තථාගත බුදුරජාණන් වහන්සේ සාකේත නුවර අංජන වනයේදී මෙම දේශනාව වදාළ සේක. එහිදී, "මහණෙනි, පංච ඉන්ද්‍රිය ධර්ම පංච බල බවට පත්වෙන පරියායක් හෙවත් ක්‍රමයක් ඇතැයි" දේශනා කළහ. එසේම, "පංච බල ධර්ම පංච ඉන්ද්‍රිය බවට පත්වෙන ක්‍රමයක් ඇතැයි" ද දේශනා කළහ.
එහිදී උන්වහන්සේ සද්ධා ඉන්ද්‍රියම ශ්‍රද්ධා බලය වන බවත්, වීරිය ඉන්ද්‍රියම වීරිය බලය වන බවත්, වීරිය බලය වීරිය ඉන්ද්‍රිය වන බවත්, සති ඉන්ද්‍රිය සතිබලය වන බවත්, සති බලය . සති ඉන්ද්‍රිය වන බවත්, සමාධි ඉන්ද්‍රිය සමාධි බලය වන බවත්, සමාධි බලය සමාධි ඉන්ද්‍රිය වන බවත්, ප්‍රඥා ඉන්ද්‍රියම ප්‍රඥා බලය වන බවත්, ප්‍රඥා බලයම ප්‍රඥා ඉන්ද්‍රිය වන බවත් දැක්වූහ.
ගංගා නදියේ උපමාව:
ගංගා නම් ගඟෙහි මැද දූපතක් ඇත. කැමති කෙනෙකුට ඒ දූපත නොසලකා හැර "මේ ගංගා ගඟය" යැයි කීමට පුළුවන, එහි වරදක් නැත. කැමති කෙනෙකුට "මේ දූපතේ දකුණු පැත්තෙන් ගලන ගඟය, මේ දූපතේ වම් පැත්තෙන් ගලන ගඟය" කියා කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය.
එසේම කැමති කෙනෙකුට ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියා කියන්නටත් පුළුවන. කැමති කෙනෙකුට ඒවාට "ඉන්ද්‍රිය" යන නමත්, කැමති කෙනෙකුට "බලය" යන නමත් භාවිතා කළ හැකි බව සර්වඥයන් වහන්සේ පැහැදිලි කර දුන්හ. ඒ අනුව බල ධර්ම යනු ඉන්ද්‍රිය ධර්මයන්ටම කියන තවත් නාමයන් බව තේරුම් ගැනීම වටී.