පොත් ලැයිස්තුව

අජ්ඣත්තං සංඛිත්ත ඡන්දය

star_outline

කුසල ධර්මයන් වඩන විට ඒ සඳහා කැමැත්ත මූලික වන බව පෙර දක්වන ලදී. කැමැත්තෙන් යුතුව කුසල ධර්මයන්හි යෙදෙන විට සමහර අවස්ථාවලදී ඡන්දය අජ්ඣත්තං සංඛිත්ත බවට පත්වේ. අජ්ඣත්තං සංඛිත්ත යනු කුමක්ද? ඒ බව ඍද්ධිපාද සංයුක්තයේ විභංග සූත්‍රයෙහි සඳහන් වෙයි.

"කතමෝ ච, භික්ඛවේ, අජ්ඣත්තං සංඛිත්තෝ ඡන්දෝ? යෝ හි, භික්ඛවේ, ඡන්දෝ ථීනමිද්ධසහගතෝ ථීනමිද්ධසම්පයුත්තෝ, අයං වුච්චති, භික්ඛවේ, අජ්ඣත්තං සංඛිත්තෝ ඡන්දෝ."

මහණෙනි, අධ්‍යාත්මයෙහි හැකිළුණු ඡන්දය යනු කුමක්ද? යමෙක් කුසලය වඩන විට එම කුසලච්ඡන්දය ථීනමිද්ධය හෙවත් කායික, මානසික අලස බවින් යුක්ත වෙයි, ථීනමිද්ධය හෙවත් කායික, මානසික අලස බව හා සම්ප්‍රයුක්ත වෙයි නම්, මහණෙනි, මෙය අජ්ඣත්තං සංඛිත්ත ඡන්දයයි.

මින් පැහැදිලි කර දෙන්නේ කැමැත්තෙන් යුතුව කුසල ධර්මයන් වඩන කල්හි ඔබගේ සිත තුළ නිදිමත, අලස බව, ඇනුම් යාම, ඇඟමැලි කැඩීම, බත් මත (භක්ත සම්මද/ආහාරයෙන් පසු ඇතිවන නිදිමත) සහ කුසල ධර්මයන්හි සිත නොඇලීම නම් වූ අරතිය ඇති වන බවයි. ඒ ආකාරයට ථීනමිද්ධය සමඟ මිශ්‍ර වූ කල්හි ඡන්දය දුර්වලව යයි.

එබැවින් යෝගාවචරයා නිරන්තරයෙන්ම "ඉති මේ ඡන්දෝ න ච අජ්ඣත්තං සංඛිත්තෝ භවිස්සති" (මාගේ ඡන්දය අධ්‍යාත්මයෙහි හැකුළුණු එකක් නොවන්නේය) යනුවෙන් ඡන්ද ඍද්ධිපාදය වැඩිය යුතුය. ඉන් අදහස් කරන්නේ ථීනමිද්ධයට යට නොවී ප්‍රතිපත්ති මාර්ගය කැමැත්තෙන් යුතුව, ආසාවෙන් යුතුව ඉදිරියට කරගෙන යා යුතු බවයි.