ප්‍රතිපක්ෂ ධර්ම මැඩලන අර්ථයෙන් බලය නම් වෙයි. සද්ධාවට ප්‍රතිපක්ෂ හෙවත් විරුද්ධ ධර්මය අස්සද්ධාවයි. අස්සද්ධාව මැඩලන බැවින් සද්ධාව බලයකි. සද්ධාව බලවත් වූ කල්හි, දියුණු වූ කල්හි අස්සද්ධාව යටපත් කළ හැකිය. එබැවින් බලවත් වූ සද්ධාව ශ්‍රද්ධා බලය නමින් හඳුන්වනු ලබයි.
වීරිය බලය: වීර්යයට ප්‍රතිපක්ෂ ධර්මය කුසීතකමයි. කුසීත බව මැඩලීමට සමර්ථ වූ බලවත් වීර්යයම වීරිය බලය නමින් හඳුන්වයි.
සති බලය: සිහියට ප්‍රතිපක්ෂ හෙවත් විරුද්ධ වූ ධර්මය අසිහිය (මුට්ඨසච්චය) නම් වෙයි. අසිහිය මැඩපවත්වන්නට තරම් බලවත් වූ සතිය සති බලය නමින් හඳුන්වයි.
සමාධි බලය: සමාධියට ප්‍රතිපක්ෂ වූ හෙවත් විරුද්ධ වූ ධර්මය අසමාහිත බවයි (වික්ඛේපයයි). අසමාහිත බව යටපත් කිරීමට තරම්, මැඩලීමට තරම් බලවත් වූ සමාධිය සමාධි බලයයි.
ප්‍රඥා බලය: ප්‍රඥාවට ප්‍රතිපක්ෂ වූ විරුද්ධ වූ ධර්මය ප්‍රඥාව නැතිකම හෙවත් දුෂ්ප්‍රාඥ බවයි (අවිද්‍යාවයි). දුස්ප්‍රාඥ බව මැඩලීමට සමර්ථ වූ, බලසම්පන්න වූ ප්‍රඥාව ප්‍රඥා බලයයි.
බල ධර්මයන් ක්‍රියාත්මක වන ස්වභාවය
ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥානය හෙවත් සියල්ල දන්නා නුවණ ඇදහීම ශ්‍රද්ධාවයි. එම සද්ධාව බලවත් වූ කල්හි බල ධර්මයක් ලෙස ක්‍රියාත්මක වෙයි; බල ධර්මයක් ලෙස හඳුන්වයි.
සතර සම්‍යක් ප්‍රධාන වීර්යය වීරිය බලයයි. අකුසල ධර්මයන් ප්‍රහාණය කොට, කුසල ධර්මයන් උපදවා ගැනීම පිණිස ස්ථීර වූ (ථාමවා), දැඩි වූ (දළ්හ), ප්‍රබල වීර්යයක (පරක්කමෝ) යෙදෙයි නම්, කුසල ධර්මයන්හි අත්නොහරින වීර්යයක (අනික්ඛිත්තධුරෝ කුසලේසු ධම්මේසු) යෙදෙයි නම් එය වීරිය බලය නමින් හඳුන්වයි.
සිහියෙන් සහ නුවණින් හෙවත් සතිනේපක්කං ගුණයෙන් යුක්ත වීම සති බලයයි. එම සති බලය ඇති තැනැත්තාට "චිරකතම්පි චිරභාසිතම්පි සරිතා අනුස්සරිතා" යනුවෙන් දක්වා ඇති පරිදි, පෙර කියන ලද දෙය ද පෙර කරන ලද දෙය ද මනාකොට සිහිපත් කර ගැනීමේ හැකියාවක් පවතී. එම සතිය බලවත් වූ කල්හි සති බලය නමින් හඳුන්වයි.
"වොස්සග්ගාරම්මණං නිස්සාය සමාධිං ලභති චිත්තස්ස ඒකග්ගතං" යනුවෙන් නිවණ අරමුණු කරගෙන භාවනා වඩා සමාධියක් ලබයි නම්, සිතෙහි එකඟ බවක් ලබයි නම් එය සමාධිය වන බව දක්වා ඇත. එම සමාධියම බලවත් වන බැවින් සමාධි බලය යනුවෙන් හඳුන්වනු ලබයි.
විශේෂයෙන් ප්‍රඥාව කියා හඳුන්වන්නේ උදයක්ඛගාමිනී ප්‍රඥාවයි. හෙවත් පංච උපාදානස්කන්ධයෙහි ඇති වීම නැති වීම දකින නුවණයි. බලවත් වූ එම උදයව්‍යය ඥානය හෙවත් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම දකින විදර්ශනා නුවණ ප්‍රඥා බලය නමින් හඳුන්වනු ලබයි.