පොත් ලැයිස්තුව

පස්වන පටිපදා සූත්‍රය.

star_outline

අංගුත්තර නිකාය තික නිපාතය.

බද්ධ ජයන්ති පිටු: 536

තිස්සෝ ඉමා භික්ඛවේ පටිපදා. කතමා තිස්සෝ? ආගාළ්හා පටිපදා, නිජ්ඣමා පටිපදා, මජ්ඣිමා පටිපදා.

මහණෙනි, ප්‍රතිපදා තුනකි: ආගාළ්හ ප්‍රතිපදාව, නිජ්ඣමා ප්‍රතිපදාව, මධ්‍යම ප්‍රතිපදාව.

මෙහි පළමු ප්‍රතිපදා දෙක පළමුවන පටිපදා සූත්‍රයෙහි විස්තර කළ පරිද්දෙන්මය. මධ්‍යම ප්‍රතිපදාව ලෙස සඳහන් කර ඇත්තේ පංච බල ධර්ම වැඩීමයි.

සද්ධාබලං භාවේති, විරියබලං භාවේති, සතිබලං භාවේති, සමාධිබලං භාවේති, පඤ්ඤාබලං භාවේති.

සද්ධා බලය වඩයි. වීර්ය බලය වඩයි. සති බලය වඩයි. සමාධි බලය වඩයි. ප්‍රඥා බලය වඩයි.

පංච බල ධර්ම

අකම්පියට්ඨේන පන බලං වේදිතබ්බං. කම්පා නොවන අර්ථයෙන් බලය යැයි කියනු ලැබේ.

  1. අස්සද්ධියේන න කම්පතීති සද්ධාබලං. අස්සද්ධාවෙන් කම්පා නොවන බැවින් සද්ධා බලය යැයි කියනු ලැබේ.
  2. කෝසජ්ජේන න කම්පතීති විරියබලං. කුසීත බවින් කම්පා නොවන බැවින් වීර්ය බලය යැයි කියනු ලැබේ.
  3. මුට්ඨසච්චේන න කම්පතීති සතිබලං. සිහිමුලාවෙන් කම්පා නොවන බැවින් සති බලය යැයි කියනු ලැබේ.
  4. උද්ධච්චේන න කම්පතීති සමාධිබලං. සිතේ විසුරුණු බවින් කම්පා නොවන බැවින් සමාධි බලය යැයි කියනු ලැබේ.
  5. අවිජ්ජාය න කම්පතීති පඤ්ඤාබලං. අවිද්‍යාවෙන් කම්පා නොවන බැවින් ප්‍රඥා බලය යැයි කියනු ලැබේ. (ධම්මසංගණී ප්‍රකරණ අට්ඨකථා, 128 පිටුව, හේවාවිතාරණ මුද්‍රණය)

සද්ධාව, වීර්යය, සති, සමාධි, ප්‍රඥා යන වචන හතරවන පටිපදා සූත්‍ර විස්තරයේදී පැහැදිලි කරන ලදී. ශ්‍රද්ධා ආදී ඉන්ද්‍රිය ධර්ම පහ බල ධර්ම බවට පත්වෙයි; එම බල ධර්ම පහම ඉන්ද්‍රිය බවටද පත්වෙයි. ඉන්ද්‍රිය ධර්මම බල ධර්ම යනුවෙන් හඳුන්වන බව ද බල ධර්ම ඉන්ද්‍රිය ධර්මය යනුවෙන් හඳුන්වන බව ද , ඉන්ද්‍රිය සංයුත්තයෙහි සඳහන්ය.

පංච බල ධර්ම

ප්‍රතිපක්ෂ ධර්ම මැඩලන අර්ථයෙන් බලය නම් වෙයි. සද්ධාවට ප්‍රතිපක්ෂ හෙවත් විරුද්ධ ධර්මය අස්සද්ධාවයි. අස්සද්ධාව මැඩලන බැවින් සද්ධාව බලයකි. සද්ධාව බලවත් වූ කල්හි, දියුණු වූ කල්හි අස්සද්ධාව යටපත් කළ හැකිය. එබැවින් බලවත් වූ සද්ධාව ශ්‍රද්ධා බලය නමින් හඳුන්වනු ලබයි.

වීරිය බලය: වීර්යයට ප්‍රතිපක්ෂ ධර්මය කුසීතකමයි. කුසීත බව මැඩලීමට සමර්ථ වූ බලවත් වීර්යයම වීරිය බලය නමින් හඳුන්වයි.

සති බලය: සිහියට ප්‍රතිපක්ෂ හෙවත් විරුද්ධ වූ ධර්මය අසිහිය (මුට්ඨසච්චය) නම් වෙයි. අසිහිය මැඩපවත්වන්නට තරම් බලවත් වූ සතිය සති බලය නමින් හඳුන්වයි.

සමාධි බලය: සමාධියට ප්‍රතිපක්ෂ වූ හෙවත් විරුද්ධ වූ ධර්මය අසමාහිත බවයි (වික්ඛේපයයි). අසමාහිත බව යටපත් කිරීමට තරම්, මැඩලීමට තරම් බලවත් වූ සමාධිය සමාධි බලයයි.

ප්‍රඥා බලය: ප්‍රඥාවට ප්‍රතිපක්ෂ වූ විරුද්ධ වූ ධර්මය ප්‍රඥාව නැතිකම හෙවත් දුෂ්ප්‍රාඥ බවයි (අවිද්‍යාවයි). දුස්ප්‍රාඥ බව මැඩලීමට සමර්ථ වූ, බලසම්පන්න වූ ප්‍රඥාව ප්‍රඥා බලයයි.

බල ධර්මයන් ක්‍රියාත්මක වන ස්වභාවය

ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥානය හෙවත් සියල්ල දන්නා නුවණ ඇදහීම ශ්‍රද්ධාවයි. එම සද්ධාව බලවත් වූ කල්හි බල ධර්මයක් ලෙස ක්‍රියාත්මක වෙයි; බල ධර්මයක් ලෙස හඳුන්වයි.

සතර සම්‍යක් ප්‍රධාන වීර්යය වීරිය බලයයි. අකුසල ධර්මයන් ප්‍රහාණය කොට, කුසල ධර්මයන් උපදවා ගැනීම පිණිස ස්ථීර වූ (ථාමවා), දැඩි වූ (දළ්හ), ප්‍රබල වීර්යයක (පරක්කමෝ) යෙදෙයි නම්, කුසල ධර්මයන්හි අත්නොහරින වීර්යයක (අනික්ඛිත්තධුරෝ කුසලේසු ධම්මේසු) යෙදෙයි නම් එය වීරිය බලය නමින් හඳුන්වයි.

සිහියෙන් සහ නුවණින් හෙවත් සතිනේපක්කං ගුණයෙන් යුක්ත වීම සති බලයයි. එම සති බලය ඇති තැනැත්තාට "චිරකතම්පි චිරභාසිතම්පි සරිතා අනුස්සරිතා" යනුවෙන් දක්වා ඇති පරිදි, පෙර කියන ලද දෙය ද පෙර කරන ලද දෙය ද මනාකොට සිහිපත් කර ගැනීමේ හැකියාවක් පවතී. එම සතිය බලවත් වූ කල්හි සති බලය නමින් හඳුන්වයි.

"වොස්සග්ගාරම්මණං නිස්සාය සමාධිං ලභති චිත්තස්ස ඒකග්ගතං" යනුවෙන් නිවණ අරමුණු කරගෙන භාවනා වඩා සමාධියක් ලබයි නම්, සිතෙහි එකඟ බවක් ලබයි නම් එය සමාධිය වන බව දක්වා ඇත. එම සමාධියම බලවත් වන බැවින් සමාධි බලය යනුවෙන් හඳුන්වනු ලබයි.

විශේෂයෙන් ප්‍රඥාව කියා හඳුන්වන්නේ උදයක්ඛගාමිනී ප්‍රඥාවයි. හෙවත් පංච උපාදානස්කන්ධයෙහි ඇති වීම නැති වීම දකින නුවණයි. බලවත් වූ එම උදයව්‍යය ඥානය හෙවත් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම දකින විදර්ශනා නුවණ ප්‍රඥා බලය නමින් හඳුන්වනු ලබයි.

සාකේත සූත්‍රය

තථාගත බුදුරජාණන් වහන්සේ සාකේත නුවර අංජන වනයේදී මෙම දේශනාව වදාළ සේක. එහිදී, "මහණෙනි, පංච ඉන්ද්‍රිය ධර්ම පංච බල බවට පත්වෙන පරියායක් හෙවත් ක්‍රමයක් ඇතැයි" දේශනා කළහ. එසේම, "පංච බල ධර්ම පංච ඉන්ද්‍රිය බවට පත්වෙන ක්‍රමයක් ඇතැයි" ද දේශනා කළහ.

එහිදී උන්වහන්සේ සද්ධා ඉන්ද්‍රියම ශ්‍රද්ධා බලය වන බවත්, වීරිය ඉන්ද්‍රියම වීරිය බලය වන බවත්, වීරිය බලය වීරිය ඉන්ද්‍රිය වන බවත්, සති ඉන්ද්‍රිය සතිබලය වන බවත්, සති බලය . සති ඉන්ද්‍රිය වන බවත්, සමාධි ඉන්ද්‍රිය සමාධි බලය වන බවත්, සමාධි බලය සමාධි ඉන්ද්‍රිය වන බවත්, ප්‍රඥා ඉන්ද්‍රියම ප්‍රඥා බලය වන බවත්, ප්‍රඥා බලයම ප්‍රඥා ඉන්ද්‍රිය වන බවත් දැක්වූහ.

ගංගා නදියේ උපමාව:

ගංගා නම් ගඟෙහි මැද දූපතක් ඇත. කැමති කෙනෙකුට ඒ දූපත නොසලකා හැර "මේ ගංගා ගඟය" යැයි කීමට පුළුවන, එහි වරදක් නැත. කැමති කෙනෙකුට "මේ දූපතේ දකුණු පැත්තෙන් ගලන ගඟය, මේ දූපතේ වම් පැත්තෙන් ගලන ගඟය" කියා කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය.

එසේම කැමති කෙනෙකුට ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියා කියන්නටත් පුළුවන. කැමති කෙනෙකුට ඒවාට "ඉන්ද්‍රිය" යන නමත්, කැමති කෙනෙකුට "බලය" යන නමත් භාවිතා කළ හැකි බව සර්වඥයන් වහන්සේ පැහැදිලි කර දුන්හ. ඒ අනුව බල ධර්ම යනු ඉන්ද්‍රිය ධර්මයන්ටම කියන තවත් නාමයන් බව තේරුම් ගැනීම වටී.