පොත් ලැයිස්තුව

මහා මංගල සූත්‍රය

star_outline

දෙවන ගාථාව

​අසේවනාච බාලානං - පණ්ඩිතානංච සේවනා

පූජාච පූජනීයානං - ඒතං මංගල මුත්තමං

බාලයන් ඇසුරු නොකිරීම ද, පණ්ඩිතයන් ඇසුරු කිරීම ද, පිදිය යුත්තන් පිදීම ද යන මේවා උතුම් මංගල කරුණු වේ

​ අද මහා මංගල සූත්‍රය ඇසුරෙන් ධර්ම කාරණාවන් පැහැදිලි කර දීමට බලාපොරොත්තු වෙනවා. පළමුවෙන්ම ඇසුරු නොකළ යුතු පුද්ගලයන්, ඇසුරු කළ යුතු පුද්ගලයන් සහ පිදිය යුත්තන් පිදීමේ වටිනාකම් පිළිබඳව මංගල සූත්‍රයේ දී දේශනා කළ සේක.

​ ඇසුරු කරනවා යනුවෙන් අදහස් කරන්නේ, භජනය කිරීම සහ පයුරු පාසානය කිරීමයි. බාලයන් යනුවෙන් අදහස් කරන්නේ, කළ යුතු යහපත තනියම සිතා කිරීමට නොහැකි අයයි. ඔහුට හොඳ දෙයක් කිරීමට කෙනෙක් විසින්ම අණ කළ යුතුයි, දැනුම් දිය යුතුයි. ඔහු ආශ්වාස ප්‍රශ්වාස මාත්‍රයෙන් ජීවත් වෙයි; ප්‍රඥාවෙන් ජීවත් නොවෙයි.

​පණ්ඩිතයන් යනුවෙන් හඳුන්වන්නේ බුද්ධිමත් වූ අයයි. මෙලොව පරලොව යහපත පිළිබඳව නුවණින් සිටීමේ හැකියාව ඇති පිරිස පණ්ඩිතයෝ යනුවෙන් හඳුන්වනු ලබති. එබඳු පණ්ඩිතයන් භජනය කිරීම, පයුරු පාසානය කිරීම, ඔවුන් සමග මිත්‍රව ජීවත්වීම, ඔවුන් වෙත නැමුණු, නැඹුරු වුණු සිතක් ඇතිව ජීවත්වීම පණ්ඩිතයන් ඇසුරු කිරීමයි.

​පිදිය යුතු උතුමන් කියලා හඳුන්වන්නේ සත්කාර කිරීමට සුදුසු, ගෞරව කිරීමට සුදුසු, වත්පිළිවෙත් කිරීමට සුදුසු, වැඳුම් පිදුම් කිරීමට සුදුසු පුද්ගලයෝ ය. "පූජනීයානං" යන වචනයේ අර්ථයෙන් පිදීමට සුදුසු පුද්ගලයන්ට පිදීමයි. හෙවත් සත්කාර කළ යුතු පුද්ගලයන්ට සත්කාර කිරීම, ගරු කළ යුතු පුද්ගලයන්ට ගරු කිරීම,වත්පිළිවෙත් කළ යුතු පුද්ගලයන් උදෙසා වත්පිළිවෙත් කිරීම, වන්දනා කළ යුතු පුද්ගලයන් උදෙසා වන්දනා කිරීම පිදිය යුත්තන් පිදීමයි.

​"ඒතං මංගල මුත්තමං"... බාලයන් ඇසුරු නොකිරීම ද, පණ්ඩිතයන් ඇසුරු කිරීම ද, පිදිය යුත්තන් පිදීම ද යන මේවා උත්තම මංගල කරුණු වේ.

බාලයා සහ පණ්ඩිතයා

තත්ථ බාලානාම යේකේචි පාණාතිපාතාදී අකුසල කම්මපථ සමන්නාගතා සත්තා.." බාලයෝ යනු ප්‍රාණඝාතය කිරීම, සොරකම් කිරීම, කාමයෙහි වරදවා හැසිරීම, බොරු කීම, කේලාම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කීම යන අකුසල කර්ම පථයන්ගෙන් යුක්ත වූ සත්වයෝ ය.

​බාලයන්ගේ බාල ලක්ෂණ හෙවත් බාල චරිතාපදාන තුනකි. එනම්: නොසිතිය යුතු දේ සිතයි, කතා නොකළ යුතු දේ කතා කරයි, නොකළ යුතු ක්‍රියා කරයි. (අංගුත්තර තික නිපාතය ඇසුරෙනි).

​පූර්ණ කාශ්‍යප ආදී සත් ශාස්තෘවරයෝද, දේවදත්ත, කෝකාලික, කටමෝරකතිස්ස, ඛණ්ඩ දිව්‍ය පුත්‍රයා, සමුද්දදත්ත, චිංචි මානවිකා ආදී අසත්පුරුෂයෝ බාලයෝය. එබඳු දරුණු ස්වභාව ඇති, අධික ලෙස පාපකර්මයෙහි ඇලී ගැලී වෙසෙන සෙසු අසත්පුරුෂයෝද බාලයෝය. ඔවුහු දැල්වෙන ගිනි අඟුරු වළක් සේ, තමන් වැරදි මිථ්‍යාදෘෂ්ටි දරාගෙන තමාද විනාශයට පත් වෙති; තමන්ගේ වචනය අනුව කටයුතු කරන පුද්ගලයෝද විනාශයට පත් කරති. මරණින් මතු ඔවුහු අපාගාමී වෙති.

දීඝ විදස්සගේ සහෝදරයා

​අතීතයේ දීඝ විදස්ස නම් මිනිසෙකු ජීවත් විය. ඔහුගේ සහෝදරයෙකු දැඩි සේ මිථ්‍යාදෘෂ්ටි ගෙන, එම මිථ්‍යාදෘෂ්ටි ප්‍රචාරය කරමින් අන් අයට මිථ්‍යාදෘෂ්ටි දේශනා කළේය. එම මිථ්‍යාදෘෂ්ටි අනුගමනය කරන ලද පවුල් පන්සියයක මිනිසුන් අපාගාමී විය. මිථ්‍යාදෘෂ්ටි දේශනා කරන ලද තැනැත්තාද, යොදුන් හැටක් පමණ දිග ශරීරයක් ඇතුව නිරයේ ඉපදී, උඩුගුරුව සයනය කරමින් බුදුවරු හතර නමක් ලොව පහළ වී පිරිනිවන් පානා තෙක් අපා දුක් විඳින ලදී. ඒ ආකාරයෙන්ම, බාලයා නිසා බොහෝ දෙනෙක් අපාගාමී වන බවද, අපව අයහපතෙහි යොදවන බාලයෝද අපාගාමී වන බවද දත යුතුය.

​කුණු මාළු කෑල්ලක් කොළයක එතූ විට මාළු කෑල්ල ද දුගඳ හමයි, ඔතන ලද කොළය ද දුගඳ බවට පත්වෙයි. එසේම බාලයා ද ස්වභාවයෙන්ම පව්කාරය. ඔහු ඇසුරු කරන්නා ද පාපයට, අකුසලයට ලැජ්ජා නොවන අසත්පුරුෂයෝ බවට පත් වෙති. ඔවුහු පාප කර්මයන්හි ඇලී ගැලී වාසය කරති; මෙලොව යහපත ද වනසා ගනිති, පරලොව අපාගාමී වෙති

​තණකොළවලින් සාදන ලද නිවසක් ගින්නකින් වහා දවා අළුකරයි. එසේම මේ ලෝකයෙහි සියලු බිය උපදින්නේ බාලයා නිසාය. සියලු උපද්‍රව උපදින්නේ බාලයා නිසාය. එබැවින් බාලයා බිය සහි

ත කෙනෙකි, උපද්‍රව සහිත කෙනෙකි. පණ්ඩිතයා බිය රහිත කෙනෙකි, උපද්‍රව රහිත කෙනෙකි (අංගුත්තර තික නිපාතය). බාලයා යනු බුද්ධිමතුන් විසින් බැහැර කළ යුතු කෙනෙකි, පිළිකුල් කළ යුතු කෙනෙකි.

​පූතිමච්ඡං කුසග්ගේන යෝනරෝ උපනයිහති

කුසා පි පූති වායන්ති ඒවං බාලූප සේවනා

​කුණු වූ මස් කැබැල්ලක් කොළයක ඔතන ලද විට, කොළය ද දුගඳ හමන්නේය. බාලයන් ඇසුරු කිරීම ද එබඳුය.

අකීර්ති බෝසත්තුමා..

​ශ්‍රී ලංකාදීපයේ නාගදීපයට ආසන්න දූපතක අප මහා බෝසතාණන් වහන්සේ තපස් රකිමින් වැඩවාසය කළහ. උන්වහන්සේ කර ගසකින් ලබා ගන්නා කොළ තම්බා අනුභව කරති. දිනක් සක්දෙව් රජතුමා යාචකයෙකුගේ වෙස් ගෙන එහි පැමිණියේය. අකීර්ති බෝසතාණෝ තමා වෙනුවෙන් සකසන ලද කරකොළ සක් දෙව් රජතුමා වෙත පූජා කළහ. එදින ආහාර නොගෙන සතුටෙන්ම කල්ගත කළහ. දෙවන දවසේ ද, තුන්වන දවසේ ද සක්දෙව් රජතුමා පැමිණි අතර, බෝධිසත්වයෝ ඒ දින දෙක තුළ ද තමා වෙනුවෙන් සැකසූ ආහාරය පූජා කොට කුසගින්නේම ප්‍රීතියෙන් යුතුව කල්ගත කළහ. එයින් ප්‍රසාදයට පත් සක්දෙව් රජතුමා, "මම යාචකයකු නොවේ, මම සක් දෙව් රජතුමා වෙමි. ඔබට කැමති වරයක් ඉල්ලන්න" යැයි ප්‍රකාශ කළේය. එවිට බෝධිසතාණන් වහන්සේ මෙසේ වදාළ සේක:

බාලා න පස්සේ, න සුණේ

නච බාලේන සංවසේ

බාලේන අල්ලාප සල්ලාපං

න කරේ, නච රෝචයේ"

​(බාලයන් දක්නට නොලැබේවා! බාලයන්ගේ වචන අසන්නට නොලැබේවා! බාලයන් සමඟ වාසය කරන්නට නොලැබේවා! බාලයන් සමඟ අල්ලාප සල්ලාප කීමට කැමති නොවන්නෙමි!)

කින්නුතේ අකරා බාලෝ

වද කස්සප කාරණං

කේන කස්සප බාලස්ස

දස්සනං නාභිකංඛති"

"බාලයා ඔබට කුමක් නොකළේද? කළේද? කස්සප, ඒ සඳහා ඇති හේතුව වදාරන්න. බාලයන් දැකීමට ඔබ අකමැති වන්නේ මන්ද?"

අනයං නයති දුම්මේධෝ

අධුරායං නියුජ්ඣති

දුන්නයෝ සෙයියෝ හෝති

සම්මා වුත්තෝ පකුප්පති

විනයං සෝ න ජානාති

සාධු තස්ස අදස්සනන්ති

"ප්‍රඥාව නැති තැනැත්තා (බාලයා), නොපැමිණ විය යුතු තැනට (නොමඟට) යයි. නොයෙදිය යුතු පාප ක්‍රියාවල යෙදේ. නොමඟ යෑමම උසස් යැයි සිතයි. මනාකොට යමක් කියන විට කෝප වේ. ඔහු විනය නොදනී. එබැවින් එබඳු බාලයන් නොදැකීමම යහපත් වේ."

​මෙසේ බුදුරජාණන් වහන්සේ නොයෙක් ආකාරයෙන් බාලයන්ට ගර්හා කරමින්, බාලයන් ඇසුරු නොකිරීම මංගල කාරණාවක් යැයි දේශනා කළ සේක.

පණ්ඩිතානඤ්ච සේවනා

​පණ්ඩිතයන් ඇසුරු කිරීම උතුම් මංගල කාරණාවකි. පණ්ඩිතයන් යනු සත්ත්ව ඝාතනයෙන් වැළකීම, සොරකමින් වැළකීම, කාම මිථ්‍යාචාරයෙන් වැළකීම, බොරු කීමෙන් වැළකීම, කේලාම් කීමෙන් වැළකීම, පරුෂ වචන කීමෙන් වැළකීම, හිස් වචන කීමෙන් වැළකීම, අන් සතු වස්තුවට ආසා කිරීමෙන් වැළකීම, මෛත්‍රී සහගත වීම සහ සම්මා දිට්ඨියෙන් යුක්ත වීම යන දස කුසල් කර්ම පථයන්ගෙන් සමන්වාගත වූ සත්ත්වයෝ වෙති.

​බුදුරජාණන් වහන්සේ දේශනා කරන පරිදි, පණ්ඩිතයන්ගේ ලක්ෂණ සහ චරිතාපදාන තුනකින් හඳුනාගත හැකිය:

​"මහණෙනි, පණ්ඩිතයන්ගේ පණ්ඩිත ලක්ෂණ තුනකි. පණ්ඩිත චරිතාපදාන තුනකි. පණ්ඩිතයෝ:

​යහපත් දෙයම කරති.

​යහපත් දෙයම කියති.

​යහපත් දෙයම සිතති.[1]

පණ්ඩිතයන් ඇසුරු කිරීමේ අනුසස්

​පණ්ඩිතයෝ නම් බුදුරජාණන් වහන්සේ, පසේබුදුරජාණන් වහන්සේලා, අසූමහා ශ්‍රාවක මහරහතන් වහන්සේලා සහ සෙසු තථාගත ශ්‍රාවකයෝය. අතීතයෙහි වැඩසිටි සුනෙත්ත, මහා ගෝවින්ද, විදුර, සරභංග, මහෝෂධ, සුතසෝම, නිමිරාජ, අයෝඝර, අකීර්ති වැනි පණ්ඩිතයෝ ද සත්පුරුෂයන් අතර අග්‍රගණ්‍ය වෙති. මොවුන් බියට ආරක්ෂාවක් වැනිය. අඳුරට පහන් ආලෝකයක් බඳුය. කුසගින්නට ආහාරපාන ලැබීමක් වැනිය. එම සත්පුරුෂයන් ඇසුරු කරන්නෝ සියලු බිය සහ උපද්‍රව දුරුකර ගැනීමට සමර්ථ වෙති.

​තථාගතයන් වහන්සේ වෙත පැමිණි අනන්ත අප්‍රමාණ දෙවියෝ ද බ්‍රහ්මයෝ ද මනුස්සයෝ ද ක්ලේශ ධර්මයන් ක්ෂය කළහ. සැරියුත් මහ රහතන් වහන්සේ කෙරෙහි සිත පහදවාගෙන සිව්පසයෙන් උපස්ථාන කළ අසූදහසක් කුල පවුල් සුගතියෙහි ඉපදුනහ. එසේම මහා මොග්ගල්ලාන තෙරුන් වහන්සේ නිසා ද, සෙසු මහා ශ්‍රාවකයන් වහන්සේලා නිසා ද, අතීතයේ වැඩසිටි සුනෙත්ත නම් ශාස්තෘන් වහන්සේ නිසා ද බොහෝ දෙනා සුගතිගාමී වූහ. පණ්ඩිතයන් ඇසුරු කිරීම ඒකාන්තයෙන්ම බොහෝ යහපතට හේතු වන්නේය.

​බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ දී දේශනා කළ සේක:

"නත්ථි පණ්ඩිතෝ භයං, නත්ථි පණ්ඩිතෝ උපද්දවෝ, නත්ථි පණ්ඩිතෝ උපසග්ගෝ."

(මහණෙනි, පණ්ඩිතයන් නිසා බයක් නැත. පණ්ඩිතයන් නිසා උපද්‍රව නැත. පණ්ඩිතයන් නිසා උපසර්ග නැත.)

​පණ්ඩිතයෝ සුවඳවත් වූ මල් මාලාවන් බඳුය.

​පූජාච පූජනීයානං

​තථාගතයන් වහන්සේ විසින් පිදිය යුත්තන් පිදීම උතුම් මංගල කාරණාවක් බව දේශනා කළ සේක. පිදිය යුතු පුද්ගලයෝ නම්, සියලු දෝෂයන්ගෙන් තොරවූත්, සියලු ගුණයන්ගෙන් සමන්වාගත වූත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ, පසේ බුදුරජාණන් වහන්සේලා සහ ආර්ය ශ්‍රාවකයන් වහන්සේලාය. එබඳු උතුමන් උදෙසා කරන ලද ස්වල්ප පූජාවක් පවා බොහෝ කාලයක් හිතසුව පිණිස පවතී. සුමන මාලාකාරය තමා සතු මල් පූජා කිරීමෙන් මහත් ආනිසංසයක් ලැබීම මෙයට කදිම උදාහරණයකි.

​සුමන මාලාකාර ආදීන් පැවැත්වූයේ ආමිස පූජාවන්ය. එහෙත් ප්‍රතිපත්ති පූජාව ඊටත් වඩා මහත්ඵල මහානිසංස වේ. යම් කුලපුත්‍රයෙක් තෙරුවන් සරණ ගොස්, පංචශීල ප්‍රතිපත්තිය රකිමින්, පොහෝ දිනවල අෂ්ටාංග උපෝසථ ශීලය සමාදන් වෙමින්, සතර සංවර ශීලයෙහි පිහිටා බුදුරජාණන් වහන්සේට පූජා පවත්වන්නේ නම්, එවන් ප්‍රතිපත්ති පූජාවක ආනිසංස වර්ණනා කිරීමට කිසිවෙකුටත් නොහැක.

​මහා පරිනිබ්බාන සූත්‍රයෙහි තථාගතයන් වහන්සේ මෙසේ වදාළ සේක:

"යෝ ඛෝ ආනන්ද භික්ඛූ වා භික්ඛුනී වා උපාසකෝ වා උපාසිකා වා ධම්මානුධම්මපටිපන්නෝ විහරති සාමීචිපටිපන්නෝ, අනුධම්මචාරී, සෝ තථාගතං සක්කරෝති ගරුකරෝති මානේති පූජේති පරමාය පූජාය පටිපත්තියා."

​පරිවර්තනය:

"ආනන්ද, යම් භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ උපාසක කෙනෙක් හෝ උපාසිකාවක් හෝ ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි වාසය කරයි නම්, සාමීචි ප්‍රතිපදාවෙහි වාසය කරයි නම්, ධර්මයට අනුව හැසිරෙයි නම්, ඔහු තථාගතයන් වහන්සේට සත්කාර කරයි, ගරු කරයි, වත්පිළිවෙත් කරයි. උන්වහන්සේව පුදයි. උතුම්ම පූජාව ප්‍රතිපත්තියයි.

ගිහි ගෙදර වාසය කරන සත්පුරුෂයන් විසින් බාල සහෝදරයා වැඩිහිටි සහෝදරයා පිදිය යුතුය. බාල නැගණිය වැඩිහිටි සහෝදර සහෝදරියන් පිදිය යුතුය. පුතා විසින් මව ද පිදිය යුතුය. භාර්යාව විසින් තම ස්වාමිපුරුෂයා පිදිය යුතුය. මෙසේ වැඩිහිටියන් පිදීමද කුසල ධර්මයක්ම වන්නේය. ආයු වර්ණ සැප බල ප්‍රඥා ලබන්නට එය හේතුවක්ම වෙයි. එබැවින් එයද මංගල කාරණාවකි.

​යේ තේ මත්තෙයියා භවිස්සන්ති පේත්තෙය්යා සාමඤ්ඤආ බ්‍රහ්මඤ්ඤආ කුලේ ජෙට්ඨාපචායිනෝ තේ තේසං කුසලානං ධම්මානං සමාදාය වත්තිස්සන්ති තේ තේසං කුසලානං ධම්මානං සමාදානහේතු ආයුනාපි වඩ්ඪිස්සන්ති වණ්ණෙනාපි වඩ්ඪිස්සන්ති (චක්කවත්ති සීහනාද සූත්‍රය, දීඝ නිකාය).

​ගිහි ගෙදර වාසය කරන කෙනෙකු මව පුදන්නේ නම්, පියා පුදන්නේ නම්, ශ්‍රමණයන් පුදන්නේ නම්, බ්‍රාහ්මණයන් පුදන්නේ නම්, පවුලෙහි වැඩිහිටියන් පුදන්නේ නම් එය කුසලයකි. එම කුසලය සමාදන්ව වාසය කරන තැනැත්තා එම කුසල ධර්මය හේතුවෙන් ආයුෂයෙන් වැඩෙයි, ශරීර වර්ණයෙන් වැඩෙයි යනුවෙන් බුදුරජාණන් වහන්සේ වදාළ සේක. එබැවින් ඒවාද මංගල කාරණාවන්ය.