අසේවනාච බාලානං - පණ්ඩිතානංච සේවනා
පූජාච පූජනීයානං - ඒතං මංගල මුත්තමං
බාලයන් ඇසුරු නොකිරීම ද, පණ්ඩිතයන් ඇසුරු කිරීම ද, පිදිය යුත්තන් පිදීම ද යන මේවා උතුම් මංගල කරුණු වේ
අද මහා මංගල සූත්‍රය ඇසුරෙන් ධර්ම කාරණාවන් පැහැදිලි කර දීමට බලාපොරොත්තු වෙනවා. පළමුවෙන්ම ඇසුරු නොකළ යුතු පුද්ගලයන්, ඇසුරු කළ යුතු පුද්ගලයන් සහ පිදිය යුත්තන් පිදීමේ වටිනාකම් පිළිබඳව මංගල සූත්‍රයේ දී දේශනා කළ සේක.
ඇසුරු කරනවා යනුවෙන් අදහස් කරන්නේ, භජනය කිරීම සහ පයුරු පාසානය කිරීමයි. බාලයන් යනුවෙන් අදහස් කරන්නේ, කළ යුතු යහපත තනියම සිතා කිරීමට නොහැකි අයයි. ඔහුට හොඳ දෙයක් කිරීමට කෙනෙක් විසින්ම අණ කළ යුතුයි, දැනුම් දිය යුතුයි. ඔහු ආශ්වාස ප්‍රශ්වාස මාත්‍රයෙන් ජීවත් වෙයි; ප්‍රඥාවෙන් ජීවත් නොවෙයි.
පණ්ඩිතයන් යනුවෙන් හඳුන්වන්නේ බුද්ධිමත් වූ අයයි. මෙලොව පරලොව යහපත පිළිබඳව නුවණින් සිටීමේ හැකියාව ඇති පිරිස පණ්ඩිතයෝ යනුවෙන් හඳුන්වනු ලබති. එබඳු පණ්ඩිතයන් භජනය කිරීම, පයුරු පාසානය කිරීම, ඔවුන් සමග මිත්‍රව ජීවත්වීම, ඔවුන් වෙත නැමුණු, නැඹුරු වුණු සිතක් ඇතිව ජීවත්වීම පණ්ඩිතයන් ඇසුරු කිරීමයි.
පිදිය යුතු උතුමන් කියලා හඳුන්වන්නේ සත්කාර කිරීමට සුදුසු, ගෞරව කිරීමට සුදුසු, වත්පිළිවෙත් කිරීමට සුදුසු, වැඳුම් පිදුම් කිරීමට සුදුසු පුද්ගලයෝ ය. "පූජනීයානං" යන වචනයේ අර්ථයෙන් පිදීමට සුදුසු පුද්ගලයන්ට පිදීමයි. හෙවත් සත්කාර කළ යුතු පුද්ගලයන්ට සත්කාර කිරීම, ගරු කළ යුතු පුද්ගලයන්ට ගරු කිරීම,වත්පිළිවෙත් කළ යුතු පුද්ගලයන් උදෙසා වත්පිළිවෙත් කිරීම, වන්දනා කළ යුතු පුද්ගලයන් උදෙසා වන්දනා කිරීම පිදිය යුත්තන් පිදීමයි.
"ඒතං මංගල මුත්තමං"... බාලයන් ඇසුරු නොකිරීම ද, පණ්ඩිතයන් ඇසුරු කිරීම ද, පිදිය යුත්තන් පිදීම ද යන මේවා උත්තම මංගල කරුණු වේ.