පොත් ලැයිස්තුව

ඔත්තප්ප ගුණය

star_outline

​පාපයට බයවීම ඔත්තප්ප ගුණයයි. පව් කරන තැනැත්තා ලෝකයාගෙන් නින්දා, අපහාස, චරිත ඝාතන, දඬුවම් ආදිය ලබන්නේය. එම නිසා මම පව් නොකළ යුතුය. මෙසේ සිතා පරෝපවාදයට බයෙන් පාපයෙන් වැළකීම ඔත්තප්ප ගුණයයි.

​මේ ලෝකයෙහි සෘද්ධිබල සම්පන්න ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇත. උන්වහන්සේලා දිබ්බචක්ෂු ඤාණයෙන් හෝ පරචිත්තවිජානන ඥානයෙන් හෝ දුර සිටින අයද දකිති, ළඟ සිටින අයද දකිති. මා පව් කරන විට උන්වහන්සේලාට මාව පෙනිය හැකිය. උන්වහන්සේලා විසින් මාව දකිනු ඇත. එසේ දැක, "මේ තැනැත්තා පව් කරන කෙනෙකි, ලාමක හැසිරීම් ඇති කෙනෙකි" යනුවෙන් සිතති. එබැවින් මම පව් නොකළ යුතුය. යනුවෙන් සිතා පාපයෙන් වැළකීම ඔත්තප්ප ගුණයයි.

​මේ ලෝකයෙහි මහත් සෘද්ධිබල සම්පන්න වූ දෙවිවරු සිටිති. එම දෙවිවරු දිබ්බචක්ෂු ඤාණයෙන් හෝ පරචිත්තවිජානන ඥානයෙන් හෝ අන් අය දකිති. ඉතා දුර සිටින අයද දකිති, ළඟ සිටින අයද දකිති. එබැවින් මම පව් කරන්නේ නම් එම දෙවිවරුනට එය දැනගත හැකිය, දෙවිවරුන්ට දැකගත හැකිය. එබැවින් මම පව් නොකරන්නෙමි, පාපයෙන් වැළකිය යුතුය. මෙසේ සිතා පාපයෙන් වැළකීම ඔත්තප්ප ගුණයයි.

​පව් කරන තැනැත්තා මරණින් මතු බොහෝ දුක් ඇති නිරයෙහි උපත ලබන්නේය, තිරිසන් ආත්මභාවවල උපත ලබන්නේය, ප්‍රේත ආත්මභාවවල උපත ලබන්නේය, අසුර අපායේ උපත ලබන්නේය. එබැවින් මමද පව් කරන්නේ නම් මරණින් මතු අපාගාමී විය හැකිය. මෙසේ අපාය බය පිළිබඳව නුවණින් විමසා බලා පව් කිරීමෙන් වැළකිය යුතුය. එය ඔත්තප්ප ගුණයයි.