ගාරවෝ ච නිවාතෝ ච - සන්තුට්ඨී ච කතඤ්ඤුතා
කාලේන ධම්මස්සවනං - ඒතං මංගල මුත්තමං
පරිවර්තනය:
ගාරවෝ ච: ගරු කළ යුත්තන්ට ගරු කිරීමද,
නිවාතෝ ච: යටහත් පැවතුම් (විනීත බව) ඇති බවද,
සන්තුට්ඨී ච: ලද දෙයින් සතුටු වීමද,
කතඤ්ඤුතා: කළගුණ දන්නා බවද,
කාලේන ධම්මස්සවනං: සුදුසු කාලයෙහි ධර්ම ශ්‍රවණය කිරීමද,
ඒතං මංගල මුත්තමං: යන මේවා උතුම් මංගල කාරණයෝ වෙති.
ගාරවෝ ච (ගරු කළ යුත්තන්ට ගරු කිරීම)
ගරු කළ යුතු උතුමෝ ලෝකයෙහි වෙති. ඒ බුදු, පසේබුදු, මහරහතන් වහන්සේලාය. එසේම සෙසු ආර්ය පුද්ගලයෝද, සිල්වත් ගුණවත් පැවිදි උතුමෝද, සිල්වත් ගුණවත් උපාසක උපාසිකාවෝද, මව්පිය ගුරුවරුන්ද, වැඩිහිටි ස්ත්‍රී පුරුෂයෝද ගරු කළ යුතු උතුමන් අතර වෙති. ගරු කළ යුතු උතුමන්ට ගරු කිරීම උදාර වූ කුසලයකි.
ගරු කළ යුතු කෙනාට ගරු කරන්නේ නම්, වත් පිළිවෙත් කළ යුතු කෙනාට වත් පිළිවෙත් කරයි නම්, පිදිය යුතු කෙනාට පුදයි නම්, ඔහු එම කුසල කර්මය හේතුවෙන් මරණින් මතු සුගතියෙහි උපත ලබයි. සුගතියෙහි නූපදින්නේ නම්, යළි මිනිස් ලොව උපත ලබන විට ඉතා උසස් කුලවල උපදී. මෙය චූලකම්ම විභංග සූත්‍රයෙහි බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ සත්‍යයකි.
අපරිහානිය සූත්‍රය.
මෙම සූත්‍රයේ අඩංගු ගරු කළ යුතු හා රැකිය යුතු අපරිහානීය ධර්ම හත පහත පරිදි දැක්වේ:
සත්ථුගාරවතා: ශාස්තෘන් වහන්සේට (බුදුරජාණන් වහන්සේට) ගරු කිරීම.
ධම්මගාරවතා: ධර්මයට ගරු කිරීම.
සංඝගාරවතා: ආර්ය සංඝයාට ගරු කිරීම.
සික්ඛාගාරවතා: ශික්ෂා පදවලට ගරු කිරීම.
සමධිගාරවතා: සමාධියට (භාවනාවට) ගරු කිරීම.
අප්පමාදගාරවතා: අප්‍රමාදීව (සිහියෙන්) වාසය කිරීමට ගරු කිරීම.
පටිසන්ථාරගාරවතා: භාවනාවේ ඇලීසිටීමට ගරු කිරීම.
මෙම ධර්මයන් පිළිපැදීමෙන් කිසිවිටෙකත් පිරිහීමක් සිදු නොවන බව බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත.
..අංගුත්තර නිකාය..
නිවාතෝ ච (නිවාත ගුණය)
නීචමනතා: යටහත් මනසක් ඇති බව.
නීචවුත්තිතා: යටහත් පැවතුම් ඇති බව.
නිවාත වුත්තිතා:
යම් ගුණයන්ගෙන් යුතු පුද්ගලයෙක් මානය දුරු කොට වාසය කරයි නම්, නිහතමානීව වාසය කරයි නම්, පාපිස්සක් මෙන් අනතිමානී වේද (කිසිවෙකුට පහරක් නොගසන), බිඳී ගිය අඟ ඇති ගවයකු මෙන් අනතිමානී වේද, විස දළ ඉවත් කරන ලද සර්පයෙකු සේ අනතිමානී වේද, මෘදු ගුණයන්ගෙන් යුක්ත වේද, මෘදු මොළොක් වචන කතා කරයිද, සුවදායක වචන කතා කරයිද, ඔහු "නිවාත" නම් වෙයි.
ඒ උතුම් නිවාත ගුණය ලාභ, කීර්ති, ප්‍රශංසා ආදී අප්‍රමාණ ආනිශංස ගෙන දීමට සමර්ථය. එබැවින් මෙය උතුම් මංගල කාරණාවකි.
සන්තුට්ඨී ගුණය (ලද දෙයින් සතුටු වීම)
ජීවත්වීම සඳහා අනිවාර්යයෙන්ම අවශ්‍ය වන ප්‍රධාන කාරණා හතරකි. ඒවා නම් ඇඳුම් පැළඳුම්, ආහාරපාන, නිවාස හා ගෘහ උපකරණ සහ බෙහෙත් හේත් ය. තමාට දැනට පවතින ඇඳුම් පැළඳුම් ආදියෙන් සතුටට පත්වීම "සන්තුට්ඨි ගුණය"යි. එම ගුණය ඇති තැනැත්තා තමාගේ ඇඳුම වටිනා එකක් වුවත්, නොවටිනා එකක් වුවත් ඒ පිළිබඳව කම්පනයකට පත් නොවේ.
එසේම, තමාට ලැබී ඇති ආහාර පානයෙන් සතුටට පත්වීමත්, "වෙනත් උසස් වූ, ප්‍රණීත වූ ආහාරපාන තිබුණා නම් යහපතැයි" යනුවෙන් නොසිතා ලද දෙයින් සතුටු වීමත් මෙම ගුණයට අයත් වේ. තමා සතුව පවතින නිවස තුළින් ද, ගෘහ උපකරණ තුළින් ද සතුටට පත්වීම සන්තුට්ඨි ගුණයයි. තමාට හැකියාව ඇති ආකාරයට බෙහෙත් හේත් ලබාගෙන එයින් සතුටු වීම ද සන්තුට්ඨි ගුණය ලෙස හැඳින්වේ.
කතඤ්ඤුතා (කළගුණ දන්නා බව)
තමා උදෙසා යම්කිසි කෙනෙක් ස්වල්ප උපකාරයක් හෝ මහත් උපකාරයක් හෝ කරන ලද්දේ නම්, එම උපකාරය නැවත නැවතත් සිහිකරමින් එය දැනගැනීම "කළගුණ දන්නා බව"යි.
කළගුණ සැලකීම බුදු දහම තුළ ඉතා අගය කරන ලද උදාර ගුණයකි. තමන් වහන්සේ බුද්ධත්වයට පත්වීමට සෙවණින් පිහිට, ආධාර වූ බෝධීන් වහන්සේ දෙස ඇසිපිය නොහෙළා සතියක් බලා සිටිමින් (අනිමිසලෝචන පූජාව), කළගුණ සැලකීමේ වටිනාකම තථාගතයන් වහන්සේ ආදර්ශයෙන්ම තම ශ්‍රාවකයින්ට ඉගැන්නූහ.
එසේම, බුදුරජාණන් වහන්සේ මව්පියන් විසින් කරන ලද උපකාරවලට ප්‍රතිඋපකාර කිරීම පිණිස මහ රහතන් වහන්සේලා පිරිවරා කිඹුල්වත් නුවරට වැඩම කළ සේක. එහි වස් කාලයක් වැඩ සිටිමින් තම ඥාතීන්ට ධර්ම සංග්‍රහ සිදු කළහ. දෙව්ලොව වැඩ සිටි ආදරණීය මවුතුමිය උදෙසා ද, මහා මායා දිව්‍ය පුත්‍රයාට අභිධර්මය දේශනා කිරීම පිණිස තව්තිසා දෙව්ලොවට වැඩම කළ සේක.
කෙනෙක් මිය පරලොව ගිය පසු පින්දීම ද කළගුණ සැලකීමේ ගුණයකි. ප්‍රේත ලෝකය ආදී දුක්ඛිත ස්ථානයන්හි උපත ලද විට පින බොහෝ උපකාර වන්නේය. එබැවින් ජීවත්වන සත්පුරුෂයෝ මියගිය අයගේ ගුණ සිහිකොට පින්කම් කරමින් ඔවුන්ට පින් අනුමෝදන් කරවති. එය ද උදාර වූ කළගුණ සැලකීමේ ගුණයකි.
කතඤ්ඤුතා ගුණයෙහි අගය
බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සේක:
"ද්වේ මේ භික්ඛවේ පුග්ගලා දුල්ලභා ලෝකස්මිං. කතමේ දේ? යෝ ච පුබ්බකාරී, යෝ ච කතඤ්ඤු කතවේදී."
මහණෙනි, පුද්ගලයෝ දෙදෙනෙක් මේ ලෝකයෙහි දුර්ලභ වෙති. කවර දෙදෙනෙක්ද? පළමුව උපකාර කරන පුද්ගලයාද, කළ උපකාරය දැන එයට කෘතගුණ දක්වන පුද්ගලයාද යන දෙදෙනාය.
මෙසේ කළගුණ දන්නා බව, මෙලොව දී කීර්ති ප්‍රශංසා ලැබීමටත්, සසර ගමනේදී කල්‍යාණ මිත්‍ර සම්පත් ලැබීමටත්, ආදී වශයෙන් බොහෝ යහපත් ප්‍රතිඵල ගෙන දෙන බැවින්, මෙය උතුම් මංගල කාරණාවක් යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළහ.
කාලේන ධම්ම සවනං (සුදුසු කාලයෙහි ධර්ම ශ්‍රවණය කිරීම)
බණ ඇසීමට සුදුසු කාලයක් තිබේ. යම් අවස්ථාවක රාගය හෙවත් කාමච්ඡන්දය සිත තුළින් ඉතා ප්‍රබලව උත්සන්න වී පවතී නම්, එය සංසිඳුවා ගැනීම පිණිස ධර්ම ශ්‍රවණය කිරීම සුදුසුය. ව්‍යාපාදය ප්‍රබල වී තරහා, වෛරය, කෝපය, ඉරිසියාව, එකට එක කිරීම ආදී අගුණ ධර්මයන් සිත තුළ ක්‍රියාත්මක වන කාලයද ධර්ම ශ්‍රවණය කිරීමට සුදුසුය. එවිට ව්‍යාපාදය සංසිඳුවාගෙන මෛත්‍රී සහගත සිතක් ඇති කර ගත හැකිය.
කුසල ධර්මයන්හි යෙදෙන යම්කිසි කෙනෙකුගේ සිත තුළ නිදිමත, අලස බව, කම්මැලිකම ඇතිවන්නේ නම්, ථීනමිද්ධය නිසා කුසල ධර්මයන්ට බාධා වන්නේ නම්, සුදුසු දේශකයාණන් වහන්සේ කෙනෙකුගෙන් ධර්ම ශ්‍රවණය කර ථීනමිද්ධය දුරු කර ගත යුතුය. සිතේ විසිරීම හෙවත් උද්ධච්චය බහුල වූ අවස්ථාවලදීද සිතේ ශාන්ත බව ලබා ගැනීම පිණිස බණ ඇසීම සුදුසුය.
බුද්ධාදී රත්නත්‍රය කෙරෙහි සැක සංකා පවතින අවස්ථාවලදී එම සැක සංකා දුරු කර ගැනීම පිණිස ද ධර්ම ශ්‍රවණය කිරීම සුදුසුය. එබැවින් පංචනීවරණ ධර්මයන්ගෙන් පීඩා ලබන අවස්ථාව ධර්ම ශ්‍රවණයට සුදුසු අවස්ථාවක් බව බුද්ධ දේශනාවට අනුව පැහැදිලි කළ හැකිය.
අතීතයෙහි දින පහකට වරක් බණ ඇසීම "සුදුසු කාලයෙහි බණ ඇසීම" යනුවෙන් හඳුන්වන ලද පිරිසක් සිටියහ. ඒ බව අට්ඨකථාවේද දක්වා තිබේ. ගෝසිංහ වනයේ වැඩ සිටි අනුරුද්ධ, කිම්බිල, භගු යන මහරහතන් වහන්සේලා ද දින පහකට වතාවක් ධර්ම සාකච්ඡා සිදු කළ බව මජ්ඣිම නිකායේ සඳහන්ය. යම් කලෙක කල්‍යාණ මිත්‍රයෙකු වෙත පැමිණීමට අවස්ථාව තිබේ නම්, එම අවස්ථාවලදී තමාගේ සිත තුළ ඇති සැක සංකා දුරු කර ගැනීම පිණිස ධර්ම ශ්‍රවණය කිරීම සුදුසුය. බණ ඇසීමෙන් අපහට බොහෝ ආනිසංස ලැබෙන්නේ ය.
බණ ඇසීමේ ආනිසංස පහක්
අංගුත්තර නිකායේ පංචක නිපාතයෙහි බණ ඇසීමේ ආනිසංස පහක් දේශනා කොට ඇත:
"අස්සුතං සුනාති, සුතං පරියෝදපේති, කංඛං විතරති, දිට්ඨිජුකම්මං, චිත්තමස්ස පසීදති"
නොඅසන ලද දහම් කරුණු අසන්නට ලැබීම, අසන ලද දේ පිරිසිදු කර ගැනීමට හෙවත් නිරවුල්ව වටහා ගැනීමට අවස්ථාව ලැබීම, සැක සංකා දුරු වීම, සම්මා දිට්ඨිය දියුණු වීම සහ තමාගේ සිත තෙරුවන් කෙරෙහි ප්‍රසාදයට පත්වීම යන මේවා බණ ඇසීමේ ආනිසංසය.
ධර්ම ශ්‍රවණය කරන්නා එම ධර්මය ධාරණය කර ගත යුතුය. ධාරණය කරගන්නා ලද ධර්මයෙහි අර්ථ නුවණින් විමසා බැලිය යුතුය. අර්ථ නුවණින් විමසා බලා ධර්ම කාරණාවන් නිරවුල්ව තේරුම් ගත යුතුය. දහම නිරවුල්ව තේරුම් ගෙන සද්ධා ආදී ඉන්ද්‍රිය ධර්මයන් මනාකොට දියුණු කරමින් පරම සත්‍යය අවබෝධ කරගත යුතුය. එබැවින් සුදුසු කාලයෙහි බණ ඇසීම මෙලොව යහපත පිණිස හේතු වන, පරලොව සුගති සම්පත් ලැබීමට හේතු වන, පරම සත්‍යය අවබෝධයට හේතු වන බැවින් මෙය උතුම් මංගල කාරණාවකි.