පොත් ලැයිස්තුව

අසත්පුරුෂ දානයේ ලක්ෂණ

star_outline

​අසත්පුරුෂයාගේ දානය පිළිබඳව ඉතා මනහර විස්තරයක් මෙම දේශනාවෙහි සඳහන් වෙයි. අසත්පුරුෂයා දානයක් දෙන විට "අසක්කච්චං දානං දේති" යන්නෙන් සකස් නොකොට දන් දෙයි. පුද්ගලයා කෙරෙහිත්, දාන වස්තුව කෙරෙහිත් සැලකිලිමත් නොවී දන්දීම මින් අදහස් කරයි. දානය සඳහා ගන්නා හාල් වර්ගවල වී, පොතු, දහයියා, සුනු සහල් ආදිය ඉවත් නොකර, එළවළු වර්ග පිරිසිදු කිරීම් නොකර අපිළිවෙලකට, අපිරිසිදුවටම දන් දීම දාන වස්තුව කෙරෙහි සැලකිලිමත් නොවීමයි. වැඩ සිටින ආසන පිරිසිදුවට, පිළිවෙලකට සකස් නොකිරීම, දානය වළඳන භාජන පිරිසිදු නොකිරීම ආදිය පුද්ගලයා කෙරෙහි සැලකිලිමත් නොවීමයි. එසේ දෙන දානය අසත්පුරුෂ දානයකි.

​අසහත්ථා දානං දේති.

​සියතින් දන් නොදීමද අසත්පුරුෂ දානයේ ලක්ෂණයකි. තමා යටතේ සේවය කරන දැසි දස්සන්, කම්කරුවන් ලවා දන්දීම අසත්පුරුෂයන්ගේ සිරිතකි.

​අචින්තිකත්වා දානං දේති.

අචින්තිකත්වා යනු දෙන දාන වස්තුව කෙරෙහිත්, පුද්ගලයා කෙරෙහිත් ගරුසරු නැතුව දන් දීමයි.

​අපවිද්ධං දානං දේති.

මින් අදහස් කරන්නේ බැහැර කරනු කැමති දෙයක් තුඹසකට දමන්නාක් මෙන්, අකමැත්තෙන් දෙන්නාක් මෙන් දීමයි.

​අනාගමනදිට්ඨිකෝ දේති.

මින් අදහස් කරන්නේ මතු සැප විපාක බලාපොරොත්තුවක් නැතුව දන් දීමයි.

​මෙසේ අසත්පුරුෂයා අසද්ධර්මයෙන් සමන්වාගතවෙයි.

අසත්පුරුෂයා ඇසුර සහිතවද, අසත්පුරුෂ සිතුවිලි සිතමින්ද, අසත්පුරුෂ කතා කරමින්ද, අසත්පුරුෂ වචන කියමින්ද, අසත්පුරුෂ කටයුතු කරමින්ද, අසත්පුරුෂ දෘෂ්ටිය ඇතුව වාසය කරමින්ද, අසත්පුරුෂ දන් දෙමින් ජීවත්වී කය බිඳී මරණින් මතු අසත්පුරුෂයන්ගේ යම් ගතියක් වේද එහි උපත ලබයි. අසත්පුරුෂයන්ගේ ගතිය හෙවත් උපදින ස්ථානය කුමක්ද? එනම් නිරය හෝ තිරිසන් ලෝකයයි. එබැවින් අසත්පුරුෂයකු නොවී සත්පුරුෂයකු වීමට සැදැහැතියෝ වගබලා ගත යුතුය.

චූල පුන්නම සූත්‍රය ඇසුරෙන් ලියන ලද අසත්පුරුෂ විස්තරය අවසානයි...