පොත් ලැයිස්තුව

බහිද්ධා වික්ඛිත්ත ඡන්දය

star_outline

කුසල ධර්මයන් වඩන විට කුසලය සමඟ යෙදෙන ඡන්දය හෙවත් කත්තුකම්මතා කුසලච්ඡන්දය බාහිරට විසිරෙන අවස්ථා තිබේ. බාහිරට විසිරීම යනු කුමක්ද? ඒ බව තථාගතයන් වහන්සේ ඍද්ධිපාද සංයුක්තයේ විභංග සූත්‍රයේදී මෙසේ දක්වන ලදී.

"යෝ හි, භික්ඛවේ, ඡන්දෝ බහිද්ධා පඤ්චකාමගුණේ ආරබ්භ අනුවික්ඛිත්තෝ අනුවිසටෝ, අයං වුච්චති, භික්ඛවේ, බහිද්ධා වික්ඛිත්තෝ ඡන්දෝ."

මහණෙනි, බාහිරට හෙවත් පිටතට විසිරුණු කැමැත්ත යනු කුමක්ද? මහණෙනි, යම් කැමැත්තක් බාහිර පඤ්චකාම ගුණ (ප්‍රියමනාප වූ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ) අරමුණු කරගෙන විසිරී පවතී නම්, අනුවිසිරී පවතී නම්, එය බාහිරට විසිරුණු ඡන්දයයි.

මින් ඉතාම පැහැදිලිව කාමච්ඡන්ද නීවරණයට සිත යාමට නොදී, කාමච්ඡන්දයෙන් සිත රැකගෙන භාවනා කළ යුතු බව පැහැදිලිව දක්වා ඇත. කාමච්ඡන්දය යනු කුමක්ද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන අරමුණු පහ කාමය හට ගැනීමට හේතුවන බැවින් පඤ්චකාම ගුණ යන නමින් හඳුන්වනු ලබයි. එම පඤ්චකාම ගුණයන් කෙරෙහි ඇති වන කැමැත්ත කාමච්ඡන්දයයි.

එම කාමච්ඡන්දය දුරුවන ආකාරයට භාවනා වැඩීම කළ යුතුය. විශේෂයෙන් මෙහිදී කැමැත්තෙන් යුතුව කරන භාවනාව පඤ්චකාමී වූ කාමච්ඡන්දයෙන් අපිරිසිදු නොවන ආකාරයට කළ යුතු බව සඳහන් කරයි.

පච්ඡාපුරේ සඤ්ඤාව (පෙර-පසු සංඥාව)

පච්ඡාපුරේ සංඥාව යනු පෙර-පසු සංඥාවයි. එය ප්‍රායෝගිකව වටහාගත යුතු ආකාරය අට්ඨකතාවෙහි මනාකොට දක්වා තිබේ. පළමුවෙන්ම, කර්මස්ථාන වැඩීම් වශයෙන් පච්ඡාපුරේ සංඥාව තේරුම් ගත යුතුය. මෙහිදී කර්මස්ථානය වැඩීම ආරම්භ කිරීම ‘පුරේ’ හෙවත් ‘පෙර’ නමින් හඳුන්වන අතර, භාවනාවේ අග්‍රඵලය වන අරහත්ත්වයට පත්වීම ‘පච්ඡා’ හෙවත් ‘පසු’ නමින් හඳුන්වයි.

යම්කිසි යෝගාවචරයෙකු මූල කර්මස්ථානය හෙවත් තමාගේ ප්‍රධාන භාවනා කර්මස්ථානය වඩන අවස්ථාවන්හිදී, සිත ධ්‍යානයෙන් හා විදර්ශනාවෙන් බැහැරට ඇද දමන බාධක අවස්ථා හතරක් හමුවේ. එනම්:

අතිලීන (අතිශයින් හැකුණු ස්වභාවය)

අතිපග්ගහිත (අතිශයින් දැඩි ලෙස වීර්යය ගත් ස්වභාවය)

අජ්ඣත්ත සංඛිත්ත (ඇතුළතින් හැකිළුණු ස්වභාවය)

බහිද්ධා වික්ඛිත්ත (බාහිර අරමුණුවල විසිරුණු ස්වභාවය)

යෝගියා විසින් තමාගේ සිත මෙම දෝෂ සහගත අවස්ථා හතරට බැසගන්නට නොදී, මැනවින් පිරිසිදු කරගනිමින් භාවනා කටයුතු ඉදිරියට කරගෙන යා යුතුය. එය හරියට අකීකරු, ඉතා දරුණු ගවයන් හතරදෙනෙකු වියගසක යොදා කරත්තයක් ඇදගෙන යන්නාක් බඳුය. එම දඩබ්බර ගවයන් හතරදෙනා මැනවින් හික්මවමින්, පාලනය කරමින් කරත්තය ඉදිරියටම රැගෙන යන්නා සේ, යෝගාවචරයා ද අතිශය දුෂ්කරත්වයෙන් යුතුව භාවනා මාර්ගයෙහි ඉදිරියටම යා යුතුය. මෙහි ‘දරුණු ගවයන්’ කියා හඳුන්වා ඇත්තේ සිත මුලාවට පත් කරන පෙරකී අතිලීන, අතිපග්ගහිත, අජ්ඣත්ත සංඛිත්ත සහ බහිද්ධා වික්ඛිත්ත යන අවස්ථා හතරයි.

එසේම, එම දෝෂයන්ගෙන් වැළකී, කළගෙඩි හතරකින් වතුර එකවර බිමට වක්කරන්නාක් මෙන්, ඒ සතර ස්ථානයෙන් එකෙණෙහිම සිත ඉවත් කරගත යුතුය. එලෙස සිත බැහැර ලා, සියලු සංස්කාරයන් ත්‍රිලක්ෂණ වශයෙන් මනාකොට සම්මර්ශනය කරමින් (විදර්ශනා කරමින්) යෝගියා අරහත්ත්වයට පත්වෙයි. කර්මස්ථාන වශයෙන් පච්ඡාපුරේ සංඥාවෙන් යුතුව වාසය කිරීම යනු එයයි.

දේශනා වශයෙන් ගත්කල, දෙතිස් කුණප දේශනාවෙහි මුලින්ම එන ‘කේසා’ (කෙස්) කොටස ‘පුරේ’ හෙවත් ‘පෙර’ නම් වෙයි. දේශනාවේ අවසානයටම එන ‘මත්තලුංගං’ (මොළය) කොටස ‘පච්ඡා’ හෙවත් ‘පසු’ නම් වෙයි. ඒ අනුව, කෙස්වල පටන් මොළය දක්වා වූ සමස්ත කුණප කොටස් කෙරෙහි මනා සිහි නුවණින් යුක්තව; වර්ණ (පාට), සණ්ඨාන (හැඩය), ගන්ධ (පිළීගඳ), ආසය (පිහිටි තැන) සහ අවකාශ (ඉඩ ප්‍රස්ථාව) වශයෙන් විදර්ශනා නුවණින් විමසිය යුතුය. එලෙසම, පෙර සඳහන් කරන ලද (අතිලීනාදී) ස්ථාන හතරෙහි සිත නොගිල්වා, භාවනාව අඛණ්ඩව ඉදිරියටම කරගෙන යාම දේශනා වශයෙන් පච්ඡාපුරේ සංඥාව යැයි දත යුතුය.

භාවනා කරන යෝගාවචරයා විසින් මෙම පච්ඡාපුරේ සංඥාව (පෙර-පසු සංඥාව) ඉතා හොඳින් ඉගෙන ගත යුතුය. තථාගතයන් වහන්සේ විසින් ඒ බව මෙසේ දේශනා කරන ලදී:

"ඉධ, භික්ඛවේ, භික්ඛුනෝ පච්ඡාපුරේසඤ්ඤා සුග්ගහිතා හෝති සුමනසිකතා සූපධාරිතා සුප්පටිවිද්ධා පඤ්ඤාය."

මහණෙනි, භික්ෂුව විසින් පච්ඡාපුරේ සංඥාව මැනවින් ගන්නා ලදී, හෙවත් මනාකොට ඉගෙන ගත යුතුය; මනසිකාර කළ යුතුය; ධාරණය කරගත යුතුය; ප්‍රඥාවෙන් ද විනිවිද අවබෝධ කරගත යුතුය.

එබැවින්, මේ අනුව භාවනානුයෝගීහු පච්ඡාපුරේ සංඥාව ඉතා හොඳින් තේරුම් ගෙන තිබීම අතිශයින්ම වැදගත් බව විශේෂයෙන්ම සඳහන් කළ යුතුය.