පොත් ලැයිස්තුව

අඹු දරුවන්ට සංග්‍රහ කිරීම

star_outline

​තමාට දාව උපන් දියණියෝද පුත්‍රයෝද 'පුත්ත' යන නමින්ම හඳුන්වති. භාර්යාව යනු තමා සමඟින් විවාහ ජීවිතයට ඇතුළත් වී සිටින කාන්තාවයි. ඔවුන්ට නිසියාකාරව සංග්‍රහ කළ යුතුය. තථාගතයන් වහන්සේ විසින් භාර්යාව උදෙසා ස්වාමියා විසින් ඉටු කළ යුතු යුතුකම් පස් වැදෑරුම් ලෙස දේශනා කරන ලදී:

​සම්මානාය: භාර්යාවට ගරු කළ යුතුය.

​අවිමානාය: අගෞරව නොකළ යුතුය.

​අනතිචරියාය: පරදාර සේවනයෙහි නොයෙදිය යුතුය (අන් ස්ත්‍රීන් කරා නොයා යුතුය).

​ඉස්සරිය වොස්සග්ගේන: නිවසේ අධිපති බව (ගෘහ පාලනය) භාර්යාවට පැවරිය යුතුය.

​අලංකාරානුප්පදානේන: ඇඳුම් පැළඳුම් හා අලංකාර භාණ්ඩ (ආභරණ ආදිය) ලබා දිය යුතුය.

භාර්යාව විසින් ස්වාමිපුරුෂයා කෙරෙහි දැක්විය යුතු අනුකම්පාව

​මෙසේ ස්වාමිපුරුෂයා විසින් තම භාර්යාවට උපස්ථාන කරන කල්හි, භාර්යාව ද ස්වාමිපුරුෂයා වෙත පස් ආකාරයකින් අනුකම්පා කරයි:

​සුසංවිහිතකම්මන්තා ච හෝති: ගෙදර දොරේ කටයුතු මනාකොට සංවිධානය කරයි.

​සුසංගහිතපරිජනා ච: පවුලේ පරිවාර ජනයාට (සේවකයන් ආදීන්ට) මනාකොට සංග්‍රහ කරයි.

​අනතිචාරිනී: පරපුරුෂ සේවනයෙහි නොයෙදෙයි (සැමියා කෙරෙහි විශ්වාසවන්ත වෙයි).

​සම්භතං අනුරක්ඛති: සැමියා උපයාගත් ධනය හා වස්තුව ආරක්ෂා කරයි.

​දක්ඛා ච හෝති අනලසා සබ්බකිච්චේසු: සියලු කටයුතුවල දක්ෂව, අලස නොවී කටයුතු කරයි.

​සතර සංග්‍රහ වස්තූන්ගෙන් සැලකීම

​ස්වාමිපුරුෂයා විසින් තම බිරිඳට සහ දූ දරුවන්ට සතර සංග්‍රහ වස්තූන්ගෙන් සැලකිය යුතුය.

​දානය: ඔවුන්ට අවශ්‍ය වන ඇඳුම් පැළඳුම්, ආහාරපාන, ගෘහ උපකරණ සහ බෙහෙත් හේත් ආදිය සුදුසු අවස්ථාවන්වලදී සපයා දීම ස්වාමිපුරුෂයාගේ යුතුකමයි.

​ප්‍රිය වචනය: සෑම දිනකදීම බිරිඳට සහ දරුවන්ට බොරු නොකීම, ඔවුන්ට විරුද්ධව කේලම් නොකීම, ඔවුන් හට පරුෂ වචනයෙන් ආමන්ත්‍රණය නොකිරීම සහ ඔවුන් සමඟ හිස් වචන ආදිය කතා නොකිරීම දරුවාගේ කණට අමාවක් බඳු මිහිරි වූ ප්‍රිය වචනයෙන් ඔවුන් ඇමතීම ස්වාමිපුරුෂයාගේ යුතුකමකි.

​අර්ථචරියාව: බිරිඳගේ සහ දූ දරුවන්ගේ යහපත පිණිස පවතින කටයුතු දියුණු කිරීම සහ ඒ සඳහා අවශ්‍ය දේ සිදු කිරීම.

​සමානාත්මතාවය: තමාට මෙන්ම බිරිඳට ද, දූ දරුවන්ට ද සමානව සලකන ස්වභාවය ස්වාමිපුරුෂයෙකුගේ පරම යුතුකමයි.

​සමාජීය හා ආධ්‍යාත්මික යුතුකම්

1..​උපෝසථ ,දිවසේසු පරිබ්බජ්ජ දානං: පෝය දිනවලදී ශ්‍රමණාදීන්ට හෝ සිල්වතුන්ට අවශ්‍ය දන් පැන් පිළිගන්වමින් උපස්ථාන කිරීම.

2..​නක්කත්ත දිවසේසු නක්කත්ත දස්සාපනං: උත්සව කාලවලදී (නැකැත් දිනවලදී) අඹු දරුවන්ට හා පවුලේ අයට උත්සවශ්‍රීයෙන් හා සතුටින් සිටීමට අවශ්‍ය පහසුකම් සැලසීම.

3...​මංගල දවසේසු මංගල කරණං: මංගල අවස්ථාවන්හිදී (විවාහ, සුබ කටයුතු, උපන්දින, ආදියේදී) ඒවායේ චාරිත්‍ර වාරිත්‍ර මැනවින් ඉටු කරමින් දායකත්වය ලබා දීම.

4...​දිට්ඨධම්මික සම්පරායිකේසු අත්තේසු ඕවාදානුසාසනිං: මෙලොව ජීවිතය සාර්ථක කර ගැනීමටත්, පරලොව යහපත උදා කර ගැනීමටත් අවශ්‍ය උපදෙස් ලබා දෙමින් යහමග පෙන්වා දීම.

​මෙම කරුණු හතර මගින් සමාජයේ සහ පවුල් ජීවිතයේ පවතින සබඳතා වඩාත් ශක්තිමත් කෙරෙන අතර, මෙලොව හා පරලොව දෙලොවම ජය ගැනීමට මග පෙන්වයි.

​ධාර්මික දිවි පැවැත්මේ උත්තරීතර බව

​මෙසේ ධර්මානුකූලව අඹු දරුවන් පෝෂණය කිරීම දෙවියන්ගේ පවා වන්දනාමානයට ලක්වන උදාර වූ ගුණයකි. දිනක් සක්දෙව් රජතුමා තම රථයෙන් බැස යම් අයෙකුට වන්දනා කරනු දුටු මාතලී රථචාරියා එයට හේතුව විමසීය. එවිට සක්දෙව් රජතුමා මාතලීට මෙසේ දේශනා කළේය:

​"යේ ගහට්ඨා පුඤ්ඤකරා

සීලවන්තා උපාසකා,

ධම්මේන දාරං පෝසෙන්ති

තේ නමස්සාමි මාතලී."

​තේරුම: "මාතලී, ගිහි ජීවිතයක් ගත කරන, පින් කරන, සීලවන්ත වූ උපාසක කෙනෙක් ධාර්මිකව අඹු දරුවන් පෝෂණය කරත් නම්, මම ඔවුන්ට නමස්කාර කරමි."

අනාකුලාචච කම්මන්තා.

නිරවුල් කර්මාන්ත.

ජීවත්වීම සඳහා මුදල් උපයාගැනීම පිණිස යම්කිසි රැකියාවක් කළ යුතුය. රැකියාව හැඳින්වීම සඳහා පාළි භාෂාවෙන් ආජීව යන වචනය භාවිතා කරයි. ධර්මානුකූල රැකියාව සම්මා ආජීවය යන නමින් හදුන්වයි.

මෙහිදී එම සම්මා ආජීවයම නිරවුල් කර්මාන්ත ලෙස දක්වා තිබේ.