පොත් ලැයිස්තුව

කතඤ්ඤුතා (කළගුණ දන්නා බව)

star_outline

​තමා උදෙසා යම්කිසි කෙනෙක් ස්වල්ප උපකාරයක් හෝ මහත් උපකාරයක් හෝ කරන ලද්දේ නම්, එම උපකාරය නැවත නැවතත් සිහිකරමින් එය දැනගැනීම "කළගුණ දන්නා බව"යි.

කළගුණ සැලකීම බුදු දහම තුළ ඉතා අගය කරන ලද උදාර ගුණයකි. තමන් වහන්සේ බුද්ධත්වයට පත්වීමට සෙවණින් පිහිට, ආධාර වූ බෝධීන් වහන්සේ දෙස ඇසිපිය නොහෙළා සතියක් බලා සිටිමින් (අනිමිසලෝචන පූජාව), කළගුණ සැලකීමේ වටිනාකම තථාගතයන් වහන්සේ ආදර්ශයෙන්ම තම ශ්‍රාවකයින්ට ඉගැන්නූහ.

​එසේම, බුදුරජාණන් වහන්සේ මව්පියන් විසින් කරන ලද උපකාරවලට ප්‍රතිඋපකාර කිරීම පිණිස මහ රහතන් වහන්සේලා පිරිවරා කිඹුල්වත් නුවරට වැඩම කළ සේක. එහි වස් කාලයක් වැඩ සිටිමින් තම ඥාතීන්ට ධර්ම සංග්‍රහ සිදු කළහ. දෙව්ලොව වැඩ සිටි ආදරණීය මවුතුමිය උදෙසා ද, මහා මායා දිව්‍ය පුත්‍රයාට අභිධර්මය දේශනා කිරීම පිණිස තව්තිසා දෙව්ලොවට වැඩම කළ සේක.

​කෙනෙක් මිය පරලොව ගිය පසු පින්දීම ද කළගුණ සැලකීමේ ගුණයකි. ප්‍රේත ලෝකය ආදී දුක්ඛිත ස්ථානයන්හි උපත ලද විට පින බොහෝ උපකාර වන්නේය. එබැවින් ජීවත්වන සත්පුරුෂයෝ මියගිය අයගේ ගුණ සිහිකොට පින්කම් කරමින් ඔවුන්ට පින් අනුමෝදන් කරවති. එය ද උදාර වූ කළගුණ සැලකීමේ ගුණයකි.