"සීතස්ස ඛමෝ හෝති, උණ්හස්ස ඛමෝ හෝති, ජිඝච්ඡාය පිපාසාය ඛමෝ හෝති, ඩංස-මකස-වාතාතප-සිරීසප-සම්ඵස්සානං ඛමෝ හෝති, දුරුත්තානං දුරාගතානං වචනපථානං ඛමෝ හෝති, උප්පන්නානං සාරීරිකානං වේදනානං දුක්ඛානං තිප්පානං ඛරානං කටුකානං අමනාපානං පාණහරානං අධිවාසකජාතිකෝ හෝති."
සම්බුද්ධ ශ්‍රාවකයකු විසින් ඉවසිය යුතු දේවල් බොහෝ තිබේ. සීතල ඉවසිය යුතුය. උෂ්ණත්වය ඉවසිය යුතුය. කුසගින්න සහ පිපාසය ඉවසිය යුතුය. ඇටමැස්සන්ගෙන් වන පීඩා, මදුරුවන්ගෙන් වන පීඩා, සුළඟින් වන පීඩා, අව්වෙන් වන පීඩා සහ සර්පයන්ගෙන් වන පීඩා ද ඉවසිය යුතුය. නපුරු සේ කියන ලද, නපුරු සේ පැමිණෙන ලද දරුණු වචන ද ඉවසිය යුතුය. දුක් වූ, තියුණු වූ, කරකස වූ, කටුක වූ, ප්‍රාණය නැති කරන්නා වූ තරම් දරුණු වේදනාවන්ද ඉවසිය යුතුය.
මෙහි ඉවසීම යනුවෙන් සඳහන් කරන්නේ කෙලෙස් නූපදවා ගනිමින් ඉවසීමයි. එසේ ඉවසීම තුළින් නොයිවසන කෙනාට ඇති වන්නා වූ යම් කාමාශ්‍රව, භවාශ්‍රව, දිට්ඨාශ්‍රව හා අවිජ්ජාශ්‍රව වේ නම්, ඉවසන කෙනාට එම ආශ්‍රව ධර්මයෝ යටපත් වී යති.