පොත් ලැයිස්තුව

ජාති පච්චයා ජරා, මරණං

star_outline

​ඉපදීම නිසා ජරා-මරණ හටගනී. එහි ඉපදීම යනු කුමක්ද?

​"තත්‍ථ කතමා ජාති: යා තෙසං තෙසං සත්තානං තම්හි තම්හි සත්තනිකායේ ජාති සංජාති ඔක්කන්ති නිබ්බත්ති අභිනිබ්බන්ති, ඛන්ධ පාතුභාවෝ ආයතනානං පටිලාභෝ, අයං වුච්චති ජාති." (විභංග ප්‍රකරණය)

​එහි ඉපදීම යනු කුමක්ද:

ඒ ඒ සත්ත්වයන්ගේ සත්ව නිකායයන්හි යම් හටගැනීමක් වේද, පරිපූර්ණ හටගැනීමක් වේද, මව්කුසට බැස ගැනීමක් වේද, ඉපදීමක් වේද, විශේෂයෙන් ඉපදීමක් වේද, ස්කන්ධයන්ගේ පහළවීමක් වේද, ආයතනයන්ගේ ලැබීමක් වේද, එය ඉපදීම යැයි කියනු ලැබේ.

​"භව පච්චයා ජාති" - භවය නිසා ඉපදීම සිදුවන බව දක්වා තිබේ. එහිදී ඉපදීමට හේතු වන්නේ කර්ම භවයයි; උප්පත්ති භවය නොවේ (විසුද්ධිමාර්ගය).

​භවය ඉපදීමට ප්‍රත්‍ය වන ආකාරය

​සත්වයන්ගේ නොයෙක් වෙනස්කම් දක්නට ලැබේ. උස් පහත්කම් දක්වා ඇත. වර්ණවත් වූ සත්වයෝද, දුර්වර්ණ වූ සත්වයෝද ඇත. සුගතියේ උපදින සත්වයෝද, දුගතියේ උපදින සත්වයෝද ඇත. දුප්පත් සත්ත්වයෝද, පෝසත් සත්වයෝද ඇත. මෙසේ සත්ත්වයන්ගේ නොයෙක් වෙනස්කම් සිදුවන්නේ කර්මය නිසාය.

"කම්මං සත්ත විභජති යදිදං හීනප්පනීතතාය"

​යනුවෙන් මජ්ඣිම නිකායේ සුභ සූත්‍රයෙහිදී දේශනා කළේ එයයි. "කර්මය විසින් සත්වයන් හීන, ප්‍රණීත වශයෙන් බෙදනු ලැබේ" යනු එහි තේරුමයි. මේ ආකාරයෙන් කර්මය ඉපදීමට ප්‍රත්‍ය හෙවත් හේතු වන බව දත යුතුයි.

​ඉපදීම නිසා ජරා, මරණ, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස ආදී සියලු දුක් හටගනිති.

​පටිච්චසමුප්පාද කුසල භික්ෂුව

​අවිද්‍යා නිරෝධයෙන් පටිච්චසමුප්පාදයෙහි සියලු අංගයන් නිරෝධයට පත්වන ආකාරය පෙර විභංග සූත්‍රයෙහි පාලි කොටස් සමඟ දක්වන ලදී. මෙසේ පටිච්චසමුප්පාදය පිළිබඳව නුවණින් දන්නා, දකිනා භික්ෂුව "පටිච්චසමුප්පාද කුසල භික්ෂුව" යැයි කීමට සුදුසු වන්නේය යනුවෙන් තථාගතයන් වහන්සේ වදාළ සේක.

​කෙටියෙන් අප විසින් ලියන ලද පටිච්චසමුප්පාද විවරණය මෙපමණකින් අවසානය.

බහුධාතුක සූත්‍රය අවසන් කොටස

ඨාන අට්ඨාන කුසල භික්ෂුවක් වන්නේ කෙසේද යන කාරණාව දීර්ඝ වශයෙන් නොලියා සාරාංශ වශයෙන් දක්වනු ලැබේ..

, ස්වාමීනී කොපමණකින් ඨානාඨාන කුසල භික්ෂුව යැයි කීමට සුදුසු වන්නේද යනුවෙන් ආනන්ද තෙරුන් වහන්සේ විමසූහ. එවිට තථාගතයන් වහන්සේ ඨාන හෙවත් සිදුවිය හැකි දේවල්ද, අඨාන හෙවත් කිසිසේත් සිදුවිය නොහැකි දේවල්ද පිළිබඳව ඉතා මනහර දේශනාවක් කළහ.

​ඒ අනුව, ආනන්දය, මේ ශාසනය තුළ යම් භික්ෂුවක් දිට්ඨිසම්පන්න හෙවත් සෝවාන් ආර්ය ශ්‍රාවකයකු විසින් කිසිදු සංස්කාරයක් නිත්‍ය වශයෙන් හෝ සැප වශයෙන් හෝ ආත්ම වශයෙන් ගන්නේය යන මේ කාරණාවට හේතු නැත, ප්‍රත්‍ය නැත, එම කරුණ නොලැබෙන්නේය කියා දැනගනී. එසේම පෘථග්ජන කෙනෙකු විසින් සංස්කාර නිත්‍ය වශයෙන්, සැප වශයෙන් හා ආත්ම වශයෙන් ගැනීම සිදුවිය හැකි දෙයක් යැයි දැනගනියි.

​තවද, සෝවාන් ආර්ය ශ්‍රාවකයකු විසින් මව ජීවිතයෙන් තොර කිරීම, පියා ජීවිතයෙන් තොර කිරීම, රහතන් වහන්සේ නමක් ජීවිතයෙන් තොර කිරීම, දුෂ්ට සිතින් තථාගතයන් වහන්සේගේ ශරීරයෙහි ලේ සෙලවීම, සංඝ භේදය සිදු කිරීම සහ වෙනත් ශාස්තෘවරයකු සරණ යාම යන කාරණාවන් සිදුකිරීමට හේතු නැත, ප්‍රත්‍ය නැත යනුවෙන් දැනගනී. එහෙත් පෘථග්ජනයකු විසින් ඒවා කිරීමට හේතු ඇත, ප්‍රත්‍ය ඇත යනුවෙන් දනී.

​එමෙන්ම, එක් ලෝක ධාතුවක පෙර-පසු නොවී අර්හත් සම්මා සම්බුදුවරුන් දෙනමක් හෝ චක්‍රවත්ති රජවරුන් දෙදෙනෙක් එකවර පහළ වීම සිදු නොවන බව දනී.

ස්ත්‍රියක් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකු බවට, චක්‍රවත්ති රජ කෙනෙකු බවට, ශක්‍ර දේවේන්ද්‍ර බවට, මාරයෙකු බවට හෝ බ්‍රහ්මයෙකු බවට පත් නොවන්නේය යන කාරණාවද සිදුනොවන්නේය. යනුවෙන් උන්වහන්සේ පැහැදිලි කළහ.

​කර්ම විපාක සම්බන්ධයෙන් දේශනා කරමින්, කාය දුශ්චරිතයෙන්, වචී දුශ්චරිතයෙන් හෝ මනෝ දුශ්චරිතයෙන් ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ සැප විපාක උපදින්නේය යන කාරණාව සිදු නොවන බවත්, කයින් දුසිරිත් කිරීම වචනයෙන් දුසිරිත් කිරීම මනසින් දුසිරිත් කිරීම යන කාරණා හේතු කරගෙන එයම නිධාන කරගෙන මරණින් මතු සුගතියෙහි උපදින්නේය යන්න සිදු නොවන බවත් දැනගනී.

එසේම ත්‍රිවිධ සුචරිතයෙහි හැසිරුණු තැනැත්තා යන කාරණාව හේතු කරගෙන එයම නිදාන කරගෙන අපායෙහි උපදින්නේය යන කාරණාවද සිදු නොවන බව දැනගනී. යම්කිසි භික්ෂුවක් මේ කාරණාවන් මනාව දැනගනී නම්, එපමණකින් ඒ භික්ෂුව ඨානාඨාන කුසල භික්ෂුව යැයි කීමට සුදුසු වන්නේය.

​මෙසේ දේශනා කළ කල්හි, ආනන්ද තෙරුන් වහන්සේ "ස්වාමීනී, අතිශයින්ම ආශ්චර්යයකි, අද්භූතයකි, මේ ධර්ම පර්යාය කුමක්ද?" යනුවෙන් ඇසූහ. එවිට තථාගතයන් වහන්සේ, "ආනන්ද, මේ ධර්ම පර්යාය 'බහුධාතුක' යැයිද, 'චතුපරිවට්ට' යැයිද, 'ධම්මාදාස' යැයිද, 'අමතදුන්දුභී' යැයිද, 'අනුත්තර සංගාමවිජය' යැයිද දරාගන්න" යැයි දේශනා කළහ. භාග්‍යවතුන් වහන්සේ මේ වදාළ සේක; සතුටට පත් වූ ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්හ