික සත්වයන් වශයෙන් හඳුන්වනු ලබයි. ඕපපාතික සත්වයෝ යනු ඉබේ පහළ වන සත්වයෝ යැයි සමහරු කියති. එහෙත් එය වැරදි මතයකි. ඉබේ පහළ වන සත්වයෝ නැත. සියලු සත්වයෝ කර්මානුරූපව උපත ලබති. කර්මානුරූපව අංග සම්පූර්ණ ශරීර ඇතුව ඉපදීම ඕපපාතික උපතයි. .දෙවියෝද, බ්‍රහ්මයෝද, නිරයේ සිටින සත්වයෝද, ප්‍රේතයෝද. ඕපපාතිකව උපදිති. සමහර තිරිසන්ගත සත්වයෝද ඕපපාතිකව උපදිති. කලාතුරකින් මිනිසුන් ඕපපාතිකව උපදින බවද දේශනාවේ සඳහන්ය. ඕපපාතික උපත පිළිනොගැනීම මහත් වූ මිථ්‍යා දෘෂ්ටියකි. ඔවුහු නිරය පිළිනොගනිති. ප්‍රේත අපාය පිළිනොගනිති. දේව ලෝක, බ්‍රහ්ම ලෝක විශ්වාස නොකරති. මව්පියන් නිසා සහ සංවාසයෙන් පමණක්ම දරුවන් උපදින බව සිතති. මැරී උපදින සත්වයෝ නැතැයි සිතීම මෙම මිථ්‍යා දෘෂ්ටියට අයත් බව ධම්ම සංගණී අට්ඨකථාවේ සඳහන් වෙයි.
10..සම්මගතා සම්මාපටිපන්නා. යේ ඉමංච ලෝකං පරංච ලෝකං සයං අභිඤ්ඤා සච්චිකත්වා පවේදෙන්ති:
නිවනට අනුරූප වූ මාර්ගයෙහි ගමන් කරන ධාර්මික ශ්‍රමණ බ්‍රාහ්මණයන් ලෝකයෙහි නැතැයි සිතති. මෙලොවද පරලොවද තමාගේ නුවණින් විශිෂ්ට ලෙස දැනගෙන ලොවට ප්‍රකාශ කිරීමට සමර්ථ වන, සියල්ල දන්නා වූ බුදුවරයෝ ලෝකයේ නැතැයි විශ්වාස කරති. බුදුවරු නොපිළිගැනීම හෙවත් සර්වඥ මුනිවරු නොපිළිගැනීම මෙම මිථ්‍යා දෘෂ්ටියයි
අසත්පුරුෂ දානය.
කථඤ්ච භික්ඛවේ, අසප්පුරිසෝ අසප්පුරිසදානං දේති: ඉධ භික්ඛවේ, අසප්පුරිසෝ අසක්කච්චං දානං දේති, අසහත්ථා දානං දේති, අචිත්තීකත්වා දානං දේති, අපවිද්ධං දානං දේති, අනාගමනදිට්ඨිකෝ දානං දේති. ඒවං ඛෝ භික්ඛවේ, අසප්පුරිසෝ අසප්පුරිසදානං දේති."
මහණෙනි, කොපමණකින් අසත්පුරුෂයා අසත්පුරුෂ දාන දෙයිද යත්: මහණෙනි, මේ ලෝකයෙහි අසත්පුරුෂයා සකස් නොකොට දන් දෙයි, සියතින් දන් නොදෙයි, ගරු බුහුමන් නැතිව දන් දෙයි, ඉවත ලන දෙයක් සේ දන් දෙයි, මින් විපාක ලැබෙයි යන සම්මා දිට්ඨිය නැතුව දන් දෙයි. මහණෙනි, මෙසේ අසත්පුරුෂයා අසත්පුරුෂ දානය දෙයි.
අසත්පුරුෂ දානයේ ලක්ෂණ
අසත්පුරුෂයාගේ දානය පිළිබඳව ඉතා මනහර විස්තරයක් මෙම දේශනාවෙහි සඳහන් වෙයි. අසත්පුරුෂයා දානයක් දෙන විට "අසක්කච්චං දානං දේති" යන්නෙන් සකස් නොකොට දන් දෙයි. පුද්ගලයා කෙරෙහිත්, දාන වස්තුව කෙරෙහිත් සැලකිලිමත් නොවී දන්දීම මින් අදහස් කරයි. දානය සඳහා ගන්නා හාල් වර්ගවල වී, පොතු, දහයියා, සුනු සහල් ආදිය ඉවත් නොකර, එළවළු වර්ග පිරිසිදු කිරීම් නොකර අපිළිවෙලකට, අපිරිසිදුවටම දන් දීම දාන වස්තුව කෙරෙහි සැලකිලිමත් නොවීමයි. වැඩ සිටින ආසන පිරිසිදුවට, පිළිවෙලකට සකස් නොකිරීම, දානය වළඳන භාජන පිරිසිදු නොකිරීම ආදිය පුද්ගලයා කෙරෙහි සැලකිලිමත් නොවීමයි. එසේ දෙන දානය අසත්පුරුෂ දානයකි.
අසහත්ථා දානං දේති.
සියතින් දන් නොදීමද අසත්පුරුෂ දානයේ ලක්ෂණයකි. තමා යටතේ සේවය කරන දැසි දස්සන්, කම්කරුවන් ලවා දන්දීම අසත්පුරුෂයන්ගේ සිරිතකි.
අචින්තිකත්වා දානං දේති.
අචින්තිකත්වා යනු දෙන දාන වස්තුව කෙරෙහිත්, පුද්ගලයා කෙරෙහිත් ගරුසරු නැතුව දන් දීමයි.
අපවිද්ධං දානං දේති.
මින් අදහස් කරන්නේ බැහැර කරනු කැමති දෙයක් තුඹසකට දමන්නාක් මෙන්, අකමැත්තෙන් දෙන්නාක් මෙන් දීමයි.
අනාගමනදිට්ඨිකෝ දේති.
මින් අදහස් කරන්නේ මතු සැප විපාක බලාපොරොත්තුවක් නැතුව දන් දීමයි.
මෙසේ අසත්පුරුෂයා අසද්ධර්මයෙන් සමන්වාගතවෙයි.
අසත්පුරුෂයා ඇසුර සහිතවද, අසත්පුරුෂ සිතුවිලි සිතමින්ද, අසත්පුරුෂ කතා කරමින්ද, අසත්පුරුෂ වචන කියමින්ද, අසත්පුරුෂ කටයුතු කරමින්ද, අසත්පුරුෂ දෘෂ්ටිය ඇතුව වාසය කරමින්ද, අසත්පුරුෂ දන් දෙමින් ජීවත්වී කය බිඳී මරණින් මතු අසත්පුරුෂයන්ගේ යම් ගතියක් වේද එහි උපත ලබයි. අසත්පුරුෂයන්ගේ ගතිය හෙවත් උපදින ස්ථානය කුමක්ද? එනම් නිරය හෝ තිරිසන් ලෝකයයි. එබැවින් අසත්පුරුෂයකු නොවී සත්පුරුෂයකු වීමට සැදැහැතියෝ වගබලා ගත යුතුය.
චූල පුන්නම සූත්‍රය ඇසුරෙන් ලියන ලද අසත්පුරුෂ විස්තරය අවසානයි...
චූලපුණ්ණම සූත්‍රය ( සත්පුරුෂයා )
චූලපුණ්ණම සූත්‍ර දේශනාව ඇසුරින් සත්පුරුෂයා යනු කවරෙක්දැයි පැහැදිලි කිරීම මෙම දේශනාවේ අරමුණයි. "අසේවනාච බාලානං පණ්ඩිතානඤ්ච සේවනා" යනුවෙන් තථාගතයන් වහන්සේ අසත්පුරුෂයන් ඇසුරු නොකිරීමද පණ්ඩිතයන් ඇසුරු කිරීමද මංගල කාරණාවක් බව දේශනා කළ සේක. එහි පණ්ඩිතයෝ යනු සත්පුරුෂයෝමය. දස අකුසල කර්මයෙහි යෙදෙන්නෝ අසත්පුරුෂයෝය; ඔවුහු ඇසුරු නොකළ යුතුය. දස කුසල ධර්මයන්හි යෙදෙන්නෝ සත්පුරුෂයෝය; ඔවුහු ඇසුරු කළ යුතුය. තථාගතයන් වහන්සේ නම් වූ එකම එක සත්පුරුෂයා නිසා ලෝකයෙහි බොහෝ සත්වයෝ ඉපදීමෙන් නිදහස් වූහ, ජරාවට පත්වීමෙන් නිදහස් වූහ, ලෙඩ වීමෙන් නිදහස් වූහ, මරණයෙන් නිදහස් වූහ, කෙටියෙන්ම කිවහොත් සියලු සංසාරික දුකෙන් නිදහස් වූහ. එබැවින් සත්පුරුෂයන් අතර තථාගතයන් වහන්සේම අග්‍ර වන සේක. චූලපුණ්ණම සූත්‍රය තුළද සත්පුරුෂයකු තුළ තිබිය යුතු ලක්ෂණ රාශියක් දක්වා තිබේ. එම දේශනාවට අනුව සත්පුරුෂයා:
- සද්ධර්මයෙන් සමන්වාගත වෙයි.
- සත්පුරුෂයන් ඇසුරු කරයි.
- සත්පුරුෂ සිතුවිලි සිතයි.
- සත්පුරුෂ මන්ත්‍රණ කරයි.
- සත්පුරුෂ වචන කතා කරයි.
- සත්පුරුෂ ක්‍රියා කරයි.
- සත්පුරුෂ දෘෂ්ටියෙන් සමන්වාගත වෙයි.
- සත්පුරුෂ දාන දෙයි.
අප දැන් එම දේශනාවට අනුව සත්පුරුෂයා පිළිබඳව විමසා බලමු.
සත්පුරුෂ ධර්මය
"කථඤ්ච භික්ඛවේ, සප්පුරිසෝ සද්ධම්මසමන්නාගතෝ හෝති: ඉධ භික්ඛවේ, සප්පුරිසෝ සද්ධෝ හෝති, හිරිමා හෝති, ඔත්තප්පී හෝති, බහුස්සුතෝ හෝති, ආරද්ධවිරියෝ හෝති, උපට්ඨිතසතී හෝති, පඤ්ඤවා හෝති. ඒවං ඛෝ භික්ඛවේ, සප්පුරිසෝ සද්ධම්මසමන්නාගතෝ හෝති.
මහණෙනි, කෙසේ සත්පුරුෂයා සත්පුරුෂ ධර්මයෙන් සමන්වාගත වෙයිද යත්: මහණෙනි, මෙලොව සත්පුරුෂයා සද්ධාව ඇති කෙනෙකි, පවට ලැජ්ජාව ඇති කෙනෙකි, පවට බය ඇති කෙනෙකි, බහුශ්‍රැත කෙනෙකි, අරඹන ලද වීර්ය ඇති කෙනෙකි, පිහිටුවා ගත් සිහිය ඇති කෙනෙකි, ප්‍රඥාවන්ත කෙනෙකි. මහණෙනි, මෙසේ සත්පුරුෂයා සද්ධර්මයෙන් සමන්වාගත වෙයි.
සද්ධාව
බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ඇදහීම ශ්‍රද්ධාවයි. ශ්‍රද්ධාවන්ත වූ තැනැත්තා තථාගතයන් වහන්සේ නිකෙලෙස් වූ අරහං ගුණයෙන් යුත් කෙනෙකු බව පිළිගනියි. තථාගතයන් වහන්සේ අතීත, අනාගත, වර්තමාන යන තුන් කාලය අවබෝධ කරගත්, සියල්ල දන්නා සම්මාසම්බුදු වරයෙකු බව පිළිගනියි. තථාගතයන් වහන්සේ අෂ්ට විද්‍යා පසළොස්චරණ ධර්මයන්ගෙන් සමන්වාගත විජ්ජාචරණ සම්පන්න ගුණයෙන් යුතු උතුමන් වහන්සේ කෙනෙක් බව පිළිගනියි. තථාගතයන් වහන්සේ සුන්දර වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි ගමන් කොට සුන්දර වූ නිවනට වැඩම කොට වදාළා වූද, එසේම සුන්දර වූ මිහිරි වචනයෙන් සද්ධර්මය දේශනා කරන්නා වූද සුගත ගුණයෙන් යුතු උතුමන් වහන්සේ කෙනෙක් බව පිළිගනියි. තථාගතයන් වහන්සේ පංච උපාදානස්කන්ධ ලෝකය චතුරාර්ය සත්‍ය වශයෙන් දැන වදාළ කෙනෙක් බවද, තථාගතයන් වහන්සේ පංච උපාදානස්කන්ධ ලෝකය හැර සෙසු සත්ව ලෝක, සංස්කාර ලෝක, අවකාශ ලෝක යන සියලු ලෝකයන් දැන වදාළ කෙනෙක් බවද පිළිගනියි. තථාගතයන් වහන්සේ පුරුෂයන් දමනය කිරීමෙහි උත්තරීතර කෙනෙකු වන බවද පිළිගනියි. තථාගතයන් වහන්සේ මෙලොව යහපත පිණිසද, පරලොව සුගතිය පිණිසද, පරමාර්ථ වශයෙන් නිර්වාණය පිණිසද අවවාද අනුශාසනා ලබා දෙන දෙවි මිනිසුන්ගේ ශාස්තෘ වන බව පිළිගනී. තථාගතයන් වහන්සේ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කොට අන් අයට අවබෝධ කර වූ බැවින් බුද්ධ වන බව පිළිගනියි. තථාගතයන් වහන්සේ රාගාදි ක්ලේශයන් බිඳ දැමූ බැවින් භගවා වන බව පිළිගනියි. බුදුගුණ පිළිබඳ විස්තර විසුද්ධි මාර්ගයේ බුද්ධානුස්සති නිර්දේශයෙන් දැන ඉගෙන ගත යුතුය.
හිරිගුණය
"හිරීයනා හිරි, ලැජ්ජාව වන නිසා හිරි නම් වෙයි." (ධම්ම සංගණී අට්ඨකථාව). "අහිරිකේ න කම්පතීති හිරි බලං" - පවට ලැජ්ජාවෙන් කම්පා නොවන බැවින් හිරි බලය නම් වෙයි. (ධම්ම සංගණී අට්ඨකථාව). කාය දුෂ්චරිත ආදිය කෙරෙහි ලැජ්ජාවන බැවින් හිරි නම් වෙයි. (ධම්ම සංගණී අට්ඨකථාව, 129 පිට). "අජ්ඣත්ත සමුට්ඨානා හිරි" - තමා මුල් කරගෙන ඇති කරගන්නා වූ පවට ලැජ්ජාව හිරිගුණයයි. (ධම්ම සංගණී අට්ඨකථාව). "ලජ්ජා සභාව සණ්ඨිතා හිරි" - ලැජ්ජා ස්වභාවය පිහිටීම හිරිගුණයයි. (ධම්ම සංගණී අට්ඨකථාව).
සතරාකාරයකින් තමා තුළ හිරිගුණය පිහිටුවා ගත යුතුය. තමාගේ ජාතිය පිළිබඳව නුවණින් විමසා බලාද, වයස පිළිබඳව නුවණින් විමසා බලාද, සූරභාවය හෙවත් දක්ෂතාවය පිළිබඳව නුවණින් විමසා බලාද, බහුශ්‍රැත බව හෙවත් බොහෝ දැනුම නුවණින් විමසා බලාද හිරිගුණය පිහිටුවා ගත යුතුය, ඇතිකරගත යුතුය.
එය කරන්නේ කෙසේද? "මම උසස් ජාතියක කෙනෙකි. පව් කිරීම උසස් ජාතියක කෙනෙකුට අයත් වූ දෙයක් නොවේ, හීන වූ ජාතීන්ට අයත් වූ දෙයකි. මා වැනි ජාති සම්පන්න වූ කෙනෙකුට මෙම පාප කර්ම නොකළ යුතුය, එය මට නොගැලපෙයි." මෙසේ ජාතිය නුවණින් සිහිපත් කොට ප්‍රාණඝාත ආදී පාප කර්ම නොකිරීම හිරිගුණය පිහිටුවා ගන්නා එක් ක්‍රමයකි.
වයස සිහිපත් කොට පව් කිරීමෙන් වළකින්නේ කෙසේද? පාප කර්මය යනු නුවණ මුහුකුරා නොගියා වූ, පාපකර්ම විපාක ආදිය නොදන්නා වූ කුඩා දරුවන්ට අයත් වූ දෙයකි. මා බඳු තේරෙන නුවණ ඇති, වයසක සිටියා වූ අය මෙබඳු පාපකර්ම නොකළ යුතුය, එය මට නොගැලපේය යනුවෙන් වයස පිළිබඳව නුවණින් විමසා බලා ප්‍රාණඝාත ආදී අකුසල ධර්ම නොකරමින් හිරිගුණය තමා තුළ පිහිටුවා ගත යුතුය.
සූරභාවය හෙවත් දක්ෂතාවය මුල් කරගෙන පාපකර්මයන්ගෙන් වළකින්නේ කෙසේද? පාප කර්ම දුර්වල ශරීර ඇති අය විසින් කරන දෙයකි, අදක්ෂ අය විසින් කරන දෙයකි. මා බඳු දක්ෂ වූ තැනැත්තෙක් විසින් පාපකර්ම නොකළ යුතුය, එය මට නොගැලපෙන්නේය. එසේ තමාගේ දක්ෂතාවය පිළිබඳව නුවණින් විමසා බලා ප්‍රාණඝාත ආදී පාප කර්ම නොකරමින් හිරිගුණය තමා තුළ පිහිටුවා ගත යුතුය.
බහුශ්‍රැත බව හෙවත් පණ්ඩිත බව මුල් කරගෙන පාපකර්මයෙන් වළකින්නේ කෙසේද? පාප කර්ම කිරීම, කර්මය නොදන්නා, කර්ම ඵලය නොදන්නා, කුසලය අකුසලය නොදන්නා, කුසල අකුසල විපාක නොදන්නා නූගත් අයට අයත් වූ දෙයක් වෙයි. මා වැනි උගත්තු, පණ්ඩිත වූ කෙනෙකු පාප කර්ම නොකළ යුතුය, එය මා හට නොගැලපෙන්නේය. මෙසේ සිතා බහුශ්‍රැත බව හෙවත් පණ්ඩිත බව සිහිකරමින්, නුවණින් විමසමින් ප්‍රාණඝාත ආදී පාප කර්මයන් නොකළ යුතුය; හිරිගුණය තමා තුළ පිහිටුවා ගත යුතුය. මෙසේ ආකාර හතරකින් තමා තුළ හිරිගුණය පිහිටුවා ගත යුතු බව තථාගත ධර්මය තුළ පැහැදිලි කර දෙයි.
"හිරීයති කාය දුෂ්චරිතේන, හිරීයති වචී දුෂ්චරිතේන, හිරීයති මනෝ දුෂ්චරිතේන" යනුවෙන් බොහෝ දේශනාවල කාය දුෂ්චරිතයට ලැජ්ජා වීම, වචී දුෂ්චරිතයට ලැජ්ජා වීම, මනෝ දුෂ්චරිතයට ලැජ්ජා වීම, නොයෙක් ආකාරයේ පාපකර්ම කිරීමට ලැජ්ජා වීම හිරිගුණය ලෙස සඳහන් කර ඇත.
ඔත්තප්ප ගුණය
පාපයට බයවීම ඔත්තප්ප ගුණයයි. පව් කරන තැනැත්තා ලෝකයාගෙන් නින්දා, අපහාස, චරිත ඝාතන, දඬුවම් ආදිය ලබන්නේය. එම නිසා මම පව් නොකළ යුතුය. මෙසේ සිතා පරෝපවාදයට බයෙන් පාපයෙන් වැළකීම ඔත්තප්ප ගුණයයි.
මේ ලෝකයෙහි සෘද්ධිබල සම්පන්න ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇත. උන්වහන්සේලා දිබ්බචක්ෂු ඤාණයෙන් හෝ පරචිත්තවිජානන ඥානයෙන් හෝ දුර සිටින අයද දකිති, ළඟ සිටින අයද දකිති. මා පව් කරන විට උන්වහන්සේලාට මාව පෙනිය හැකිය. උන්වහන්සේලා විසින් මාව දකිනු ඇත. එසේ දැක, "මේ තැනැත්තා පව් කරන කෙනෙකි, ලාමක හැසිරීම් ඇති කෙනෙකි" යනුවෙන් සිතති. එබැවින් මම පව් නොකළ යුතුය. යනුවෙන් සිතා පාපයෙන් වැළකීම ඔත්තප්ප ගුණයයි.
මේ ලෝකයෙහි මහත් සෘද්ධිබල සම්පන්න වූ දෙවිවරු සිටිති. එම දෙවිවරු දිබ්බචක්ෂු ඤාණයෙන් හෝ පරචිත්තවිජානන ඥානයෙන් හෝ අන් අය දකිති. ඉතා දුර සිටින අයද දකිති, ළඟ සිටින අයද දකිති. එබැවින් මම පව් කරන්නේ නම් එම දෙවිවරුනට එය දැනගත හැකිය, දෙවිවරුන්ට දැකගත හැකිය. එබැවින් මම පව් නොකරන්නෙමි, පාපයෙන් වැළකිය යුතුය. මෙසේ සිතා පාපයෙන් වැළකීම ඔත්තප්ප ගුණයයි.
පව් කරන තැනැත්තා මරණින් මතු බොහෝ දුක් ඇති නිරයෙහි උපත ලබන්නේය, තිරිසන් ආත්මභාවවල උපත ලබන්නේය, ප්‍රේත ආත්මභාවවල උපත ලබන්නේය, අසුර අපායේ උපත ලබන්නේය. එබැවින් මමද පව් කරන්නේ නම් මරණින් මතු අපාගාමී විය හැකිය. මෙසේ අපාය බය පිළිබඳව නුවණින් විමසා බලා පව් කිරීමෙන් වැළකිය යුතුය. එය ඔත්තප්ප ගුණයයි.
වීර්යය ගුණය
වීර්යය යනු උත්සාහයට නමකි. උනන්දුව යනුවෙන්ද එය හඳුන්වනු ලබයි. සම්බුද්ධ සාසනය තුළ වීර්යය යනු අකුසලය දුරු කිරීම පිණිසත් කුසලය උපදවා ගැනීම පිණිසත් කරන්නා වූ ව්‍යායාමයයි. චක්ඛුපාල තෙරුන් වහන්සේ නොනිදා ඇස් අන්දවන තෙක්ම වීර්යය කළහ. එසේ වීර්ය කොට උතුම් වූ රහත්ඵලය උපදවාගත් සේක. අතීත ශ්‍රාවකයන් විසින් කරන ලද වීර්යය පිළිබඳ ඇතුළත් චරිත නිතර සිහිකිරීමද වීර්යය ඇතිවීමට බොහෝ උපකාර වෙයි.
- නූපන්නා වූ අකුසල ධර්මයන් නූපදවීම පිණිස වීර්යය කිරීම:
මේ මොහොතේ තමාගේ සිත තුළ ක්‍රියාත්මකව නොපවතින්නා වූ ලෝභ, ද්වේෂ, මෝහ යන අකුසල ධර්මයන් සිත තුළ ඇති නොවීම පිණිස වීර්යය කිරීම, වීර්යය කළ යුතු එක් ක්‍රමයකි. මෙහිදී නූපන්නා වූ අකුසල ධර්ම වශයෙන් සලකන්නේ, මේ මොහොතේ සිත තුළ නොපවතින ලෝභ දෝස මෝහ යන්ය.
- උපන්නා වූ අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීම පිණිස වීර්යය කිරීම:
අයෝනිසෝ මනසිකාරය හෙවත් නුවණින් තොරව මෙනෙහි කිරීම තුළින් නූපන්නා වූ අකුසල ධර්ම උපදිති. එසේ සිත තුළ අකුසල ධර්මයන් උපන් කල්හි ඒවා දුරු කිරීම පිණිස වීර්යය කළ යුතුය. නිවසකට සතුරෙකු ඇතුළු වූවා යැයි සිතන්න. එම සතුරා ඉතා දුර්වල වූ කෙනෙක් නම් සතුරෙකු පැමිණි බව දැන ගැනීම් මාත්‍රයෙන්ම සතුරා නිවසින් පිටවී යනු ඇත. එසේම සිත තුළ හටගන්නා වූ ලෝභ, ද්වේෂ, මෝහ "මා තුළ දැන් ලෝභය ඇත, මා තුළ දැන් ද්වේෂය ඇත, මා තුළ දැන් මෝහය ඇත" කියා නුවණින් දැනගැනීම් මාත්‍රයෙන්ම එය යටපත් වී යන අවස්ථා තිබේ.
බලවත් සතුරෙකු නිවසට පැමිණි විට ඔහු පැමිණි බව දැනගත් පමණින් නිවසින් පිටවී යන්නේ නැත. ඔහු නිවසින් එළවා දැමීම පිණිස බලවත් උත්සාහයක්, බලවත් වීර්යයක් කළ යුතුය. ඒ ආකාරයෙන්ම බලවත් ක්ලේශ ධර්මයන් සිත තුළ හටගත් අවස්ථාවන්හිදී, බලවත් උත්සාහයකින් යුතුවම එම ක්ලේශ ධර්මයන් යටපත් කළ යුතුය. ලෝභය හෙවත් රාගය හටගත් විට ඉතා වුවමනාවෙන් අසුභය වඩා එය යටපත් කරගත හැකිය. ශරීරයෙහි පවතින කෙස්, ලොම්, නිය, දත්, සම ආදී අසුභ කොටස් තිස් දෙක, පිළිකුල් වශයෙන් මෙනෙහි කිරීමෙන් හෝ නවසීවතික අසුභ භාවනා අරමුණක සිත පිහිටුවීමෙන් හෝ රාගය යටපත් කරගත හැකිය. නොඑසේ නම් ශරීරයෙහි ඇති දෙතිස් කොටස් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් නුවණින් විමසා බැලීමෙන්ද රාගය යටපත් කරගත හැකිය.
ද්වේෂය සිත තුළ හටගත් අවස්ථාවන්හිදී පළමුවෙන්ම මෛත්‍රී සිත පුරුදු පුහුණු කළ යුතුය. මෛත්‍රියෙන් ද්වේෂය යටපත් කර ගැනීමට නොහැකි වන්නේ නම්, කරුණාවෙන් යුතුව ද්වේෂය යටපත් කරගත යුතුය. සතුරා කෙරෙහි කරුණාව උපදවා ගත යුතුය: "මේ සත්වයා කයින් පව් කොට, වචනයෙන් පව් කොට, මනසින් පව් කොට මරණින් මතු අපාගාමී වන්නේය. එබැවින් අපායේ දුක් විඳින සත්වයෙකි, මා විසින් එම සත්වයා වෙත කරුණාව දැක්විය යුතුය" අනුකම්පා කළ යුතුය . යනුවෙන් සිතා ද්වේෂය යටපත් කරගත හැකිය. කරුණාවෙන්ද ද්වේෂය යටපත් නොවන්නේ නම් උපේක්ෂාව යොදාගෙන ද්වේෂය යටපත් කර ගැනීම වටී.
උපේක්ෂාව ඇති කරගන්නා වූ ආකාර දෙකකි: සත්ව සහ සංස්කාරයන් කෙරෙහි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් මෙනෙහි කිරීමෙන්ද උපේක්ෂාවට පත්විය හැකිය. එසේම සත්ත්වයන්ගේ කර්මය සිහි කරමින් "මොහු කරන කර්මයේ විපාක මොහුටම ලැබෙන්නේය" යනුවෙන් සිතා උපේක්ෂාවට පත්විය හැකිය. උපේක්ෂාව තුළින්ද සිත තුළ හටගන්නා ද්වේෂය යටපත් කරගත හැකි බව ආඝාතපටිවිනය සූත්‍රයෙහි සඳහන්ය. උපේක්ෂාව වැඩීමෙන්ද ද්වේෂය යටපත් නොවන්නේ නම් ඉන්පසුව සතුරා ගැන සිහිකිරීම මෙනෙහි කිරීම නවතා දැමිය යුතුය. සිහි නොකිරීම 'අසති' යන නමින්ද, මෙනෙහි නොකිරීම 'අමනසිකාර' යන නමින්ද හඳුන්වයි. එයද ද්වේෂය යටපත් කර ගැනීමට ඇති ඉතා සාර්ථක වූ ක්‍රමවේදයකි. මේ සෑම දෙයක් තුළම වීර්යයම අන්තර්ගතය; මේවා වීර්යය කරන ක්‍රමවේදයෝය.
සිත තුළ මෝහය උපන් කල්හි එය නැති කර ගැනීම සඳහා ධර්ම දේශනා ශ්‍රවණය කිරීම, දහම් පොතපත කියවීම, ධර්මය දත් උගතුන් සමඟ ධර්ම සාකච්ඡා පැවැත්වීම, සැක සහිත තැන් පිළිබඳ අසා දැනගෙන සැක නිරවුල් කර ගැනීම ආදී දේ උත්සාහයෙන්, වීර්යයෙන් යුතුව කළ යුතුය. මෝහය උපදින්නේ ද අයෝනිසෝ මනසිකාරය පදනම් කරගෙනය. එබැවින් මෝහය උපදින කාරණාවන් කෙරෙහි යෝනිසෝ මනසිකාරය හෙවත් නුවණින් මෙනෙහි කිරීම බහුල කළ කල්හි නූපන්නා වූ මෝහය නූපදී, උපන්නා වූ මෝහය යටපත් කරගත හැකිය.
- නූපන්නා වූ කුසල ධර්මයන් උපදවා ගැනීම පිණිස වීර්යය කිරීම:
නූපන්නා වූ කුසල ධර්මයන් යනු අලෝභ, අද්වේෂ, අමෝහ යන කුසල මූලයන්ද, බෝධිපාක්ෂික ධර්මයන්ද, තවම උපදවාගෙන නැති සමථ විදර්ශනා භාවනා මාර්ගයන්ද වන අතර, ඒවා උපදවා ගැනීම පිණිස වීර්යය කළ යුතුය.
නූපන්නා වූ කුසල ධර්මයන් උපදවා ගැනීම ඉතා පහසු දෙයක් නොවේ; එය ඉතා දුෂ්කර වූ දෙයකි. කුසල ධර්මයන් උපදවා ගැනීමට දැඩි කැමැත්තක් ඇත්තා වූද, කුසල ධර්මයන් උපදවා ගැනීමට දැඩි වීර්යයක් ඇත්තා වූද, කුසල ධර්මයන් උපදවා ගැනීමට දැඩි අධිෂ්ඨානයක් ඇත්තා වූද, කුසල ධර්මයන් උපදවා ගැනීමට දැඩි නුවණක් ඇත්තා වූද සත්පුරුෂයෝම නූපන් කුසල ධර්මයන් උපදවා ගනිති. එසේ නැති අයට නූපන් කුසල ධර්මයන් උපදවා ගැනීම කළ නොහැකිය. සියලු කුසල ධර්මයන් සිහිය මුල් කොට පවතී. එබැවින් කුසල ධර්මයන් උපදවා ගැනීමට සති අවිප්පවාසය හෙවත් සිහිය අත්නොහැර වාසය කිරීමද අවශ්‍ය වෙයි.
- උපන්නා වූ කුසල ධර්මයන් වර්ධනය කර ගැනීම පිණිස වීර්යය කිරීම:
දැනට සිත තුළ පවතින්නා වූ අලෝභ, අද්වේෂ, අමෝහ ආදී කුසල මූලයන්ද, දැනට සිතෙහි පවතින්නා වූ බෝධිපාක්ෂික ධර්මයන් සහ සමථ විදර්ශනා භාවනා මාර්ගයන්ද යන උපන්නා වූ කුසල ධර්මයන් තව තවත් දියුණු කර ගැනීම පිණිස, වර්ධනය කර ගැනීම පිණිස, බොහෝ බවට පත් කර ගැනීම පිණිස දැඩි සේ වීර්යය කළ යුතුය.
බහුශ්‍රැත ගුණය
බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණි එක්තරා බ්‍රාහ්මණයෙක් "ස්වාමීනී, බහුශ්‍රැත වන්නේ කෙසේද? ධර්මධර වන්නේ කෙසේද?" යනුවෙන් විමසී ය. එවිට තථාගතයන් වහන්සේ එතුමන්ට මෙසේ දේශනා කළහ:
"බහු ඛෝ භික්ඛු මයා ධම්මා දේසිතා : සුත්තං ගෙය්‍යං වෙය්‍යාකරණං ගාථා උදානං ඉතිවුත්තකං ජාතකං අබ්භුතධම්මං වේදල්ලං. චතුප්පදාය චේපි භික්ඛු ගාථාය අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මපටිපන්නෝ හෝති බහුස්සුතෝ ධම්මධරෝති අලං වචනායාති."
"බ්‍රාහ්මණතුමනි, මම බොහෝ කොට ධර්මය දේශනා කරන ලද්දෙමි; සූත්‍ර ආදී නවාංග ශාස්තෘ ශාසනය දේශනා කළෙමි. යම්කිසි භික්ෂුවක් එම ධර්මයෙන් එක ගාථාවක හෝ අර්ථය දැනගෙන, ධර්මය දැනගෙන, ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි යෙදෙන්නේ නම්, ඔහු බහුශ්‍රැත වෙයි, ධර්මධර වෙයි" යනුවෙන් දේශනා කළහ.
මෙය අංගුත්තර නිකායේ බහුශ්‍රැත සූත්‍රයෙහි සඳහන් වන පාඨයකි. එම දේශනාවට අනුව තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද ගාථාවක් හෝ එක් සූත්‍ර දේශනාවක් හෝ එක් දහම් කොටසක් හෝ අර්ථය දැනගෙන හෙවත් එහි නියම අර්ථය අට්ඨකථාවන්ට අනුරූපව ඉගෙනගෙන, ධර්මය හෙවත් පාලි ධර්මය මනාකොට දැනගෙන, ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි යෙදෙන්නේ නම් ඔහු බහුශ්‍රැත වන බවද ධර්මධර වන බවද තථාගතයන් වහන්සේ දේශනා කළහ. බොහෝ කොට ධර්මය අසා ඇති තැනැත්තා සුතධර වෙයි, නොඑසේ නම් සූත්‍රධර වෙයි; එහෙත් ඔහු බහුශ්‍රැත නොවෙයි. ධර්ම කාරණාවන්ද ඒවායේ අර්ථයන්ද මනාකොට දැනගෙන පිළිවෙත් පුරන සත්පුරුෂයෝම බහුශ්‍රැත වෙති, ධර්මධර වෙති.
මජ්ඣිම නිකායේ සේඛ සූත්‍රයෙහිද බහුශ්‍රැත බව විස්තර කර ඇත:
"බහුස්සුතෝ හෝති සුතධරෝ සුතසන්නිචයෝ. යේ තේ ධම්මා ආදිකල්‍යාණා මජ්ඣේකල්‍යාණා පරියෝසානකල්‍යාණා සාත්ථා සබ්‍යඤ්ජනා කේවලපරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං අභිවදන්ති. තථාරූපාස්ස ධම්මා බහුස්සුතා හොන්ති ධතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා."
බහුශ්‍රැත වෙයි, අසන ලද දෙය ධරාගෙන සිටියි, ධර්මය රැස් කරගෙන සිටියි. මුල යහපත් වූද, මැද යහපත් වූද, අග යහපත් වූද, අර්ථ සම්පන්න වූ, ව්‍යංජන සම්පන්න වූ, සර්ව සම්පූර්ණ වූ, පිරිසිදු වූ, නිර්වාණ මාර්ගය ප්‍රකාශ කරන්නා වූ යම් ධර්මයක් වේද, එම ධර්මය බොහෝ කොට අසා ඇත, ධාරණය කරගෙන ඇත, වචනයෙන් පුරුදු පුහුණු කර ඇත, මනසින් නුවණින් බලා ඇත. එම ධර්ම කාරණාවන්ගේ අර්ථය සහ කාරණාව ප්‍රඥාවෙන් මනාකොට අවබෝධ කරගෙන ඇත. එබඳු තැනැත්තා බහුශ්‍රැත වන බව සේඛ සූත්‍රයෙහි සඳහන්ය.
ප්‍රඥා ගුණය
සම්බුද්ධ ශාසනය තුළ ප්‍රඥාව යනු නුවණට නමකි. ධර්මය බොහෝ කොට අසා දැනගෙන තිබීම ප්‍රඥාව නොවේ; එය බහුශ්‍රැත බවයි. ධර්මය අසා ඇති පමණින්ම බහුශ්‍රැත නොවේ. ධර්මානුධර්ම ප්‍රතිපදාවට අනුව පිළිවෙත් පිරීම බහුශ්‍රැත බවට අත්‍යවශ්‍ය කරුණකි. ඒ බව පෙර සඳහන් කරන ලදී. ප්‍රඥාව යනු අවබෝධයකි. කර්මය සහ කර්ම ඵලය පිළිබඳ අවබෝධය ප්‍රඥාවකි. එම ප්‍රඥාව කම්මස්සකතා ඥානය යන නමින් හඳුන්වනු ලබයි. දසවස්තුක සම්මාදිට්ඨිය යන නමින්ද හඳුන්වනු ලබයි. චතුරාර්ය සත්‍යය පිළිබඳ අවබෝධය ප්‍රඥාවකි. එම ප්‍රඥාව බුද්ධ ශාසනය තුළ පමණක් උපදවා ගැනීමට ලැබෙන ඉතා වටිනා එකකි. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය පිළිබඳ දැනුමද ප්‍රඥාවකි. එම ප්‍රඥාව ප්‍රඥා ඉන්ද්‍රිය, ප්‍රඥා බලය යන නම්වලින් හඳුන්වනු ලබයි.
"පඤ්ඤවා හෝති උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛයගාමිනියා."
පංච උපාදානස්කන්ධයෙහි ඇතිවීම නැතිවීම දකින, ආර්ය වූ, නිර්වේදය පිණිස පවතින්නා වූ, මනාකොට දුක් ගෙවා දමන්නා වූ ප්‍රඥාවෙන් යුක්ත වෙයි. (සේක සූත්‍රය)
මෙහි දක්වා ඇත්තේ පංච උපාදානස්කන්ධයෙහි ඇතිවීම නැතිවීම දකින උදයත්ථගාමිනී ප්‍රඥාවයි. ඉන් අදහස් කරන්නේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය පිළිබඳ අවබෝධයයි.
කල්‍යාණමිත්‍රයන් ආශ්‍රය කිරීමද, සද්ධර්ම ශ්‍රවණය කිරීමද, යෝනිසෝ මනසිකාරයෙහි යෙදීමද, ධර්මානුධර්ම ප්‍රතිපදාවේ යෙදීමද ප්‍රඥාව වර්ධනය වීම පිණිස උපකාර වෙයි.
සත්පුරුෂ ආශ්‍රය
සත්පුරුෂයා සත්පුරුෂ ආශ්‍රයෙහි යෙදී සිටින කෙනෙකු බව චූලපුණ්ණම සූත්‍රයෙහි සඳහන්ය. ශ්‍රද්ධා, හිරි, ඔත්තප්ප, වීර්ය, බහුශ්‍රැත, සති, ප්‍රඥා යන සප්ත ධර්මයන්ගෙන් යුක්ත වූ තැනැත්තා සත්පුරුෂයකු බව එම දේශනාවෙහි සඳහන් වෙයි. සත්පුරුෂයා එබඳු සත්පුරුෂයන්ම ඇසුරු කරන්නේය.
සත්පුරුෂ චින්තනය
"කථඤ්ච භික්ඛවේ, අසප්පුරිසෝ අසප්පුරිසචින්තී හෝති: ඉධ භික්ඛවේ, අසප්පුරිසෝ අත්තව්‍යාබාධායපි චේතේති, පරව්‍යාබාධායපි චේතේති, උභයව්‍යාබාධායපි චේතේති. ඒවං ඛෝ භික්ඛවේ, අසප්පුරිසෝ අසප්පුරිසචින්තී හෝති."
මෙම දේශනාවේ සඳහන් වන ආකාරයට සත්පුරුෂයා තමාට අයහපත පිණිස නොසිතයි, අන් අයට අයහපත පිණිස නොසිතයි, තමාටත් අනුන්ටත් යන දෙපිරිසටම අයහපත පිණිස නොසිතයි. මේ ආකාරයෙන් සත්පුරුෂයා සත්පුරුෂ චින්තනයෙන් යුක්ත වෙයි.
සත්පුරුෂ මන්ත්‍රණ (සාකච්ඡා)
"කථඤ්ච භික්ඛවේ, අසප්පුරිසෝ අසප්පුරිසමන්තී හෝති: ඉධ භික්ඛවේ, අසප්පුරිසෝ අත්තව්‍යාබාධායපි මන්තේති, පරව්‍යාබාධායපි මන්තේති, උභයව්‍යාබාධායපි මන්තේති. ඒවං ඛෝ භික්ඛවේ, අසප්පුරිසෝ අසප්පුරිසමන්තී හෝති.
මහණෙනි, මේ ලෝකයෙහි සත්පුරුෂයා තමාට පීඩාව පිණිස සාකච්ඡා නොකරයි, අන් අයට පීඩා පිණිස සාකච්ඡා නොකරයි, දෙපිරිසටම පීඩා පිණිස සාකච්ඡා නොකරයි. මහණෙනි, මෙසේ සත්පුරුෂයා සත්පුරුෂ මන්ත්‍රණයෙන් යුක්ත වෙයි.
සත්පුරුෂ වචන
සත්පුරුෂයා සත්පුරුෂ වචන කතා කරන කෙනෙකි. සත්පුරුෂ වචන යනු බොරු නොකීම, කේලාම් නොකීම, පරුෂ වචන නොකීම, හිස් වචන නොකීම යන සතර ආකාර වූ වචී දුෂ්චරිතයෙන් වැළකීමයි. ඒ පිළිබඳව චූලපුණ්ණම සූත්‍රයෙහි මෙසේ සඳහන්ය:
"කථඤ්ච භික්ඛවේ, සප්පුරිසෝ සප්පුරිසවාචෝ හෝති: ඉධ භික්ඛවේ, සප්පුරිසෝ මුසාවාදා පටිවිරතෝ හෝති, පිසුණාය වාචාය පටිවිරතෝ හෝති, ඵරුසාය වාචාය පටිවිරතෝ හෝති, සම්ඵප්පලාපා පටිවිරතෝ හෝති. ඒවං ඛෝ භික්ඛවේ, සප්පුරිසෝ සප්පුරිසවාචෝ හෝති."
මහණෙනි, සත්පුරුෂයා සත්පුරුෂ වචන කතා කරන්නේ කෙසේද? මහණෙනි, සත්පුරුෂයා බොරු කීමෙන් වැළකුණේ වෙයි. කේලාම් කීමෙන් වැළකුණේ වෙයි. පරුෂ වචන කීමෙන් වැළකුණේ වෙයි. හිස් වචන කීමෙන් වැළකුණේ වෙයි. මහණෙනි, මෙසේ සත්පුරුෂයා සත්පුරුෂ වචන කතා කරන කෙනෙක් වෙයි.
බොරු කීමෙන් වැළකීමේ ආනිසංස
බොරු කීමෙන් වැළකීම උදාර වූ කුසලයකි. බොරු කීමෙන් වළකින තැනැත්තාට සංසාර ගමනේදී ආනිසංස රාශියක් ලැබෙයි.
- ප්‍රසන්න ඉන්ද්‍රියන් ඇති කෙනෙකු වෙයි.
- නොපැකිල කතා කරන මිහිරි වචන ඇති කෙනෙකු වෙයි.
- සම වූ පිරිසිදු වූ දත් පේළියක් ඇති කෙනෙකු වෙයි.
- ඉතා මහත් නොවන කෙනෙකු වෙයි.
- ඉතා කෙට්ටු නොවන කෙනෙකු වෙයි.
- ඉතා මිටි කෙනෙකු නොවෙයි.
- ඉතා උස කෙනෙකු නොවෙයි.
- සැප ස්පර්ශ ඇති කෙනෙකු වෙයි.
- මුඛයෙන් මහනෙල් මල් සුවඳ හමන කෙනෙකු වෙයි.
- කීකරු පරිවාර ජනයා ඇති කෙනෙකු වෙයි.
- ඇදහිය යුතු වචන ඇති කෙනෙකු වෙයි.
- නෙළුම් පෙති මෙන් මෘදු වූ, රතු වූ, තුනී වූ දිව ඇති කෙනෙකු වෙයි.
- උඩඟු නොවන කෙනෙකු වෙයි.
- චපල නොවන කෙනෙකු වෙයි.
බොරු කීමෙන් වැළකුණු තැනැත්තා සත්‍ය වචන කතා කරන කෙනෙකි.
"මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතෝ සච්‌චවාදී සච්‌චසන්‌ධෝ ථේතෝ පච්‌චයිකෝ අවිසංවාදකෝ ලෝකස්‌සාති." (බ්‍රහ්මජාල සූත්‍රය, දීඝ නිකාය)
බොරු කීමෙන් වැළකී වාසය කරයි. සත්‍ය වචන කතා කරයි. ඇත්තෙන් ඇත්ත ගළපා කතා කරයි. ස්ථීර වූ වචන කතා කරයි. ඇදහිය හැකි වචන කතා කරයි. ලෝකයා සමඟ අවිසංවාදී (නොගැටෙන) වචන කතා කරයි.
මෙම දේශනා පාඨය අනුව මුසාවාදයෙන් වැළකීම පමණක් ප්‍රමාණවත් නොවෙයි. පෙර සඳහන් කළ ආකාරයට සත්‍ය වචන කතා කරන කෙනෙක් විය යුතුය. කතා කරන විට සත්‍ය සහ අසත්‍ය මුසුකොට, කලවම් කොට කතා නොකළ යුතුය. සත්‍යයෙන් සත්‍ය ගළපා කතා කළ යුතුය. එසේම ස්ථීර වූ වචන කතා කළ යුතුය; ස්ථීර වචන ඇති කෙනෙක් විය යුතුය. මිනිසුන්ට විශ්වාස කළ හැකි, ඇදහිය හැකි, පිළිගත හැකි වචන කතා කරන කෙනෙක් විය යුතුය. ලෝකයේ මිනිසුන් සමඟ වාද විවාද ඇතිවීමට හේතුවන, ගැටීම් ඇතිවීමට හේතුවන, ප්‍රශ්න ඇතිවීමට හේතුවන කතා කියන කෙනෙක් නොවිය යුතුය.
සත්පුරුෂ ක්‍රියා
සත්පුරුෂයා සත්පුරුෂ ක්‍රියාවල යෙදුණු කෙනෙකි. ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකම් කිරීමෙන් වැළකීම, කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකීම සත්පුරුෂ ක්‍රියාවකි. ඒ බව මෙම සූත්‍රයෙහි ඇතුළත්ය:
"කථඤ්ච භික්ඛවේ, සප්පුරිසෝ සප්පුරිසකම්මන්තෝ හෝති: ඉධ භික්ඛවේ, සප්පුරිසෝ පාණාතිපාතා පටිවිරතෝ හෝති, අදින්නාදානා පටිවිරතෝ හෝති, කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති. ඒවං ඛෝ භික්ඛවේ, සප්පුරිසෝ සප්පුරිසකම්මන්තෝ හෝති."
මහණෙනි, සත්පුරුෂයා සත්පුරුෂ ක්‍රියාවල යෙදෙන්නේ කෙසේද? මහණෙනි, මෙහි සත්පුරුෂයා ප්‍රාණඝාතයෙන් වැළකුණු කෙනෙකි, සොරකම් කිරීමෙන් වැළකුණු කෙනෙකි, කාමමිථ්‍යාචාරයෙන් වැළකුණු කෙනෙකි. මහණෙනි, මෙසේ සත්පුරුෂයා සත්පුරුෂ ක්‍රියා ඇති කෙනෙක් වෙයි.
සත්පුරුෂ දෘෂ්ටිය
"කථඤ්ච භික්ඛවේ, සප්පුරිසෝ සප්පුරිසදිට්ඨී හෝති: ඉධ භික්ඛවේ, සප්පුරිසෝ ඒවංදිට්ඨී හෝති: අත්ථි දින්නං, අත්ථි යිට්ඨං, අත්ථි හුතං, අත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකෝ, අත්ථි අයං ලෝකෝ, අත්ථි පරෝ ලෝකෝ, අත්ථි මාතා, අත්ථි පිතා, අත්ථි සත්තා ඕපපාතිකා, අත්ථි ලෝකේ සමණබ්‍රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යේ ඉමඤ්ච ලෝකං පරඤ්ච ලෝකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවේදෙන්තී’ති. ඒවං ඛෝ භික්ඛවේ, සප්පුරිසෝ සප්පුරිසදිට්ඨී හෝති."
මහණෙනි, කොපමණකින් සත්පුරුෂයා සත්පුරුෂ දෘෂ්ටිය ඇති කෙනෙක් වෙයිද යත්? මහණෙනි, මේ ලෝකයෙහි සත්පුරුෂයා මෙබඳු දෘෂ්ටි ඇත්තේ වෙයි: දානයෙහි විපාක ඇත, මහාදානයෙහි විපාක ඇත, පූජාවෙහි විපාක ඇත, කුසල අකුසල කර්මයන්ගේ විපාක ඇත, මේ ලෝකය ඇත, පරලොව ඇත, මව ඇත, පියා ඇත, ඕපපාතිකව උපදිනා සත්ත්වයෝ ඇත, ලෝකයෙහි යම් කෙනෙක් තමාගේම නුවණින් මෙලොවත් පරලොවත් අවබෝධ කරගෙන, විශිෂ්ඨ ඥානයෙන් දැනගෙන, ප්‍රත්‍යක්ෂ කරගෙන ප්‍රකාශ කරද්ද, එබඳු යහපත් මාර්ගයෙහි ගමන් කරන, යහපත් ප්‍රතිපත්තිය ඇති ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇත. මහණෙනි, මෙසේ සත්පුරුෂයා සත්පුරුෂ දෘෂ්ටි ඇති කෙනෙක් වෙයි.
දස වස්තුක සම්මා දිට්ඨිය
1..අත්ථි දින්නං:
දානයෙහි විපාක ඇත. තමා සතු යම්කිසි දෙයක්, ඒ දෙය කෙරෙහි ඇති තණ්හාව දුරුකොට තව කෙනෙකු උදෙසා පරිත්‍යාග කිරීමේ චේතනාව දානයයි. එහි විපාක ඇතැයි පිළිගැනීම සම්මාදිට්ඨියකි.
2..අත්ථි යිට්ඨං:
ඉට්ඨං යනු මහා දානයයි. ඒ බව ධම්ම සංගණී අට්ඨකථාවෙහි දක්වා තිබේ. විශාල පිරිස් උදෙසා දෙනු ලබන දාන මහාදානයි. පොහෝ දින සිල් සමාදන් වූ පිරිස් වෙත දෙන දාන, වෙනත් අවස්ථා වලදී දෙනු ලබන මහා දාන සහ දන්සල් ආදියද මහාදානයන්ට අයත්ය. ඒවායේ විපාක ඇති බව පිළිගැනීම සම්මාදිට්ඨියකි.
3..අත්ථි හුතං:
හුතං යනු යාගයට නමකි. ආහුන, පාහුණ, මංගල දාන හුතං යනුවෙන් හඳුන්වන බව ධම්ම සංගණී අටුවා විග්‍රහයයි. දුර සිට ගෙනවිත් පිදිය යුතු දෙය ආහුනෙය්‍ය නම් වෙයි. දුර සිට ගෙනවිත් පිදිය යුතු දෙය නම් සිව්පසයයි. එම සිව්පසය ලැබීමට සුදුසු යමෙක් වේ නම්, ඔවුහු ආහුනෙය්‍ය වෙති. සම්බුද්ධ ශාසනය තුළ මහා සංඝරත්නයද, මව්පියෝද ආහුනෙය්‍ය ගුණයෙන් යුතු බව දක්වා ඇත. දුර සිට ගෙනවිත් යමක් පූජා කිරීමෙන් පින් ලැබෙන බව පිළිගැනීම සම්මාදිට්ඨියකි. ආගන්තුකයන් උදෙසා සකසන ලද භෝජනය පාහුණ යන නමින් හඳුන්වයි. එම භෝජනය සකසා ආගන්තුකයන් එන තෙක් බලාගෙන සිටින විට, භික්ෂූන් වහන්සේලා වැඩම කළහොත් හෝ සිලාදී ගුණ සම්පන්න කෙනෙකු වැඩම කළහොත් ආගන්තුකයන් උදෙසා සකසන ලද භෝජනය ඔවුන්ට දීමට සුදුසුය. එබැවින් සිල්වතුන් උදෙසා ආගන්තුක දානය පිරිනමනු ලබයි; සංඝයා එය ලැබීමට සුදුසු බැවින් පාහුණෙය්‍ය නම් වෙති. එම දානයද ආගන්තුකයන් උදෙසා සංග්‍රහ කිරීමද, එසේම මංගල අවස්ථා යනුවෙන් හඳුන්වන උපන්දිනය, විවාහ සංවත්සරය, නිවසකට ගෙවැදීම ආදී විශේෂ අවස්ථා වලදී දෙනු ලබන දානයන්ගේද විපාක ඇතැයි පිළිගැනීම විශ්වාස කිරීම සම්මාදිට්ඨියකි.
4..අත්ථි අයං ලෝකෝ:
මෙලොව ඇත. පරලොව සිටියා වූ තැනැත්තාට මෙලොවක් ඇත. ඉන් අදහස් කරන්නේ අතීතයෙහි සසර ගමනක් පැවැති බව විශ්වාස කිරීමයි. බෞද්ධ නොවන නුවණැතියෝ පවා අතීතයෙහි ඉපදී, ඉපදී, මැරි, මැරී පැමිණි සංසාර ගමනක් පැවති බව පිළිගනිති. එය සම්මාදිට්ඨියකි.
5..අත්ථි පරෝ ලෝකෝ:
මෙලොව සිටි තැනැත්තාට පරලොවක් ඇත යනුවෙන් විශ්වාස කිරීම මෙම සම්මාදිට්ඨියයි. ඉන් අදහස් කරන්නේ මරණයත් සමඟ ජීවිතය අවසන් නොවන බවත්, කර්මානුරූපව නැවත උපදින බවත් පිළිගැනීමයි. එය උදාර වූ සම්මාදිට්ඨියකි.
6..අත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකෝ:
කුසල අකුසල කර්මයන්ගේ විපාක ඇතැයි පිළිගැනීම සම්මාදිට්ඨියකි. කුසලය, අකුසලය නොපිළිගන්නෝ බොහෝ පාප ධර්මයන් රැස් කර ගනිති. කුසල අකුසල කර්මයන් සහ ඒවායේ විපාක පිළිගැනීම නිසා සත්ත්වයා සුචරිතවත් බවට පත් වෙති. තථාගතයන් වහන්සේ විසින් කුසල අකුසල කර්මයන් පිළිබඳව දේශනා කරන ලද්දේ මිනිසා බය කොට සුචරිතයෙහි යෙදවීම පිණිස නොවේ; කර්මය සහ කර්ම විපාක යනු ලෝකයෙහි පවතින සත්‍ය වූ දෙයකි. එය ලෝක සත්ත්වයාට අවබෝධ කරවාදීම පිණිසම තථාගතයන් වහන්සේ කර්මය හා කර්ම විපාක ගැන දේශනා කළහ. එම දේශනාවන් අසා සත්ත්වයෝ අකුසලයට බයවී අකුසලයෙන් ඉවත් වෙති. ´ කුසල ධර්මයන්හි බහුල කොට යෙදෙති•
7-8..අත්ථි මාතා අත්ථි පිතා:
මව ඇත, පියා ඇත. මින් අදහස් කරන්නේ මවුපියන්ට උපස්ථාන කිරීමෙන් පින් ලැබෙන බව විශ්වාස කිරීමයි; මවුපියන්ට නොසැලකීමෙන් පව් සිදුවන බවද විශ්වාස කිරීමයි. මව්පියෝ මහත් වූ ගුණ ඇත්තෝය. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂාවන්ගෙන් සමන්වාගත වන බැවින් බ්‍රහ්මයන් හා සමානය. දරුවන්ගේ මුල්ම ගුරුවරු වන බැවින් පූර්වාචාර්ය නම් වෙති. දරුවන් විසින් දුර සිට වුවත් සිව්පසය ගෙනවිත් මවුපියන් පෝෂණය කිරීමට සුදුසුය, එබැවින් මව්පියෝ ආහුනෙය්‍ය නම් වෙති. දරුවන් කෙරෙහි නිරන්තරයෙන්ම අනුකම්පා කරන බැවින්, කරුණාව දක්වන බැවින් මව්පියෝ පජාය අනුකම්පක යන නමින්ද හඳුන්වනු ලබති. එබැවින් නුවණැති දරුවන් විසින් මව්පියන්ට උදේ හවස වන්දනා කළ යුතුය, සත්කාර කළ යුතුය. එසේ මව්පියන්ට සලකන දරුවා මෙලොව ප්‍රශංසා ලබති, පරලොව සුගතියෙහි ඉපදී සතුටු වෙති. මවුපියන්ට නොසලකන දරුවා මෙලොව නින්දා අපහාස ලබති, සසර ගමනේදී දුගතිගාමී වෙති. එසේම සසර ගමනේදී ඉතා දරුණු රෝගාබාධ ආදියට පත්වෙති. ජීවිතය හුදෙකලා වෙති. ආවාහ විවාහ කටයුතු අසාර්ථක වෙති. තමාට සලකන කෙනෙක්, බලන කෙනෙක් නැති වෙති.
9..අත්ථි සත්තා ඕපපාතිකා:
ඕපපාතික සත්වයෝ ඇත. මවුපිය සම්භවයෙන් තොරව උපදින්නා වූ සත්වයෝ සිටිති. ඒඅතර, සමහර කෙනෙකු බිත්තරවලින් උපත ලබති, ඔවුහු අණ්ඩජ නම් වෙති. තෙත පරිසරයෙහි උපදින මැස්සන් වැනි සතුන් ඇත, ඔවුහු සංසේදජ යන නමින් හඳුන්වයි. කර්මානුරූපව අංගසම්පූර්ණව උපදින සත්වයෝ සිටිති, ඔවුහු ඕපපාතික නම් වෙති. දෙවියෝද, බ්‍රහ්මයෝද, නිරයේ සිටින සත්වයෝද, ප්‍රේතයෝද ඕපපාතික වෙති. කලාතුරකින් තිරිසන්ගත සත්වයෝද ඕපපාතිකව උපත ලබති. ඉතාම කලාතුරකින් මනුස්සයෝද ඕපපාතිකව උපදින බව බුද්ධ දේශනාවෙහි සඳහන්ය. මෙම සම්මාදිට්ඨිය විස්තර කිරීමේදී ධම්ම සංගණී අට්ඨකථාව දක්වන්නේ ඕපපාතික සත්වයෝ ඇත යන්නෙන් මැරී උපදින සත්වයන් ඇති බව ද සදහන් වන බවයි.
10..මෙලොව පරලොව තමාගේම නුවණින් අවබෝධ කරගෙන යහපත් වූ මාර්ගයෙහි ගමන් කරන යහපත් ප්‍රතිපත්ති ඇති ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇත
යනුවෙන් අදහස් කරන්නේ සියල්ල දන්නා වූ සර්වඥ මුනිවරයෝ සිටින බව විශ්වාස කිරීමයි. සර්වඥ මුනිවරයෝ යනු බුදුරජාණන් වහන්සේලාය.
සත්පුරුෂ දානය
සත්පුරුෂයා සත්පුරුෂ දාන පූජා කරන කෙනෙකි. ඔහු දානයක් දෙන විට ඉතා පිරිසිදුව දානය පූජා කරයි. දෙන ආහාර පාන ප්‍රණීත ලෙස සකස් කරයි. සුදුසු කාලයෙහි දානය පූජා කරයි. ධාර්මික වූ කැප සරුප් වස්තුවෙන් දානය සකසා පූජා කරයි. කර්මය හා කර්ම ඵලය අදහාගෙනම දන් දෙයි. ඔහු ශ්‍රද්ධාවෙන් දන් දෙන කෙනෙකි. මෙෙහි ශ්‍රද්ධාව යනු කර්මය හා කර්මඵලය විශ්වාස කිරීම සහ තෙරුවන් ගුණ ගැන පැහැදීමයි. එසේම සත්පුරුෂයා දානයක් දෙන විට තමාගේ සිත තුළ ඇති මසුරුකම දුරුකර දන් දෙයි. මසුරුකම යනු තමා සතු වස්තුව වෙන කෙනෙකුට පූජා කිරීමට, ලබාදීමට ඇති අකමැත්තයි. මසුරු තැනැත්තා දන්දීම සිදු නොකරයි; තමා සතු වස්තුව සඟවයි. සත්පුරුෂයා දැඩි මසුරුකම දුරුකරමින් දන් දෙයි. මෙම දේශනාව තුළද සත්පුරුෂයාගේ දානය ගැන ඉතා ලස්සන විස්තරයක් ඇතුළත්ය, අප ඒ දෙසට අවධානය යොමු කරමු.
"කථඤ්ච භික්ඛවේ, සප්පුරිසෝ සප්පුරිසදානං දේති: ඉධ භික්ඛවේ, සප්පුරිසෝ සක්කච්චං දානං දේති, සහත්ථා දානං දේති, චිත්තීකත්වා දානං දේති, පරිසුද්ධං දානං දේති, ආගමනදිට්ඨිකෝ දානං දේති. ඒවං ඛෝ භික්ඛවේ, සප්පුරිසෝ සප්පුරිසදානං දේති."
මහණෙනි, සත්පුරුෂයා සත්පුරුෂ දාන පූජා කරන්නේ කෙසේද යත්: සත්පුරුෂයා සකස් කොට දන් දෙයි, සියතින් දන් දෙයි, බුහුමන් කොට දන් දෙයි, පිරිසිදුව දානය දෙයි, මින් විපාක ලැබෙයි යන සම්මා දිට්ඨිය ඇතිව දානය දෙයි. මහණෙනි, මෙසේ සත්පුරුෂයා සත්පුරුෂ දාන දෙයි.
මෙසේ සත්පුරුෂයා සත්පුරුෂ ධර්මයන්ගෙන් සමන්වාගතව, සත්පුරුෂයන් ඇසුරු කරමින්ද, සත්පුරුෂ චින්තනයෙන්ද, සත්පුරුෂ මන්ත්‍රණයෙන්ද, සත්පුරුෂ වචනයෙන්ද, සත්පුරුෂ ක්‍රියාවෙන්ද, සත්පුරුෂ දෘෂ්ටියෙන්ද, සත්පුරුෂ දානයෙන්ද යුතුව කල්ගත කොට, කය බිඳී මරණින් මතු සත්පුරුෂයන් උපදින යම් ගතියක් වේ නම් එහි උපත ලබයි. සත්පුරුෂයන් උපදින ගතිය කුමක්ද? දේව ආත්මභාවය හෝ මිනිසාත්ම බවයි. මෙසේ තථාගතයන් වහන්සේ මේ දේශනාව වදාළ සේක. සතුටට පත් වූ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනය සතුටින් පිළිගත්හ.
චූල පුන්නම සූත්‍රය අවසානයි. .