චූලපුණ්ණම සූත්‍ර දේශනාව ඇසුරින් සත්පුරුෂයා යනු කවරෙක්දැයි පැහැදිලි කිරීම මෙම දේශනාවේ අරමුණයි. "අසේවනාච බාලානං පණ්ඩිතානඤ්ච සේවනා" යනුවෙන් තථාගතයන් වහන්සේ අසත්පුරුෂයන් ඇසුරු නොකිරීමද පණ්ඩිතයන් ඇසුරු කිරීමද මංගල කාරණාවක් බව දේශනා කළ සේක. එහි පණ්ඩිතයෝ යනු සත්පුරුෂයෝමය. දස අකුසල කර්මයෙහි යෙදෙන්නෝ අසත්පුරුෂයෝය; ඔවුහු ඇසුරු නොකළ යුතුය. දස කුසල ධර්මයන්හි යෙදෙන්නෝ සත්පුරුෂයෝය; ඔවුහු ඇසුරු කළ යුතුය. තථාගතයන් වහන්සේ නම් වූ එකම එක සත්පුරුෂයා නිසා ලෝකයෙහි බොහෝ සත්වයෝ ඉපදීමෙන් නිදහස් වූහ, ජරාවට පත්වීමෙන් නිදහස් වූහ, ලෙඩ වීමෙන් නිදහස් වූහ, මරණයෙන් නිදහස් වූහ, කෙටියෙන්ම කිවහොත් සියලු සංසාරික දුකෙන් නිදහස් වූහ. එබැවින් සත්පුරුෂයන් අතර තථාගතයන් වහන්සේම අග්‍ර වන සේක. චූලපුණ්ණම සූත්‍රය තුළද සත්පුරුෂයකු තුළ තිබිය යුතු ලක්ෂණ රාශියක් දක්වා තිබේ. එම දේශනාවට අනුව සත්පුරුෂයා:
- සද්ධර්මයෙන් සමන්වාගත වෙයි.
- සත්පුරුෂයන් ඇසුරු කරයි.
- සත්පුරුෂ සිතුවිලි සිතයි.
- සත්පුරුෂ මන්ත්‍රණ කරයි.
- සත්පුරුෂ වචන කතා කරයි.
- සත්පුරුෂ ක්‍රියා කරයි.
- සත්පුරුෂ දෘෂ්ටියෙන් සමන්වාගත වෙයි.
- සත්පුරුෂ දාන දෙයි.
අප දැන් එම දේශනාවට අනුව සත්පුරුෂයා පිළිබඳව විමසා බලමු.
සත්පුරුෂ ධර්මය
"කථඤ්ච භික්ඛවේ, සප්පුරිසෝ සද්ධම්මසමන්නාගතෝ හෝති: ඉධ භික්ඛවේ, සප්පුරිසෝ සද්ධෝ හෝති, හිරිමා හෝති, ඔත්තප්පී හෝති, බහුස්සුතෝ හෝති, ආරද්ධවිරියෝ හෝති, උපට්ඨිතසතී හෝති, පඤ්ඤවා හෝති. ඒවං ඛෝ භික්ඛවේ, සප්පුරිසෝ සද්ධම්මසමන්නාගතෝ හෝති.
මහණෙනි, කෙසේ සත්පුරුෂයා සත්පුරුෂ ධර්මයෙන් සමන්වාගත වෙයිද යත්: මහණෙනි, මෙලොව සත්පුරුෂයා සද්ධාව ඇති කෙනෙකි, පවට ලැජ්ජාව ඇති කෙනෙකි, පවට බය ඇති කෙනෙකි, බහුශ්‍රැත කෙනෙකි, අරඹන ලද වීර්ය ඇති කෙනෙකි, පිහිටුවා ගත් සිහිය ඇති කෙනෙකි, ප්‍රඥාවන්ත කෙනෙකි. මහණෙනි, මෙසේ සත්පුරුෂයා සද්ධර්මයෙන් සමන්වාගත වෙයි.
සද්ධාව
බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ඇදහීම ශ්‍රද්ධාවයි. ශ්‍රද්ධාවන්ත වූ තැනැත්තා තථාගතයන් වහන්සේ නිකෙලෙස් වූ අරහං ගුණයෙන් යුත් කෙනෙකු බව පිළිගනියි. තථාගතයන් වහන්සේ අතීත, අනාගත, වර්තමාන යන තුන් කාලය අවබෝධ කරගත්, සියල්ල දන්නා සම්මාසම්බුදු වරයෙකු බව පිළිගනියි. තථාගතයන් වහන්සේ අෂ්ට විද්‍යා පසළොස්චරණ ධර්මයන්ගෙන් සමන්වාගත විජ්ජාචරණ සම්පන්න ගුණයෙන් යුතු උතුමන් වහන්සේ කෙනෙක් බව පිළිගනියි. තථාගතයන් වහන්සේ සුන්දර වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි ගමන් කොට සුන්දර වූ නිවනට වැඩම කොට වදාළා වූද, එසේම සුන්දර වූ මිහිරි වචනයෙන් සද්ධර්මය දේශනා කරන්නා වූද සුගත ගුණයෙන් යුතු උතුමන් වහන්සේ කෙනෙක් බව පිළිගනියි. තථාගතයන් වහන්සේ පංච උපාදානස්කන්ධ ලෝකය චතුරාර්ය සත්‍ය වශයෙන් දැන වදාළ කෙනෙක් බවද, තථාගතයන් වහන්සේ පංච උපාදානස්කන්ධ ලෝකය හැර සෙසු සත්ව ලෝක, සංස්කාර ලෝක, අවකාශ ලෝක යන සියලු ලෝකයන් දැන වදාළ කෙනෙක් බවද පිළිගනියි. තථාගතයන් වහන්සේ පුරුෂයන් දමනය කිරීමෙහි උත්තරීතර කෙනෙකු වන බවද පිළිගනියි. තථාගතයන් වහන්සේ මෙලොව යහපත පිණිසද, පරලොව සුගතිය පිණිසද, පරමාර්ථ වශයෙන් නිර්වාණය පිණිසද අවවාද අනුශාසනා ලබා දෙන දෙවි මිනිසුන්ගේ ශාස්තෘ වන බව පිළිගනී. තථාගතයන් වහන්සේ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කොට අන් අයට අවබෝධ කර වූ බැවින් බුද්ධ වන බව පිළිගනියි. තථාගතයන් වහන්සේ රාගාදි ක්ලේශයන් බිඳ දැමූ බැවින් භගවා වන බව පිළිගනියි. බුදුගුණ පිළිබඳ විස්තර විසුද්ධි මාර්ගයේ බුද්ධානුස්සති නිර්දේශයෙන් දැන ඉගෙන ගත යුතුය.
හිරිගුණය
"හිරීයනා හිරි, ලැජ්ජාව වන නිසා හිරි නම් වෙයි." (ධම්ම සංගණී අට්ඨකථාව). "අහිරිකේ න කම්පතීති හිරි බලං" - පවට ලැජ්ජාවෙන් කම්පා නොවන බැවින් හිරි බලය නම් වෙයි. (ධම්ම සංගණී අට්ඨකථාව). කාය දුෂ්චරිත ආදිය කෙරෙහි ලැජ්ජාවන බැවින් හිරි නම් වෙයි. (ධම්ම සංගණී අට්ඨකථාව, 129 පිට). "අජ්ඣත්ත සමුට්ඨානා හිරි" - තමා මුල් කරගෙන ඇති කරගන්නා වූ පවට ලැජ්ජාව හිරිගුණයයි. (ධම්ම සංගණී අට්ඨකථාව). "ලජ්ජා සභාව සණ්ඨිතා හිරි" - ලැජ්ජා ස්වභාවය පිහිටීම හිරිගුණයයි. (ධම්ම සංගණී අට්ඨකථාව).
සතරාකාරයකින් තමා තුළ හිරිගුණය පිහිටුවා ගත යුතුය. තමාගේ ජාතිය පිළිබඳව නුවණින් විමසා බලාද, වයස පිළිබඳව නුවණින් විමසා බලාද, සූරභාවය හෙවත් දක්ෂතාවය පිළිබඳව නුවණින් විමසා බලාද, බහුශ්‍රැත බව හෙවත් බොහෝ දැනුම නුවණින් විමසා බලාද හිරිගුණය පිහිටුවා ගත යුතුය, ඇතිකරගත යුතුය.
එය කරන්නේ කෙසේද? "මම උසස් ජාතියක කෙනෙකි. පව් කිරීම උසස් ජාතියක කෙනෙකුට අයත් වූ දෙයක් නොවේ, හීන වූ ජාතීන්ට අයත් වූ දෙයකි. මා වැනි ජාති සම්පන්න වූ කෙනෙකුට මෙම පාප කර්ම නොකළ යුතුය, එය මට නොගැලපෙයි." මෙසේ ජාතිය නුවණින් සිහිපත් කොට ප්‍රාණඝාත ආදී පාප කර්ම නොකිරීම හිරිගුණය පිහිටුවා ගන්නා එක් ක්‍රමයකි.
වයස සිහිපත් කොට පව් කිරීමෙන් වළකින්නේ කෙසේද? පාප කර්මය යනු නුවණ මුහුකුරා නොගියා වූ, පාපකර්ම විපාක ආදිය නොදන්නා වූ කුඩා දරුවන්ට අයත් වූ දෙයකි. මා බඳු තේරෙන නුවණ ඇති, වයසක සිටියා වූ අය මෙබඳු පාපකර්ම නොකළ යුතුය, එය මට නොගැලපේය යනුවෙන් වයස පිළිබඳව නුවණින් විමසා බලා ප්‍රාණඝාත ආදී අකුසල ධර්ම නොකරමින් හිරිගුණය තමා තුළ පිහිටුවා ගත යුතුය.
සූරභාවය හෙවත් දක්ෂතාවය මුල් කරගෙන පාපකර්මයන්ගෙන් වළකින්නේ කෙසේද? පාප කර්ම දුර්වල ශරීර ඇති අය විසින් කරන දෙයකි, අදක්ෂ අය විසින් කරන දෙයකි. මා බඳු දක්ෂ වූ තැනැත්තෙක් විසින් පාපකර්ම නොකළ යුතුය, එය මට නොගැලපෙන්නේය. එසේ තමාගේ දක්ෂතාවය පිළිබඳව නුවණින් විමසා බලා ප්‍රාණඝාත ආදී පාප කර්ම නොකරමින් හිරිගුණය තමා තුළ පිහිටුවා ගත යුතුය.
බහුශ්‍රැත බව හෙවත් පණ්ඩිත බව මුල් කරගෙන පාපකර්මයෙන් වළකින්නේ කෙසේද? පාප කර්ම කිරීම, කර්මය නොදන්නා, කර්ම ඵලය නොදන්නා, කුසලය අකුසලය නොදන්නා, කුසල අකුසල විපාක නොදන්නා නූගත් අයට අයත් වූ දෙයක් වෙයි. මා වැනි උගත්තු, පණ්ඩිත වූ කෙනෙකු පාප කර්ම නොකළ යුතුය, එය මා හට නොගැලපෙන්නේය. මෙසේ සිතා බහුශ්‍රැත බව හෙවත් පණ්ඩිත බව සිහිකරමින්, නුවණින් විමසමින් ප්‍රාණඝාත ආදී පාප කර්මයන් නොකළ යුතුය; හිරිගුණය තමා තුළ පිහිටුවා ගත යුතුය. මෙසේ ආකාර හතරකින් තමා තුළ හිරිගුණය පිහිටුවා ගත යුතු බව තථාගත ධර්මය තුළ පැහැදිලි කර දෙයි.
"හිරීයති කාය දුෂ්චරිතේන, හිරීයති වචී දුෂ්චරිතේන, හිරීයති මනෝ දුෂ්චරිතේන" යනුවෙන් බොහෝ දේශනාවල කාය දුෂ්චරිතයට ලැජ්ජා වීම, වචී දුෂ්චරිතයට ලැජ්ජා වීම, මනෝ දුෂ්චරිතයට ලැජ්ජා වීම, නොයෙක් ආකාරයේ පාපකර්ම කිරීමට ලැජ්ජා වීම හිරිගුණය ලෙස සඳහන් කර ඇත.
ඔත්තප්ප ගුණය
පාපයට බයවීම ඔත්තප්ප ගුණයයි. පව් කරන තැනැත්තා ලෝකයාගෙන් නින්දා, අපහාස, චරිත ඝාතන, දඬුවම් ආදිය ලබන්නේය. එම නිසා මම පව් නොකළ යුතුය. මෙසේ සිතා පරෝපවාදයට බයෙන් පාපයෙන් වැළකීම ඔත්තප්ප ගුණයයි.
මේ ලෝකයෙහි සෘද්ධිබල සම්පන්න ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇත. උන්වහන්සේලා දිබ්බචක්ෂු ඤාණයෙන් හෝ පරචිත්තවිජානන ඥානයෙන් හෝ දුර සිටින අයද දකිති, ළඟ සිටින අයද දකිති. මා පව් කරන විට උන්වහන්සේලාට මාව පෙනිය හැකිය. උන්වහන්සේලා විසින් මාව දකිනු ඇත. එසේ දැක, "මේ තැනැත්තා පව් කරන කෙනෙකි, ලාමක හැසිරීම් ඇති කෙනෙකි" යනුවෙන් සිතති. එබැවින් මම පව් නොකළ යුතුය. යනුවෙන් සිතා පාපයෙන් වැළකීම ඔත්තප්ප ගුණයයි.
මේ ලෝකයෙහි මහත් සෘද්ධිබල සම්පන්න වූ දෙවිවරු සිටිති. එම දෙවිවරු දිබ්බචක්ෂු ඤාණයෙන් හෝ පරචිත්තවිජානන ඥානයෙන් හෝ අන් අය දකිති. ඉතා දුර සිටින අයද දකිති, ළඟ සිටින අයද දකිති. එබැවින් මම පව් කරන්නේ නම් එම දෙවිවරුනට එය දැනගත හැකිය, දෙවිවරුන්ට දැකගත හැකිය. එබැවින් මම පව් නොකරන්නෙමි, පාපයෙන් වැළකිය යුතුය. මෙසේ සිතා පාපයෙන් වැළකීම ඔත්තප්ප ගුණයයි.
පව් කරන තැනැත්තා මරණින් මතු බොහෝ දුක් ඇති නිරයෙහි උපත ලබන්නේය, තිරිසන් ආත්මභාවවල උපත ලබන්නේය, ප්‍රේත ආත්මභාවවල උපත ලබන්නේය, අසුර අපායේ උපත ලබන්නේය. එබැවින් මමද පව් කරන්නේ නම් මරණින් මතු අපාගාමී විය හැකිය. මෙසේ අපාය බය පිළිබඳව නුවණින් විමසා බලා පව් කිරීමෙන් වැළකිය යුතුය. එය ඔත්තප්ප ගුණයයි.
වීර්යය ගුණය
වීර්යය යනු උත්සාහයට නමකි. උනන්දුව යනුවෙන්ද එය හඳුන්වනු ලබයි. සම්බුද්ධ සාසනය තුළ වීර්යය යනු අකුසලය දුරු කිරීම පිණිසත් කුසලය උපදවා ගැනීම පිණිසත් කරන්නා වූ ව්‍යායාමයයි. චක්ඛුපාල තෙරුන් වහන්සේ නොනිදා ඇස් අන්දවන තෙක්ම වීර්යය කළහ. එසේ වීර්ය කොට උතුම් වූ රහත්ඵලය උපදවාගත් සේක. අතීත ශ්‍රාවකයන් විසින් කරන ලද වීර්යය පිළිබඳ ඇතුළත් චරිත නිතර සිහිකිරීමද වීර්යය ඇතිවීමට බොහෝ උපකාර වෙයි.
- නූපන්නා වූ අකුසල ධර්මයන් නූපදවීම පිණිස වීර්යය කිරීම:
මේ මොහොතේ තමාගේ සිත තුළ ක්‍රියාත්මකව නොපවතින්නා වූ ලෝභ, ද්වේෂ, මෝහ යන අකුසල ධර්මයන් සිත තුළ ඇති නොවීම පිණිස වීර්යය කිරීම, වීර්යය කළ යුතු එක් ක්‍රමයකි. මෙහිදී නූපන්නා වූ අකුසල ධර්ම වශයෙන් සලකන්නේ, මේ මොහොතේ සිත තුළ නොපවතින ලෝභ දෝස මෝහ යන්ය.
- උපන්නා වූ අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීම පිණිස වීර්යය කිරීම:
අයෝනිසෝ මනසිකාරය හෙවත් නුවණින් තොරව මෙනෙහි කිරීම තුළින් නූපන්නා වූ අකුසල ධර්ම උපදිති. එසේ සිත තුළ අකුසල ධර්මයන් උපන් කල්හි ඒවා දුරු කිරීම පිණිස වීර්යය කළ යුතුය. නිවසකට සතුරෙකු ඇතුළු වූවා යැයි සිතන්න. එම සතුරා ඉතා දුර්වල වූ කෙනෙක් නම් සතුරෙකු පැමිණි බව දැන ගැනීම් මාත්‍රයෙන්ම සතුරා නිවසින් පිටවී යනු ඇත. එසේම සිත තුළ හටගන්නා වූ ලෝභ, ද්වේෂ, මෝහ "මා තුළ දැන් ලෝභය ඇත, මා තුළ දැන් ද්වේෂය ඇත, මා තුළ දැන් මෝහය ඇත" කියා නුවණින් දැනගැනීම් මාත්‍රයෙන්ම එය යටපත් වී යන අවස්ථා තිබේ.
බලවත් සතුරෙකු නිවසට පැමිණි විට ඔහු පැමිණි බව දැනගත් පමණින් නිවසින් පිටවී යන්නේ නැත. ඔහු නිවසින් එළවා දැමීම පිණිස බලවත් උත්සාහයක්, බලවත් වීර්යයක් කළ යුතුය. ඒ ආකාරයෙන්ම බලවත් ක්ලේශ ධර්මයන් සිත තුළ හටගත් අවස්ථාවන්හිදී, බලවත් උත්සාහයකින් යුතුවම එම ක්ලේශ ධර්මයන් යටපත් කළ යුතුය. ලෝභය හෙවත් රාගය හටගත් විට ඉතා වුවමනාවෙන් අසුභය වඩා එය යටපත් කරගත හැකිය. ශරීරයෙහි පවතින කෙස්, ලොම්, නිය, දත්, සම ආදී අසුභ කොටස් තිස් දෙක, පිළිකුල් වශයෙන් මෙනෙහි කිරීමෙන් හෝ නවසීවතික අසුභ භාවනා අරමුණක සිත පිහිටුවීමෙන් හෝ රාගය යටපත් කරගත හැකිය. නොඑසේ නම් ශරීරයෙහි ඇති දෙතිස් කොටස් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් නුවණින් විමසා බැලීමෙන්ද රාගය යටපත් කරගත හැකිය.
ද්වේෂය සිත තුළ හටගත් අවස්ථාවන්හිදී පළමුවෙන්ම මෛත්‍රී සිත පුරුදු පුහුණු කළ යුතුය. මෛත්‍රියෙන් ද්වේෂය යටපත් කර ගැනීමට නොහැකි වන්නේ නම්, කරුණාවෙන් යුතුව ද්වේෂය යටපත් කරගත යුතුය. සතුරා කෙරෙහි කරුණාව උපදවා ගත යුතුය: "මේ සත්වයා කයින් පව් කොට, වචනයෙන් පව් කොට, මනසින් පව් කොට මරණින් මතු අපාගාමී වන්නේය. එබැවින් අපායේ දුක් විඳින සත්වයෙකි, මා විසින් එම සත්වයා වෙත කරුණාව දැක්විය යුතුය" අනුකම්පා කළ යුතුය . යනුවෙන් සිතා ද්වේෂය යටපත් කරගත හැකිය. කරුණාවෙන්ද ද්වේෂය යටපත් නොවන්නේ නම් උපේක්ෂාව යොදාගෙන ද්වේෂය යටපත් කර ගැනීම වටී.
උපේක්ෂාව ඇති කරගන්නා වූ ආකාර දෙකකි: සත්ව සහ සංස්කාරයන් කෙරෙහි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් මෙනෙහි කිරීමෙන්ද උපේක්ෂාවට පත්විය හැකිය. එසේම සත්ත්වයන්ගේ කර්මය සිහි කරමින් "මොහු කරන කර්මයේ විපාක මොහුටම ලැබෙන්නේය" යනුවෙන් සිතා උපේක්ෂාවට පත්විය හැකිය. උපේක්ෂාව තුළින්ද සිත තුළ හටගන්නා ද්වේෂය යටපත් කරගත හැකි බව ආඝාතපටිවිනය සූත්‍රයෙහි සඳහන්ය. උපේක්ෂාව වැඩීමෙන්ද ද්වේෂය යටපත් නොවන්නේ නම් ඉන්පසුව සතුරා ගැන සිහිකිරීම මෙනෙහි කිරීම නවතා දැමිය යුතුය. සිහි නොකිරීම 'අසති' යන නමින්ද, මෙනෙහි නොකිරීම 'අමනසිකාර' යන නමින්ද හඳුන්වයි. එයද ද්වේෂය යටපත් කර ගැනීමට ඇති ඉතා සාර්ථක වූ ක්‍රමවේදයකි. මේ සෑම දෙයක් තුළම වීර්යයම අන්තර්ගතය; මේවා වීර්යය කරන ක්‍රමවේදයෝය.
සිත තුළ මෝහය උපන් කල්හි එය නැති කර ගැනීම සඳහා ධර්ම දේශනා ශ්‍රවණය කිරීම, දහම් පොතපත කියවීම, ධර්මය දත් උගතුන් සමඟ ධර්ම සාකච්ඡා පැවැත්වීම, සැක සහිත තැන් පිළිබඳ අසා දැනගෙන සැක නිරවුල් කර ගැනීම ආදී දේ උත්සාහයෙන්, වීර්යයෙන් යුතුව කළ යුතුය. මෝහය උපදින්නේ ද අයෝනිසෝ මනසිකාරය පදනම් කරගෙනය. එබැවින් මෝහය උපදින කාරණාවන් කෙරෙහි යෝනිසෝ මනසිකාරය හෙවත් නුවණින් මෙනෙහි කිරීම බහුල කළ කල්හි නූපන්නා වූ මෝහය නූපදී, උපන්නා වූ මෝහය යටපත් කරගත හැකිය.
- නූපන්නා වූ කුසල ධර්මයන් උපදවා ගැනීම පිණිස වීර්යය කිරීම:
නූපන්නා වූ කුසල ධර්මයන් යනු අලෝභ, අද්වේෂ, අමෝහ යන කුසල මූලයන්ද, බෝධිපාක්ෂික ධර්මයන්ද, තවම උපදවාගෙන නැති සමථ විදර්ශනා භාවනා මාර්ගයන්ද වන අතර, ඒවා උපදවා ගැනීම පිණිස වීර්යය කළ යුතුය.
නූපන්නා වූ කුසල ධර්මයන් උපදවා ගැනීම ඉතා පහසු දෙයක් නොවේ; එය ඉතා දුෂ්කර වූ දෙයකි. කුසල ධර්මයන් උපදවා ගැනීමට දැඩි කැමැත්තක් ඇත්තා වූද, කුසල ධර්මයන් උපදවා ගැනීමට දැඩි වීර්යයක් ඇත්තා වූද, කුසල ධර්මයන් උපදවා ගැනීමට දැඩි අධිෂ්ඨානයක් ඇත්තා වූද, කුසල ධර්මයන් උපදවා ගැනීමට දැඩි නුවණක් ඇත්තා වූද සත්පුරුෂයෝම නූපන් කුසල ධර්මයන් උපදවා ගනිති. එසේ නැති අයට නූපන් කුසල ධර්මයන් උපදවා ගැනීම කළ නොහැකිය. සියලු කුසල ධර්මයන් සිහිය මුල් කොට පවතී. එබැවින් කුසල ධර්මයන් උපදවා ගැනීමට සති අවිප්පවාසය හෙවත් සිහිය අත්නොහැර වාසය කිරීමද අවශ්‍ය වෙයි.
- උපන්නා වූ කුසල ධර්මයන් වර්ධනය කර ගැනීම පිණිස වීර්යය කිරීම:
දැනට සිත තුළ පවතින්නා වූ අලෝභ, අද්වේෂ, අමෝහ ආදී කුසල මූලයන්ද, දැනට සිතෙහි පවතින්නා වූ බෝධිපාක්ෂික ධර්මයන් සහ සමථ විදර්ශනා භාවනා මාර්ගයන්ද යන උපන්නා වූ කුසල ධර්මයන් තව තවත් දියුණු කර ගැනීම පිණිස, වර්ධනය කර ගැනීම පිණිස, බොහෝ බවට පත් කර ගැනීම පිණිස දැඩි සේ වීර්යය කළ යුතුය.
බහුශ්‍රැත ගුණය
බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණි එක්තරා බ්‍රාහ්මණයෙක් "ස්වාමීනී, බහුශ්‍රැත වන්නේ කෙසේද? ධර්මධර වන්නේ කෙසේද?" යනුවෙන් විමසී ය. එවිට තථාගතයන් වහන්සේ එතුමන්ට මෙසේ දේශනා කළහ:
"බහු ඛෝ භික්ඛු මයා ධම්මා දේසිතා : සුත්තං ගෙය්‍යං වෙය්‍යාකරණං ගාථා උදානං ඉතිවුත්තකං ජාතකං අබ්භුතධම්මං වේදල්ලං. චතුප්පදාය චේපි භික්ඛු ගාථාය අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මපටිපන්නෝ හෝති බහුස්සුතෝ ධම්මධරෝති අලං වචනායාති."
"බ්‍රාහ්මණතුමනි, මම බොහෝ කොට ධර්මය දේශනා කරන ලද්දෙමි; සූත්‍ර ආදී නවාංග ශාස්තෘ ශාසනය දේශනා කළෙමි. යම්කිසි භික්ෂුවක් එම ධර්මයෙන් එක ගාථාවක හෝ අර්ථය දැනගෙන, ධර්මය දැනගෙන, ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි යෙදෙන්නේ නම්, ඔහු බහුශ්‍රැත වෙයි, ධර්මධර වෙයි" යනුවෙන් දේශනා කළහ.
මෙය අංගුත්තර නිකායේ බහුශ්‍රැත සූත්‍රයෙහි සඳහන් වන පාඨයකි. එම දේශනාවට අනුව තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද ගාථාවක් හෝ එක් සූත්‍ර දේශනාවක් හෝ එක් දහම් කොටසක් හෝ අර්ථය දැනගෙන හෙවත් එහි නියම අර්ථය අට්ඨකථාවන්ට අනුරූපව ඉගෙනගෙන, ධර්මය හෙවත් පාලි ධර්මය මනාකොට දැනගෙන, ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි යෙදෙන්නේ නම් ඔහු බහුශ්‍රැත වන බවද ධර්මධර වන බවද තථාගතයන් වහන්සේ දේශනා කළහ. බොහෝ කොට ධර්මය අසා ඇති තැනැත්තා සුතධර වෙයි, නොඑසේ නම් සූත්‍රධර වෙයි; එහෙත් ඔහු බහුශ්‍රැත නොවෙයි. ධර්ම කාරණාවන්ද ඒවායේ අර්ථයන්ද මනාකොට දැනගෙන පිළිවෙත් පුරන සත්පුරුෂයෝම බහුශ්‍රැත වෙති, ධර්මධර වෙති.
මජ්ඣිම නිකායේ සේඛ සූත්‍රයෙහිද බහුශ්‍රැත බව විස්තර කර ඇත:
"බහුස්සුතෝ හෝති සුතධරෝ සුතසන්නිචයෝ. යේ තේ ධම්මා ආදිකල්‍යාණා මජ්ඣේකල්‍යාණා පරියෝසානකල්‍යාණා සාත්ථා සබ්‍යඤ්ජනා කේවලපරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං අභිවදන්ති. තථාරූපාස්ස ධම්මා බහුස්සුතා හොන්ති ධතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා."
බහුශ්‍රැත වෙයි, අසන ලද දෙය ධරාගෙන සිටියි, ධර්මය රැස් කරගෙන සිටියි. මුල යහපත් වූද, මැද යහපත් වූද, අග යහපත් වූද, අර්ථ සම්පන්න වූ, ව්‍යංජන සම්පන්න වූ, සර්ව සම්පූර්ණ වූ, පිරිසිදු වූ, නිර්වාණ මාර්ගය ප්‍රකාශ කරන්නා වූ යම් ධර්මයක් වේද, එම ධර්මය බොහෝ කොට අසා ඇත, ධාරණය කරගෙන ඇත, වචනයෙන් පුරුදු පුහුණු කර ඇත, මනසින් නුවණින් බලා ඇත. එම ධර්ම කාරණාවන්ගේ අර්ථය සහ කාරණාව ප්‍රඥාවෙන් මනාකොට අවබෝධ කරගෙන ඇත. එබඳු තැනැත්තා බහුශ්‍රැත වන බව සේඛ සූත්‍රයෙහි සඳහන්ය.
ප්‍රඥා ගුණය
සම්බුද්ධ ශාසනය තුළ ප්‍රඥාව යනු නුවණට නමකි. ධර්මය බොහෝ කොට අසා දැනගෙන තිබීම ප්‍රඥාව නොවේ; එය බහුශ්‍රැත බවයි. ධර්මය අසා ඇති පමණින්ම බහුශ්‍රැත නොවේ. ධර්මානුධර්ම ප්‍රතිපදාවට අනුව පිළිවෙත් පිරීම බහුශ්‍රැත බවට අත්‍යවශ්‍ය කරුණකි. ඒ බව පෙර සඳහන් කරන ලදී. ප්‍රඥාව යනු අවබෝධයකි. කර්මය සහ කර්ම ඵලය පිළිබඳ අවබෝධය ප්‍රඥාවකි. එම ප්‍රඥාව කම්මස්සකතා ඥානය යන නමින් හඳුන්වනු ලබයි. දසවස්තුක සම්මාදිට්ඨිය යන නමින්ද හඳුන්වනු ලබයි. චතුරාර්ය සත්‍යය පිළිබඳ අවබෝධය ප්‍රඥාවකි. එම ප්‍රඥාව බුද්ධ ශාසනය තුළ පමණක් උපදවා ගැනීමට ලැබෙන ඉතා වටිනා එකකි. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය පිළිබඳ දැනුමද ප්‍රඥාවකි. එම ප්‍රඥාව ප්‍රඥා ඉන්ද්‍රිය, ප්‍රඥා බලය යන නම්වලින් හඳුන්වනු ලබයි.
"පඤ්ඤවා හෝති උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛයගාමිනියා."
පංච උපාදානස්කන්ධයෙහි ඇතිවීම නැතිවීම දකින, ආර්ය වූ, නිර්වේදය පිණිස පවතින්නා වූ, මනාකොට දුක් ගෙවා දමන්නා වූ ප්‍රඥාවෙන් යුක්ත වෙයි. (සේක සූත්‍රය)
මෙහි දක්වා ඇත්තේ පංච උපාදානස්කන්ධයෙහි ඇතිවීම නැතිවීම දකින උදයත්ථගාමිනී ප්‍රඥාවයි. ඉන් අදහස් කරන්නේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය පිළිබඳ අවබෝධයයි.
කල්‍යාණමිත්‍රයන් ආශ්‍රය කිරීමද, සද්ධර්ම ශ්‍රවණය කිරීමද, යෝනිසෝ මනසිකාරයෙහි යෙදීමද, ධර්මානුධර්ම ප්‍රතිපදාවේ යෙදීමද ප්‍රඥාව වර්ධනය වීම පිණිස උපකාර වෙයි.