පොත් ලැයිස්තුව

කතඤ්ඤුතා ගුණයෙහි අගය

star_outline

​බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සේක:

​"ද්වේ මේ භික්ඛවේ පුග්ගලා දුල්ලභා ලෝකස්මිං. කතමේ දේ? යෝ ච පුබ්බකාරී, යෝ ච කතඤ්ඤු කතවේදී."

​මහණෙනි, පුද්ගලයෝ දෙදෙනෙක් මේ ලෝකයෙහි දුර්ලභ වෙති. කවර දෙදෙනෙක්ද? පළමුව උපකාර කරන පුද්ගලයාද, කළ උපකාරය දැන එයට කෘතගුණ දක්වන පුද්ගලයාද යන දෙදෙනාය.

​මෙසේ කළගුණ දන්නා බව, මෙලොව දී කීර්ති ප්‍රශංසා ලැබීමටත්, සසර ගමනේදී කල්‍යාණ මිත්‍ර සම්පත් ලැබීමටත්, ආදී වශයෙන් බොහෝ යහපත් ප්‍රතිඵල ගෙන දෙන බැවින්, මෙය උතුම් මංගල කාරණාවක් යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළහ.

​කාලේන ධම්ම සවනං (සුදුසු කාලයෙහි ධර්ම ශ්‍රවණය කිරීම)

​බණ ඇසීමට සුදුසු කාලයක් තිබේ. යම් අවස්ථාවක රාගය හෙවත් කාමච්ඡන්දය සිත තුළින් ඉතා ප්‍රබලව උත්සන්න වී පවතී නම්, එය සංසිඳුවා ගැනීම පිණිස ධර්ම ශ්‍රවණය කිරීම සුදුසුය. ව්‍යාපාදය ප්‍රබල වී තරහා, වෛරය, කෝපය, ඉරිසියාව, එකට එක කිරීම ආදී අගුණ ධර්මයන් සිත තුළ ක්‍රියාත්මක වන කාලයද ධර්ම ශ්‍රවණය කිරීමට සුදුසුය. එවිට ව්‍යාපාදය සංසිඳුවාගෙන මෛත්‍රී සහගත සිතක් ඇති කර ගත හැකිය.

​කුසල ධර්මයන්හි යෙදෙන යම්කිසි කෙනෙකුගේ සිත තුළ නිදිමත, අලස බව, කම්මැලිකම ඇතිවන්නේ නම්, ථීනමිද්ධය නිසා කුසල ධර්මයන්ට බාධා වන්නේ නම්, සුදුසු දේශකයාණන් වහන්සේ කෙනෙකුගෙන් ධර්ම ශ්‍රවණය කර ථීනමිද්ධය දුරු කර ගත යුතුය. සිතේ විසිරීම හෙවත් උද්ධච්චය බහුල වූ අවස්ථාවලදීද සිතේ ශාන්ත බව ලබා ගැනීම පිණිස බණ ඇසීම සුදුසුය.

​බුද්ධාදී රත්නත්‍රය කෙරෙහි සැක සංකා පවතින අවස්ථාවලදී එම සැක සංකා දුරු කර ගැනීම පිණිස ද ධර්ම ශ්‍රවණය කිරීම සුදුසුය. එබැවින් පංචනීවරණ ධර්මයන්ගෙන් පීඩා ලබන අවස්ථාව ධර්ම ශ්‍රවණයට සුදුසු අවස්ථාවක් බව බුද්ධ දේශනාවට අනුව පැහැදිලි කළ හැකිය.

අතීතයෙහි දින පහකට වරක් බණ ඇසීම "සුදුසු කාලයෙහි බණ ඇසීම" යනුවෙන් හඳුන්වන ලද පිරිසක් සිටියහ. ඒ බව අට්ඨකථාවේද දක්වා තිබේ. ගෝසිංහ වනයේ වැඩ සිටි අනුරුද්ධ, කිම්බිල, භගු යන මහරහතන් වහන්සේලා ද දින පහකට වතාවක් ධර්ම සාකච්ඡා සිදු කළ බව මජ්ඣිම නිකායේ සඳහන්ය. යම් කලෙක කල්‍යාණ මිත්‍රයෙකු වෙත පැමිණීමට අවස්ථාව තිබේ නම්, එම අවස්ථාවලදී තමාගේ සිත තුළ ඇති සැක සංකා දුරු කර ගැනීම පිණිස ධර්ම ශ්‍රවණය කිරීම සුදුසුය. බණ ඇසීමෙන් අපහට බොහෝ ආනිසංස ලැබෙන්නේ ය.