මාතාපිතූ උපට්ඨානං පුත්තදාරස්ස සංගහෝ
අනාකුලා ච කම්මන්තා ඒතං මංගලමුත්තමං
මෙහි 'මාතාපිතූ' යනු මව සහ පියා යන්නයි. 'උපට්ඨානං' යනු උපස්ථාන කිරීමයි. 'පුත්තදාරස්ස' යනු දරුවන් සහ බිරිඳ හඳුන්වන වචනයකි. ඔවුන්ට සංග්‍රහ කිරීම ද මංගල කාරණාවකි. නිරවුල්ව කර්මාන්ත කිරීම ද මංගල කාරණාවකි.
මවුපිය උපස්ථානය
"මාතා නාම ජනිකා වුච්චති" - මව යනු මෙලොවට බිහිකළ තැනැත්තියයි.
"පිතා නාම ජනිකෝ වුච්චති" - පියා යනු මෙලොවට බිහිකළ තැනැත්තාය.
දරුවෙකු හට උපස්ථාන කටයුතු බොහෝ විට කරන ලද්දේ මවුපියන් විසිනි. පාද දෝවනය කිරීම, සම්බාහනය කිරීම, අත්පා පිරිමැදීම, නෑවීම යන ප්‍රධාන ක්‍රියා හතර මවුපියන් විසින් දරුවා උදෙසා කරනු ලැබේ. මවුපියන් දරුවාගේ යහපත කැමති වෙති; දරුවන්ට අනුකම්පා කරන්නෝය. දරුවා නිවසින් බාහිරව ක්‍රීඩා කොට මඩ ආදිය තවරාගෙන පැමිණි කල්හි, එම මඩ සෝදා හැර හිස් මුදුනෙහි තබා සිප වැළඳගෙන සෙනෙහස ලබා දෙන්නේ මවුපියෝය. මවුපියන් වසර සියයක් හිසේ තබාගෙන උපස්ථාන කළත්, ඔවුන් කළ එම උපකාරවලට ප්‍රතිඋපකාර කිරීමට දරුවා සමර්ථ නොවෙයි.
"අපාදකා පෝසකා ඉමස්ස ලෝකස්ස දස්සේතාරෝ බ්‍රහ්මසම්මතා පුබ්බාචරියසම්මතා තස්මා තේසං උපට්ඨානං ඉධ පසංසා පුබ්බේච සග්ගසුඛංච ආවහති" (මංගල සූත්‍ර අට්ඨකථා).
අර්ථය:
අත්පා හදා දරුවන් පෝෂණය කර මෙලොව දක්වන ලද්දේ මවුපියෝය. ඔවුහු බ්‍රහ්මසම්මතයන්ය; පූර්වාචාර්ය සම්මතයන්ය. ඔවුන්ට උපස්ථාන කිරීමෙන් මෙලොව ප්‍රශංසාව හිමි වන්නේය; පරලොව සුගති සැප ලැබෙන්නේය.
මවුපියෝ මහා බ්‍රහ්මයෝ වැනිය
බ්‍රහ්මාති මාතාපිතරෝ පුබ්බාචරියාති වුච්චරේ
ආහුනෙය්‍යා ච පුත්තානං පජාය අනුකම්පකා[4]
මව්පියෝ මහා බ්‍රහ්මයෝ වැනිය. ඔවුහු දරුවන්ගේ මුල්ම ගුරුවරු යැයි කියනු ලැබේ. ආහුනෙය්‍ය ගුණයෙන් (පිදිය යුත්තෝ) ද යුක්තය. දරු ප්‍රජාවට අනුකම්පා කරන්නෝය.
බ්‍රහ්ම ලෝකයේ සිටින මහා බ්‍රහ්මයා බඹලොව වැසියන් වෙත මෛත්‍රිය, කරුණාව, මුදිතාව සහ උපේක්ෂාව පතුරුවාගෙන වාසය කරයි. ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ද ලෝක සත්ත්වයා කෙරෙහි එම සතර බ්‍රහ්ම විහරණයන් පතුරුවාගෙන වාසය කළහ. අපගේ ආදරණීය මවුපියෝ ද දරුවන් කෙරෙහි මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ෂා ගුණයන් පතුරුවාගෙන වාසය කරති.
මෛත්‍රී ගුණය: මවුපියෝ දරුවන්ගේ සැප කැමැත්තෝය. එය මවුපියන් තුළ පවතින මෛත්‍රී සහගත ස්වභාවයයි. දරුවාට සැපය සලසා දීම පිණිස මව තම රුධිරය කිරි කර පොවන්නීය. ආදරයෙන්, ගෞරවයෙන් උපස්ථාන කරන්නීය. පියා ද දරුවාගේ සැපය උදෙසා කියා නිම කළ නොහැකි තරම් කැප කිරීම් කරයි.
මවුපියන්ගේ කරුණාව.
අනුන්ගේ දුක දැකපු හදවත උණුවන ස්වභාවය කරුණාවයි. එය ඉතා උසස් ආකාරයෙන් මවුපියන් තුළ පිහිටා ඇත. දරුවා හඬන වැළපෙන අවස්ථාවලදී ද කායිකව මානසිකව දුක් විඳින අවස්ථාවලදී ද මවුපියෝ දරුවාගේ දුක නැති කිරීම සඳහා කටයුතු කරති. එය මවුපියන්ගේ උදාර කරුණාවයි. අංගුලිමාල නම් වූ දාමරික මිනීමරුවා ඝාතනය කිරීමට රජතුමා තීරණය කළේය. රජතුමාගේ තීරණය ගැන අසන්නට ලැබෙත්ම, රාජ පුරුෂයන් විසින් තම පුතා අල්ලා ගැනීමට පෙර පුතා බේරා ගැනීම පිණිස මවුතුමිය තනියම මහ වනයට ගියාය. ඒ මවගේ කරුණාවයි.
මවුපියන්ගේ මුදිතාව.
අනුන්ගේ සැපයට ඉරිසියා නොකරන ස්වභාවය මුදිතාවයි. මවුපියෝ දරුවන්ගේ සැපය කැමති වෙති. දරුවන්ගේ දියුණුවට, යහපතට, දක්ෂතාවයට ඉරිසියා නොකරති. කුඩා කාලයේ පටන්ම දරුවා ඇවිදින විට ද, කතාබහ කරන විට ද, නොයෙක් දක්ෂතාවයන් දක්වන විට ද වැඩිපුරම සතුටු වූවෝ මවුපියෝය. එය මවුපියන්ගේ මුදිතා ගුණයයි.
මවුපියන්ගේ උපේක්ෂා ගුණය.
අවශ්‍ය අවස්ථාවලදී මධ්‍යස්ථව කටයුතු කිරීමට මවුපියෝ දනිති. මධ්‍යස්ථව දරුවන්ගේ ප්‍රශ්න දෙස බලති, පිළිතුරු සොයති, විසඳති. දරුවන් විවාහ ජීවිතයට පත් වූ පසු දරුවන් කෙරෙහි මැදහත්ව ඔවුන්ගේ කටයුතු ඔවුන්ටම කර ගැනීමට ඉඩකඩ සලසා දෙති. ඒ මවුපියන්ගේ උපේක්ෂා ගුණයයි. මෙම උදාර වූ සිව් බඹ විහරණයන්ගෙන් යුක්ත වන බැවින් මවුපියෝ මහා බ්‍රහ්මයෝ වැනිය.
මුල්ම ගුරුවරු.
දරුවන්ගේ මුල්ම ගුරුවරු මවුපියෝය. ඇවිදින ආකාරය ද, කතාබහ කරන ආකාරය ද, වැසිකිලි කැසිකිළි යන ආකාරය ද, ඇඳුම් පැළඳුම් අඳින ආකාරය ද, මෙසේ බොහෝ දේවල් අපහට මුලින්ම උගන්වන ලද්දේ මවුපියෝය. හොඳ නරක මුලින් කියා දෙන්නෝ ද මවුපියෝය. එබැවින් මවුපියෝ පූර්වාචාර්ය හෙවත් මුල්ම ගුරුවරු නම් වෙති.
ආහුනෙය්‍ය ගුණය.
දුර සිටියත් තමා සොයන ධනයෙන් මවුපියන් පෝෂණය කළ යුතුය. දුර සිට ගෙනවිත් දෙන ආහාරපාන, ඇඳුම් පැළඳුම්, බෙහෙත් හේත්, ගෘහ උපකරණ පිදීමට මවුපියෝ සුදුස්සෝය. එබැවින් මවුපියන් ආහුනෙය්‍ය ගුණයෙන් යුක්තය.
පජාය අනුකම්පක ගුණය.
දරු ප්‍රජාව වෙත වැඩිපුරම අනුකම්පා කරන්නේ මවුපියෝය. එබැවින් 'පජාය අනුකම්පක' යන නමින් මවුපියෝ හඳුන්වති.
මවුපිය උපස්ථානයේ ආනිසංස
තස්මා හි නං නමස්සෙය්‍ය සක්කරෙය්‍යාථ පණ්ඩිතෝ
අන්නේන අථපානෙන වත්ථේන සයනේන ච.
එබැවින් බුද්ධිමත් දරුවෝ මවුපියන්ට උදේ හවස වන්දනා කරති. නිතිපතා සත්කාර කරති.
අන්නේන: ආහාර ලබා දෙති.
පානේන: පාන වර්ග ලබා දෙති.
වත්ථේන: වස්ත්‍ර ලබා දෙති.
සයනේන ච: පහසුවෙන් නිදා ගැනීමට ඇඳක් සකසා දෙති.
උච්ඡාදනේන: සම්බාහනය කරති.
නහාපනේන: මවුපියන් නාවති.
පාදානං දෝවනේන ච: මවුපියන්ගේ පා සෝදති.
තාය නං පාරිචරියාය මාතාපිතූසු පණ්ඩිතා
ඉධේවනං පසංසන්ති පෙච්ච සග්ගේ පමෝදති.
මෙසේ බුද්ධිමත් දරුවෝ මවුපියන්ට උපස්ථාන කරති. ඒ හේතුවෙන් මෙලොව ප්‍රශංසා ලබති. පරලොව ස්වර්ගයෙහි සතුටු වෙති.
මවුපියන් උදෙසා ඉටු කළ යුතු පස් වැදෑරුම් යුතුකම්
"පංචහිඛෝ ගහපතිපුත්ත, ඨානයෙහි පුත්තේන පුරත්ථිමා දිසා මාතා පිතරෝ උපට්ඨා තබ්බා."
ගෘහපති පුත්‍රය, නැගෙනහිර දිසාව වන මවුපියන්ට දරුවා විසින් පස් ආකාරයකින් උපස්ථාන කළ යුතුය.
භතෝ නේ භරිස්සාමි: මවුපියන් පෝෂණය කළ යුතුය. ආහාරපාන ආදිය ලබා දී ඔවුන්ව රැකබලා ගැනීම මින් අදහස් කෙරේ.
කිච්චං නේසං කරිස්සාමි: ඔවුන්ගේ කටයුතු කළ යුතුය. මවුපියන් වෙනුවෙන් කළ යුතු කුදු මහත් කටයුතු ඉටු කිරීම දරුවාගේ යුතුකමකි, වගකීමකි, මෙන්ම පිනකි.
කුලවංසං ඨපේස්සාමි: මවුපියන්ගේ කුල පරම්පරාව ආරක්ෂා කළ යුතුය.
දායාජං පටිපජ්ජිස්සාමි: දායාදය (මවුපිය උරුමය) මනා කොට පරිහරණය කළ යුතුය.
අථ වා පන පෙතානං කාලකතානං දක්ඛිණං අනුප්පදස්සාමි: මවුපියන් මිය පරලොව ගිය පසු දන් දී පින් අනුමෝදන් කළ යුතුය. (සිඟාලෝවාද සූත්‍රය, දීඝ නිකාය)
මෙසේ පස් ආකාරයකින් මවුපියන් උපස්ථාන කළ යුතු බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක.
මෙසේ දරුවන් විසින් මවුපියන්ට උපස්ථාන කරන කල්හි මවුපියෝ පස් ආකාරයකින් දරුවාට අනුකම්පා කරති.
පාපා නිවාරෙන්ති...දරුවෝ පාපයෙන් වළක්වති.
කල්‍යාණේ නිවේසෙන්ති..දරුවන් යහපත් දේ තුළ යොදවති.
සිප්පං සික්ඛාපෙන්ති...ශිල්ප උගන්වති.
පතිරූපේන දාරේන සංයෝජෙන්ති...ගැලපෙන ආවාහ විවාහ කටයුතු කර දෙති.
සමයෙ දායජ්ජං නියාදෙන්ති...සුදුසු කාලයෙහි දායාද පවරා දෙති.
දරුවන් විසින් වසර සියයක් මවුපියන් හිස මත තබාගෙන පෝෂණය කරන ලද්දේ නමුත් මවුපිය ණයින් නිදහස් නොවෙති.
මවුපිය ණයින් නිදහස් වීමට නම් සද්ධාව නැති මවුපියෝ සද්ධාව තුළ පිහිටවිය යුතුය.
දුස්සීල වූ මවුපියෝ සීලය තුළ පිහිටවිය යුතුය.
ධර්මශ්‍රවණය නොකරන මවුපියෝ ධර්ම ශ්‍රවණයට යොමු කළ යුතුය.
දන් නොදෙන මවුපියෝ ත්‍යාග ගුණයෙහි යෙදවිය යුතුය.
ප්‍රඥාව නැති මවුපියෝ ප්‍රඥා සම්පත්තියෙහි පිහිටවිය යුතුය.
එසේ කිරීම මවුපියන්ට කරන උපස්ථානයන්ගෙන් අග්‍රම උපස්ථානය වන්නේය. මවුපිය උපස්ථානය මෙලොව යහපත පිණිස ද පරලොව සුගති සම්පත් ලැබීම පිණිස ද උපකාර වන්නේය එබැවින් මංගල කාරණාවක් යැයි දේශනා කරන ලදී....
අඹු දරුවන්ට සංග්‍රහ කිරීම
තමාට දාව උපන් දියණියෝද පුත්‍රයෝද 'පුත්ත' යන නමින්ම හඳුන්වති. භාර්යාව යනු තමා සමඟින් විවාහ ජීවිතයට ඇතුළත් වී සිටින කාන්තාවයි. ඔවුන්ට නිසියාකාරව සංග්‍රහ කළ යුතුය. තථාගතයන් වහන්සේ විසින් භාර්යාව උදෙසා ස්වාමියා විසින් ඉටු කළ යුතු යුතුකම් පස් වැදෑරුම් ලෙස දේශනා කරන ලදී:
සම්මානාය: භාර්යාවට ගරු කළ යුතුය.
අවිමානාය: අගෞරව නොකළ යුතුය.
අනතිචරියාය: පරදාර සේවනයෙහි නොයෙදිය යුතුය (අන් ස්ත්‍රීන් කරා නොයා යුතුය).
ඉස්සරිය වොස්සග්ගේන: නිවසේ අධිපති බව (ගෘහ පාලනය) භාර්යාවට පැවරිය යුතුය.
අලංකාරානුප්පදානේන: ඇඳුම් පැළඳුම් හා අලංකාර භාණ්ඩ (ආභරණ ආදිය) ලබා දිය යුතුය.
භාර්යාව විසින් ස්වාමිපුරුෂයා කෙරෙහි දැක්විය යුතු අනුකම්පාව
මෙසේ ස්වාමිපුරුෂයා විසින් තම භාර්යාවට උපස්ථාන කරන කල්හි, භාර්යාව ද ස්වාමිපුරුෂයා වෙත පස් ආකාරයකින් අනුකම්පා කරයි:
සුසංවිහිතකම්මන්තා ච හෝති: ගෙදර දොරේ කටයුතු මනාකොට සංවිධානය කරයි.
සුසංගහිතපරිජනා ච: පවුලේ පරිවාර ජනයාට (සේවකයන් ආදීන්ට) මනාකොට සංග්‍රහ කරයි.
අනතිචාරිනී: පරපුරුෂ සේවනයෙහි නොයෙදෙයි (සැමියා කෙරෙහි විශ්වාසවන්ත වෙයි).
සම්භතං අනුරක්ඛති: සැමියා උපයාගත් ධනය හා වස්තුව ආරක්ෂා කරයි.
දක්ඛා ච හෝති අනලසා සබ්බකිච්චේසු: සියලු කටයුතුවල දක්ෂව, අලස නොවී කටයුතු කරයි.
සතර සංග්‍රහ වස්තූන්ගෙන් සැලකීම
ස්වාමිපුරුෂයා විසින් තම බිරිඳට සහ දූ දරුවන්ට සතර සංග්‍රහ වස්තූන්ගෙන් සැලකිය යුතුය.
දානය: ඔවුන්ට අවශ්‍ය වන ඇඳුම් පැළඳුම්, ආහාරපාන, ගෘහ උපකරණ සහ බෙහෙත් හේත් ආදිය සුදුසු අවස්ථාවන්වලදී සපයා දීම ස්වාමිපුරුෂයාගේ යුතුකමයි.
ප්‍රිය වචනය: සෑම දිනකදීම බිරිඳට සහ දරුවන්ට බොරු නොකීම, ඔවුන්ට විරුද්ධව කේලම් නොකීම, ඔවුන් හට පරුෂ වචනයෙන් ආමන්ත්‍රණය නොකිරීම සහ ඔවුන් සමඟ හිස් වචන ආදිය කතා නොකිරීම දරුවාගේ කණට අමාවක් බඳු මිහිරි වූ ප්‍රිය වචනයෙන් ඔවුන් ඇමතීම ස්වාමිපුරුෂයාගේ යුතුකමකි.
අර්ථචරියාව: බිරිඳගේ සහ දූ දරුවන්ගේ යහපත පිණිස පවතින කටයුතු දියුණු කිරීම සහ ඒ සඳහා අවශ්‍ය දේ සිදු කිරීම.
සමානාත්මතාවය: තමාට මෙන්ම බිරිඳට ද, දූ දරුවන්ට ද සමානව සලකන ස්වභාවය ස්වාමිපුරුෂයෙකුගේ පරම යුතුකමයි.
සමාජීය හා ආධ්‍යාත්මික යුතුකම්
1..උපෝසථ ,දිවසේසු පරිබ්බජ්ජ දානං: පෝය දිනවලදී ශ්‍රමණාදීන්ට හෝ සිල්වතුන්ට අවශ්‍ය දන් පැන් පිළිගන්වමින් උපස්ථාන කිරීම.
2..නක්කත්ත දිවසේසු නක්කත්ත දස්සාපනං: උත්සව කාලවලදී (නැකැත් දිනවලදී) අඹු දරුවන්ට හා පවුලේ අයට උත්සවශ්‍රීයෙන් හා සතුටින් සිටීමට අවශ්‍ය පහසුකම් සැලසීම.
3...මංගල දවසේසු මංගල කරණං: මංගල අවස්ථාවන්හිදී (විවාහ, සුබ කටයුතු, උපන්දින, ආදියේදී) ඒවායේ චාරිත්‍ර වාරිත්‍ර මැනවින් ඉටු කරමින් දායකත්වය ලබා දීම.
4...දිට්ඨධම්මික සම්පරායිකේසු අත්තේසු ඕවාදානුසාසනිං: මෙලොව ජීවිතය සාර්ථක කර ගැනීමටත්, පරලොව යහපත උදා කර ගැනීමටත් අවශ්‍ය උපදෙස් ලබා දෙමින් යහමග පෙන්වා දීම.
මෙම කරුණු හතර මගින් සමාජයේ සහ පවුල් ජීවිතයේ පවතින සබඳතා වඩාත් ශක්තිමත් කෙරෙන අතර, මෙලොව හා පරලොව දෙලොවම ජය ගැනීමට මග පෙන්වයි.
ධාර්මික දිවි පැවැත්මේ උත්තරීතර බව
මෙසේ ධර්මානුකූලව අඹු දරුවන් පෝෂණය කිරීම දෙවියන්ගේ පවා වන්දනාමානයට ලක්වන උදාර වූ ගුණයකි. දිනක් සක්දෙව් රජතුමා තම රථයෙන් බැස යම් අයෙකුට වන්දනා කරනු දුටු මාතලී රථචාරියා එයට හේතුව විමසීය. එවිට සක්දෙව් රජතුමා මාතලීට මෙසේ දේශනා කළේය:
"යේ ගහට්ඨා පුඤ්ඤකරා
සීලවන්තා උපාසකා,
ධම්මේන දාරං පෝසෙන්ති
තේ නමස්සාමි මාතලී."
තේරුම: "මාතලී, ගිහි ජීවිතයක් ගත කරන, පින් කරන, සීලවන්ත වූ උපාසක කෙනෙක් ධාර්මිකව අඹු දරුවන් පෝෂණය කරත් නම්, මම ඔවුන්ට නමස්කාර කරමි."
අනාකුලාචච කම්මන්තා.
නිරවුල් කර්මාන්ත.
ජීවත්වීම සඳහා මුදල් උපයාගැනීම පිණිස යම්කිසි රැකියාවක් කළ යුතුය. රැකියාව හැඳින්වීම සඳහා පාළි භාෂාවෙන් ආජීව යන වචනය භාවිතා කරයි. ධර්මානුකූල රැකියාව සම්මා ආජීවය යන නමින් හදුන්වයි.
මෙහිදී එම සම්මා ආජීවයම නිරවුල් කර්මාන්ත ලෙස දක්වා තිබේ.