ශ්‍රී ලංකාදීපයේ නාගදීපයට ආසන්න දූපතක අප මහා බෝසතාණන් වහන්සේ තපස් රකිමින් වැඩවාසය කළහ. උන්වහන්සේ කර ගසකින් ලබා ගන්නා කොළ තම්බා අනුභව කරති. දිනක් සක්දෙව් රජතුමා යාචකයෙකුගේ වෙස් ගෙන එහි පැමිණියේය. අකීර්ති බෝසතාණෝ තමා වෙනුවෙන් සකසන ලද කරකොළ සක් දෙව් රජතුමා වෙත පූජා කළහ. එදින ආහාර නොගෙන සතුටෙන්ම කල්ගත කළහ. දෙවන දවසේ ද, තුන්වන දවසේ ද සක්දෙව් රජතුමා පැමිණි අතර, බෝධිසත්වයෝ ඒ දින දෙක තුළ ද තමා වෙනුවෙන් සැකසූ ආහාරය පූජා කොට කුසගින්නේම ප්‍රීතියෙන් යුතුව කල්ගත කළහ. එයින් ප්‍රසාදයට පත් සක්දෙව් රජතුමා, "මම යාචකයකු නොවේ, මම සක් දෙව් රජතුමා වෙමි. ඔබට කැමති වරයක් ඉල්ලන්න" යැයි ප්‍රකාශ කළේය. එවිට බෝධිසතාණන් වහන්සේ මෙසේ වදාළ සේක:
බාලා න පස්සේ, න සුණේ
නච බාලේන සංවසේ
බාලේන අල්ලාප සල්ලාපං
න කරේ, නච රෝචයේ"
(බාලයන් දක්නට නොලැබේවා! බාලයන්ගේ වචන අසන්නට නොලැබේවා! බාලයන් සමඟ වාසය කරන්නට නොලැබේවා! බාලයන් සමඟ අල්ලාප සල්ලාප කීමට කැමති නොවන්නෙමි!)
කින්නුතේ අකරා බාලෝ
වද කස්සප කාරණං
කේන කස්සප බාලස්ස
දස්සනං නාභිකංඛති"
"බාලයා ඔබට කුමක් නොකළේද? කළේද? කස්සප, ඒ සඳහා ඇති හේතුව වදාරන්න. බාලයන් දැකීමට ඔබ අකමැති වන්නේ මන්ද?"
අනයං නයති දුම්මේධෝ
අධුරායං නියුජ්ඣති
දුන්නයෝ සෙයියෝ හෝති
සම්මා වුත්තෝ පකුප්පති
විනයං සෝ න ජානාති
සාධු තස්ස අදස්සනන්ති
"ප්‍රඥාව නැති තැනැත්තා (බාලයා), නොපැමිණ විය යුතු තැනට (නොමඟට) යයි. නොයෙදිය යුතු පාප ක්‍රියාවල යෙදේ. නොමඟ යෑමම උසස් යැයි සිතයි. මනාකොට යමක් කියන විට කෝප වේ. ඔහු විනය නොදනී. එබැවින් එබඳු බාලයන් නොදැකීමම යහපත් වේ."
මෙසේ බුදුරජාණන් වහන්සේ නොයෙක් ආකාරයෙන් බාලයන්ට ගර්හා කරමින්, බාලයන් ඇසුරු නොකිරීම මංගල කාරණාවක් යැයි දේශනා කළ සේක.