පොත් ලැයිස්තුව

​ මවුපිය උපස්ථානය

star_outline

​"මාතා නාම ජනිකා වුච්චති" - මව යනු මෙලොවට බිහිකළ තැනැත්තියයි.

"පිතා නාම ජනිකෝ වුච්චති" - පියා යනු මෙලොවට බිහිකළ තැනැත්තාය.

​දරුවෙකු හට උපස්ථාන කටයුතු බොහෝ විට කරන ලද්දේ මවුපියන් විසිනි. පාද දෝවනය කිරීම, සම්බාහනය කිරීම, අත්පා පිරිමැදීම, නෑවීම යන ප්‍රධාන ක්‍රියා හතර මවුපියන් විසින් දරුවා උදෙසා කරනු ලැබේ. මවුපියන් දරුවාගේ යහපත කැමති වෙති; දරුවන්ට අනුකම්පා කරන්නෝය. දරුවා නිවසින් බාහිරව ක්‍රීඩා කොට මඩ ආදිය තවරාගෙන පැමිණි කල්හි, එම මඩ සෝදා හැර හිස් මුදුනෙහි තබා සිප වැළඳගෙන සෙනෙහස ලබා දෙන්නේ මවුපියෝය. මවුපියන් වසර සියයක් හිසේ තබාගෙන උපස්ථාන කළත්, ඔවුන් කළ එම උපකාරවලට ප්‍රතිඋපකාර කිරීමට දරුවා සමර්ථ නොවෙයි.

​"අපාදකා පෝසකා ඉමස්ස ලෝකස්ස දස්සේතාරෝ බ්‍රහ්මසම්මතා පුබ්බාචරියසම්මතා තස්මා තේසං උපට්ඨානං ඉධ පසංසා පුබ්බේච සග්ගසුඛංච ආවහති" (මංගල සූත්‍ර අට්ඨකථා).

​අර්ථය:

අත්පා හදා දරුවන් පෝෂණය කර මෙලොව දක්වන ලද්දේ මවුපියෝය. ඔවුහු බ්‍රහ්මසම්මතයන්ය; පූර්වාචාර්ය සම්මතයන්ය. ඔවුන්ට උපස්ථාන කිරීමෙන් මෙලොව ප්‍රශංසාව හිමි වන්නේය; පරලොව සුගති සැප ලැබෙන්නේය.

​මවුපියෝ මහා බ්‍රහ්මයෝ වැනිය

​බ්‍රහ්මාති මාතාපිතරෝ පුබ්බාචරියාති වුච්චරේ

ආහුනෙය්‍යා ච පුත්තානං පජාය අනුකම්පකා[4]

​මව්පියෝ මහා බ්‍රහ්මයෝ වැනිය. ඔවුහු දරුවන්ගේ මුල්ම ගුරුවරු යැයි කියනු ලැබේ. ආහුනෙය්‍ය ගුණයෙන් (පිදිය යුත්තෝ) ද යුක්තය. දරු ප්‍රජාවට අනුකම්පා කරන්නෝය.

​බ්‍රහ්ම ලෝකයේ සිටින මහා බ්‍රහ්මයා බඹලොව වැසියන් වෙත මෛත්‍රිය, කරුණාව, මුදිතාව සහ උපේක්ෂාව පතුරුවාගෙන වාසය කරයි. ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ද ලෝක සත්ත්වයා කෙරෙහි එම සතර බ්‍රහ්ම විහරණයන් පතුරුවාගෙන වාසය කළහ. අපගේ ආදරණීය මවුපියෝ ද දරුවන් කෙරෙහි මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ෂා ගුණයන් පතුරුවාගෙන වාසය කරති.

​මෛත්‍රී ගුණය: මවුපියෝ දරුවන්ගේ සැප කැමැත්තෝය. එය මවුපියන් තුළ පවතින මෛත්‍රී සහගත ස්වභාවයයි. දරුවාට සැපය සලසා දීම පිණිස මව තම රුධිරය කිරි කර පොවන්නීය. ආදරයෙන්, ගෞරවයෙන් උපස්ථාන කරන්නීය. පියා ද දරුවාගේ සැපය උදෙසා කියා නිම කළ නොහැකි තරම් කැප කිරීම් කරයි.

​මවුපියන්ගේ කරුණාව.

​අනුන්ගේ දුක දැකපු හදවත උණුවන ස්වභාවය කරුණාවයි. එය ඉතා උසස් ආකාරයෙන් මවුපියන් තුළ පිහිටා ඇත. දරුවා හඬන වැළපෙන අවස්ථාවලදී ද කායිකව මානසිකව දුක් විඳින අවස්ථාවලදී ද මවුපියෝ දරුවාගේ දුක නැති කිරීම සඳහා කටයුතු කරති. එය මවුපියන්ගේ උදාර කරුණාවයි. අංගුලිමාල නම් වූ දාමරික මිනීමරුවා ඝාතනය කිරීමට රජතුමා තීරණය කළේය. රජතුමාගේ තීරණය ගැන අසන්නට ලැබෙත්ම, රාජ පුරුෂයන් විසින් තම පුතා අල්ලා ගැනීමට පෙර පුතා බේරා ගැනීම පිණිස මවුතුමිය තනියම මහ වනයට ගියාය. ඒ මවගේ කරුණාවයි.