යම්කිසි කෙනෙකු අවවාදයක් ලබාදෙන කල්හි, අනුශාසනාවක් කරන කල්හි හෝ කරුණු සහිතව යමක් පැහැදිලි කර දෙන කල්හි, සිත වික්ෂේපයට පත් කර නොගෙන, තරහෙන් හෝ වෛරයෙන් යුතුව නිහඬව සිටින්නේ නැතිව, ගුණදොස් විවේචනය කරන්නේ නැතිව, ආදරයෙන් හා ගෞරවයෙන් යුතුව එම අවවාද අනුශාසනා පිළිගන්නා ස්වභාවය "සෝවචස්සතා" හෙවත් සුවච කීකරු බවයි.
මෙම උදාර ගුණය ඇති කල්හි තමාට බොහෝ සේ අවවාද අනුශාසනා ලැබෙන්නේය. කල්‍යාණ මිත්‍රයන්ගේ අනුග්‍රහය සහ උපකාරය ලැබෙන්නේය. තමා තුළ පවතින අඩුපාඩු සකස් කර ගැනීමට අවකාශ සැලසෙන්නේය. එය මාර්ගඵල නිවන දක්වාම උපකාර වන උතුම් මංගල කාරණාවකි.