පොත් ලැයිස්තුව

හයවන ගාථාව

star_outline

දානංච ධම්මචරියාච ඥාතකානඤ්ච සංගහෝ

අනවජ්ජානි කම්මානි ඒතං මංගල මුත්තමං.

​දන් දීමද, දහමයෙහි හැසිරීමද, ඥාතීන්ට සංග්‍රහ කිරීමද, නිවැරදි කටයුතුද යන මේවා උතුම් මංගල කරුණුය.

​දන් දීම..

තමා සතු දෙයක් තව කෙනෙකු වෙත පරිත්‍යාග කිරීම දන් දීම යන නමින් හඳුන්වනු ලබයි. සීලාදී ගුණ සම්පන්න ප්‍රතිග්‍රාහකයෙකු ලැබ, දස වස්තු දාන අතරින් යමක් පූජා කිරීම දානයයි. එම පූජා කරන අවස්ථාවේදී ඇති වන්නා වූ පරිත්‍යාග චේතනා මාත්‍රයම දානය වන බව දත යුතුය.

​දස දාන වස්තු.

​අන්නං...බත් ව්‍යංජන, කැවිලි පලතුරු ආදිය අන්නං යන නමින් හඳුන්වනු ලබයි. පාන්, ඉඳිආප්ප ආදී සියලු ආහාර මෙයට ඇතුළත් වෙයි.

​පානං...ඇල් පැන්, උණු පැන්, පලතුරු යුෂ, තේ, කෝපි ආදී කැපසරුප් සියලු පාන වර්ග පාන යන වචනයෙන් හඳුන්වයි.

​වත්ථං...චීවර, ඇඳුම් පැළඳුම්, වස්ත්‍ර ආදිය වත්ථං යනුවෙන් හඳුන්වයි.

​යානං...යානං යනු පාවහන්, සැරයටි, කුඩ ආදී පූජාවන්ය.

​මාලා...මල් පූජාව.

​ගන්ධ...සුවඳ වර්ග පූජාව.

​විලේපනං...ඖෂධ පිණිස ශරීරයෙහි ආලේප කරන ආලේප වර්ග පූජාව.

​සෙය්‍යා...ඇඳ, මෙට්ට, පැදුරු, කොට්ට, ඇඳ ඇතිරිලි ආදී පූජා.

​වසථ...ආවාස හෝ ගෘහ උපකරණ පූජාව.

​පදීපෙය්‍යං...ආලෝක පූජාව.

දානයේ ස්වභාවය

​මංගල සූත්‍ර අටුවාවෙහි දානය මෙසේ අර්ථ දක්වනු ලබයි:

​"දානං නාම පරං උද්දිස්ස සුබුද්ධි පුබ්බකා අන්නාදී දස දාන වත්ථු පරිච්චාග චේතනා."

​අර්ථය: දානය යනු අන් අය උදෙසා බුද්ධිය පෙරටු කරගෙන, දස දාන වස්තූන් පරිත්‍යාග කරන චේතනාවයි. එම පරිත්‍යාග කරන චේතනාවත් සමඟ යෙදෙන 'අලෝභ' චේතනාවත් දානය නම් වේ.

​සූත්‍ර දේශනාවන්ට අනුව දස දාන වස්තු පූජාව දානය නමින් හඳුන්වයි.

විනය දේශනාවන්ට අනුව සිව්පස පූජාව දානය නමින් හඳුන්වයි.

අභිධර්ම දේශනාවන්ට අනුව රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්මය යනුවෙන් දාන හයක් බෙදා විස්තර කර දී ඇත.

​සිව්පස දානය

​චීවර දානය.

​පිණ්ඩපාත හෙවත් ආහාර පාන.

​සේනාසන...වාසස්ථාන සහ ගෘහ උපකරණ පූජාව.

​ගිලානපච්චය භේසජ්ජ පරික්ඛාරං...ගිලන්පස බෙහෙත් පිරිකර පූජාව.

විනය ක්‍රමයට අනුව සිව්පස පූජාව දානය ලෙස හඳුන්වා ඇත. ඒ අනුව විනය ක්‍රමයෙන් ගත් විට දාන හතරකි.

​රූපාදී දාන හය.

​රූප දාන...ලස්සන ප්‍රියමනාප දේවල් පූජා කිරීම රූප දානය යන නමින් හඳුන්වනු ලබයි. ඕනෑම දෙයක් පූජා කරන විට ඇසට ප්‍රිය උපදවන ආකාරයට පිළියෙල කරවා පූජා කිරීම දානයට අදාළ වේ.

​සද්ද දාන...ශබ්දය දන්දීම සද්ද දානයයි. හේවිසි ශබ්ද පූජාව, අන් අයට පිරිත් අසන්නට සැලැස්වීම, බණ අසන්නට සැලැස්වීම, බුදු ගුණ අසන්නට සැලැස්වීම යන මේවා ශබ්ද දානයන්ය.

​ගන්ධ දාන...සුවඳ වර්ග පූජා කිරීම ගන්ධ දානය යන නමින් හඳුන්වනු ලැබේ.

​රස දාන...රසවත් වූ ආහාර පාන, රසවත් වූ පලතුරු, රසවත් වූ කැවිලි වර්ග, රසවත් වූ බීම වර්ග ආදිය පූජා කිරීම රස දානයයි.

​ඵොට්ඨබ්බ දාන...සුවපහසු ඇඳන්, කොට්ට, මෙට්ට, ඇඳ ඇතිරිලි, සුවපහසු ඇඳුම් පැළඳුම් ආදී සුවපහසු දේ පූජා කිරීම ස්පර්ශ දානයයි.

​ධම්ම දාන...මෙහිදී ධම්ම යනුවෙන් හඳුන්වන්නේ ධර්මය නොවේ. ධම්ම යනු චේතනා හෙවත් චෛතසික ධර්මයි. කෙනෙකුගේ සිත තුළ යහපත් වූ චේතනා ඇති වන ආකාරයෙන් කටයුතු කිරීම දානය යන නමින් හඳුන්වනු ලබයි. ධර්මය අසන්නට සැලැස්වීම, ධර්ම සාකච්ඡා කිරීම, අන් අයගේ ධර්ම ගැටලුවලට පිළිතුරු ලබාදීම, අවවාද අනුශාසනා ලබාදීම, හිතට සහනයක් ගෙන දෙන දේවල්ය. එබැවින් ඒවා ධම්ම දාන යන කොටසට අයත්ය.

ආමිස දානය සහ ධර්ම දානය

​පෙර සඳහන් කරන ලද පරිදි සූත්‍ර පිටකයට අනුව දස දාන වස්තු දන් දීම ආමිස දානයයි. විනය පිටකයට අනුව සිව්පසය පූජා කිරීමද ආමිස දානයයි. අභිධර්ම පිටකයට අනුව රූපාදී දාන හයද ආමිස දානයයි.

​ධර්ම දානය යනු:

​"ඉධලෝක පරලෝකේ දුක්ඛක්ඛය සුඛාවහස්ස, පන සම්මා සම්බුද්ධ පවේදීතස්ස ධම්මස්ස පරේසං හිතකාමතාය, දේසනා ධම්මදානං."

​මෙලොව පරලොව දුක් නැති කරමින්, සැප ලබා දීම පිණිස, සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ කරන ලද ධර්මය, අන් අයගේ හිත සුව පිණිස දේශනා කිරීම ධර්ම දානයයි.

​"සබ්බදානං ධම්මදානං ජිනාති"

​සියලු දානයන් පරදවා ධර්ම දානය ජය ගනී.

ධම්මචරියා (ධර්මයෙහි හැසිරීම)

​දස කුසල ධර්මයන්හි හැසිරීම ධර්මචරියා නමින් හඳුන්වනු ලැබේ. ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකම් කිරීමෙන් වැළකීම සහ කාම මිථ්‍යාචාරයෙහි හැසිරීමෙන් වැළකීම කායික ධර්මචරියාවයි.

​පණ ඇති සතෙකු වීම, පණ ඇති සතෙකු බව දැන ගැනීම, ඝාතනය කිරීමට සිතක් ඇතිවීම, උපක්‍රම කිරීම සහ එම උපක්‍රමයෙන් සතා මරණයට පත්වීම යනුවෙන් ප්‍රාණඝාතයේදී සම්පූර්ණ විය යුතු අංග පහක් ඇත්තේය. එම අංග පහ සම්පූර්ණ වූ කල්හි ප්‍රාණඝාත අකුසල කර්මපථය සිදුවේ.

​නුවණැති සත්පුරුෂයෝ ප්‍රාණඝාතයෙන් වළකිති. ඔවුන් සත්ව ඝාතනය පිණිස අවි ආයුධ තබා නොගනිති. දඬු මුගුරු තබා නොගනිති. ප්‍රාණඝාතයට ලැජ්ජා වෙති. සත්වයන් වෙත දයාවෙන් හෙවත් කරුණාවෙන් යුතුව ජීවත් වෙති. සියලු සත්වයන් වෙත මෛත්‍රී සහගත සිතින් වාසය කරති. එය උදාර වූ ධර්මචරියාවකි.

​අන් සතු වස්තුවක් අන් සතු බව දැන දැන, සොරකම් කිරීමේ චේතනාවෙන් යුතුව තිබූ තැනින් ඉවත් කරන්නේ නම් එවිට සොරකමක් සිදුවෙයි. අන් සතු වස්තුව සොර සිතින් ඔසවා නැවත තබන ලද්දේ නමුත් සොරකම නමැති පාපයෙන් ගැලවීමක් නැත.

​සොරකම් කිරීමෙන් වැළකී වාසය කිරීම ශ්‍රේෂ්ඨ වූ සත්පුරුෂ ක්‍රියාවකි, ධර්මචරියාවකි.

​කාම මිථ්‍යාචාරයෙන් වැළකීම

​මෙම ශික්ෂාපදයේදී කාමය කියා හඳුන්වන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන පංචකාම වස්තූන් නොවේ. මෙහිදී කාමය යනු පර ස්ත්‍රීන් හඳුන්වන නාමයකි. තමා සමඟ අතිනත ගෙන සිටින කාන්තාව හැරුණු විට අන් සියලු කාන්තාවෝ මෙම ශික්ෂා පදයේදී 'කාම' යන වචනයෙන් හඳුන්වනු ලැබේ. එබඳු ස්ත්‍රීන් කෙරෙහි වරදවා හැසිරීම කාම මිථ්‍යාචාරයයි.

​කාම මිථ්‍යාචාරයෙහි යෙදීම පිණිස සිතක් ඇතිවීම සහ මාර්ගයෙන් මාර්ගය ප්‍රවේශ කිරීම යනුවෙන් මෙම ශික්ෂා පදය කැඩීමට හේතුවන අංග දෙකක් තිබේ. මෙහි මාර්ගය යනු පුරුෂ ලිංගයට හෙවත් පුරුෂ නිමිත්තට නමකි. දෙවනුව යෙදෙන මාර්ගය යනු මුඛය, යෝනිය, ගුදය හඳුන්වන නාමයකි. පිරිමි කෙනෙකු තම පුරුෂ ලිංගය කාන්තාවකගේ මුඛයට හෝ ගුදයට හෝ යෝනියට හෝ ප්‍රවේශ කරන්නේ නම් මෙම ශික්ෂා පදය බිඳී යයි. තම ස්වාමිපුරුෂයා නොවන යම් පුරුෂයෙකුගේ ලිංගයක් තමාගේ මුඛයට හෝ ගුදයට හෝ යෝනියට හෝ ප්‍රවේශ කරවා ගැනීමෙන් කාන්තාව මෙම ශික්ෂා පදය උල්ලංඝනය කරයි; සීලය බිඳ ගනී.

​කාමය සහ පංචකාමය

​කාමේසු මිච්ඡාචාරා යන ශික්ෂාපදයේදී රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන පංචකාම වස්තූන් 'කාමය' යනුවෙන් ගැනීම වැරදි සහගතය. එසේ කාමය යනුවෙන් ගත් කල්හි සිංදුවක් ඇසූ පමණින්ද, මලක සුවඳක් ආඝ්‍රාණය කළ පමණින්ද, රසවත් ආහාරයක් අනුභව කළ පමණින්ද, සුව පහසු ස්පර්ශයක් ලැබුණු පමණින්ද මේ ශික්ෂා පදය බිඳී යන්නේය.

​ගිහි ජීවිතය වනාහි පංච කාම වස්තූන්ගෙන් ආඪ්‍යමත් වූ එකකි. ඔවුනට ලස්සන දේ බැලීම, මිහිරි ශබ්ද ඇසීම, සුවඳ ඇඟ ගැල්වීම, සුව පහසු ඇඳන්, කොට්ට, මෙට්ට ආදිය පරිහරණය කිරීම, රසවත් ලෙස ආහාරපාන අනුභව කිරීම වරදක් නොවේ. එබැවින් විශේෂයෙන් කාම මිථ්‍යාචාරය යනු කුමක්දැයි නිවැරදිව පෙර සඳහන් කර කරන ලද පරිදි තේරුම් ගත යුතුමය.

වචී ධර්මචරියාව සහ මනෝ ධර්මචරියාව

​බොරු කීමෙන් වැළකීම, කේලාම් කීමෙන් වැළකීම, පරුෂ වචන කීමෙන් වැළකීම සහ හිස් වචන (සම්ඵප්පලාප) කීමෙන් වැළකීම වචී ධර්මචරියාවයි.

​අන් සතු වස්තුවට ආසා නොකිරීම (අභිජ්ඣා නොවීම), තරහ සහ වෛරය ආදී ව්‍යාපාදයෙන් තොරවීම සහ සම්මා දිට්ඨියෙන් යුක්ත වීම මනෝ ධර්මචරියාවයි.

මහානාම රජතුමා සහ ඥාති සංග්‍රහය

​බුදුරජාණන් වහන්සේ දිනක් මහානාම නම් වූ ශාක්‍ය රජතුමාට ඥාති සංග්‍රහය කළ යුතු ආකාරය ඉතා හොඳින් පහදා දුන්හ. යම් කිසි ඥාතියෙකු, මිත්‍රයෙකු හෝ හිතවතෙකු තමා පවසන වචන පිළිගන්නේ නම්, අදහන්නේ නම් සහ විශ්වාස කරන්නේ නම්, ඒ සියලු දෙනාම බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීම ඇති පිරිසක් බවට පත් කළ යුතුය. ධර්මරත්නය කෙරෙහි අචල ප්‍රසාදය ඇති පිරිසක් බවට පත් කළ යුතුය. සංඝරත්නය කෙරෙහි අචල ප්‍රසාදය ඇති පිරිසක් බවට පත් කළ යුතුය. ඔවුන් ආර්යකාන්ත සීලය තුළ පිහිටුවිය යුතුය.

​මෙයින් ඉතා මනාව පෙන්වා දී ඇත්තේ ඥාතීන්ට සංග්‍රහ කිරීමේදී ආහාරපාන, බෙහෙත් ඖෂධ ආදිය ලබාදීම වගේම, බුද්ධාදී රත්නත්‍රය කෙරෙහි ශ්‍රද්ධාව පිහිටුවීමත්, ආර්යකාන්ත සීල සම්පත්තිය තුළ සිත පිහිටුවීමත් ඉතා අග්‍ර වූ ඥාති සංග්‍රහයක් බවයි.

...සෝතාපත්ති සංයුත්තය....

අනවජ්ජානි කම්මානී (නිර්දෝෂී කටයුතු)

​යම්කිසි කෙනෙකුට වරදක් කර දඬුවම් ලබන අයෙකු දක්නට ලැබේ. ඔහු මෙසේ සිතයි: "පව් කරන තැනැත්තාට මෙලොවදීම රාජපුරුෂයන් විසින් දඬුවම් පමුණුවනු ලැබේ. මා විසින්ද පාප ක්‍රියා කරන්නේ නම් රාජපුරුෂයන් විසින් මෙලොවදීම මටත් දඬුවම් පැමිණවිය හැකිය. ඒ නිසා මම ප්‍රාණඝාතය, සොරකම, කාම මිථ්‍යාචාරය ආදී පාප ක්‍රියාවන්ගෙන් වළකින්නෙමි." යනුවෙන් අධිෂ්ඨාන කර ගනී.

​එසේම බුද්ධිමත් කෙනෙකු මෙසේ නුවණින් විමසයි: "පාප කර්මයන්ගේ විපාක ඇත. මම කයින් දුසිරිතෙහි හැසිරෙන්නේ නම් එහි විපාක මට මෙලොවදීත් ලැබෙන්නේය, පරලොවදීත් ලැබෙන්නේය. එම නිසා මම කායික පාප ක්‍රියා නොකරන්නෙමි; වචනයෙන් පාපයෙහි නොහැසිරෙන්නෙමි; මනසින් පාපයෙහි නොහැසිරෙන්නෙමි." එසේ නුවණින් විමසා ත්‍රිවිධ පාප ක්‍රියාවන්ගෙන් වැළකී, ඔහු කාය සුචරිතය, වචී සුචරිතය සහ මනෝ සුචරිතය පුරයි. ඒ හේතුවෙන් මරණින් මතු ඔහු සුගතිගාමී වෙයි. මෙසේ නුවණින් සලකා පාප ක්‍රියාවන්ගෙන් වැළකීම 'අනවජ්ජානි කම්මානී' යනුවෙන් අදහස් කරනු ලබයි.