තත්ථ බාලානාම යේකේචි පාණාතිපාතාදී අකුසල කම්මපථ සමන්නාගතා සත්තා.." බාලයෝ යනු ප්‍රාණඝාතය කිරීම, සොරකම් කිරීම, කාමයෙහි වරදවා හැසිරීම, බොරු කීම, කේලාම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කීම යන අකුසල කර්ම පථයන්ගෙන් යුක්ත වූ සත්වයෝ ය.
බාලයන්ගේ බාල ලක්ෂණ හෙවත් බාල චරිතාපදාන තුනකි. එනම්: නොසිතිය යුතු දේ සිතයි, කතා නොකළ යුතු දේ කතා කරයි, නොකළ යුතු ක්‍රියා කරයි. (අංගුත්තර තික නිපාතය ඇසුරෙනි).
පූර්ණ කාශ්‍යප ආදී සත් ශාස්තෘවරයෝද, දේවදත්ත, කෝකාලික, කටමෝරකතිස්ස, ඛණ්ඩ දිව්‍ය පුත්‍රයා, සමුද්දදත්ත, චිංචි මානවිකා ආදී අසත්පුරුෂයෝ බාලයෝය. එබඳු දරුණු ස්වභාව ඇති, අධික ලෙස පාපකර්මයෙහි ඇලී ගැලී වෙසෙන සෙසු අසත්පුරුෂයෝද බාලයෝය. ඔවුහු දැල්වෙන ගිනි අඟුරු වළක් සේ, තමන් වැරදි මිථ්‍යාදෘෂ්ටි දරාගෙන තමාද විනාශයට පත් වෙති; තමන්ගේ වචනය අනුව කටයුතු කරන පුද්ගලයෝද විනාශයට පත් කරති. මරණින් මතු ඔවුහු අපාගාමී වෙති.