ශිල්පය ගිහි ශිල්ප සහ පැවිදි ශිල්ප ලෙස දෙකොටසකි. ගිහි ශිල්ප නම් ප්‍රාණඝාතාදී අකුසලයන්ගෙන් තොර වූ මැණික් කර්මාන්තය, ස්වර්ණ කර්මාන්තය, ගොවිතැන ආදී ධාර්මික දේ පිළිබඳ දැනුමයි. එම ශිල්පයන් මෙලොව යහපත උදාකරන බැවින් මංගල කාරණාවකි. පැවිදි ශිල්ප නම් පැවිද්දන්ට අයත් වන්නා වූ සිවුරු කැපීම, මැසීම, පාත්‍රා සැකසීම සහ වෙනත් ශ්‍රමණ පරිෂ්කාර සැකසීම ආදිය පිළිබඳ ඇති දැනුමයි.
"ඉධ භික්ඛවේ භික්ඛු යානි තානි සබ්‍රහ්මචාරීනං උච්ඡාවචානි කිච්චකරණියානි තත්ථ තත්ථ දක්ඛෝ හෝති"[3] (සංගීති සූත්‍රය, දීඝ නිකාය).
යනුවෙන් පැවිද්දන්ට අදාළ වන්නා වූ කුඩා හෝ මහත් දේ කිරීමට දක්ෂ වන්නේ නම් එය නාථ කරන (පිහිට වන) ධර්මයක් බව දේශනා කරන ලදී. එය තමාගේත් අනුන්ගේත් උභය ලෝකාර්ථ සිද්ධිය ඇති කරමින් සැප ගෙන දෙන බැවින් මංගල කාරණාවක් යැයි දත යුතුය.
විනය (විනයෝ ච සුසික්ඛිතෝ)
විනය යනු කායික, වාචසික සහ මානසික හික්මීමයි. ප්‍රාණඝාතාදී අකුසලයෙන් වැළකීම කායික හික්මීමයි. මුසාවාදාදී වචී දුෂ්චරිතයන්ගෙන් වැළකීම වාචසික හික්මීමයි. අභිජ්ඣා, ව්‍යාපාද, මිච්ඡාදිට්ඨි අතහැරීම, අන්සතු දෙයට ආසා නොකිරීම සහ මෛත්‍රිය වැඩීම මානසික හික්මීමයි. තවත් ක්‍රමයකින් කිවහොත් දස අකුසල කර්මපථයන්ගෙන් තොරවීම විනයයි. අපිරිසිදු කරන ක්ලේශයන් දුරුකරන බැවින්ද, ආචාර ගුණධර්මයන් වර්ධනය කරන බැවින්ද මෙය මංගල කාරණාවකි. චතුපාරිශුද්ධි සීලය පැවිද්දාගේ විනයයි. එය ලෞකික ලෝකෝත්තර සැප ගෙන දීමට සමර්ථ වන බැවින් මංගල කාරණාවකි.
බොරු කීම, කේලම් කීම, පරුෂ වචන කීම සහ හිස් වචන කීම යන වචී දුෂ්චරිතයන්ගෙන් වැළකීම සුභාෂිත වචනයයි.
සුභාසිතං උත්තමමාහු සන්තෝ
ධම්මං භණේ නාධම්මං තං දුතියං
පියං භණේ නාප්පියං තං තතියං
සච්චං භණේ නාලිකං තං චතුත්ථං
සුභාෂිත වචන උත්තමයැයි සාන්ත සත්පුරුෂයන් විසින් කියන ලදී. ධර්මය කියන්නේය, අධර්මය නොකියන්නේය. ප්‍රිය වචන කියන්නේය, අප්‍රිය වචන නොකියන්නේය. සත්‍ය වචන කියන්නේය, අසත්‍ය වචන නොකියන්නේය. සුභාෂිත වචන මෙලොව පරලොව යහපත ඇති කරන බැවින් මංගල කාරණාවන් යැයි දත යුතුය.