පොත් ලැයිස්තුව

සමණානඤ්ච දස්සනං (පැවිදි උතුමන් දැකීම)

star_outline

​සංසිඳුවා ගන්නා ලද ක්ලේශ ධර්මයන් ඇති, කය වචනය සිතින් සංවර වූ, ප්‍රඥාවන්ත පැවිදි උතුමන් වහන්සේලා වෙත ගෞරවයෙන් පැමිණිය යුතුය. උන්වහන්සේලාට පසඟ පිහිටුවා වන්දනාමාන කළ යුතුය. වත්පිළිවෙත් කළ යුතුය. සිව්පසයෙන් ඇප උපස්ථාන කළ යුතුය. උන්වහන්සේලා විසින් දේශනා කරන ධර්මය ආදරයෙන් හා ගෞරවයෙන් යුතුව ශ්‍රවණය කළ යුතුය. මේ සියල්ලම ශ්‍රමණ දර්ශනයට ඇතුළත්ය.

​යම්කිසි උපාසක කෙනෙකුට හෝ උපාසිකාවකට භික්ෂුවක් දක්නට ලැබුණහොත් වහා හුනස්නෙන් නැගිටිය යුතුය; ගෞරව කළ යුතුය. උන්වහන්සේලාට පිදිය යුතු යමක් ඇත්නම් පිදිය යුතුය. පිදීමට යමක් නැත්නම් පසඟ පිහිටුවා වන්දනා කළ යුතුය. එසේ කිරීමට අවකාශ නොවේ නම් දෑත් දොහොත් මුදුන් දී ගෞරවයෙන් වැඳිය යුතුය. සිත පහදවා ගත යුතුය. මේ සෑම ගුණයක්ම තමාගේ යහපතට හේතු වන මහේසාක්‍ය කුසල ධර්මයන්ය.

සමණානඤ්ච දස්සනං (පැවිදි උතුමන් දැකීම - ආනිසංස)

​ආදරයෙන් ගෞරවයෙන් යුතුව භික්ෂුවක් දෙස දෙනෙත් හැර බලන්නේ නම්, ඒ මහා කුසලයේ බලයෙන් කල්ප ලක්ෂයක් යන තෙක් ඇසෙහි රෝගයක් හෝ දැවිල්ලක් හෝ ඉදිමීමක් හෝ පිළිකාවක් හෝ හටගන්නේ නැත. ඉතා ප්‍රසන්න වූ, පංච වර්ණයෙන් සශ්‍රීක වූ රුවන් විමනක ගලවා දැමූ මැණික් කවුළුවක් වැනි වේ යැයි අටුවාවේ සඳහන්ය. භික්ෂූන් වහන්සේලා දෙස ගෞරවයෙන් බැලීම කල්ප ලක්ෂයක් දෙවියන් අතරද, මිනිසුන් අතරද සියලු සම්පත් ලැබීමට හේතු වන මහේසාක්‍ය පිනකි.

​එබැවින් ප්‍රඥාවන්ත වූ මනුස්සයෝ ආදරයෙන් ගෞරවයෙන් ශ්‍රමණ දර්ශනය සිදු කරන්නේය. තිරිසන් ගත සතෙකුට පවා පැවිද්දන් දැකීමෙන් ඇති වන්නා වූ ප්‍රසාදය බොහෝ කලක් යහපත පිණිස පවතින්නේය.