පොත් ලැයිස්තුව

බහුධාතුක සූත්‍රය

star_outline

(මජ්ඣිම නිකාය - උපරිම පණ්ණාසකය)

ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. තත්‍ර ඛෝ භගවා භික්ඛූ ආමන්තේසි: භික්ඛවෝති. භදන්තේති තේ භික්ඛූ භගවතෝ පච්චස්සෝසුං. භගවා ඒතදවෝච:

​මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනාථපිණ්ඩික සිටුතුමාගේ ආරාමයෙහි වැඩ වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ "මහණෙනි" කියා භික්ෂූන් වහන්සේලා ඇමතූහ. "ස්වාමීනී" කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව වදාළ සේක:

යානි කානිචි භික්ඛවේ, භයානි උප්පජ්ජන්ති, සබ්බානි තානි බාලතෝ උප්පජ්ජන්ති, නෝ පණ්ඩිතතෝ. යේ කේචි උපද්දවා උප්පජ්ජන්ති, සබ්බේ තේ බාලතෝ උප්පජ්ජන්ති නෝ පණ්ඩිතතෝ. යේ කේචි උපසග්ගා උප්පජ්ජන්ති, සබ්බේ තේ බාලතෝ උප්පජ්ජන්ති නෝ පණ්ඩිතතෝ. සෙය්‍යථාපි භික්ඛවේ, නාළාගාරෝ වා තිණාගාරෝ වා අග්ගිමුක්කෝ කූටාගාරානිපි දහති උල්ලිත්තාවලිත්තානි නිවාතානි ඵුසිතග්ගළානි පිහිතවාතපානානි. ඒවමේව ඛෝ භික්ඛවේ, යානි කානිචි භයානි උප්පජ්ජන්ති, සබ්බානි තානි බාලතෝ උප්පජ්ජන්ති නෝ පණ්ඩිතතෝ. යේ කේචි උපසග්ගා උප්පජ්ජන්ති, සබ්බේ තේ බාලතෝ උප්පජ්ජන්ති නෝ පණ්ඩිතතෝ. ඉති ඛෝ භික්ඛවේ, සප්පටිභයෝ බාලෝ, අප්පටිභයෝ පණ්ඩිතෝ. සඋපද්දවෝ බාලෝ අනුපද්දවෝ පණ්ඩිතෝ. සඋපසග්ගෝ බාලෝ අනුපසග්ගෝ පණ්ඩිතෝ. නත්ථි භික්ඛවේ, පණ්ඩිතතෝ භයං. නත්ථි පණ්ඩිතතෝ උපද්දවෝ. නත්ථි පණ්ඩිතතෝ උපසග්ගෝ. තස්මාතිහ භික්ඛවේ, ඒවං සික්ඛිතබ්බං: පණ්ඩිතා භවිස්සාම වීමංසකාති, ඒවං හි වෝ භික්ඛවේ සික්ඛිතබ්බන්ති.

​"මහණෙනි, යම්කිසි බයක් උපදිත් නම්, ඒ සියල්ල බාලයා නිසා උපදිති; පණ්ඩිතයා නිසා නූපදිති. යම්කිසි උපද්‍රවයක් උපදිත් නම්, ඒ සියල්ල බාලයා නිසා උපදිති; පණ්ඩිතයා නිසා නූපදිති. යම්කිසි උපසර්ගයක් උපදිත් නම්, ඒ සියල්ල බාලයා නිසා උපදිති; පණ්ඩිතයා නිසා නූපදිති.

​මහණෙනි, යම්සේ බට වලින් කරන ලද නිවසක් හෝ තණවලින් කරන ලද නිවසක් ගිනිගත් කල්හි, ඇතුළත හා පිටත පිළියම් කරන ලද, වාතාශ්‍රය ලැබෙන දොරකවුළු ආදිය ඇති කුළුගෙවල් පවා දවාලයිද, එසේම මහණෙනි, යම්කිසි බයක් උපදිත් නම් ඒ සියල්ල බාලයා නිසා උපදිති, පණ්ඩිතයා නිසා නූපදිති. යම් උපසර්ගයක් උපදිත් නම් ඒ සියල්ල බාලයා නිසා උපදිති, පණ්ඩිතයා නිසා නූපදිති.

​මහණෙනි, බාලයා භය සහිත වෙයි, පණ්ඩිතයා භය රහිත වෙයි. බාලයා උපද්‍රව සහිත වෙයි, පණ්ඩිතයා උපද්‍රව රහිත වෙයි. බාලයා උපසර්ග සහිත වෙයි, පණ්ඩිතයා උපසර්ග රහිත වෙයි. මහණෙනි, පණ්ඩිතයා නිසා බයක් නැත. පණ්ඩිතයා නිසා උපද්‍රවයක් නැත. පණ්ඩිතයා නිසා උපසර්ගයක් නැත. එහෙයින් මහණෙනි, 'අපි පණ්ඩිත වන්නෙමු, නුවණින් විමසන්නෝ වන්නෙමු' යැයි මෙසේ හික්මිය යුතුයි. මහණෙනි, ඔබ විසින් මෙසේම හික්මිය යුතු වෙති.

ධාතු කුසලතාව

​එසේ ප්‍රකාශ කළ විට ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය ප්‍රකාශ කළේය:

​"ස්වාමීනී, කොපමණකින් භික්ෂුව පණ්ඩිතයෙක්ය, නුවණින් විමසන කෙනෙක්ය කීමට සුදුසු වේද?"

​එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කළ සේක:

​"යතෝ ඛෝ ආනන්ද, භික්ඛු ධාතුකුසලෝ ච හෝති, ආයතනකුසලෝ ච හෝති, පටිච්චසමුප්පාදකුසලෝ ච හෝති, ඨානාඨානකුසලෝ ච හෝති. එත්තාවතා ඛෝ ආනන්ද, පණ්ඩිතෝ භික්ඛු වීමංසකෝති අලං වචනායාති."

​"ආනන්දය, භික්ෂුව යම් කලෙක ධාතු කුසල වේද, ආයතන කුසල වේද, පටිච්චසමුප්පාද කුසල වේද, ස්ථාන-අස්ථාන කුසල වේද, ආනන්දය, මෙපමණකින් භික්ෂුව පණ්ඩිතය, නුවණින් විමසන කෙනෙක් ය කියන්නට සුදුසු වෙයි."

​"කිත්තාවතා පන භන්තේ, ධාතුකුසලෝ භික්ඛූති අලං වචනායාති."

​"ස්වාමීනී, කොපමණකින් ධාතු කුසල භික්ෂුව යැයි කියන්නට සුදුසු වේද?"

​"අට්ඨාරස ඛෝ ඉමා ආනන්ද, ධාතුයෝ: චක්ඛුධාතු රූපධාතු චක්ඛුවිඤ්ඤාණධාතු, සෝතධාතු සද්දධාතු සෝතවිඤ්ඤාණධාතු, ඝානධාතු ගන්ධධාතු ඝානවිඤ්ඤාණධාතු, ජිව්හාධාතු රසධාතු ජිව්හාවිඤ්ඤාණධාතු, කායධාතු ඵොට්ඨබ්බධාතු කායවිඤ්ඤාණධාතු, මනෝධාතු ධම්මධාතු මනෝවිඤ්ඤාණධාතු ති. ඉමා ඛෝ ආනන්ද, අට්ඨාරස ධාතුයෝ යතෝ ජානාති පස්සති, එත්තාවතාපි ඛෝ ආනන්ද, ධාතුකුසලෝ භික්ඛූති අලං වචනායාති."

​"ආනන්දය, දහ අටක් වූ (අටළොස්) ධාතූහු නම් මෙසේය: චක්ඛු ධාතුව, රූප ධාතුව, චක්ඛු විඤ්ඤාණ ධාතුව; සෝත ධාතුව, සද්ද ධාතුව, සෝත විඤ්ඤාණ ධාතුව; ඝාන ධාතුව, ගන්ධ ධාතුව, ඝාන විඤ්ඤාණ ධාතුව; ජිව්හා ධාතුව, රස ධාතුව, ජිව්හා විඤ්ඤාණ ධාතුව; කාය ධාතුව, ඵොට්ඨබ්බ ධාතුව, කාය විඤ්ඤාණ ධාතුව; මනෝ ධාතුව, ධම්ම ධාතුව, මනෝ විඤ්ඤාණ ධාතුව යි.

ආනන්ද, මේ අටළොස් (18) ධාතූන් යම් කලෙක දනීද, දකීද, ආනන්ද, එපමණකින් ධාතු කුසල භික්ෂුව යැයි කියන්නට සුදුසු වෙයි."

අට්ඨාරස ධාතු (ධාතු දහඅට)

​ධාතු යනු සත්ත්වයෙක්, පුද්ගලයෙක් නොවන දෙයකි; ජීවියෙක් නොවන දෙයකි. ඔබේ සතුරා ගැන මොහොතක් හිතන්න. සතුරා කියා කෙනෙකු නැත. ඒ නමින් සත්ත්වයකු නැත, පුද්ගලයකු නැත, ජීවියෙකු නැත. සතුරා යනු සම්මුතියක් පමණකි. බලන්න, මෙසේ සිතන විට ඔබේ සිත කොතරම් සැහැල්ලු බවට පත් කරගත හැකිද?

​ධාතු යනුවෙන් හඳුන්වන්නේ පංච උපාදානස්කන්ධයේ බෙදීම්ය. පංච උපාදානස්කන්ධය කොටස් 18කට බෙදා ධාතු යනුවෙන් හඳුන්වයි. එම ධාතු 18 මෙසේය:

  1. ​චක්ඛු ධාතු: ඇස සත්ත්වයකු නොවන, පුද්ගලයකු නොවන දෙයකි. එම නිසා ධාතුවකි.
  2. ​රූප ධාතු: ඇසට පෙනෙන වර්ණ රූපය සත්ත්වයකු නොවන, පුද්ගලයකු නොවන දෙයකි. එම නිසා ධාතුවකි.
  3. ​චක්ඛු විඤ්ඤාණ ධාතු: ඇසෙහි පහළ වන චක්ඛු විඤ්ඤාණය සත්ත්වයකු නොවන, පුද්ගලයකු නොවන දෙයකි. ධාතුවකි.
  4. ​සෝත ධාතු: සෝත ප්‍රසාදය සත්ත්වයකු නොවන, පුද්ගලයකු නොවන දෙයකි. එම නිසා ධාතුවකි.
  5. ​සද්ද ධාතු: ශබ්දය සත්ත්වයකු නොවන, පුද්ගලයකු නොවන දෙයකි. ධාතු මාත්‍රයකි.
  6. ​සෝත විඤ්ඤාණ ධාතු: කනෙහි පහළ වන සිත සත්ත්වයකු නොවන, පුද්ගලයකු නොවන දෙයකි. ධාතු මාත්‍රයකි.
  7. ​ඝාන ධාතු: නාසය (ඝ්‍රාණ ප්‍රසාදය) සත්ත්වයකු නොවන, පුද්ගලයකු නොවන දෙයකි. එම නිසා ධාතුවකි.
  8. ​ගන්ධ ධාතු: නාසයට දැනෙන ගඳ-සුවඳ සත්ත්වයකු නොවන, පුද්ගලයකු නොවන දෙයකි. ධාතු මාත්‍රයකි.
  9. ​ඝාන විඤ්ඤාණ ධාතු: නාසයෙහි පහළ වන ඝ්‍රාණ විඤ්ඤාණය සත්ත්වයකු නොවන, පුද්ගලයකු නොවන දෙයකි. ධාතුවකි.
  10. ​ජිව්හා ධාතු: දිව (ජිව්හා ප්‍රසාදය) සත්ත්වයකු නොවන, පුද්ගලයකු නොවන දෙයකි. එම නිසා ධාතුවකි.
  11. ​රස ධාතු: දිවට දැනෙන රසය සත්ත්වයකු නොවන, පුද්ගලයකු නොවන දෙයකි. ධාතුවකි.
  12. ​ජිව්හා විඤ්ඤාණ ධාතු: දිවෙහි පහළ වන ජිව්හා විඤ්ඤාණය සත්ත්වයකු නොවන, පුද්ගලයකු නොවන දෙයකි. ධාතුවකි.
  13. ​කාය ධාතු: ශරීරය (කාය ප්‍රසාදය) සත්ත්වයකු නොවන, පුද්ගලයකු නොවන දෙයකි. ධාතුවකි.
  14. ​ඵොට්ඨබ්බ ධාතු: ශරීරයට දැනෙන ස්පර්ශය (පහස) සත්ත්වයකු නොවන, පුද්ගලයකු නොවන දෙයකි. ධාතුවකි.
  15. ​කාය විඤ්ඤාණ ධාතු: ශරීරයෙහි පහළ වන කාය විඤ්ඤාණය සත්ත්වයකු නොවන, පුද්ගලයකු නොවන දෙයකි. ධාතුවකි.
  16. ​මනෝ ධාතු: මනසට අයත් මනෝ ධාතුව සත්ත්වයකු නොවන, පුද්ගලයකු නොවන දෙයකි. ධාතුවකි.
  17. ​ධම්ම ධාතු: මනසට අරමුණු වන සිතුවිලි හෝ ධර්මතාවන් සත්ත්වයකු නොවන, පුද්ගලයකු නොවන දෙයකි. ධාතුවකි.
  18. ​මනෝ විඤ්ඤාණ ධාතු: මනසෙහි පහළ වන මනෝ විඤ්ඤාණය සත්ත්වයකු නොවන, පුද්ගලයකු නොවන දෙයකි. ධාතුවකි.

ඡ ධාතු (ධාතු සය) සහ ධර්මාර්ථ විස්තරය

​නැවත ආනන්ද තෙරුන් වහන්සේ මෙසේ විමසූහ: "ස්වාමීනී, යම් කරුණකින් ධාතු කුසල භික්ෂුව යැයි කියන්නට සුදුසු වේද, එබඳු වෙනත් කරුණක් තිබේද?"

​එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කළ සේක:

​"සියා ආනන්ද, ඡයිමා ආනන්ද, ධාතුයෝ: පඨවීධාතු ආපෝධාතු තේජෝධාතු වායෝධාතු ආකාසධාතු විඤ්ඤාණධාතු. ඉමා ඛෝ ආනන්ද, ඡ ධාතුයෝ යතෝ ජානාති පස්සති, එත්තාවතාපි ඛෝ ආනන්ද, ධාතුකුසලෝ භික්ඛූති අලං වචනායාති."

​ආනන්ද, ධාතු හයක් වෙති. එනම්: පඨවී ධාතුවය, ආපෝ ධාතුවය, තේජෝ ධාතුවය, වායෝ ධාතුවය, ආකාස ධාතුවය, විඤ්ඤාණ ධාතුවය යනුවෙනි. ආනන්ද, යම් කාරණාවකින් මේ ධාතු හය දනීද, දකීද, ආනන්ද, මෙපමණකින් ධාතු කුසල භික්ෂුව යැයි කියන්නට සුදුසු වෙයි.

​ඡ ධාතු (ධාතු සය) සහ ධර්මාර්ථ විස්තරය

​නැවත ආනන්ද තෙරුන් වහන්සේ මෙසේ විමසූහ: "ස්වාමීනී, යම් කරුණකින් ධාතු කුසල භික්ෂුව යැයි කියන්නට සුදුසු වේද, එබඳු වෙනත් කරුණක් තිබේද?"

​එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කළ සේක:

​"සියා ආනන්ද, ඡයිමා ආනන්ද, ධාතුයෝ: පඨවීධාතු ආපෝධාතු තේජෝධාතු වායෝධාතු ආකාසධාතු විඤ්ඤාණධාතු. ඉමා ඛෝ ආනන්ද, ඡ ධාතුයෝ යතෝ ජානාති පස්සති, එත්තාවතාපි ඛෝ ආනන්ද, ධාතුකුසලෝ භික්ඛූති අලං වචනායාති."

​ආනන්ද, ධාතු හයක් වෙති. එනම්: පඨවී ධාතුවය, ආපෝ ධාතුවය, තේජෝ ධාතුවය, වායෝ ධාතුවය, ආකාස ධාතුවය, විඤ්ඤාණ ධාතුවය යනුවෙනි. ආනන්ද, යම් කාරණාවකින් මේ ධාතු හය දනීද, දකීද, ආනන්ද, මෙපමණකින් ධාතු කුසල භික්ෂුව යැයි කියන්නට සුදුසු වෙයි.

​ධර්මාර්ථ විස්තරය

​මෙම කොටසේදී ධාතු හයක් පිළිබඳව දේශනා කළහ. එනම් පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, ආකාස ධාතුව සහ විඤ්ඤාණ ධාතුව යනුවෙනි.

​පඨවි ධාතුව: තද ගතියෙන් යුක්ත ස්වභාවයයි. තද ගතියෙන් යුතු, සත්ත්වයෙක් නොවන, පුද්ගලයෙක් නොවන දෙය පඨවි ධාතුවයි.

​ආපෝ ධාතුව: ආබන්ධන ලක්ෂණයයි. කුඩා කුඩා කොටස් එකට එකතු කර බැඳ තබන ස්වභාවය ආබන්ධන ලක්ෂණයයි. පාන්පිටි ඇසුරෙන් රොටී හදන ආකාරය මදක් විමසා බලන්න. පාන්පිටි යනු ඉතා කුඩා අංශු රාශියකි. ඒවායෙන් රොටියක් සකස් කිරීම සඳහා ජලය යොදා එම කුඩා අංශු අනනු ලැබෙයි. එසේ අනන විට පිටි සියල්ල එකට එකතු වී එක බෝලයක් විදිහට, එක පිටි ගුලියක් විදිහට සකස් වෙයි. එසේම කුඩා කුඩා අංශු එකට එකතු කිරීම ආපෝ ධාතුවෙන් සිදු කරයි. කෙස් ගසක් ගෙන බලමු; කෙස් ගසක් යනු ඉතා කුඩා අංශු රාශියකි. එම අංශු රාශිය එකට එකතු වී කෙස් ගසක් සේ නිර්මාණය වී ඇත්තේ ආපෝ ධාතුව නිසාය. නියපොත්තක් ගෙන බැලුවත් එසේම තේරුම් ගත යුතුය. සෑම ඝන වස්තුවක් තුළම කුඩා අංශු එකට බැඳ තබන ස්වභාවයක් දක්නට ඇත; එම ස්වභාවය ආපෝ ධාතුවයි.

​තේජෝ ධාතුව: උෂ්ණත්වය තේජෝ ධාතු යන නමින් හඳුන්වනු ලබයි. සෑම දෙයක් තුළම උෂ්ණත්වය පවතී. උෂ්ණත්වය තුළින් ඒ දෙය ආරක්ෂා කරනු ලබයි; කුණුවීමට නොදී රැකගනියයි. කය ආරක්ෂා වීමටද යම් උෂ්ණත්වයක් තිබිය යුතුය. එම උෂ්ණත්වය ඉවත් වූ පසු කය කුණුවීම ආරම්භ වෙයි.

​වායෝ ධාතුව: පිම්බෙන, හැකිලෙන ස්වභාවයයි. සෑම වස්තුවක් තුළම එම ස්වභාවය දක්නට ලැබෙයි; එය වායෝ ධාතුවයි.

පඨවි ධාතුව

​ශරීරයේ ඇති පඨවි ධාතු විස්ස:

​පඨවි ධාතුව අධිකව ඇති කොටස් විස්සක් ශරීරයෙහි ප්‍රධාන වශයෙන් දක්නට ලැබෙයි.

  1. ​කෙස්
  2. ​ලොම්
  3. ​නියපොතු
  4. ​දත්
  5. ​සම
  6. ​මස්
  7. ​නහර
  8. ​ඇට
  9. ​ඇටමිදුලු
  10. ​වකුගඩු (ඉන් පළමුවන දහයයි.)
  11. ​හදවත
  12. ​අක්මාව
  13. ​දළඹුසිවිය (කිළඟුමස් / ප්ලීහාව)
  14. ​බඩ
  15. ​දිව
  16. ​පෙනහලු
  17. ​බඩවැල්
  18. ​බඩවැල් බඳින (අන්ත්‍රගුණ)
  19. ​නොදිරූ ආහාර
  20. ​දිරන ලද අසූචි බවට පත් වූ ආහාර (සහ හිස්මොළ)

​මෙසේ කය තුළ පඨවි ධාතු විස්සක් පිහිටා තිබෙයි. මෙයින් අන්‍ය වූ තද ගතියෙන් යුතු, ගොරෝසු ගතියෙන් යුතු යමක් වේද, ඒ සියල්ලද පඨවි ධාතූන්ය. ධාතු යන වචනය පෙර විස්තර කරන ලදී; සත්ත්වයෙක් නොවන, පුද්ගලයෙක් නොවන, ජීවියෙක් නොවන දෙය ධාතු යන නමින් හඳුන්වනු ලබයි.

ආපෝ ධාතුව

​ශරීරයේ ඇති ආපෝ ධාතු දොළහ:

​ආපෝ ධාතුව බහුලව පිහිටා ඇති කොටස් දොළහක් ශරීරයෙහි තිබෙයි.

  1. පිත
  2. සෙම
  3. සැරව
  4. ලේ
  5. ​දහඩිය
  6. ​මේදය
  7. කඳුළු
  8. වුරුණු
  9. කෙළ
  10. සොටු
  11. සඳමිදුලු (සන්ධිගත තෙල්)
  12. මුත්‍ර

​යන කොටස් 12 යි.

තේජෝ ධාතුව

​තේජෝ යනු උෂ්ණත්වයට නමකි. උෂ්ණත්ව ස්වභාවයෙන් යුතු කොටස් හතරක් ශරීරයෙහි පිහිටා තිබේ.

  1. ​ජීරණ තේජෝ ධාතුව: දිනෙන් දින කය දිරවන, මේරීමට පත් කරවන, හම රැළි වැටීමට හේතුවන, කෙස් සුදු වීමට හේතුවන උෂ්ණත්වයක් ඇත. එය ජීරණ තේජෝ ධාතුවයි.
  2. සන්තප්පන තේජෝ ධාතුව: උණ, පැපොළ, වසූරිය, සරම්ප, ඩෙංගු, මැලේරියා ආදී රෝගී අවස්ථාවන්හිදී ශරීරයෙහි උණුසුම් වන ස්වභාවය සන්තප්පන තේජෝ ධාතුවයි. වාත්, පිත්, සෙම් යන තුන්දොස් අතරින් එකක් හෝ කීපයක් හෝ කිපීමෙන් කෝෂ්ඨගතව පවතින උෂ්ණත්වය ස්පර්ශ ඉන්ද්‍රිය වෙත පැමිණීම උණ අවස්ථාවේදී සිදුවෙයි. එය සන්තප්පන තේජෝ ධාතුවයි. ඒ හැරුණු විට නොයෙක් රෝගී ස්වභාවයන් නිසා ඇඟෙහි ඇතිවන උෂ්ණත්වයද මෙයටම අයත්ය.
  3. පරිඩහන තේජෝ ධාතුව: රෝගාතුර ස්වභාවයකින් තොරව, හිරු එළිය නිසා, ගිනි රස්නය නිසා, අව් රස්නය නිසා, වැඩපොළ කිරීම නිසා නොයෙක් ආකාරයෙන් ඇතිවන ආගන්තුක උෂ්ණත්වය පරිඩහන තේජෝ ධාතුවයි.
  4. පාචක තේජෝ ධාතුව: අප විසින් කන බොන, රස විඳින, අනුභව කරන ආහාරයන් දිරීමට හේතු වන්නා වූ උෂ්ණත්වය පාචක තේජෝ ධාතුවයි.

​වායෝ ධාතුව

​පිම්බෙන, හැකිලෙන ස්වභාවය වායෝ ධාතුව බව පෙර කියන ලදී. සෑම වස්තුවක් තුළම ඇති චලනය වන ස්වභාවය වායෝ ධාතුව නිසා සිදුවෙයි. වායෝ යනු සුළඟට නමකි. ශරීරය තුළ ප්‍රධාන වශයෙන් වායෝ ධාතු හයක් පිහිටා තිබෙයි.

  1. ​උද්දංගමා වාතා: උඩට ගමන් කරන සුළඟයි. මෙම සුළඟ නිසා ඔක්කාරයට ඒම, වමනය ඇතිවීම, කෙළ ගැසීම, කට සෝදා වතුර බැහැර කිරීම ආදීය සිදුකළ හැකිය.
  2. අධෝගමා වාතා: පහළට ගමන් කරන සුළඟයි. වතුර පානය කිරීම, ආහාර පාන ගිලීම, කෙළ ගිලීම, වැසිකිළියට යාම, කැසිකිළියට යාම ආදී දෙය පහළට ගමන් කරන සුළඟ නිසා සිදුවෙයි.
  3. කුච්ඡිසයා වාතා: කුස තුළ පවතින සුළඟයි. බඩවැල්, නහරවැල් ආදියෙන් පරිබාහිරව කුස තුළ පවතින්නා වූ සුළඟ කුච්ඡිසයා වාතා යන නමින් හඳුන්වනු ලබයි.
  4. කොට්ඨාසයා වාතා: බඩවැල් ඇතුළත, නහරවැල් ඇතුළත, මෙම වායුව කොටස් තුළ පවතින සුළඟ යන නමින් හඳුන්වයි.
  5. අංගමංගානුසාරිනෝ වාතා: ශරීරයෙහි අවයව සෙලවීමට හේතුවන සුළඟ මේ නමින් හඳුන්වයි. චිත්තක්ෂණයෙන් හටගන්නා වායෝ ධාතුව (චිත්තජ වායෝ ධාතුව) යන නමින්ද එය හඳුන්වයි. ඉරියව් පැවැත්වීම් ආදී යමක් කිරීමට සිතක් හටගත් කල්හිම ක්‍රියාව සිදුකරනු ලබන්නේ මෙම වායෝ ධාතුව තුළින්ය. මෙම වායෝ ධාතුවේ ස්වභාවය තේරුම් ගැනීම සත්ව, පුද්ගල, ආත්ම දෘෂ්ටිය දුරු කිරීමට ඉතා ප්‍රයෝජනවත්ය.
  6. අස්සාස වාතා සහ පස්සාස වාතා: හුස්ම ඉහළට ගන්නා වූ සුළඟ ආස්වාස වායුවයි. පහළට හෙළන්නා වූ (පිටකරන) සුළඟ ප්‍රශ්වාස වායුවයි.

​ආකාස ධාතුව

​අහස යනු යමක් පැවතීමට ඇති ඉඩකඩය. ඉරිනොගැසිය හැකි ස්ථානයද අහස යන නමින් හඳුන්වනු ලබයි. ශරීරය තුළද ඉඩකඩ ඇති ස්ථාන රාශියකි; ඒවා ආකාස ධාතු යන නමින් හඳුන්වයි. නාස් සිදුරු, කන් සිදුරු, මුව සිදුර, මුත්‍රමල සිදුරු සහ ආහාරපාන ශරීරය ඇතුළට ගන්නා වූ සිදුරුත්, ආහාරපාන ආදිය තැන්පත් වන්නා වූ සිදුරුත් මේ සියල්ල ආකාස ධාතුවයි.

​හාල් පිටි කෙටීම සහ ආකාස ධාතුව:

​පැරැන්නෝ හාල් පිටි තම නිවසේදීම සකස් කර ගත්හ. පළමුවෙන් හාල් පෙඟෙන්නට දැමූහ. මෙහිදී හාල් පෙඟීම යනුවෙන් සිදුවන්නේ කුමක්ද? හාල් ඇට ඇතුළට ජලය ගමන් කොට එහි ජලය තැන්පත් වීම එහිදී සිදුවෙයි. පෙඟුණු සහල් කොටාගනු ලබයි. පැරණි ක්‍රමයට වංගෙඩියකට දමා මෝල්ගසෙන් කෙටීම හෝ පුරහන් ගලකට දමා ඇඹරීම හෝ සිදු කළහ.

​හාල් කෙටීමේදීත් හාල් ඇටය තුළ පවතින කුඩා කුඩා කොටස් වෙන් කිරීම සිදුවෙයි. එම කුඩා කුඩා කොටස් අතර ඉඩකඩක් තිබුණි. හාල් පෙඟෙන්නට දැමූ අවස්ථාවේ ජලය තැන්පත් වූයේ ඒ කුඩා ඉඩකඩ අතරය. ආකාස ධාතුව යනු එයයි.

​සෑම වස්තුවක් අභ්‍යන්තරයේම ආකාස ධාතුව පිහිටා තිබේ. කෙස් ගසක් දෙස බලන්න. කෙස් ගසක් යනු කුඩා කුඩා අංශු රාශියකි. එම කුඩා අංශු විශාල කර බලන්නේ යැයි සිතන්න. එවිට බෝල ගොඩක් එකට තැන්පත් කර තිබෙන ආකාරයක් දිස්වනු ඇත.එවිට ඒ අතර ඉඩකඩ දක්නට ලැබෙයි; එය ආකාස ධාතුවයි.

​එසේ නම් සෑම භෞතික වස්තුවක් තුළම ආකාස ධාතුව ඇති බව මේ සරල ක්‍රමවලින් තේරුම් ගත යුතුය. ආකාස ධාතුව සත්වයෙකු නොවේ; පුද්ගලයකු නොවේ. එබැවින් ධාතු මාත්‍රයකි.

​විඤ්ඤාණ ධාතුව

​විඤ්ඤාණ ධාතුව යනු හුදෙක් විඤ්ඤාණයට පමණක් කියන නමක් නොවේ. වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධ හතරම හැඳින්වීම සඳහා විඤ්ඤාණ ධාතුව යන නම භාවිතා කරයි.

සුඛ ධාතු, දුක්ඛ ධාතු ආදී ධාතු හය සහ අභිධර්ම විග්‍රහය

​"ස්වාමීනී, ධාතු කුසල භික්ෂුව යැයි කීමට සුදුසු වන වෙනත් ක්‍රමයක් තිබේද?"

​එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කළ සේක:

​"සියා ආනන්ද, ඡයිමා ආනන්ද, ධාතුයෝ: සුඛධාතු දුක්ඛධාතු සෝමනස්සධාතු දෝමනස්සධාතු උපෙක්ඛාධාතු අවිජ්ජාධාතු. ඉමා ඛෝ, ආනන්ද, ඡ ධාතුයෝ යතෝ ජානාති පස්සති, එත්තාවතාපි ඛෝ ආනන්ද, ධාතුකුසලෝ භික්ඛූති අලං වචනායාති."

​ආනන්ද, වෙනත් ක්‍රමයක් තිබේ. ආනන්ද, මේ ධාතු හයකි: සුඛ ධාතුවය, දුක්ඛ ධාතුවය, සෝමනස්ස ධාතුවය, දෝමනස්ස ධාතුවය, උපේක්ෂා ධාතුවය, අවිද්‍යා ධාතුවය යනුවෙනි.

ආනන්ද, යම් කලෙක මෙම ධාතු හය දනීද, දකීද, ආනන්ද, මෙපමණකින් ධාතු කුසල භික්ෂුව යැයි කීමට සුදුසු වෙයි.

​ධර්මාර්ථ විස්තරය

  1. ​සුඛ ධාතුව: කායික සැප වේදනාවයි.
  2. ​දුක්ඛ ධාතුව: කායික දුක් වේදනාවයි.
  3. ​සෝමනස්ස ධාතුව: මානසික සැප වේදනාවයි.
  4. ​දෝමනස්ස ධාතුව: මානසික දුක් වේදනාවයි.
  5. ​උපේක්ෂා ධාතුව: සැප නැති, දුක නැති වේදනාවයි.
  6. ​අවිද්‍යා ධාතුව: චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ නොවීමයි.

​මේවා ධාතු ස්වභාවයන් වශයෙන් දැකීමට පුහුණුවීම ඉතා වැදගත්ය. සැපය සත්ත්වයකු නොවන, පුද්ගලයකු නොවන ධාතු ස්වභාවයක් යනුවෙන් දැකීමෙන් එහි යථාර්ථය මනාකොට තේරුම් ගත හැකිය. එවිට සැපයෙහි ගිජු වන ස්වභාවය දුරු වන්නේය; බලාපොරොත්තු වන දෙය නොලැබී යාමෙන් ඇතිවන කම්පනය හා පීඩනය නැති වන්නේය. මෙම අවබෝධය නැති සත්වයා සැපයෙන් උඩඟු වන්නේය; "මම සැප ඇති කෙනෙකි, අන් අය සැප නැති අය වෙති" යනුවෙන් තමා උසස් කොට දක්වමින්, අන් අය පහත් කොට දක්වමින් සිතන්නේය.

​ජීවිතයේ දුක් වේදනා විඳීමට සිදුවෙන අවස්ථා ඉතා බහුලය. දුක් වේදනාවක් ඇති වූ විට හැඬීම අඥානයාගේ ස්වභාවයයි. ඔහු ශෝක කිරීමෙන් නවතින්නේ නැත; ඒ පිළිබඳ සිතමින් පරිදේවයට හෙවත් යමක් කිය කියා අඬන ස්වභාවයට පත් වන්නේය. කායික දුක මහත් පීඩාවක් කොට සිතට ගන්නේය; එයින් මානසික දුකක්ද හටගන්නේය. කායික හා මානසික දැඩි වෙහෙසට, උපායාසයට පත්වන්නේය.

​දුක් වේදනාව සත්ත්වයකු නොවන, පුද්ගලයකු නොවන ධාතු මාත්‍රයක් ලෙස බලන්නට පුහුණු වීමෙන් මේ සියලු ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාසයන් යටපත් කරගත හැකිය. දුක් වේදනාව අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් නුවණින් විමසීමටද ශ්‍රාවකයා නිතර පුරුදු පුහුණු විය යුතුය.

​කායික දුක් වේදනාව ඉවසීමට සුදුසු වන සේ වීර්යය වැඩිය යුතු බව බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. අංගුත්තර ත්‍රික නිපාතයේ වීර්යය තුනක් පිළිබඳව දක්වා තිබේ:

  • ​පළමුවැන්න අකුසල ධර්මයන් දුරු කිරීමේ වීර්යයයි.
  • ​දෙවැන්න කුසල ධර්මයන් උපදවා ගැනීමේ වීර්යයයි.
  • ​තෙවැන්න කායික දුක් වේදනා ඉවසාගැනීමේ වීර්යයයි.

​එබැවින් සම්බුද්ධ ශ්‍රාවකයා වේදනාව ඉවසා ගැනීම සඳහා වීර්යය කිරීම කළ යුතුමය; එවිට මාරාන්තික වේදනාව පවා විදර්ශනා වැඩීමට හැකිවනු ඇත. මෙම බහුධාතුක සූත්‍රයේදී කායික දුක් වේදනාව සත්ත්වයෙක් නොවන, පුද්ගලයෙක් නොවන ධාතු මාත්‍රයක් ලෙස දැන ගැනීමට, දැකීමට උපදෙස් ලබා දෙන්නේය.

​දෝමනස්ස ධාතුව

​දෝමනස්ස යනු මානසික දුක් වේදනාවයි. එය සත්ත්වයකු නොවේ, පුද්ගලයෙකු නොවේ; සත්ව-පුද්ගල නොවන දෙයකි. එබැවින් ධාතු මාත්‍රයකි. දෝමනස්ස නම් වූ මානසික දුක් වේදනාව දෝමනස්ස සහගත සිත් දෙක හා බැඳෙයි. එබැවින් ඒ සම්බන්ධයෙන් විස්තර කර ඇති අභිධර්ම චන්ද්‍රිකාවේ කොටසක් මෙහිදී ඔබට උපුටාගෙන දක්වනු ලැබේ.

​අභිධර්ම චන්ද්‍රිකාවෙන් උපුටා දක්වන කොටස:

​දොස මූලික සිත් (2) දෙක:

​දෝමනස්ස සහගත පටිඝ සම්පයුත්ත අසංඛාරික චිත්තය:

මෙහි දෝමනස්ස සහගත නම් දොම්නසින් හෙවත් මානසික දුඃඛ වේදනාවෙන් යුක්ත බව ය. පටිඝ සම්පයුත්ත නම් ද්වේෂයෙන් යුක්ත බව ය. අරමුණෙහි නොඇලී එහි විරුද්ධ වැ හැපී යන බැවින් ද්වේෂය පටිඝය යැයි කියනු ලැබේ. දෝමනස්ස අනිෂ්ට අරමුණු අනුභව කිරීම ලක්ෂණ කොට ඇති වේදනාස්කන්ධයට අයත් ධර්මයෙකි. පටිඝය චණ්ඩකම ස්වභාව කොට ඇති සංස්කාරස්කන්ධයට අයත් ධර්මයෙකි. මේ දෙදෙන එකතුව මිස වෙන් වැ නූපදිත්. අසංඛාර ලක්ෂණය පෙර කී සේම ය. මෙසේ යමෙකු ප්‍රාණඝාතාදියක් කරන්නේ දොම්නසින් හා පටිඝයෙන් යුක්ත වැ අන්යන්ගේ හෝ තමන්ගේ මෙහෙයීමකුදු නැති වැ සැහැසි ව ම කෙරේ ද, එවිට ඔහුට දෝමනස්ස සහගත පටිඝ සම්පයුත්ත අසංඛාරික යන ද්වේෂමූලික පළමුවන සිත ලැබෙන බව දතයුතුයි.

​දෝමනස්ස සහගත පටිඝ සම්පයුත්ත සසංඛාරික චිත්තය:

දෙවන චිත්තයෙහි දෝමනස්ස - පටිඝ - සසංඛාර යන මොවුන්ගේ ලක්ෂණය පෙර කී සේම ය. යමෙකු දොම්නසින් හා පටිඝයෙන් යුක්ත වැ අනුන්ගේ මෙහෙයීමෙන් හෝ තමාගේම පසුබැසීමෙන් හෝ ප්‍රාණඝාතාදී පාපයක් කෙරේ ද, ඔහුට දෝමනස්ස සහගත පටිඝ සම්පයුත්ත සසංඛාරික යන දෝස මූලික දෙවන චිත්තය ලැබෙන්නේ ය.

​(උපුටා ගැනීම අභිධර්මචන්ද්‍රිකාව - අන්තර්ජාලයේ පළ වූ ලිපියකි)

​උපේක්ෂා ධාතුව

​"උපෙක්ඛෝති චෙත්තං අදුක්ඛමසුඛා වේදනාවුත්තා."

උපේක්ෂාව යනු දුක් නැති, සැප නැති වේදනාවයි. සැප, දුක යන දෙක කෙරෙහිම මධ්‍යස්ථභාවයට පත්වීමයි. මධ්‍යස්ථ වූ ආකාරයෙන් පිහිටන්නා වූ ස්වභාවය උපේක්ෂාවයි. (ධම්මසංගණී අට්ඨකථා)

​උපේක්ෂාව පිළිබඳ කරන භාවනා ක්‍රමයක්ද වෙයි. එය උපේක්ෂා බ්‍රහ්ම විහරණ භාවනාවයි. එහිදී උපේක්ෂාව යනු "වෛර නොවෙත්වා" ආදී ක්‍රමයෙන් ව්‍යාපාදය ප්‍රහාණය කොට මධ්‍යස්ථ බවට පත්වීම, උපේක්ෂාවට පත්වීමයි. (ධම්මසංගණී අට්ඨකථා)

​උපේක්ෂා සහගත වීම යනු උපේක්ෂා වේදනාවෙන් යුක්ත වීමයි; එහිදී අරමුණ කෙරෙහි මධ්‍යස්ථ වෙයි. සත්ව සංස්කාරය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් නුවණින් විමසා බැලීමෙන්ද උපේක්ෂාවට පත්විය හැකිය. "කර්මය තවකෙකුගේ දෙයක් නොවේ, කර්මය ස්වකීය දෙයකි, කර්මය දායාදයකි, කර්මය නෑදෑයකි, කර්මය සැප දුක් ලැබීමට මූලික හේතුවකි, කර්මය පිළිසරණකි. කුසල හෝ අකුසල හෝ යම් කර්මයක් කරන්නේ නම් එහි විපාකය ඔහුටම වන්නේය" යනුවෙන් කර්ම ස්වභාවය සිහිකිරීමෙන්ද උපේක්ෂාවට පත්විය හැකිය.

​උපේක්ෂාව යනු සත්වයෙක් නොවන, පුද්ගලයෙක් නොවන දෙයකි; හෙවත් ධාතු මාත්‍රයකි. උපේක්ෂා වේදනාව නිස්සත්ත, නිජ්ජීව වශයෙන් හෙවත් ධාතු වශයෙන් බැලීම සුදුසුය.

​අවිද්‍යා ධාතුව

​අවිද්‍යාව යනු දුක්ඛ ආර්ය සත්‍යය අවබෝධ නොවීමයි, සමුදය ආර්ය සත්‍යය අවබෝධ නොවීමයි, නිරෝධ ආර්ය සත්‍යය අවබෝධ නොවීමයි, මාර්ග ආර්ය සත්‍යය අවබෝධ නොවීමයි. අතීතයෙහි ස්කන්ධ, ධාතු, ආයතන පැවැති බව අවබෝධ නොවීමයි. අනාගතයේදීද ස්කන්ධ, ධාතු, ආයතන පවතින බව අවබෝධ නොවීමයි. අතීත, අනාගත යන දෙකෙහිමත් ස්කන්ධ, ධාතු, ආයතන පවතින බවත්, වර්තමානයෙහිද එසේම ස්කන්ධ, ධාතු, ආයතන පවතින බවත් අවබෝධ නොවීමයි. එසේ තුන් කාලය අවබෝධ නොවීම අවිද්‍යාවයි.

​"අවිජ්ජා පුබ්බංගමා අකුසලානං ධම්මානං සමාපත්තියා." (මග්ග සංයුත්තය)

අකුසල ධර්මයන්ට පත්වීමට අවිද්‍යාව මූලික වෙයි. අවිද්‍යාවද සත්ත්වයකු නොවන, පුද්ගලයකු නොවන ධාතු මාත්‍රයකි.

"ස්වාමීනී, ධාතු කුසල භික්ෂුව යැයි කීමට සුදුසු වෙනත් ක්‍රමයක් තිබේද?"

​එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කළ සේක:

​"සියා ආනන්ද, ඡයිමා ආනන්ද, ධාතුයෝ: කාමධාතු නෙක්ඛම්මධාතු ව්‍යාපාදධාතු අව්‍යාපාදධාතු විහිංසාධාතු අවිහිංසාධාතු. ඉමා ඛෝ ආනන්ද, ඡ ධාතුයෝ යතෝ ජානාති පස්සති. එත්තාවතාපි ඛෝ ආනන්ද, ධාතුකුසලෝ භික්ඛූති අලං වචනායාති."

​ආනන්ද, ධාතු හයක් තිබේ. එනම්: කාම ධාතුවය, නෙක්ඛම්ම ධාතුවය, ව්‍යාපාද ධාතුවය, අව්‍යාපාද ධාතුවය, විහිංසා ධාතුවය, අවිහිංසා ධාතුවය යනුවෙනි. ආනන්ද, යම් කාරණාවකින් මේ ධාතු හය දනීද, දකීද, ආනන්ද, මෙපමණකින් ධාතු කුසල භික්ෂුව යැයි කියන්නට සුදුසු වෙයි.

​ධර්මාර්ථ විස්තරය

​කාම ධාතුව යනු කාමරාගයටම නමකි. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන ධර්ම පංච කාම වස්තුන් යනුවෙන් හඳුන්වයි. එම පංචකාම වස්තූන් කෙරෙහි ඇතිඡන්දරාගය හෙවත් තණ්හාවෙන් ඇලීම කාමයයි. කාමච්ඡන්දය යනුවෙන් හඳුන්වන්නේද එයයි.

​"කතමෙ කිලෙසකාමා? ඡන්දො කාමො රාගො කාමො ඡන්දරාගො කාමො; සඞ්කප්පො කාමො රාගො කාමො සඞ්කප්පරාගො කාමො; යො කාමෙසු කාමච්ඡන්දො කාමරාගො කාමනන්දී කාමතණ්හා කාමස්නෙහො කාමපරිළාහො කාමමුච්ඡා කාමජ්ඣොසානං කාමොඝො කාමයොගො කාමුපාදානං කාමච්ඡන්දනීවරණං"

(කාම නිර්දේශය - මහානිද්දේශපාලි)

​ක්ලේශ කාමයෝ යනු කවරේද:

​ඡන්දය හෙවත් කැමැත්ත නම් කාමයයි.

​රාගය නමින් හඳුන්වන කාමයයි.

​ඡන්දරාගය නමින් හඳුන්වන කාමයයි.

​සංකල්ප කාමයයි.

​රාග නම් වූ කාමයයි.

​යමෙකුට කාමයන් කෙරෙහි කැමැත්තක් තිබේද, කාම රාගය තිබේද, කාමයෙන් සතුටු වීම හෙවත් කාම නන්දිය තිබේද, කාම තණ්හාව තිබේද, කාමය කෙරෙහි සෙනෙහස තිබේද?

​කාමයන් මුල්වී ඇතිවන කෙලෙස් දැවිල්ල තිබේද, කාමයන් නිසා හටගන්නා සිහි මුලාව තිබේද, කාමයට බැස ගැනීම තිබේද, කාමය නම් වූ ඕඝය තිබේද, කාමයෙහි යෙදීම නම් වූ කාම යෝගයක් වේද?

​කාමයන් තණ්හා, දිට්ඨි, මාන වශයෙන් උපාදාන කර ගැනීමක් තිබේද, කාමච්ඡන්ද නීවරණයක් තිබේද, මේවා කාමයයි.

​නිද්දේසයේ එන මෙම කොටසෙන් නොයෙක් ආකාරයෙන් කාමයෝ විස්තර කර ඇත. එය මහානිද්දේශයෙහි කාම නිර්දේශය බලා විස්තර වශයෙන් දතයුතුය.

  1. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන පංචකාම වස්තූන් වස්තු කාම යන නමින් හඳුන්වනු ලබයි.
  2. එම කාම වස්තූන් කෙරෙහි ඇති තණ්හාව, ආසාව ක්ලේස කාම යන නමින් හඳුන්වනු ලබයි.
  3. ඇසට පෙනෙන රූපයන් කෙරෙහි ඇති කැමැත්ත රූපකාමයයි.
  4. ​කනට ඇසෙන ශබ්දයන් කෙරෙහි ඇති කැමැත්ත සද්දකාමයයි.
  5. ගඳ සුවඳ කෙරෙහි ඇති කැමැත්ත ගන්ධකාමයයි.
  6. ​රසය කෙරෙහි ඇති කැමැත්ත රසකාමයයි.
  7. ස්පර්ශය කෙරෙහි ඇති කැමැත්ත පොට්ඨබ්බකාමයයි.
  8. සිතුවිලි කෙරෙහි ඇති කැමැත්ත ධම්මකාමයයි.

​කාමයද සත්ත්වයකු නොවන, පුද්ගලයකු නොවන දෙයකි; හෙවත් ධාතු මාත්‍රයකි.

නෙක්ඛම්ම ධාතුව

​කාමයන්ගෙන් නික්මීම නෙක්ඛම්මයයි. එය ඉතා උසස් වූ ගුණයකි. ස්වකීය භාර්යාවගෙන් සතුටු වීමද වැරදි කාමයන්ගෙන් ඉවත් වීමකි; ස්වකීය ස්වාමිපුරුෂයාගෙන් පමණක් සතුටු වීමද වැරදි කාමයන්ගෙන් ඉවත් වීමකි. එයද එක්තරා ආකාරයක නෙක්ඛම්මයකි. අටසිල් ආදිය සමාදන් වන තැනැත්තාගේ කාමයෙන් සම්පූර්ණයෙන්ම නිදහස්ව කාම ඇසුරෙන් වැලකීම ඉතා ප්‍රබල වූ නෙක්ඛම්මයකි. දසසිල් රැකීමද උදාර වූ නෙක්ඛම්මයකි. අප මහ බෝසතාණන් වහන්සේ බොහෝ ජීවිතවලදී තාපස ජීවිත ගත කරමින් හෝ පැවිදි ජීවිත ගත කරමින් හෝ නෙක්ඛම්මය පාරමිතාවක් ලෙස පරිපූර්ණ කළ සේක. නෙක්ඛම්මයද සත්ත්වයකු නොවන, පුද්ගලයකු නොවන ධාතු ස්වභාවයකි; ඒ බව තේරුම් ගැනීම ඉතා වැදගත්ය.

​ව්‍යාපාද ධාතුව

​ව්‍යාපාදය යනු තරහට, වෛරයට, කෝපයට කියන නමකි. එය ඉතා දරුණු පාපයකි. ව්‍යාපාදය පවතින අවස්ථාවలలోදී එය සත්ත්වයකු, පුද්ගලයකු නොවන දෙයක් ලෙස දැකීම, ධාතු මාත්‍රයක් ලෙස දැකීම ව්‍යාපාද ප්‍රහාණයට ඉතා වැදගත්ය.

​අව්‍යාපාද ධාතුව

​ව්‍යාපාදයෙන් වෙන්වීම අව්‍යාපාදයයි. මෛත්‍රියට කියන තවත් නමකි. අව්‍යාපාදයද සත්ත්වයෙක්, පුද්ගලයෙක් නොවන දෙයකි; ධාතු මාත්‍රයකි.

​විහිංසා ධාතුව

​අකාරුණික බව විහිංසාවයි. අන් අය කෙරෙහි අනුකම්පා විරහිත බව විහිංසාවයි. අන් අයට හිංසා පීඩා කරන අදහස විහිංසාවයි. එයද මහත් වූ පාපයකි. එම පාප සිතුවිල්ල සිත තුළ ඇති වූ විට ක්‍රියාත්මක වන්නට ඉඩ නොදී, එයද සත්ත්වයකු, පුද්ගලයකු නොවන දෙයකි, ධාතු මාත්‍රයකි යනුවෙන් ධාතු ස්වභාවයම අවබෝධ කර ගැනීමට මහන්සි විය යුතුය.

​අවිහිංසා ධාතුව

​අවිහිංසා යනු හිංසා නොකිරීමයි; කරුණාව හඳුන්වන තවත් නමකි. අවිහිංසාවද සත්ත්වයකු, පුද්ගලයකු, ආත්මයක් නොවන ධාතු ස්වභාවයකි.

කාම, රූප, අරූප ධාතු සහ සංඛත, අසංඛත ධාතු විග්‍රහය

​"ස්වාමීනී, ධාතු කුසල භික්ෂුව යැයි කීමට සුදුසු වෙනත් වූ ක්‍රමයක් තිබේද?"

​එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කළ සේක:

​"සියා ආනන්ද, තිස්සෝ ඉමා ආනන්ද, ධාතුයෝ: කාමධාතු රූපධාතු අරූපධාතු. ඉමා ඛෝ ආනන්ද, තිස්සෝ ධාතුයෝ යතෝ ජානාති පස්සති. එත්තාවතාපි ඛෝ ආනන්ද, ධාතුකුසලෝ භික්ඛූති අලං වචනායාති."

​ආනන්ද, තිබෙන්නේය. ආනන්ද, ධාතු තුනකි: කාම ධාතුව, රූප ධාතුව, අරූප ධාතුව යනුවෙනි. යම් කලෙක මෙම ධාතු තුන දනීද, දකීද, එපමණකින් ධාතු කුසල භික්ෂුව යැයි කීමට සුදුසු වන්නේය.

​ධර්මාර්ථ විවරණය

​කාම ධාතුව: රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන පංච කාම වස්තුන් කෙරෙහි ඇති රාගය හෙවත් කාමච්ඡන්දය කාම ධාතුවයි. මනුස්ස ලෝකයේ කාමයන් කෙරෙහි ඇති තණ්හාවද කාම ධාතුවයි. දිව්‍ය ලෝක කාමයන් කෙරෙහි ඇති තණ්හාවද කාම ධාතුවයි. කාම වස්තුන් සහ කාම ලෝකයන් කෙරෙහි ඇති මෙම තණ්හාව කාම ධාතුවයි. එම කාම ධාතුව සත්ත්වයකු නොවන, පුද්ගලයකු නොවන ස්වභාවයකි; හෙවත් ධාතු මාත්‍රයකි.

​රූප ධාතුව: රූප ධාතුව යනු රූපාවචර ධ්‍යාන කෙරෙහි ඇති තණ්හාවද, රූපාවචර බ්‍රහ්ම ලෝකවල ඉපදීමට ඇති කැමැත්තද රූප ධාතුවයි.

​අරූප ධාතුව: ආකාසානඤ්චායතනය, විඤ්ඤාණඤ්චායතනය, ආකිඤ්චඤ්ඤායතනය, නේවසඤ්ඤාණානාසඤ්ඤායතනය යනුවෙන් අරූපාවචර ධ්‍යාන හතරකි. එම ධ්‍යාන කෙරෙහි ඇති ධ්‍යාන නිකාන්තියද, අරූපාවචර බ්‍රහ්ම ලෝක කෙරෙහි ඇති තණ්හාවද අරූපම් ධාතුවයි.

​යම් කලෙක භික්ෂුව කාම ධාතුව, රූප ධාතුව, අරූප ධාතුව යන ත්‍රිවිධ ධාතූන් ධාතූ වශයෙන් දනීද, ධාතූ වශයෙන් නුවණින් දකීද, එවිට ධාතු කුසල භික්ෂුව යැයි කීමට සුදුසුය.

​"ස්වාමීනී, ධාතු කුසල භික්ෂුව යැයි කීමට සුදුසු වන වෙනත් ක්‍රමයක් තිබේද?"

​එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කළ සේක:

​"සියා ආනන්ද, ද්වේ ඉමා, ආනන්ද, ධාතුයෝ: සංඛතා ච ධාතු අසංඛතා ච ධාතු. ඉමා ඛෝ ආනන්ද, ද්වේ ධාතුයෝ යතෝ ජානාති පස්සති. එත්තාවතාපි ඛෝ ආනන්ද, ධාතුකුසලෝ භික්ඛූති අලං වචනායාති."

​ආනන්ද, (වෙනත්) ක්‍රමයක් ඇත්තේය. ආනන්ද, ධාතු දෙකකි: සංඛත ධාතුව සහ අසංඛත ධාතුවයි. ආනන්ද, යම් කලෙක භික්ෂුව සංඛත ධාතුව හා අසංඛත ධාතුව දනීනම්, දකීනම්, එපමණකින් ධාතු කුසල භික්ෂුව යැයි කීමට සුදුසු වන්නේය.

​සංඛත ධාතුව: සංඛත ධාතුව යනු හේතූන්ගෙන් හටගත් සංස්කාරයන්ට නමකි. සංස්කාරයෝ සත්ව, පුද්ගල නොවන බැවින් ධාතූන්ය.

​අසංඛත ධාතුව: අසංඛත යනු නිර්වාණයට නමකි. හේතූන්ගෙන් සකස් නොවූ දෙය අසංඛත නම් වෙයි. එයද සත්ව, පුද්ගල නොවන ධාතු මාත්‍රයකි.

ආයතන කුසලතාව පිළිබඳ ධර්ම විග්‍රහය

​"කිත්තාවතා පන, භන්තේ, ආයතනකුසලෝ භික්ඛූති අලං වචනායාති?"

"ස්වාමීනි, කොපමණකින් ආයතන කුසල වූ භික්ෂුවක යැයි කීමට සුදුසු වන්නේද?"

​භාග්‍යවතුන් වහන්සේ මෙසේ පිළිතුර දේශනා කළහ.

"ආනන්දය, මේ ආධ්‍යාත්මික හා බාහිර ආයතන හයකි. එනම්:

  1. ​ඇස සහ රූපය,
  2. ​කන සහ ශබ්දය,
  3. ​නාසය සහ ගඳ-සුවඳ,
  4. ​දිව සහ රසය,
  5. ​කය සහ ස්පර්ශය,
  6. ​මනස සහ ධර්ම (සිතුවිලි) යි.

​ආනන්දය, යම් කලෙක භික්ෂුව මෙම ආයතන (ආධ්‍යාත්මික හා බාහිර වශයෙන්) නුවණින් දැන ගනීද, නුවණින් දකීද, එපමණකින් ආයතන කුසල භික්ෂුවක යැයි කීමට සුදුසු වන්නේය."

සලායතන.

​ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස යන ආයතන හය ආධ්‍යාත්මික ආයතන නම් වෙයි. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි බාහිර ආයතන නම් වෙයි. සසර දුකට උපකාර වන ධර්මයන් පතුරුවන බැවින් ආයතන යන නම යොදනු ලබයි. දුක ඇති කරන නිසාද ආයතන යන නම යොදනු ලබයි. ආයතනයන් මුල් වී දුක ඇතිවන ආකාරය මෙසේ විමසා බැලිය හැකිය.

​ඇසත් රූපයක් නිසා චක්ඛු විඤ්ඤාණය හටගනී. එම තිදෙනාගේ එකතුවීම ස්පර්ශයයි. ස්පර්ශය නිසා වේදනාව හටගනී. වේදනාව නිසා තණ්හාව හට ගනී. එම තණ්හාව දුක්ඛ සමුදයයි. (සලායතන සංයුක්තය. )

මෙසේ සෙසු ආයතන මුල්වීද සසර දුක උපදින ආකාරය තේරුම් ගත හැකිය. ආයතනයන් විසින් සිදු කරනු ලබන්නේ සසර දුක ඉපදවීමට අවශ්‍ය වන ධර්මයන් පැතිරවීමයි.

සියල්ල අවබෝධ කර ගැනීම.

​දිනක් බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කළහ.

​සබ්බං වෝ භික්ඛවේ, දේසිස්සාමි තං සුණාථ. කිඤ්ච භික්ඛවේ, සබ්බං: චක්ඛුඤ්චේව රූපා ච, සෝතඤ්ච සද්දා ච, ඝානඤ්ච ගන්ධා ච, ජිව්හා ච රසා ච, කායෝ ච ඵොට්ඨබ්බා ච, මනෝ ච ධම්මා ච ඉදං වුච්චති භික්ඛවේ, සබ්බං.

​මහණෙනි, මම ඔබලාට සියල්ල දේශනා කරමි. මහණෙනි, සියල්ල යනු ඇසත් රූපත්ය. කනත් ශබ්දත්ය. නාසයත් ගඳ-සුවඳත්ය. දිවත් රසයත්ය. කයත් පහසත්ය. මනසත් සිතුවිලිත්ය. මහණෙනි, මෙය සියල්ල යැයි කියනු ලැබේ (සබ්බ සූත්‍රය, සංයුත්ත නිකාය. )

​මෙම දේශනාව සංයුත්ත නිකායේ සඳහන්ය. මෙෙහි සියල්ල යනුවෙන් ආයතන සියල්ල දේශනා කළහ. යමෙක් මේ සියල්ල ප්‍රතික්ෂේප කොට වෙනත් සියල්ලක් පනවන්නේ යැයි කියන්නේ නම් එය ඔහුගේ වචනයක් පමණක් වන බවත්, ඔහුට කරුණු සහිතව වෙනත් සියල්ලක් පැනවිය නොහැකි බවත් තථාගතයන් වහන්සේ වදාළ සේක. යමෙක් ආධ්‍යාත්මික ආයතන හයද, බාහිර ආයතන හයද අවබෝධ කරගන්නේ නම්, ඔහු සියල්ල අවබෝධ කරගත් කෙනෙකි.

​මෙම දේශනාවට අනුව ආයතන අවබෝධ කර ගැනීම කොතරම් වටිනවාදැයි මනාව තේරුම් ගත හැකිය.

​ආධ්‍යාත්මික ආයතන හා බාහිර ආයතන අවබෝධ කරගන්නා තැනැත්තා ආයතන කුසල භික්ෂුව වන බව තථාගතයන් වහන්සේ මෙහිදී දේශනා කළහ.

​ආයතන අවබෝධ කරගන්නේ කෙසේද? ආයතන අවබෝධ කර ගැනීම යනු අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් විදර්ශනා නුවණින් අවබෝධ කර ගැනීමයි.

​ඇස නිත්‍යයිද, අනිත්‍යයිද? ඇස අනිත්‍යයයි. අනිත්‍ය වූ ඇස දුකක් හෝ වේද, සැපක් හෝ වේද? අනිත්‍ය වූ ඇස දුකකි. අනිත්‍ය වූ, දුක් වූ ඇස ", මාගේය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මයයි" කියා සැලකීමට සුදුසුද? එසේ සැලකීම සුදුසු නැත. (බොහෝ දේශනාවල සඳහන් පාඨයකි. ) මේ අනුව පෙනී යන්නේ ඇස අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණයෙන් යුක්ත බවයි. කන, නාසය, දිව, ශරීරය, මනස පිළිබඳවද එසේමය. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි පිළිබඳවද එසේමය. ආධ්‍යාත්මික, බාහිර සියලු ආයතනයෝ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණයට යටත්ය. ඒ බව විදර්ශනා නුවණින් අවබෝධ කරගත යුතුය. එසේ අවබෝධ කර ගැනීම ආයතන කුසල වීමයි.

පටිච්චසමුප්පාද කුසල.

​ආනන්ද තෙරුන් වහන්සේ මෙසේ විමසූහ "පටිච්චසමුප්පාද කුසල භික්ෂුව" යැයි කීමට සුදුසු වන්නේ කෙසේද?

​එවිට තථාගතයන් වහන්සේ මෙසේ දේශනා කළහ.

​ඉධානන්ද, භික්ඛු ඒවං පජානාති: ඉමස්මිං සති ඉදං හෝති, ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති, ඉමස්මිං අසති ඉදං න හෝති, ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ඣති, යදිදං අවිජ්ජාපච්චයා සංඛාරා, සංඛාරපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයා නාමරූපං, නාමරූපපච්චයා සළායතනං, සළායතනපච්චයා ඵස්සෝ, ඵස්සපච්චයා වේදනා, වේදනාපච්චයා තණ්හා, තණ්හාපච්චයා උපාදානං, උපාදානපච්චයා භවෝ, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං

සෝකපරිදේවදුක්ඛදෝමනස්සූපායාසා සම්භවන්ති. ඒවමේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හෝති. අවිජ්ජායත්වේව අසේසවිරාගනිරෝධා සංඛාරනිරෝධෝ, සංඛාරනිරෝධා විඤ්ඤාණනිරෝධෝ, විඤ්ඤාණනිරෝධා නාමරූපනිරෝධෝ, නාමරූපනිරෝධා සළායතනනිරෝධෝ, සළායතනනිරෝධා ඵස්සනිරෝධෝ, ඵස්සනිරෝධා වේදනානිරෝධෝ, වේදනානිරෝධා තණ්හානිරෝධෝ, තණ්හානිරෝධා උපාදානනිරෝධෝ, උපාදානනිරෝධා භවනිරෝධෝ, භවනිරෝධා ජාතිනිරෝධෝ, ජාතිනිරෝධා ජරාමරණං සෝකපරිදේවදුක්ඛදෝමනස්සූපායාසා නිරුජ්ඣන්ති. ඒවමේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරෝධෝ හෝති. එත්තාවතා ඛෝ ආනන්ද, පටිච්චසමුප්පාදකුසලෝ භික්ඛූති අලං වචනායාති.

​ආනන්දය, මේ ශාසනයෙහි භික්ෂුව මෙසේ දැන ගනී: "අවිද්‍යා ආදී ප්‍රත්‍ය ඇති කල්හි සංස්කාර ආදී ඵලය වෙයි. මේ අවිද්‍යා ආදී ප්‍රත්‍යයන්ගේ ඉපදීමෙන් මේ සංස්කාර ආදී ඵලය උපදී. අවිද්‍යා ආදී ප්‍රත්‍ය නැති කල්හි මේ සංස්කාර ආදී ඵලය නොවෙයි. මේ අවිද්‍යා ආදී ප්‍රත්‍යයන්ගේ නිරුද්ධ වීමෙන් මේ සංස්කාර ආදී ඵල ධර්මයන් නිරුද්ධ වෙති."

​ඒ කෙසේද? අවිද්‍යාව නිසා සංස්කාර හටගනී. සංස්කාර නිසා විඤ්ඤාණය හටගනී. විඤ්ඤාණය නිසා නාමරූප හටගනී. නාමරූප නිසා සළායතන හටගනී. සළායතන නිසා ස්පර්ශය හටගනී. ස්පර්ශය නිසා වේදනාව හටගනී. වේදනාව නිසා තණ්හාව හටගනී. තණ්හාව නිසා උපාදානය හටගනී. උපාදානය නිසා භවය හටගනී. භවය නිසා ජාතිය හටගනී. ජාතිය නිසා ජරා, මරණ, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස හටගනිති. මේ ආකාරයෙන් මුළුමහත් දුකෙහිම හට ගැනීම සිදුවෙයි.

​අවිද්‍යාව ඉතුරු නැතුව නොඇල්මෙන් නිරුද්ධ වේද, එවිට සංස්කාර නිරුද්ධ වෙයි. සංස්කාර නිරුද්ධ වීමෙන් විඤ්ඤාණය නිරුද්ධ වෙයි. විඤ්ඤාණය නිරුද්ධ වීමෙන් නාමරූප නිරුද්ධ වෙයි. නාමරූප නිරුද්ධ වීමෙන් සළායතන නිරුද්ධ වෙයි. සළායතන නිරුද්ධ වීමෙන් ස්පර්ශය නිරුද්ධ වෙයි. ස්පර්ශය නිරුද්ධ වීමෙන් වේදනාව නිරුද්ධ වෙයි. වේදනාව නිරුද්ධ වීමෙන් තණ්හාව නිරුද්ධ වෙයි. තණ්හාව නිරුද්ධ වීමෙන් උපාදානය නිරුද්ධ වෙයි. උපාදානය නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වෙයි. භවය නිරුද්ධ වීමෙන් ජාතිය නිරුද්ධ වෙයි. ජාතිය නිරුද්ධ වීමෙන් ජරා, මරණ, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස නිරුද්ධ වෙති. මෙසේ මේ ආකාරයෙන් මුළු මහත් දුක්කස්කන්ධයාගේම නිරුද්ධ වීම වෙයි.

​ආනන්ද, මෙපමණකින් පටිච්චසමුප්පාද කුසල භික්ෂුව යැයි කීමට සුදුසු වන්නේය.

පටිච්චසමුප්පාද විවරණය

​හේතුඵල න්‍යාය පටිච්චසමුප්පාදය යනුවෙන් හඳුන්වනු ලබයි. දුක හට ගන්නා ආකාරය පටිච්චසමුප්පාදයෙන් උගන්වයි. "ඒවමේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හෝති" යන පාඨයෙන් එය සනාථ වෙයි. පටිච්චසමුප්පාද න්‍යාය මෙසේය:

  1. ඉමස්මිං සති ඉදං හෝති. (මෙය ඇති කල්හි මෙය වෙයි.)
  2. ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති. (මෙය උපන් කල්හි මෙය උපදී.)
  3. ​ඉමස්මිං අසති ඉදං න හෝති. (මෙය නැති කල්හි මෙය නොවෙයි.)
  4. ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ඣති. (මෙය නිරෝධ වීමෙන් මෙය නිරුද්ධ වෙයි.)

​මේ න්‍යායට ගලපනු ලබන්නේ අවිද්‍යා ආදී ධර්මයන්ය.

  1. අවිද්‍යාව ඇති කල්හි සංස්කාර වෙයි.
  2. අවිද්‍යාව ඉපදීමෙන් සංස්කාර උපදී.
  3. අවිද්‍යාව නැති කල්හි සංස්කාර නොවේ.
  4. අවිද්‍යාව නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වෙයි.

​මේ ආකාරයට සෙසු ප්‍රත්‍ය ධර්මයන්ද ගලපා බලා තේරුම් ගත යුතුය.

කතමඤ්ච භික්ඛවේ ජරාමරණං? යා තේසං තේසං සත්තಾನං තම්හි තම්හි සත්තනිකායේ ජරා ජීරණතා ඛණ්ඩිච්චං පාලිච්චං වලිත්ථචතා ආයුනෝ සංහානි ඉන්ද්‍රියානං පරිපාකෝ අයං වුච්චති ජරා.

​මහණෙනි, ජරා, මරණ යනු කුමක්ද? ඒ ඒ සත්වයන්ගේ, ඒ ඒ සත්ව කොටස්වල යම් දිරීමක් වේද, දිරන ස්වභාවයක් වේද, දත් නිය පොතු ආදිය කැඩීමක් වේද, කෙස් ලොම් ආදිය පැසීමක් වේද, හම රැළි වැටීමක් වේද, ආයුෂ පිරිහීමක් වේද, ඉන්ද්‍රියන්ගේ පරිපාක වීමක් වේද, එය ජරාව යැයි කියනු ලැබේ.

කතමඤ්ච භික්ඛවේ මරණං? යා තේසං තේසං සත්තಾನං තම්හා තම්හා සත්තනිකායා චුති චවනතා භේදෝ අන්තරධානං මච්චු මරණං කාලකිරියා ඛන්ධානං භේදෝ කළේබරස්ස නික්ඛේපෝ ජීවිතින්ද්‍රියස්ස උපච්ඡේදෝ. ඉදං වුච්චති මරණං. ඉති අයඤ්ච ජරා ඉදඤ්ච මරණං, ඉදං වුච්චති භික්ඛවේ ජරාමරණං.

​මහණෙනි, මරණය යනු කුමක්ද? ඒ ඒ සත්ත්වයන්ගේ, ඒ ඒ සත්ත්ව නිකායවල්වල චුතවීමක් වේද, චුතවන ස්වභාවයක් වේද, කයෙහි බිඳී යාමක් වේද, අතුරුදහන් වීමක් වේද, මච්චු නමින් හඳුන්වන මරණයක් වේද, කළුරිය කිරීමක් වේද, ස්කන්ධයන්ගේ බිඳීමක් වේද, මෘත ශරීරයෙහි බැහැර කිරීමක් වේද, ජීවිත ඉන්ද්‍රියෙහි සිඳී යාමක් වේද, මෙය මරණය යැයි කියනු ලැබේ. මෙසේ මේ ජරාවද, මේ මරණයද යන මේ දෙක ජරා-මරණය යැයි කියනු ලැබේ.

කතමා ච භික්ඛවේ ජාති? යා තේසං තේසං සත්තනං තම්හි තම්හි සත්තනිකායේ ජාති සඤ්ජාති ඔක්කන්ති නිබ්බත්ති අභිනිබ්බත්ති ඛන්ධානං පාතුභාවෝ ආයතනානං පටිලාභෝ අයං වුච්චති භික්ඛවේ ජාති.

​මහණෙනි, ඉපදීම යනු කුමක්ද? ඒ ඒ සත්ත්වයන්ගේ, ඒ ඒ සත්ව නිකායවල්හි හට ගැනීමක් වේද, පරිපූර්ණ හට ගැනීමක් වේද, මව්කුසට බැස ගැනීමක් වේද, ඉපදීමක් වේද, විශේෂයෙන් ඉපදීමක් වේද, ස්කන්ධයන්ගේ පහළවීමක් වේද, ආයතනයන්ගේ ලැබීමක් වේද, මහණෙනි, මෙය ඉපදීම යැයි කියනු ලැබේ.

කතමෝ ච භික්ඛවේ භවෝ? තයෝමේ භික්ඛවේ භවා. කාමභවෝ රූපභවෝ අරූපභවෝ. අයං වුච්‌චති භික්ඛවේ භවෝ.

​මහණෙනි, භවය යනු කවරේද? මහණෙනි, කාමභවය, රූපභවය, අරූපභවය යි මේ බව තුනකි. මහණෙනි, මේ භවය යැයි කියනු ලැබේ.

කතමඤ්ච භික්ඛවේ උපාදානං? චත්තාරිමානි භික්ඛවේ උපාදානානි. කාමූපාදානං දිට්ඨූපාදානං සීලබ්බතූපාදානං අත්තවාදූපාදානං. ඉදං වුච්චති භික්ඛවේ උපාදානං.

​මහණෙනි, උපාදානය යනු කුමක්ද? මහණෙනි, කාම උපාදානය, දිට්ඨි උපාදානය, සීලබ්බත උපාදානය, අත්තවාද උපාදානය යැයි මේ උපාදාන හතරකි.

මහණෙනි, මේ උපාදානය යැයි කියනු ලැබේ.

කතමා ච භික්ඛවේ තණ්හා? ඡයිමේ භික්ඛවේ තණ්හාකායා. රූපතණ්හා සද්ධතණ්හා ගන්ධතණ්හා රසතණ්හා ඵොට්ඨබ්බතණ්හා ධම්මතණ්හා. අයං වුච්චති භික්ඛවේ තණ්හා.

​මහණෙනි, තණ්හාව යනු කුමක්ද? මහණෙනි, රූප තණ්හාව, ශබ්ද තණ්හාව, ගන්ධ තණ්හාව, රස තණ්හාව, ස්පර්ශ තණ්හාව, ධර්ම තණ්හාව යි මේ තණ්හා හයකි. මහණෙනි, මේ තණ්හාව යැයි කියනු ලැබේ.

කතමා ච භික්ඛවේ වේදනා? ඡයිමේ භික්ඛවේ වේදනාකායා. චක්ඛුසම්ඵස්සජා වේදනා, සෝතසම්ඵස්සජා වේදනා, ඝානසම්ඵස්සජා වේදනා, ජිව්හාසම්ඵස්සජා වේදනා, කායසම්ඵස්සජා වේදනා, මනෝසම්ඵස්සජා වේදනා. අයං වුච්චති භික්ඛවේ වේදනා.

​මහණෙනි, වේදනාව යනු කුමක්ද? ඇසෙහි අරමුණු ගැටීමෙන් ඇතිවන වේදනාවය, කනෙහි අරමුණු ගැටීමෙන් ඇතිවන වේදනාවය, නාසයෙහි අරමුණු ගැටීමෙන් ඇතිවන වේදනාවය, දිවෙහි අරමුණු ගැටීමෙන් ඇතිවන වේදනාවය, කයෙහි අරමුණු ගැටීමෙන් ඇතිවන වේදනාවය, මනසෙහි අරමුණු ගැටීමෙන් ඇතිවන වේදනාවය. මහණෙනි, මේ වේදනා සමූහ හයකි. මහණෙනි, මේ වේදනාව යැයි කියනු ලැබේ.

කතමෝ ච භික්ඛවේ ඵස්සෝ? ඡයිමේ භික්ඛවේ ඵස්සකායා. චක්ඛුසම්ඵස්සෝ, සෝතසම්ඵස්සෝ, ඝානසම්ඵස්සෝ, ජිව්හාසම්ඵස්සෝ, කායසම්ඵස්සෝ, මනෝසම්ඵස්සෝ. අයං වුච්චති භික්ඛවේ ඵස්සෝ.

​මහණෙනි, ස්පර්ශය යනු කුමක්ද? මහණෙනි, ඇසෙහි අරමුණු ගැටීම ඇසෙහි ස්පර්ශයයි. කනෙහි අරමුණු ගැටීම කනෙහි ස්පර්ශයයි. නාසයෙහි අරමුණු ගැටීම නාසයෙහි ස්පර්ශයයි. දිවෙහි අරමුණු ගැටීම දිවෙහි ස්පර්ශයයි. කයෙහි අරමුණු ගැටීම කයෙහි ස්පර්ශයයි. සිතෙහි අරමුණු ගැටීම මනසෙහි ස්පර්ශයයි. මහණෙනි, මේ ස්පර්ශ සමූහ හයකි. මහණෙනි, මේ ස්පර්ශය යැයි කියනු ලැබෙයි.

කතමඤ්ච භික්ඛවේ සළායතනං? චක්ඛායතනං සෝතායතනං ඝානායතනං ජිව්හායතනං කායායතනං මනායතනං. ඉදං වුච්චති භික්ඛවේ සළායතනං.

​මහණෙනි, සළායතන යනු කවරේද? ඇස නැමැති ආයතනය, කන නැමැති ආයතනය, නාසය නැමැති ආයතනය, දිව නැමැති ආයතනය, කය නැමැති ආයතනය, මනස නැමැති ආයතනය. මහණෙනි, මේ සළායතනය යැයි කියනු ලැබේ.

කතමඤ්ච භික්ඛවේ නාමරූපං? වේදනා සඤ්ඤා චේතනා ඵස්සෝ මනසිකාරෝ. ඉදං වුච්චති නාමං. චත්තාරෝ ච මහාභූතා, චතුන්නඤ්ච මහාභූතානං උපාදායරූපං, ඉදං වුච්චති රූපං. ඉති ඉදඤ්ච නාමං, ඉදඤ්ච රූපං, ඉදං වුච්චති භික්ඛවේ නාමරූපං.

​මහණෙනි, නාමරූප යනු කුමක්ද? වේදනාවය, සංඥාවය, චේතනාවය, ස්පර්ශය, මනසිකාරය යන මෙය නාමයයි කියනු ලැබේ. සතර මහා භූතයෝද, සතර මහා භූතයන්ගෙන් හටගත් උපාදාය රූපද යන මෙය රූපය යැයි කියනු ලැබේ. මහණෙනි, මෙසේ මේ නාමයද, මේ රූපයද යන මේ නාමරූපය යැයි කියනු ලැබේ.

කතමඤ්ච භික්ඛවේ විඤ්ඤාණං? ඡයිමේ භික්ඛවේ විඤ්ඤාණකායා. චක්ඛුවිඤ්ඤාණං සෝතවිඤ්ඤාණං ඝානවිඤ්ඤාණං ජිව්හාවිඤ්ඤාණං කායවිඤ්ඤාණං මනෝවිඤ්ඤාණං. ඉදං වුච්චති භික්ඛවේ විඤ්ඤාණං.

​මහණෙනි, විඤ්ඤාණය යනු කුමක්ද? මහණෙනි, චක්ඛු විඤ්ඤාණය, සෝත විඤ්ඤාණය, ඝාන විඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණය, කාය විඤ්ඤාණය, මනෝ විඤ්ඤාණය යැයි මේ විඤ්ඤාණ සමූහ හයකි. මහණෙනි, මෙය විඤ්ඤාණය යැයි කියනු ලැබේ.

කතමේ ච භික්ඛවේ සංඛාරා? තයෝමේ භික්ඛවේ සංඛාරා. කායසංඛාරෝ වචීසංඛාරෝ චිත්තසංඛාරෝ. ඉමේ වුච්චන්ති භික්ඛවේ සංඛාරා.

​මහණෙනි, සංස්කාරයෝ යනු කවරහුද? මහණෙනි, කාය සංස්කාරය, වචී සංස්කාරය, චිත්ත සංස්කාරය යි මේ සංස්කාර තුනකි. මහණෙනි, මේවා සංස්කාරයෝ යැයි කියනු ලැබෙති.

කතමා ච භික්ඛවේ අවිජ්ජා? යං ඛෝ භික්ඛවේ දුක්ඛේ අඤ්ඤාණං, දුක්ඛසමුදයේ අඤ්ඤාණං, දුක්ඛනිරෝධේ අඤ්ඤාණං, දුක්ඛනිරෝධගාමිනියා පටිපදාය අඤ්ඤාණං. අයං වුච්චති භික්ඛවේ අවිජ්ජා.

​මහණෙනි, අවිද්‍යාව යනු කුමක්ද? මහණෙනි, දුක්ඛ ආර්ය සත්‍යය පිළිබඳ යම් නොදැනීමක් වේද, දුක්ඛ සමුදය ආර්ය සත්‍යය පිළිබඳ යම් නොදැනීමක් වේද, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය පිළිබඳව යම් නොදැනීමක් වේද, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යය පිළිබඳව යම් නොදැනීමක් වේද, මහණෙනි, මේ අවිද්‍යාව යැයි කියනු ලැබේ.

අවිද්‍යාව.

​අවිද්‍යාව යනු නොදැනීමයි. හෙවත් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොවීමයි. ඒ බව ඉහත සඳහන් කරන ලද විභංග සූත්‍රයේදී දක්වන ලදී. අවබෝධය හැඳින්වීමට "විද්‍යා" කියන වචනයද, අනවබෝධය හැඳින්වීමට "අවිද්‍යා" කියන වචනයද භාවිතා කරයි. මෙම වචනයෙහි අර්ථය තවදුරටත් මෙසේ පැහැදිලි කර ගත හැකිය:

  1. අවින්දෙයියං වින්දති අවිජ්ජා: නොවිඳිය යුතු දෙය විඳින නිසා අවිද්‍යාව නම් වෙයි. මෙෙහි නොවිඳිය යුතු දෙය යනුවෙන් හඳුන්වනු ලබන්නේ දස අකුසල ධර්මයන්ය. එම දස අකුසල ධර්මයන්ට පත්වී අකුසලයේ ඇති පීඩාකාරී ස්වභාවය විඳින්නේ අවිද්‍යාව ඇති නිසාමය.
  2. ​වින්දෙයියං න වින්දති අවිජ්ජා: විඳිය යුතු දෙය නොවිඳින බැවින්ද අවිද්‍යාව නම් වෙයි. විඳිය යුතු දෙය නම් දස කුසල ධර්මයන්ය. දස කුසල ධර්මයන් සිදු කරමින් ඉන් ලැබිය යුතු සැප විපාක ආදිය නොවිඳින්නේ අවිද්‍යාව නිසාමය.
  3. ​රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන පංච උපාදානස්කන්ධයන් පවතින්නේ රාශි වශයෙනි හෙවත් සමූහ වශයෙනි. ඒවා රාශි වශයෙන් නොවැටහීම අවිද්‍යාවයි. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස යන ආයතන හය දුකට අයත් ධර්මයන් පතුරුවන බැවින්ද, සසර දුක උපදවීමට හේතුවන බැවින්ද ආයතන නම් වෙයි. මෙම ආයතනයන් මඟින් දුකට අයත් ධර්මයන් පතුරුවන බව නොවැටහෙන්නේ අවිද්‍යාව නිසාය. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාස, විඤ්ඤාණ යන ධාතුන්ගේ නිත්‍ය බවක්, ස්ථීර බවක්, සැප සහගත බවක්, සුභ සහගත බවක් නොමැත; ඒවා නිත්‍ය, සුඛ, සුභ ආදියෙන් හිස්ය, ශූන්‍යය. එය නොවැටහෙන්නේ අවිද්‍යාව නිසාය. ඉන්ද්‍රිය ධර්මයන්ගේ ඇති අධිපති බව නොවැටහෙන්නේ අවිද්‍යාව නිසාය.
  4. චතුරාර්ය සත්‍යයේ ස්වභාවය යථාර්ථයෙන් නොදැනෙන්නේද අවිද්‍යාව නිසාය. එබැවින් දත යුතු දේ දැන ගැනීමට ඉඩ නොදෙන බැවින් අවිද්‍යාව නම් වෙයි.
  5. ​දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග යන චතුරාර්ය සත්‍ය ධර්මයෙහි නියම අර්ථය නොදන්නා බැවින්ද අවිද්‍යාව නම් වෙයි.
  6. පටන් ගත් කෙළවරක් නොපෙනෙන සසර ගමනෙහි යෝනි, ගති, භව, විඤ්ඤාණට්ඨ, සත්තාවාස යන්හි සත්ත්වයන් දුවවන බැවින්ද අවිද්‍යාව නම් වෙයි.
  7. ​පරමාර්ථ වශයෙන් විද්‍යමාන නොවන්නා වූ ස්ත්‍රී, පුරුෂ ආදී සම්මුති ධර්මයන්හි සත්ත්වයන් දුවවන බැවින්, වේගයෙන් ගමන් කරවන බැවින්, පරමාර්ථ වශයෙන් විද්‍යමාන වූ ස්කන්ධ ආදියෙහි නොපවතින බැවින්ද නොදුවන බැවින්ද අවිද්‍යාව නම් වෙයි.
  8. අවිද්‍යා ආදී පටිච්චසමුප්පන්න ධර්මයන්ද, සංඛාර ආදී පටිච්චසමුප්පන්න ධර්මයන්ගේද යථාර්ථය මුවහා කරන බැවින්, වසන බැවින් අවිද්‍යාව නම් වෙයි.

ධම්ම සංඝණී ප්‍රකරණයෙහි අවිද්‍යාව සඳහන් කළ ආකාරය. .

දුක්ඛෙ අඤ්ඤාණං, දුක්ඛසමුදයේ අඤ්ඤාණං, දුක්ඛනිරෝධෙ අඤ්ඤාණං, දුක්ඛනිරොධගාමිනියා පටිපදාය අඤ්ඤාණං, පුබ්බන්තේ අඤ්ඤාණං, අපරන්තේ අඤ්ඤාණං, පුබ්බාපරන්තේ අඤ්ඤාණං, ඉදප්පච්චයතා පටිච්ච සමුප්පන්නේසු අඤ්ඤාණං”

  1. දුක්ඛ ආර්ය සත්‍යය පිළිබඳ අවබෝධ නොවීමද,
  2. දුක්ඛ සමුදය ආර්ය සත්‍යය පිළිබඳ අවබෝධ නොවීමද,
  3. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය පිළිබඳ අවබෝධ නොවීමද,
  4. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යය පිළිබඳව අවබෝධ නොවීමද,
  5. පූර්වාන්තය හෙවත් අතීතයේ පැවති ස්කන්ධ ධාතු ආයතන අවබෝධ නොවීමද,
  6. අපරාන්තය හෙවත් අනාගතයේ ඇතිවන ස්කන්ධ ධාතු ආයතන පිළිබඳ අවබෝධ නොවීමද,
  7. පූර්වාන්ත අපරාන්ත හෙවත් අතීතයේද අනාගතයේද පවතින්නා වූ ස්කන්ධ ධාතු ආයතන ධර්මයන් අවබෝධ නොවීමද,
  8. හේතුඵල දහම අවබෝධ නොවීමද අවිද්‍යාවයි. (ධම්මසංගණීප්‍රකරණය)

සංස්කාර ධර්ම.

​පටිච්චසමුප්පාදයේදී සංඛාර යනුවෙන් හඳුන්වන්නේ කර්මයයි. ඒ බව සංයුත්ත නිකායේ පරිවීමංසන සූත්‍රයෙන් දත යුතුය.

​අවිජ්ජාගතෝයං භික්ඛවේ පුරිසපුග්ගලෝ පුඤ්ඤං චේ සංඛාරං අභිසංඛරෝති, පුඤ්ඤෝපගං හෝති විඤ්ඤාණං. අපුඤ්ඤං චේ සංඛාරං අභිසංඛරෝති, අපුඤ්ඤෝපගං හෝති විඤ්ඤාණං. ආනෙඤ්ජං චේ සංඛාරං අභිසංඛරෝති, ආනෙඤ්ජූපගං හෝති විඤ්ඤාණං.

​මහණෙනි, අවිද්‍යාවෙන් යුක්ත වූ මේ පුද්ගලයා ඉතින් කුසල සංස්කාර රැස් කරන්නේ නම් කර්ම විඤ්ඤාණය කුසල සහගත වෙයි. ඉතින් අකුසල සංස්කාර රැස් කරන්නේ නම් කර්ම විඤ්ඤාණය අකුසල සහගත වෙයි. ඉතින් අරූපාවචර කුසල සංස්කාර රැස් කරන්නේ නම් කර්ම විඤ්ඤාණය අරූපාවචර කුසල සහගත වෙයි.

(පරිවීමංසන සූත්‍රය, සංයුත්ත නිකාය)

​මෙම දේශනාවට අනුව සංස්කාර තුනක් දක්වා තිබේ. එනම් පුඤ්ඤාභිසංඛාර, අපුඤ්ඤාභිසංඛාර, ආනෙඤ්ජාභිසංඛාර යනුවෙනි. පින හැඳින්වීම සඳහා පුඤ්ඤාභිසංඛාර යන වචනය භාවිතා කරයි. පාපය හෙවත් අකුසලය හැඳින්වීම සඳහා අපුඤ්ඤාභිසංඛාර යන වචනය භාවිතා කරයි. අරූපාවචර කුසල් සිත් හැඳින්වීම සඳහා ආනෙඤ්ජාභිසංඛාර යන වචනය භාවිතා කරයි.

​මෙම ත්‍රිවිධ කර්මයන් සිදු කරන්නා වූ ද්වාර හෙවත් දොරටු තුනකි. එනම් කය, වචනය, සිතය. එම දොරටු තුනෙහි නාමයන්ගෙන්ද සංස්කාර හඳුන්වා තිබේ.

  1. ​කාය සංස්කාර: කාය සංස්කාර යනු කයින් සිදුකරන කුසල අකුසල ධර්මයන්ය.
  2. වචී සංස්කාර: වචී සංස්කාර යනු වචනයෙන් සිදුකරන කුසල අකුසල ධර්මයන්ය.
  3. චිත්ත සංස්කාර: චිත්ත සංස්කාර යනු සිතින් කරන කුසල අකුසල ධර්මයන් සහ අරූපාවචර ධ්‍යාන කුසල සිත්ය.

​ද්වාර වශයෙන් දක්වා ඇත්තේ ඉහත සඳහන් කරන ලද පුඤ්ඤාභිසංඛාර, අපුඤ්ඤාභිසංඛාර, ආනෙඤ්ජාභිසංඛාර යන ත්‍රිවිධ සංස්කාරයෝ බව තේරුම් ගත යුතුය.

​පටලවා ගැනීම

​මජ්ඣිම නිකායේ චූලවේදල්ල නමින් සූත්‍රයක් තිබේ. එහි කාය සංස්කාර යනුවෙන් ආශ්වාස ප්‍රශ්වාස දක්වා ඇත. වචී සංස්කාර යනුවෙන් විතක්ක විචාර දක්වා ඇත. චිත්ත සංස්කාර යනුවෙන් සංඥා-වේදනා දක්වා ඇත. සමහර සත්පුරුෂයෝ පටිච්චසමුප්පාදයේ සංස්කාර ලෙස මෙය විස්තර කරති. එය වැරදිසහගතය. එයට හේතුව කුමක්ද? එම දේශනාවේ දක්වා ඇත්තේ නිරෝධ සමාපත්තියට සමවදින විට ප්‍රහාණය වන සංස්කාරය. ආශ්වාස ප්‍රශ්වාස අවිද්‍යාව ප්‍රහීණ කළ විටද පවතී. විතක්ක විචාර අවිද්‍යාව ප්‍රහීණ කරන ලද රහතන් වහන්සේ තුළද ඇත. සංඥා-වේදනාද අවිද්‍යාව ප්‍රහාණය කරන ලද රහතන් වහන්සේ තුළද ඇත. එබැවින් ඒවා අවිද්‍යා සහගත සංස්කාර නොවන බව ඉතා මැනවින් වටහා ගත යුතුය.

විඤ්ඤාණය (විඤ්ඤාණය හෙවත් සිත)

​සිත යනු අරමුණු දැනගැනීමේ ස්වභාවයයි.

​විජානාතීති ඛෝ භික්ඛවේ තස්මා විඤ්ඤාණංති වුච්චති.

(ඛජ්ජනීය සූත්‍රය, සංයුත්ත නිකාය)

"මහණෙනි, (රූපාදී අරමුණු) දැනගනියි, එබැවින් විඤ්ඤාණය යැයි කියනු ලැබේ."

​විඤ්ඤාණය විස්තර කරන ක්‍රම දෙකකි. සූත්‍ර දේශනා ක්‍රමය සහ අභිධර්ම දේශනා ක්‍රමයයි. මෙහිදී අප සූත්‍ර දේශනා ක්‍රමයෙන් පමණක් විඤ්ඤාණය පිළිබඳව කෙටියෙන් විස්තර කරනු ලැබේ. අභිධර්ම ක්‍රමයට එය ඉගෙන ගනු කැමති සත්පුරුෂයෝ අභිධර්මය පිළිබඳ සඳහන් පොතපත බලා දැනගනිත්වා.

​විඤ්ඤාණ හයකි

  1. චක්ඛු විඤ්ඤාණය: ඇසින් රූප දැනගැනීම හෙවත් ඇසෙහි පහළ වන සිත චක්ඛු විඤ්ඤාණය යන නමින් හඳුන්වයි.
  2. සෝත විඤ්ඤාණය: කනින් ශබ්ද දැනගැනීම හෙවත් කනෙහි පහළ වන සිත සෝත විඤ්ඤාණය යන නමින් හඳුන්වයි.
  3. ඝාන විඤ්ඤාණය: නාසයෙන් ගඳ-සුවඳ දැනගැනීම හෙවත් නාසයෙහි පහළ වන සිත ඝාන විඤ්ඤාණය යන නමින් හඳුන්වයි.
  4. ​ජිව්හා විඤ්ඤාණය: දිවෙන් රසය දැනගැනීම හෙවත් දිවෙහි පහළ වන සිත ජිව්හා විඤ්ඤාණය යන නමින් හඳුන්වයි.
  5. කාය විඤ්ඤාණය: කයින් පහස දැනගැනීම හෙවත් කයෙහි පහළ වන සිත කාය විඤ්ඤාණය යන නමින් හඳුන්වයි.
  6. ​මනෝ විඤ්ඤාණය: මනසින් සිතුවිලි දැනගැනීම හෙවත් මනසෙහි පහළ වන සිත මනෝ විඤ්ඤාණය යන නමින් හඳුන්වයි.

(විභංග සූත්‍රය, සංයුත්ත නිකාය)

විඤ්ඤාණයට නම් තැබීම

යඤ්ඤදේව භික්ඛවේ පච්චයං පටිච්ච උප්පජ්ජති විඤ්ඤාණං තේන තේනේව සංඛං ගච්ඡති:

චක්ඛුඤ්ච පටිච්ච රූපේ ච උප්පජ්ජති විඤ්ඤාණං, චක්ඛුවිඤ්ඤාණන්තේව සංඛං ගච්ඡති. සෝතඤ්ච පටිච්ච සද්දේ ච උප්පජ්ජති විඤ්ඤාණං, සෝතවිඤ්ඤාණන්තේව සංඛං ගච්ඡති. ඝානඤ්ච පටිච්ච ගන්ධේ ච උප්පජ්ජති විඤ්ඤාණං, ඝානවිඤ්ඤාණන්තේව සංඛං ගච්ඡති. ජිව්හඤ්ච පටිච්ච රසේ ච උප්පජ්ජති විඤ්ඤාණං, ජිව්හාවිඤ්ඤාණන්තේව සංඛං ගච්ඡති. කායඤ්ච පටිච්ච ඵොට්ඨබ්බේ ච උප්පජ්ජති විඤ්ඤාණං, කායවිඤ්ඤාණන්තේව සංඛං ගච්ඡති. මනඤ්ච පටිච්ච ධම්මේ ච උප්පජ්ජති විඤ්ඤාණං, මනෝවිඤ්ඤාණන්තේව සංඛං ගච්ඡති.

  • මහණෙනි, යම් යම් ප්‍රත්‍යයක් හේතු කොටගෙන විඤ්ඤාණය උපදීද, එය ඒ ඒ නමින්ම හැඳින්වෙයි:
  • ​ඇසද හේතු කොටගෙන, රූපයද හේතු කොටගෙන විඤ්ඤාණය උපදී නම්, එය චක්ඛු විඤ්ඤාණය යන නමින්ම හැඳින්වෙයි.
  • ​කනද හේතු කොටගෙන, ශබ්දයද හේතු කොටගෙන විඤ්ඤාණය උපදී නම්, එය සෝත විඤ්ඤාණය යන නමින්ම හැඳින්වෙයි.
  • ​නාසයද හේතු කොටගෙන, ගඳ-සුවඳද හේතු කොටගෙන විඤ්ඤාණය උපදී නම්, එය ඝාන විඤ්ඤාණය යන නමින්ම හැඳින්වෙයි.
  • ​දිවද හේතු කොටගෙන, රසයද හේතු කොටගෙන විඤ්ඤාණය උපදී නම්, එය ජිව්හා විඤ්ඤාණය යන නමින්ම හැඳින්වෙයි.
  • ​කයද හේතු කොටගෙන, ස්පර්ශයද හේතු කොටගෙන විඤ්ඤාණය උපදී නම්, එය කාය විඤ්ඤාණය යන නමින්ම හැඳින්වෙයි.
  • ​මනසද හේතු කොටගෙන, ධර්ම (සිතුවිලි) හේතු කොටගෙන විඤ්ඤාණය උපදී නම්, එය මනෝ විඤ්ඤාණය යන නමින්ම හැඳින්වෙයි.

සෙය්‍යථාපි භික්ඛවේ යඤ්ඤදේව පච්චයං පටිච්ච අග්ගි ජලති, තේන තේනේව සංඛං ගච්ඡති:

කට්ඨඤ්ච පටිච්ච අග්ගි ජලති, කට්ඨග්ගිතේව සංඛං ගච්ඡති. සකලිකඤ්ච පටිච්ච අග්ගි ජලති, සකලිකග්ගිතේව සංඛං ගච්ඡති. තිණඤ්ච පටිච්ච අග්ගි ජලති, තිණග්ගිතේව සංඛං ගච්ඡති. ගෝමයඤ්ච පටිච්ච අග්ගි ජලති, ගෝමයග්ගිතේව සංඛං ගච්ඡති. ථුසඤ්ච පටිච්ච අග්ගි ජලති, ථුසග්ගිතේව සංඛං ගච්ඡති. සංකාරඤ්ච පටිච්ච අග්ගි ජලති, සංකාරග්ගිතේව සංඛං ගච්ඡති. ඒවමේව ඛෝ භික්ඛවේ යඤ්ඤදේව පච්චයං පටිච්ච උප්පජ්ජති විඤ්ඤාණං තේන තේනේව සංඛං ගච්ඡති.

(මහා තණ්හාසංඛය සූත්‍රය, මජ්ඣිම නිකාය)

​මහණෙනි, යම් සේ ගින්නක් යම් යම් ද්‍රව්‍යයක් (ප්‍රත්‍යයක්) හේතු කොටගෙන දැල්වෙයිද, එය ඒ ඒ නමින්ම හැඳින්වෙයි:

  • ​දර හේතු කොටගෙන ගින්න දැල්වේ නම්, එය දර ගින්න (කට්ඨග්ගි) යන නමින් හැඳින්වෙයි.
  • ​ලී කැබලි (සිහින් දර කැබලි) හේතු කොටගෙන ගින්න දැල්වේ නම්, එය සකලික ගින්න යන නමින් හැඳින්වෙයි.
  • ​තණකොළ හේතු කොටගෙන ගින්න දැල්වේ නම්, එය තණ ගින්න යන නමින් හැඳින්වෙයි.
  • ​ගොම හේතු කොටගෙන ගින්න දැල්වේ නම්, එය ගොම ගින්න යන නමින් හැඳින්වෙයි.
  • ​තණ හේතු කොටගෙන ගින්න දැල්වේ නම්, එය තණ ගින්න යන නමින් හැඳින්වෙයි.
  • ​කුණු-රොඩු හේතු කොටගෙන ගින්න දැල්වේ නම්, එය කුණු රොඩු ගින්න යන නමින් හැඳින්වෙයි.
  • ​මහණෙනි, එසේම යම් යම් ප්‍රත්‍යයක් හේතු කොටගෙන විඤ්ඤාණය උපදී නම්, එය ඒ ඒ නමින්ම හැඳින්වෙයි.

නාමරූප ධර්ම.

​විඤ්ඤාණය හට ගැනීමට හේතුව නාමරූප බවක් පෙර සඳහන් කරන ලද විභංග සූත්‍රයේදී දක්වන ලදී. විඤ්ඤාණයේ පැවැත්මට නැඹුරු වී පවතින බැවින් "නාම" යන නම භාවිතා කරයි. පටිච්චසමුප්පාදයේදී වේදනා, සංඥා, සංඛාර, යන ස්කන්ධ තුන නාම ධර්ම හැටියට දක්වා තිබේ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා ධාතූන් සහ සතර මහා ධාතූන්ගෙන් හටගන්නා වර්ණ, ගන්ධ, රස, ඕජා යන උපාදාය රූපයන්ද "රූප" යනුවෙන් හඳුන්වනු ලබයි. මෙහිදී සූත්‍ර දේශනාවලට අනුකූලවන පරිද්දෙන් නාමරූප ධර්ම පිළිබඳව ඉතා කෙටියෙන් විස්තර කරනු ලැබේ. අභිධර්ම ක්‍රමයෙන් දතයුතු සත්පුරුෂයෝ ඒ පිළිබඳව පොතපත බලා දැනගත යුතුය.

​වේදනා

​අරමුණෙහි රසය විඳින්නා වේදනාවය. වේදනාවේ ප්‍රභේද රාශියකි.

​දුක් වේදනාව, සැප වේදනාව යනුවෙන් ප්‍රභේද දෙකකි.

​දුක් වේදනාව, සැප වේදනාව, උපේක්ෂා වේදනාව යනුවෙන් ප්‍රභේද තුනකි.

​දුක් වේදනාව, සැප වේදනාව, උපේක්ෂා වේදනාව, සෝමනස්ස වේදනාව, දෝමනස්ස වේදනාව යනුවෙන් ප්‍රභේද පහකි.

​ඇසේ ස්පර්ශයෙන් හටගන්නා වේදනා, කනේ ස්පර්ශයෙන් හටගන්නා වේදනා, නාසයේ ස්පර්ශයෙන් හටගන්නා වේදනා, දිවේ ස්පර්ශයෙන් හටගන්නා වේදනා, කයේ ස්පර්ශයෙන් හටගන්නා වේදනා, මනසේ ස්පර්ශයෙන් හටගන්නා වේදනා යනුවෙන් ප්‍රභේද හයකි. තවත් වේදනාවේ ප්‍රභේදයෝ ඇත.

​වේදයතීති ඛෝ භික්ඛවේ තස්මා වේදනාති වුච්චති.

(ඛජ්ජනීය සූත්‍රය, සංයුත්ත නිකාය)

මහණෙනි, විඳිනවා යන අර්ථයෙන් වේදනාව යැයි කියනු ලැබේ.

​වේදනාව යනු විඳීමය. විඳීම් තුනකි: සැප විඳීමය, දුක් විඳීමය, උපේක්ෂා විඳීමය යනුවෙනි.

​සැප වූ, මිහිරි වූ යම් විඳීමක් වේද, එය සැප වේදනාවයි. දුක් වූ, අමිහිරි වූ යම් විඳීමක් වේද, එය දුක් වේදනාවයි. දුක් නැත්තා වූ, සැප නැත්තා වූ යම් විඳීමක් වේද, එය උපේක්ෂා වේදනාවයි.

​වේදනා හය

​කතමා ච භික්ඛවේ වේදනා? ඡයිමේ භික්ඛවේ වේදනාකායා. චක්ඛුසම්ඵස්සජා වේදනා, සෝතසම්ඵස්සජා වේදනා, ඝානසම්ඵස්සජා වේදනා, ජිව්හාසම්ඵස්සජා වේදනා, කායසම්ඵස්සජා වේදනා, මනෝසම්ඵස්සජා වේදනා. අයං වුච්චති භික්ඛවේ වේදනා.

​මහණෙනි, වේදනා සමූහ හයකි: ඇසේ ස්පර්ශයෙන් හටගන්නා වේදනාය, කනේ ස්පර්ශයෙන් හටගන්නා වේදනාය, නාසයේ ස්පර්ශයෙන් හටගන්නා වේදනාය, දිවේ ස්පර්ශයෙන් හටගන්නා වේදනාය, කයේ ස්පර්ශයෙන් හටගන්නා වේදනාය, මනසේ ස්පර්ශයෙන් හටගන්නා වේදනාය. (විභංග සූත්‍රය, සංයුත්ත නිකාය)

​වේදනාව සහ ස්පර්ශය පිළිබඳ විස්තර ඉදිරියේදී තවත් දැක්වෙයි.

​සංඥාව

​සංඥාව යනු හඳුනාගැනීමයි. රූප හඳුනා ගැනීම රූප සංඥාවය, ශබ්දය හඳුනාගැනීම ශබ්ද සංඥාවය, ගඳ-සුවඳ හඳුනාගැනීම ගන්ධ සංඥාවය, රසය හඳුනාගැනීම රස සංඥාවය, ස්පර්ශය හඳුනාගැනීම පොට්ඨබ්බ සංඥාවය, සිතුවිලි හඳුනාගැනීම ධම්ම සංඥාවය.

​සංඥා යන වචනයෙහි අර්ථය හඳුනාගැනීමයි. "සංජානාති සංජානාති සංඥා" යනුවෙන් ඛජ්ජනීය සූත්‍රයේ එය දක්වා තිබේ.

​සංඛාර

​සංස්කාර යනු චේතනාවයි.

​චේතනාව යනු සිතුවිලිය, චෛතසික ධර්මයන්ය. අභිධර්මයෙහි ඒ පිළිබඳ බොහෝ විස්තර ඇත්තේය. සූත්‍ර දේශනාවන්ට අනුව චේතනාවෝ සමූහ හයක් පිළිබඳව විස්තර වෙයි. රූප පිළිබඳව ඇතිවන චේතනා, ශබ්ද පිළිබඳව ඇතිවන චේතනා, ගඳ-සුවඳ පිළිබඳව ඇතිවන චේතනා, රසය පිළිබඳව ඇතිවන චේතනා, ස්පර්ශය පිළිබඳ ඇතිවන චේතනා, සිතුවිලි පිළිබඳව ඇතිවන චේතනා යනු එම චේතනා සමූහ හයයි.

​චේතනාව කුසල, අකුසල වශයෙන්ද කොටස් දෙකකට බෙදෙයි. කුසල කර්මයක් කරන විට ඇතිවන චේතනා කුසල චේතනාවන් වශයෙන්ද, අකුසලයන්ට මුල්වන්නාවූ චේතනා අකුසල චේතනාවන් වශයෙන්ද හඳුන්වනු ලබයි. ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා ආදී සිතුවිලි කුසල චේතනාවන්ය. අහිරික, අනොත්තප්ප, ඉස්සා, මච්ඡරිය, කෝධ, උපනාහ ආදීය අකුසල චේතනාවන්ය.

​ස්පර්ශය

​ස්පර්ශය යනු ආධ්‍යාත්මික ආයතනත්, බාහිර ආයතනත්, විඤ්ඤාණයත් හැපෙන්නාක් මෙන්, ගැටෙන්නාක් මෙන් උපදින්නා වූ සිතුවිල්ලකි.

​සූත්‍ර දේශනාවලදී "තිණ්ණං සංගති සන්නිපාතෝ සමවායෝ ඵස්සෝ" යනුවෙන් කාරණා තුනක එකතුවීම, රැස්වීම, එකට යෙදීම ස්පර්ශය යනුවෙන් විස්තර කර දී තිබේ. සූත්‍ර දේශනාවලට අනුව ස්පර්ශ රාශී හෙවත් සමූහ හයකි. ඒවා පෙර දක්වන ලදී.

​මනසිකාර

​මනසිකාරය යනු තමාද ක්‍රියාවෙහි යෙදෙමින් තමා හා යෙදුණු චෛතසික ධර්මයන්ද ඔවුනට අයත් ක්‍රියාවන්හි යොදවන්නා වූ චෛතසික විශේෂයකි.

​මෙසේ අප විසින් නාම ධර්මයන් ඉතා කෙටියෙන් පැහැදිලි කරන ලදී. රූප යනු පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා ධාතූන්ද, වර්ණ, ගන්ධ, රස, ඕජා යන උපාදාය රූපයන්ය. රූප 28 පිළිබඳ විස්තර අභිධර්ම ග්‍රන්ථයන්ගෙන් දැනගත යුතුය.

සළායතන.

​ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස යනු සළායතනයෝය. සළායතන යනු නාමරූප ධර්මයන්මය. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි යන බාහිර ආයතන හයද සළායතනයන්ටම අයත්ය. ඇස, කන, නාසය, දිව, ශරීරය යනු ප්‍රසාද රූපයන්ය.

රූපය නමැති අරමුණ ගැටීමට සුදුසු වන සේ සතර මහා ධාතූන්ගෙන් හටගත් ප්‍රසාදය හෙවත් රූප දැකීමෙහි කැමැත්ත මුල් වී ඇති තණ්හාව නිසා කර්මයෙන් හටගත් මහාභූතයන්ගේ ප්‍රසාදය චක්ඛු ප්‍රසාදය යන නමින් හඳුන්වයි. ඇසෙහි කළු ඉංගිරියාව මැද රූපවල ඡායාව වැදෙන ඉතා කුඩා ස්ථානයක් ඇත. වෛද්‍ය විද්‍යාවේදී කහ ලපය යන නමින් ඉගෙන ගත්තේ එම ස්ථානයයි. එම ඉතා කුඩා සියුම් ස්ථානය චක්ඛු ප්‍රසාද රූපය නමින් බුදු දහමෙහි හඳුන්වයි. රූපයන්ගේ ඡායාව බැඳුණු විට රූප දැකීම නමින් හඳුන්වන ක්‍රියාව සිදුවන බව වටහාගත යුතුය. එම චක්ඛු ප්‍රසාදයම ඇස යන නමින් හඳුන්වනු ලබයි.

  1. කන් සිදුර තුළ තුනීවූ තඹ පැහැති වූ ලෝමයන්ගෙන් ගැවසී ගත්තා වූ ඇඟිළිවල දමන මුදුවක හැඩය ඇත්තා වූ ස්ථානයෙහි සතර මහා ධාතූන්ගෙන් හටගත් සෝත ප්‍රසාදය පිහිටා ඇත. එය ලේඩියෙකුගේ හිසක් තරම් ඉතා කුඩා වූවකි. වාතය සමඟ මුසුව එන ශබ්දයන් එහි වැදීමෙන් ශබ්ද ඇසීමේ හැකියාව හට ගනී. සෝත ප්‍රසාදය යනු එයයි. ධර්මානුකූලව කන යනුවෙන් හඳුන්වන්නේද එයමය.
  2. නාස් සිදුර ඇතුළත එළු කුරයක හැඩය ඇති ප්‍රදේශයෙහි ලේඩියකුගේ හිසක් බඳු ඉතා කුඩා ඝාන ප්‍රසාදය පිහිටා තිබේ. වාතය සමඟ මුසුව එන ගඳ-සුවඳ එහි වැදුණු පසුව සුවඳ ආඝ්‍රහණය කිරීමේ හැකියාව හට ගනී. ධර්මානුකූලව ඝාන ප්‍රසාද රූපය යනු එයයි. නාසය යනුවෙන් හඳුන්වන්නේද එයයි.
  3. දිව මැද මතුපිට මානෙල් පෙත්තක අග බඳු සටහනක් ඇති ස්ථානයක රසය දැනෙන ඉතා කුඩා ප්‍රදේශයක් පිහිටා තිබේ. එය ලේඩියෙකුගේ හිසක් තරම් ඉතා කුඩා වූවකි. දිවෙහි රස වැඩිපුරම දැනෙන්නේ එම ස්ථානයටය.
  4. ධර්මානුකූලව එය හඳුන්වන්නේ ජිව්හා ප්‍රසාදය යන නමිනි. එය දිව නමින්ද හඳුන්වනු ලබයි.
  5. ශරීරය තුළ කර්මයෙන් හටගත් සතර මහා ධාතූන් ඇසුරු කරමින් පැතිර පවතින්නා වූ සෑම ස්ථානයකම කාය ප්‍රසාදය පිහිටා තිබේ. එහෙත් කෙස්, ලොම්, නිය, දත් සහ මැරුණු සම වැනි දැනීමක් නැති ස්ථාන හැර අන් සියලු සජීවිතැන්හි කාය ප්‍රසාද රූප පිහිටා තිබේ. කය යනුවෙන් ව්‍යවහාර කරන්නේ කාය ප්‍රසාදයයි. අපහට ස්පර්ශ දැනෙන්නේ මෙම ප්‍රසාද රූපය නිසාය.
  6. මනස යනු සිතටද හෘදවස්තු රූපයටද කියන නමකි. සිත් සහ සිතුවිලි හටගන්නේ හෘදවස්තුවෙහි අඩපතක් තරම් පමණ වූ රුධිරය ඇසුරු කරමින් බව ථේරවාදී බුදු දහමෙහි උගන්වයි.

​මනතීති මනෝ. විජානාතීති අත්ථෝ. අට්ඨකථාචරියා පනාහු: 'නාලියා මිනමානෝ විය, මහාතුලාය වා ධාරයමානෝ විය ආරම්මණං මිනාති පජානාතීති මනෝ'ති. තදේව මනනලක්ඛණං. ඉන්දට්ඨං කරෝතීති ඉන්ද්‍රියං.

​ධාන්‍ය මනින නැළියක් හෝ බර කිරන තරාදියක් නිවැරදිව ප්‍රමාණය දක්වන්නාක් මෙන්, තමන් වෙත පැමිණෙන අරමුණ (රූප, ශබ්ද ආදී) නිවැරදිව මැන හඳුනාගන්නා, සිතේ ප්‍රධානත්වය ගන්නා ධර්මය මනස (මනීන්ද්‍රිය) වේ. (ධම්මසංගණී අට්ඨකථාව)

​විජානට්ඨේන ආයතනට්ඨේන මනායතනං...

අරමුණු දැනගන්නවා යන අර්ථයෙන්ද, ආයතනයක් වෙයි යන අර්ථයෙන්ද එය මනායතනය නම් වේ.

(ධම්ම සංඝණී අට්ඨකථා)

බාහිර ආයතන

​රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි යනු බාහිර ආයතනයෝය.

  1. වර්ණ රූපය

​පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහාභූතයන් පරමාර්ථ වශයෙන් අපේ ඇසට සෘජුව නොපෙනුණත්, එම මහාභූතයන් ඇසුරු කරගෙන පවතින ඇසට පෙනෙන ස්වභාවයක්ද පිහිටා ඇත. එම ඇසට පෙනෙන ස්වභාවය වර්ණ රූපය නමින් හඳුන්වයි. ලෝකයෙහි පවතින සෑම වර්ණයක්ම අපගේ ඇසට නොපෙනේ. උදාහරණයක් ලෙස සුළඟටද වර්ණයක් පවතී, එහෙත් එම වර්ණය අපේ ඇසට නොපෙනේ. වාතයේ පවතින එම වර්ණය අපේ ඇසට පෙනුනේ නම් ලෝකයේ ඇති අනෙකුත් සෑම දෙයක්ම එම වර්ණයෙන් වැසී ගොස් කිසිවක් හඳුනාගත නොහැකි වනු ඇත. ඕනෑම වස්තුවක ඇති වර්ණය අපේ ඇසට පෙනෙයි, එම වර්ණය වර්ණ රූපය යන නමින් හඳුන්වනු ලබයි. ඇසට නොපෙනෙන වර්ණයන්ද ඇති බව පෙර සඳහන් කළ බව සිහි කළ යුතුය.

  1. ​ශබ්ද රූපය

​පෙර සඳහන් කරන ලද සෝත ප්‍රසාදයෙහි හැපෙන හෝ ගැටෙන ශබ්දයෝ ශබ්ද රූප යන නමින් හඳුන්වනු ලබයි. මිනිසෙකු, සතෙකු හෝ ඇසට නොපෙනෙන දිව්‍ය, බ්‍රහ්ම, යක්ෂ, භූත ආදී සජීවී සත්ත්වයකු විසින් නගනු ලබන ශබ්ද මෙන්ම මිනිසුන් විසින් සකස් කරන ලද උපකරණවලින් නැගෙන ශබ්දද චිත්තජ ශබ්ද යන නමින් හඳුන්වනු ලබයි. චිත්තජ යන්නෙහි අර්ථය සිතින් උපන් හෙවත් සිත මුල්කරගෙන හටගත් ශබ්දය යන්නයි.

​එසේම සුළඟ, අව්ව, වැස්ස, පින්න ආදී ස්වභාවික ඍතු විපර්යාසයන් නිසා ඇතිවන ශබ්ද උතුජ ශබ්ද නමින් හඳුන්වනු ලබයි.

  1. ගන්ධ රූපය

​ඝාන ප්‍රසාදයෙහි හැපෙන හෝ ගැටෙන ගඳ සහ සුවඳ ගන්ධ රූප යන නමින් හඳුන්වයි.

  1. රස රූපය

ජිව්හා ප්‍රසාදයෙහි හැපෙන හෝ ගැටෙන රසයන් රස රූප නමින් හඳුන්වනු ලබයි. එය තිත්ත රසය, කටුක රසය, පැණි රසය, ඇඹුල් රසය, ලුණු රසය, කර රසය ආදී නොයෙක් ප්‍රභේදයන්ගෙන් යුක්ත වේ.

  1. ​ස්පර්ශ රූපය

​කාය විඤ්ඤාණයෙන් දත යුතු ස්පර්ශය. එය ස්පර්ශ රූප යන නමින් හඳුන්වයි. ප්‍රධාන වශයෙන් අපට ස්පර්ශ වන්නේ මහාභූතයන්ට අයත් පඨවි, තේජෝ, වායෝ යන මහාභූත තුනය. එම තුනෙහි එකතුව ස්පර්ශය ලෙස දක්වනු ලබයි.

​උදාහරණයක් ලෙස ජල බඳුනකට අත දමා එය සෙලවීම සිදු කරන්න. එවිට ඔබට ජලයෙහි ඇති තද ගතිය, ගොරෝසු ගතිය, මෘදු ගතිය හෝ හැපෙන ගතිය දැනෙනු ඇත; එය ජලයෙහි ඇති පඨවි ධාතුවයි. එසේම ජලයේ පවතින උණුසුම් බව හෝ සීතල බව ඔබට දැනෙනු ඇත; එය ජලයෙහි ඇති තේජෝ ධාතුවයි. ජලය තුළ අත සෙලවෙන ආකාරය හෝ ජලයේ චලනය ඔබට දැනෙනු ඇත; එය ජලයෙහි ඇති වායෝ ධාතුවයි. ජලය යනු ප්‍රධාන වශයෙන් ගත් කල්හි ආපෝ ධාතුවකි. එසේ වුවත් ජලයට අත දැමූ විට ආපෝ ධාතුව අපට ස්පර්ශ නොවේ. එහිදී ස්පර්ශ වන්නේ පඨවි, තේජෝ, වායෝ යන ධාතූන් පමණි. ස්පර්ශය පිළිබඳව මෙම ගැඹුරු විග්‍රහය තේරුම් ගෙන සිටීම යථාර්ථය දැකීමට ඉතා වටින්නේය.

  1. ධර්මායතනය

​ධර්ම යනු චේතනාවන්ය; සිතුවිලිය; චෛතසික යනුවෙන් හඳුන්වන්නේද මෙයයි. රූපාරම්මණයන්ද. , වේදනා ආරම්මණයන්ද, සංඥා ආරම්මණයන්ද, සංස්කාර ආරම්මණයන්ද. මනායතනයට අයත්ය.

හිස් ගමකට හොරු පැමිණීම

​ආසීවිසෝපම සූත්‍රයෙහි සළායතන පිළිබඳව ඉතා ලස්සන උපමාවක් දක්වා තිබේ. බයේ දුවන මිනිසෙක් ආරක්ෂාව පතා ගම්මානයකට පැමිණෙයි. පළමු නිවසට ඇතුල් වෙයි; එම නිවස හිස්ය; මිනිසුන් රහිතය; සතුන් රහිතය; වළං මුට්ටි ඇර බලයි, ඒවායේ කිසිවක් නැත; මුළු ගෙදරම හිස්ය. ඊළඟ නිවසටද ගමන් කරයි; ඒ ගෙදරත් එසේමය. එය කුඩා ගමකි, ඇත්තේ ගෙවල් හයකි; ගෙවල් හයම මිනිසුන්ගෙන් හිස්ය; භාජන ද, ආහාරපාන, ජලය ආදියෙන් හිස්ය.

​මෙම හිස්කමෙහි රැඳී සිටින විට ඔහුගේ යහපත කැමති කෙනෙකු ඔහුට මෙසේ කියයි: "ඔබ ඔය ගමේ රැඳී සිටින්න එපා, තව සුළු මොහොතකින් ගම විනාශ කරන හොරු හය දෙනකු පැමිණෙයි." ඔහු මෙම තොරතුර අසා හොරු හය දෙනාට බයෙන් එම ගම අතහැර පලා යයි.

​ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස යන ආයතනයන්ද හිස් ගම්මානයක් බඳුය. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස තුළ ආත්මයක් නැත; ආත්මයට අයත් දෙයක්වත් නැත. එබැවින් ආත්මයෙන් හිස්ය; ආත්මයට අයත් වූ දෙයකින්ද හිස්ය. එබැවින් ශුන්‍යතාවයෙන් යුක්තය.

​"මාගේ ඇස මෙසේ වේවා! මාගේ ඇස මෙසේ නොවේවා!" කියා පැවැත්විය නොහැකිය. එයින් පැහැදිලි වන්නේ ඇස අනාත්ම බවයි. කන, නාසය, දිව, ශරීරය, මනසද එසේමය; ආත්මයෙන් හිස්ය; ආත්මයට අයත් දේවල් වලින්ද හිස්ය; අනාත්මය.

​කළු ගොනා සහ සුදු ගොනා

​කළු ගොනෙකු සහ සුදු ගොනෙකු සිටිති. මේ ගවයන් දෙදෙනා එකම ලණුවේ දෙපැත්තක බැඳ ඇත. කළු ගොනාට සුදු ගොනා බැඳී සිටීද? නැත. සුදු ගොනාට කළු ගොනා බැඳී සිටීද? නැත. මේ දෙදෙනාම බැඳී ඇත්තේ ලණුවෙනි; එබැවින් එහි බන්ධනය ලණුවයි.

​එසේම ඇසට රූපය බැඳී තිබේද? නැත. රූපයට ඇස බැඳී තිබේද? නැත. රූපයත් ඇසත් මේ දෙක බැඳී ඇත්තේ ඡන්දරාගයෙන්ය, හෙවත් තණ්හාවෙන්ය. මේ තණ්හාව මේ දෙක අතර පවතින බැඳීම හෙවත් සංයෝජනය බව වටහාගත යුතුය. සෙසු ආයතන ගැනද මෙසේමය. (කොට්ඨිත සූත්‍රය, සළායතන සංයුත්තය)

ආයතන අවබෝධය

චක්ඛුංච පජානාති රූපඤ්ච පජානාති යංච තදුභයං පටිච්ච උප්පජ්ජති සංයෝජනං හෝති තඤ්ච පජානාති.

​මෙය සතිපට්ඨාන සූත්‍රයෙහි සඳහන් වන පාලි කොටසකි. එහි ආයතන පිළිබඳව විදර්ශනා වඩන ආකාරය මැනවින් දක්වා තිබේ. ඇසද අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් විදර්ශනා නුවණින් දැන ගනී. රූපයද අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් විදර්ශනා නුවණින් දැන ගනී. ඇසත් රූපයත් නිසා උපදින සංයෝජනය හෙවත් තණ්හාවද අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් විදර්ශනා නුවණින් දැන ගනී. සෙසු ආයතන ගැනද මෙසේමය.

​ස්පර්ශය

​ස්පර්ශය යනු ගැටීම, හැපීම යන අර්ථය ඇති වචනයකි.

​ඇසත්, රූපත්, චක්ඛු විඤ්ඤාණයත් එකට ගැටෙන්නාක් මෙන්, එකට හැපෙන්නාක් මෙන්ම උපදින චෛතසිකය චක්ඛු සම්ඵස්සයයි.

​කනත්, ශබ්දයත්, සෝත විඤ්ඤාණයත් එකට ගැටෙන්නාක් මෙන්, එකට හැපෙන්නාක් මෙන්ම උපදින චෛතසිකය සෝත සම්ඵස්සයයි.

​නාසයත්, ගඳ-සුවඳත්, ඝාන විඤ්ඤාණයත් එකට ගැටෙන්නාක් මෙන්, එකට හැපෙන්නාක් මෙන්ම උපදින චෛතසිකය ඝාන සම්ඵස්සයයි.

​දිවත්, රසයත්, ජිව්හා විඤ්ඤාණයත් එකට ගැටෙන්නාක් මෙන්, එකට හැපෙන්නාක් මෙන්ම උපදින චෛතසිකය ජිව්හා සම්ඵස්සයයි.

​කයත්, පහසත්, කාය විඤ්ඤාණයත් එකට ගැටෙන්නාක් මෙන්, එකට හැපෙන්නාක් මෙන්ම උපදින චෛතසිකය කාය සම්ඵස්සයයි.

​මනසත්, සිතුවිලිත්, මනෝවිඤ්ඤාණයත් එකට ගැටෙන්නාක් මෙන්, එකට හැපෙන්නාක් මෙන්ම උපදින චෛතසිකය මනෝ සම්ඵස්සයයි.

​ස්පර්ශය යනු එක චෛතසිකයකි. එහෙත් එහි හට ගැනීමට මූලික වන ආයතන අනුව කොටස් හයකට බෙදා විස්තර කර දී තිබේ.

​චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං. තිණ්ණං සංගති සන්නිපාතෝ සමවායෝ ඵස්සෝ.

​ඇසත්, රූපයත් නිසා චක්ඛු විඤ්ඤාණය උපදී; ඒ තිදෙනාගේ එකතුවීම රැස්වීම සමාගම ස්පර්ශයයි. මෙසේ සෙසු ස්පර්ශයන්ද විස්තර කර දී ඇත.

​ස්පර්ශය අවබෝධ කර ගැනීම ඉතා දුෂ්කරය. බැලූ බැල්මට පෙනෙන්නේ එය භෞතික වූ දෙයක් පමණක් බවය. එහෙත් ස්පර්ශය චෛතසිකයකි. ස්පර්ශය අවබෝධ කර ගත් කල්හි ඔහුට නිවන පිණිස අවබෝධ කළ යුතු වෙනත් දෙයක් නැතැයි පුත්තමංසෝපම සූත්‍රයෙහි සඳහන්ය.

​වේදනාව

​වේදනාව යනු විඳීමය. ඒ පිළිබඳව නාමරූප විස්තරයේදී කෙටියෙන් හඳුන්වන ලදී.

​තණ්හාව

​තණ්හාව යනු සිත තුළ පවතින ආශාවයි. රාගය යන නමින්ද, තෘෂ්ණාව යන නමින්ද, කැමැත්ත යන නමින්ද, ඡන්දරාගය යන නමින්ද, කාමච්ඡන්දය යන නමින්ද, තවත් නොයෙක් නම් වලින්ද තණ්හාව හඳුන්වනු ලබයි. තණ්හාව වේදනාව නිසා හට ගනී. තණ්හා සමූහ හෙවත් රාශී හයක් තිබේ.

​ඒ බව විභංග සූත්‍රයෙහි සඳහන්ය. එය මීට පෙර දක්වන ලදී:

  1. ​රූප තණ්හා
  2. ​ශබ්ද තණ්හා
  3. ​ගන්ධ තණ්හා
  4. ​රස තණ්හා
  5. ​පොට්ඨබ්බ තණ්හා
  6. ​ධම්ම තණ්හා

​ඇසට පෙනෙන රූපයන් කෙරෙහි ඇති ආසාව රූප තණ්හාවයි. කණට ඇසෙන ශබ්දයන් කෙරෙහි ඇති ආසාව ශබ්ද තණ්හාවයි. නාසයෙන් ආඝ්‍රහණය කරන ගඳ-සුවඳ කෙරෙහි ඇති තණ්හාව ගන්ධ තණ්හාවයි. දිවෙන් රසවිඳින රසයන් කෙරෙහි ඇති ආසාව රස තණ්හාවයි. කයින් ලබන ස්පර්ශයන් කෙරෙහි ඇති ආසාව පොට්ඨබ්බ තණ්හාවයි. මනසට එන සිතුවිලි කෙරෙහි ඇති ආසාව ධම්ම තණ්හාවයි.

​කාමරාගය මුල්වී එම තණ්හා හය උපදී. එවිට කාම තණ්හා යන නම භාවිතා කරයි. ඒ අනුව කාම තණ්හා හයකි.

​"රූපය නිත්‍යයි, රූපය ස්ථිරයි, රූපය සදාකාලිකයි, රූපය වෙනස් නොවේ, රූපය මෙලොවින් පරලොවට යයි" ආදී වශයෙන් ශාස්වත දෘෂ්ටිය මුල්වී තණ්හාව ඉපදීම භව තණ්හාව යන නමින් හඳුන්වනු ලබයි.

​"රූපය මෙලොවින් පරලොවට නොයයි. රූපය මරණයත් සමඟම සිඳෙන්නේය, නැසෙන්නේය, විනාශ වන්නේය" යන අදහසින් රූපයට ඇලුම් කිරීම විභව තණ්හාවයි. සෙසු ශබ්ද ආදිය පිළිබඳවද එසේමය.

​මේ අනුව කාම තණ්හා හයකි, භව තණ්හා හයකි, විභව තණ්හා හයකි. මෙම තණ්හා අටළොස (18) අතීතයෙහිද පැවැතියේය, අනාගතයෙහිද ඇතිවන්නේය, වර්තමානයෙහිද පවතින්නේය. එබැවින් තණ්හා පනස් හතරකි (18 × 3 = 54). එම තණ්හා පනස් හතර තමා තුළද ඇත, අන් අය තුළද ඇත. එවිට තණ්හා එකසිය අටකි (108).

බොහෝ දෙනකු කාමය කියා සිතා සිටින්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන කාරණා පහයි. සැබැවින්ම ඒවා කාමයෝ නොවෙති; ඒවා කාම වස්තුන්ය. කාම ගුණ යන නමින්ද හඳුන්වනු ලබයි. පංච කාම වස්තූන් යන නමද, පංච කාම ගුණ යන නමද, වස්තු කාමය යන නමද විවිධ අවස්ථාවන් සඳහා ධර්මයෙහි භාවිතා කරයි.

​"සංකප්පරාගෝ පුරිසස්ස කාමෝ..." කාමය යනු සංකල්පීය රාගය බව නිබ්බේදික පරියාය සූත්‍රයෙහි සඳහන්ය. එම කාමය දැඩි සේ ග්‍රහණය කර ගැනීම කාම උපාදානයයි. එකසිය අටක් වූ තණ්හාවෙහි දැඩි බවම කාම උපාදානයයි.

​දිට්ඨි උපාදානය

​"තත්‍ථ කතමං දිට්ඨූපාදානං, නත්‍ථි දින්නං, නත්‍ථියිඨං, නත්‍ථිහුතං -පෙ- සච්ඡකත්‍වා පවෙදෙන්ති. යා එව රූපාදිට්ඨි, විපරියෙසගාහො ඉදං වුච්චති දිට්ඨූපාදානං" (විභංග පාලිය)

​දිට්ඨි උපාදානය යනු දස වස්තුක මිථ්‍යාදෘෂ්ටියයි. ඒ බව ඉහත සඳහන් කරන ලද විභංගපාලි පාඨයෙන්ම පැහැදිලි වෙයි.

උපාදානය

​"උපාදාන පච්චයා භවෝ" - උපාදානය නිසා භවය හටගනී.

​උපාදානය යනු දැඩි ග්‍රහණය කර ගැනීමයි. උපාදාන හතරකි:

  1. කාම උපාදානය
  2. දිට්ඨි උපාදානය
  3. සීලබ්බත උපාදානය
  4. අත්තවාද උපාදානය

කාම උපාදානය.

​රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන පංචකාම වස්තු කෙරෙහි ඇති තණ්හාව කාමයයි. එම කාමය දැඩි සේ ග්‍රහණය කර ගැනීම කාම උපාදානයයි. කාම වස්තූන් කෙරෙහි ඇති රාගයද, කාම වස්තුන්ගෙන් සතුටු වීමද, කාම වස්තුන් කෙරෙහි ඇති ඡන්දයද කාම උපාදානයටම අයත්ය.

​"තත්‍ථ කතමං කාමූපාදානං, යො කාමෙසු කාමච්ඡන්‍දො, කාමාරාගො, කාමනන්‍දි, කාමතණ්හා, කාමසිනෙහො, කාමපරිළාහො, කාමමුච්ඡා, කාමාජ්ඣොසානං ඉදං වුච්චති කාමූපාදානං" (විභංගපාලිය)

​එහි කාම උපාදානය යනු කුමක්ද:

පංචකාම වස්තුන් කෙරෙහි යම් කාමච්ඡන්දයක් වේද, කාම වස්තුන් කෙරෙහි යම් රාගයක් වේද, කාමයන්හි සතුටු වන ස්වභාවයක් වේද, යම් කාම තණ්හාවක් වේද, යම් කාමය කෙරෙහි සෙනෙහසක් වේද, කාමයෙහි යම් දැවිල්ලක් වේද, කාමයෙහි ගිලීමක් වේද, එය කාම උපාදානයයි.

​මිච්ඡාදිට්ඨිකස්ස භික්ඛවේ ද්වින්නං ගතීනං අඤ්ඤතරා ගති පාටිකඞ්ඛා නිරයෝ වා තිරච්ඡානයෝනී වාති.

(අංගුත්තර තික නිපාතය)

​මහණෙනි, මිථ්‍යා දෘෂ්ටිය ගත් තැනැත්තා නිරය හෝ තිරිසන් යෝනිය හෝ යන ගති දෙක අතරින් එකක් බලාපොරොත්තු විය යුතුය.

​ධර්මාර්ථ විස්තරය

​ලෝකයෙහි පවතින ඉතා දරුණුම අකුසලය මිථ්‍යාදෘෂ්ටියයි. මිථ්‍යාදෘෂ්ටිය තරම් මහත් වූ තවත් අකුසලයක් නැතැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළහ.

​වැරදි සහගත වූ දෙය සත්‍ය වශයෙන් දැකීම මිථ්‍යාදෘෂ්ටියයි. එය කොටස් දහයකට බෙදා විස්තර කර දී ඇත.

දස වස්තුක මිථ්‍යා දෘෂ්ටිය.

1.​නත්ථි දින්නං:

දානයෙහි විපාක නැත. අසරණ අහිංසක කෙනෙකුට උපකාර කරන අදහසින් හෙවත් අනුග්‍රහ කරන අදහසින් යමක් දීම මින් අදහස් කරයි. එහි පිනක් නැති බවත් ඉන් වන යහපතක් නැති බවත් මෙම දෘෂ්ටිකයෝ සිතති, කියති.

2.​නත්ථි යිට්ඨං:

මහා දානයේ විපාක නැත. මහාදානම් යනු මහත් සේ දෙනු ලබන විශාල දානයන්ය. එබඳු දාන කළ හැකි බවද, එහෙත් එහි ඵල විපාකයක් නැති බවද මෙම මිථ්‍යාදෘෂ්ටිය දරන්නෝ සිතති.

3..​නත්ථි හුතං:

​ආහුන පාහුන මංගල කිරියාය තං කාතුං සක්කාති ජානාති. තස්ස පන ඵල විපාකෝ නත්ථිති ගණ්හාති. (ධම්ම සංඝනී අට්ඨකථා)

​දුර සිට ගෙනවිත් පූජා කරන දෙය ආහුන නම් වෙයි. ගෙනවිත් පිදිය යුතුය යන තේරුම එහි ඇත. ආගන්තුකයන් උදෙසා සකසන ලද භෝජනය පාහුණ නම් වෙයි. එම භෝජනය ප්‍රතිග්‍රාහකයෙකු හමු වුවහොත් දන් දීමද සිදු කරනු ලබයි. මංගල අවස්ථා ආදියේදීත් පිරිනමන දාන තිබේ. මේ සියලු දානයන් කිරීමට හැකියාව ඇතැයි දනී; එහෙත් එහි ඵල විපාක නැතැයි යන අදහසක් දැරීම නත්ථි හුතං යන මිථ්‍යාදෘෂ්ටියයි. මෙම මිථ්‍යාදෘෂ්ටිය ගන්නා ලද තැනැත්තා සිල්වතුන් ගුණවතුන් උදෙසා පූජා වස්තු ගෙනවිත් පූජා කරන්නේ නැත. ආගන්තුකයින් උදෙසා සකසන ලද භෝජන ප්‍රතිග්‍රාහකයෙකු ලැබුණු විටද නොදෙන්නේය. උපන්දිනය, විවාහය, නිවසට පදිංචි වීම ආදී විශේෂ මංගල සම්මත දිනවලදීද ආශීර්වාද ලබා ගැනීමේ අදහසින් දන් නොදෙන්නේය.

7.​නත්ථි මාතා:

8.​නත්ථි පිතා:

​මව නැත. පියා නැත. මෙම මිථ්‍යා දෘෂ්ටිය දරන්නෝ මව්පියන් සිටින බව දනිති. එහෙත් මව්පියන්ට උපකාර කිරීමෙන් පින් සිදු වන බව විශ්වාස නොකරති. මව්පියන්ට නොසැලකීමෙන් පව් සිදුවන බව විශ්වාස නොකරති.

​මව්පියෝ දරුවන්ට බොහෝ උපකාර කරන්නෝය. දරුවන්ගේ අත්පා නොකඩා රැකවරණ සලසන්නේ මව්පියෝය. දරුවන් පෝෂණය කරන්නේද මව්පියෝය. මේ ලෝකයට අපව හඳුන්වාදීම මව්පියන් විසින් කරන ලදී. අනන්ත අප්‍රමාණ ගුණ ඇති මව්පියන්ට සැලකීමෙන් කුසලයක් සිදු නොවන බව විශ්වාස කිරීම ඉතා බලවත් පාපයකි. මව්පියන්ට නොසලකන්නෝ මරණින් මතු නිරයගාමී වෙති. මෙලොවදීම බොහෝ දෙනාගේ නින්දා අපහාස ආදියට ලක්වෙති.

9..​නත්ථි සත්තා ඕපපාතිකා:

​ඕපපාතික සත්වයෝ නැත යනුවෙන් විශ්වාස කිරීම මෙම මිථ්‍යා දෘෂ්ටියයි. මව්පිය සම්භවයකින් තොරව උපදින සත්වයෝ ඕපපාතික සත්වයන් වශයෙන් හඳුන්වනු ලබයි. ඕපපාතික සත්වයෝ යනු ඉබේ පහළ වන සත්වයෝ යැයි සමහරු කියති. එහෙත් එය වැරදි මතයකි. ඉබේ පහළ වන සත්වයෝ නැත. සියලු සත්වයෝ කර්මානුරූපව උපත ලබති. කර්මානුරූපව අංග සම්පූර්ණ ශරීර ඇතුව ඉපදීම ඕපපාතික උපතයි. .දෙවියෝද, බ්‍රහ්මයෝද, නිරයේ සිටින සත්වයෝද, ප්‍රේතයෝද. ඕපපාතිකව උපදිති. සමහර තිරිසන්ගත සත්වයෝද ඕපපාතිකව උපදිති. කලාතුරකින් මිනිසුන් ඕපපාතිකව උපදින බවද දේශනාවේ සඳහන්ය. ඕපපාතික උපත පිළිනොගැනීම මහත් වූ මිථ්‍යා දෘෂ්ටියකි. ඔවුහු නිරය පිළිනොගනිති. ප්‍රේත අපාය පිළිනොගනිති. දේව ලෝක, බ්‍රහ්ම ලෝක විශ්වාස නොකරති. මව්පියන් නිසා සහ සංවාසයෙන් පමණක්ම දරුවන් උපදින බව සිතති. මැරී උපදින සත්වයෝ නැතැයි සිතීම මෙම මිථ්‍යා දෘෂ්ටියට අයත් බව ධම්ම සංගණී අට්ඨකථාවේ සඳහන් වෙයි.

10..​සම්මගතා සම්මාපටිපන්නා. යේ ඉමංච ලෝකං පරංච ලෝකං සයං අභිඤ්ඤා සච්චිකත්වා පවේදෙන්ති:

​නිවනට අනුරූප වූ මාර්ගයෙහි ගමන් කරන ධාර්මික ශ්‍රමණ බ්‍රාහ්මණයන් ලෝකයෙහි නැතැයි සිතති. මෙලොවද පරලොවද තමාගේ නුවණින් විශිෂ්ට ලෙස දැනගෙන ලොවට ප්‍රකාශ කිරීමට සමර්ථ වන, සියල්ල දන්නා වූ බුදුවරයෝ ලෝකයේ නැතැයි විශ්වාස කරති. බුදුවරු නොපිළිගැනීම හෙවත් සර්වඥ මුනිවරු නොපිළිගැනීම මෙම මිථ්‍යා දෘෂ්ටියයි

සීලබ්බත උපාදානය

​"තත්‍ථ කතමං සීලබ්බතූපාදානං ඉතො බහිද්ධා සමණබ්‍රාහ්මණානං සීලෙන සුද්ධි වතෙන සුද්ධි..." (ධම්මසංගණී ප්‍රකරණය)

​එහි සීලබ්බත උපාදානය යනු කුමක්ද? මේ ශාසනයෙන් බාහිර වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ සීලයෙන් පිරිසිදු බව වන්නේය, වෘතයෙන් පිරිසිදු බව වන්නේය යන දැඩි ග්‍රහණය සීලබ්බත උපාදානයයි.

​බුදු සසුනින් බාහිරව නොයෙක් සීලව්‍රත ක්‍රම තිබේ. ඔවුහු ඒවායෙන් පිරිසිදු වෙති යි සිතති. පිරිසිදු වීම යනු කෙලෙසුන් නසා පිරිසිදු වීමයි. කෙලෙස් නසා පිරිසිදු වීම අරමුණු කරගෙන බොහෝ දෙනකු නොයෙක් සීල ක්‍රමයන් අනුගමනය කළහ. සමහරුන් එළුවන් සේ චර්යාව පැවැත්වූහ; එය අජසීල නම් විය. සමහරු ගවයන් සේ හැසිරුණහ; එය ගෝසිල නම් විය. සමහරු සුනඛයන් සේ හැසිරුණහ; එය කුක්කුරසීල නම් විය.

​එම සීලයන් අනුගමනය කරන අය එම සීලයට අදාළ වූ වෘතයන්ද හෙවත් වත්පිළිවෙත් ද සිදුකළහ. සීලයෙන් සහ වෘතයෙන් පිරිසිදු වෙතැයි ඔවුහු සිතූහ; එම අදහස දැඩි සේ ගත්හ. එසේ සීලයෙන් සහ ව්‍රතයෙන් පිරිසිදු වෙතැයි සිතන දැඩි අදහස, දැඩි ග්‍රහණය සීලබ්බත උපාදානයයි.

​අධික හිරු රස්නය ඇති දිනවල ගිනි මැල හතරක් ගසා, ගිනි මැල හතර මැදට වී භාවනා කරන තාපසවරු වූහ. ඔවුහු පංච තපයෙන් කෙලෙස් තවන්නේ යැයි දැඩි සේ විශ්වාස කළහ; එයද සීලබ්බත උපාදානයකි. සීතල කාලවලදී ජලයේ බැසීමෙන් කෙලෙස් පිරිසිදු වෙතැයි සිතන අයද වූහ; එය උදකසුද්ධි නම් විය, එයද සීලබ්බත උපාදානයකි.

උදක සුද්ධියෙහි යෙදුණු තවුසා

​දිනක් බෞද්ධ උපාසිකාවක් ජලය රැගෙන ඒමට ගංගාවකට ගමන් කළාය. හිමිදිරි උදෑසන අධික සීතලයෙහි ගැසෙමින් එක තවුසෙකු ජලයෙහි බැසගෙන සිටින ආකාරය එම කාන්තාවට දක්නට ලැබුණේය. "ඔබ ඉතා සීතලේ හිමිදිරි උදෑසන මේ ජලයේ බැස සිටින්නේ කුමකටදැයි" ඇය තවුසාගෙන් විමසුවාය. එවිට තවුසා මෙසේ පැවසීය: "නැගණියනි, ඔබ නොදන්නේද? ජලයේ බැස සිටීමෙන් පව් සෝදා හැරිය හැකිය, කෙලෙසුන්ගෙන් පිරිසිදු විය හැකියි."

​එවිට එම කාන්තාව මෙසේ පැවසුවාය: "ඔබ කියන දේ සත්‍යයක් නම්, ජලයේ නිරන්තරයෙන්ම ජීවත්වෙන කැස්බෑවන්, ඉබ්බන්, මාළුන්, කිඹුලන් වැනි සතුන්ගේ කෙලෙස් නැතුව ඇති නේද? ඔවුන්ගේ කෙලෙස් පිරිසිදු වී ගොස් ඇති නේද?" යනුවෙන් ප්‍රශ්න කළාය. එවිට තවුසා යථාර්ථය තේරුම් ගත්තේය.

අත්තවාද උපාදානය.

අත්තවාද උපාදානය යනු, ආත්මයක් ඇත යන අදහස දැඩිව ග්‍රහණය කර ගැනීමයි.

විසියාකාර සක්කායදිට්ඨියට නමකි. මෙහිදී විසි ආකාර සක්කාය දිට්ඨියත් විස්තර සහිතව පැහැදිලි කර දෙනු ලැබේ.

අස්සුතවා පුථුජ්ජනෝ (අශ්‍රැතවත් පෘථග්ජනයා):

​ත්‍රිපිටක ධර්මය පිළිබඳ අවබෝධයකින් තොර වූ පෘතග්ජනයා යනු කවුද? "අස්සුතවා" යනු අසා නැති යන අර්ථය ඇති වචනයකි. මින් අදහස් කරන්නේ ධර්මය පිළිබඳ ඇසීමක් හෝ තේරුම් ගැනීමක් නැති බවයි. අස්ශ්‍රැතවත් පෘථග්ජනයා මෙසේ හඳුන්වා දිය හැකිය:

  1. ​පංච උපාදානස්කන්ධය ගැන අසා නැති, නොදන්නා කෙනෙකි.
  2. ​පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා ධාතු ගැන අසා නැති කෙනෙකි.
  3. චක්ඛු ධාතු, රූප ධාතු, චක්ඛු විඤ්ඤාණ ධාතු ආදී ධාතු 18 පිළිබඳව අසා නැති කෙනෙකි.
  4. ​පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාස, විඤ්ඤාණ යන ධාතු හය පිළිබඳව අසා නැති කෙනෙකි.
  5. ​ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස යන ආධ්‍යාත්මික ආයතන ගැනද, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි යන බාහිර ආයතන ගැනද ධර්මයෙන් අසා නැති කෙනෙකි.
  6. පටිච්චසමුප්පාදය පිළිබඳව අසා නැති කෙනෙකි.
  7. ​සතිපට්ඨාන ආදී බෝධිපාක්ෂික ධර්ම පිළිබඳව අසා නැති කෙනෙකි.
  8. ​ඉහත සඳහන් කරන ලද ධර්ම කාරණාවන් පිළිබඳව ඉගෙන ගෙන නැති කෙනෙකි.
  9. ඉහත සඳහන් කරන ලද ධර්ම කාරණා පිළිබඳව දැන උගත් අයගෙන් විමසීම කර නැති කෙනෙකි.
  10. ​ඉහත සඳහන් කරන ලද ධර්ම කාරණාවන් පිළිබඳව විනිශ්චය හෙවත් තේරුම් ගැනීම නොකළ කෙනෙකි.
  11. ​ඔහු බොහෝ කෙලෙස් උපදවන බැවින් පෘථග්ජන යනුවෙන් හඳුන්වයි.
  12. සක්කාය දිට්ඨිය නසා (ප්‍රහාණය කර) නැති බැවින් පෘථග්ජන යනුවෙන් හඳුන්වයි.
  13. ​බොහෝ ශාස්තෘන් වහන්සේලාගේ මූණු බලමින් යන බැවින් (විවිධ ශාස්තෘවරුන් අදහන බැවින්) පෘථග්ජන යනුවෙන් හඳුන්වයි.
  14. ​දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක, සතර අපාය ආදී උපදින ගතිවලින් වැසී ඇති බැවින් හෝ පිහිටක් නොලැබූ තැනැත්තා යන අර්ථය ඇතිව පෘථග්ජන යනුවෙන් හඳුන්වයි.
  15. ​සසරගාමී බොහෝ කුසල අකුසල කර්මයන් රැස් කරන නිසා පෘථග්ජන යනුවෙන් හඳුන්වයි.
  16. නොයෙක් ඕඝයන්ගෙන් (සැඩපහරින්) පාවී යන නිසා පෘථග්ජන යනුවෙන් හඳුන්වයි.
  17. ​නොයෙක් කෙලෙස් තැවිලිවලින් තැවෙන නිසා පෘථග්ජන යනුවෙන් හඳුන්වයි
  18. ​කෙලෙස් දැවිල්ලෙන් දැවෙන නිසා පෘථග්ජන යනුවෙන් හඳුන්වයි.
  19. ​බොහෝ පංචකාම ගුණයන්හි ඇලුනු නිසාද, ගිජු වූ නිසාද, ගැටුණු නිසාද, මුලා වූ නිසාද, බැසගත් නිසාද, ඇලී සිටින නිසාද, ලැගගෙන සිටින නිසාද, පරිබෝධ කරගත් නිසාද පෘථග්ජන යනුවෙන් හඳුන්වයි.
  20. ​මහත් වූ පංචනීවරණයන්ගෙන් අමුණන ලද නිසාද, වට කරන ලද නිසාද, ආවරණය කරන ලද නිසාද, වැසී ගිය නිසාද, සැඟවුණු නිසාද, යටිකුරු කරන ලද නිසාද පෘථග්ජන යනුවෙන් හඳුන්වයි.
  21. ​මහත් වූ ගණ පථය ඉක්මවූ, ආර්ය ධර්මයට පිටුපාන ලද, නීච ධර්මයන්හි හැසිරෙන ජනයන්ට ඇතුළත් වන නිසාද පෘථග්ජන යනුවෙන් හඳුන්වයි.
  22. ​සීල ගුණයෙන්, බහුශ්‍රැත ගුණයෙන්, ධුතාංග ගුණයෙන් යුක්ත වූ ආර්යයන් සමඟ මිශ්‍ර නොවන නිසාද පෘථග්ජන යනුවෙන් හඳුන්වයි.

ලෝකයෙහි පෘථග්ජනයෝ දෙදෙනෙක් සිටිති. ධර්මය පිළිබඳ අසා නැති අන්ධ පෘථග්ජනයා පළමුවැන්නාය; ධර්මය පිළිබඳ අසා ඇති, තෙරුවන් සරණ ගිය කල්‍යාණ පෘථග්ජනයා දෙවැන්නාය.

අරියානං අදස්සාවී.

(ආර්යයන් වහන්සේලා දැක නැත.)

​මෙය පෘථග්ජන පුද්ගලයාගේ ලක්ෂණයයි. ආර්යයන් වහන්සේලා යනු ක්‍ලේශයන්ගෙන් දුරු වූ උතුමෝය. දෙවියන් සහිත ලෝකයා විසින් පූජා සත්කාර කරනු ලබන බුදුරජාණන් වහන්සේලාද, පසේබුදුරජාණන් වහන්සේලාද, මාර්ගඵලලාභී බුද්ධ ශ්‍රාවකයෝද ආර්යයන් වහන්සේලා යැයි කියනු ලබති. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේටද ආර්යයන් වහන්සේ යන වචනය යොදනු ලබයි. ඒ බව සංයුත්ත නිකායේ සඳහන් වන දේශනාවක ඇතුළත්ය. එම දේශනාව මෙසේය:

​"මහණෙනි, දෙවියන් සහිත වූ, මරුන් සහිත වූ, බ්‍රහ්මයා සහිත වූ දෙව් මිනිස් ප්‍රජාවෙහි තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ආර්ය නමින් හැඳින්වෙති." (සච්ච සංයුත්තය)

​එසේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කොට වදාළා වූ සෙසු මාර්ගඵලලාභීහුද ආර්ය යන නාමයෙන් හඳුන්වති. අන්ධබාල පෘථග්ජනයා මෙම ආර්යයන් වහන්සේලා දැක නැත. මින් අදහස් කරන්නේ ඇසින් දැක නැත යන අර්ථය නොවෙයි; ඥාන චක්ඛු නමින් හඳුන්වන නුවණැසින් දැක නැත යන අර්ථයයි.

​සප්පුරිසානං අදස්සාවී.

අන්ධබාල පෘථග්ජනයා සත්පුරුෂයෝ දැක නැත. සත්පුරුෂයෝ යනු බුදු, පසේබුදු, මහරහතන් වහන්සේලාටත් සෙසු ආර්ය උතුමන් වහන්සේලාටත් කියන නමකි.

​යම් කිසි කෙනෙක් කළගුණ දන්නේ නම්, කතවේදී නම්, පණ්ඩිත නම්, කල්‍යාණ මිත්‍රයන් දැඩි භක්තියෙන් යුතුව අදහයි නම්, දුකට පත් අවස්ථාවන්හිදී දුකට පත් සත්වයන්ට පිහිටවෙයි නම් ඔහු සත්පුරුෂයෙක් බව ධම්ම සංගණී අට්ඨකථාවෙහි දක්වා තිබේ.

​යම්කිසි කෙනෙක් ඇස් දෙකෙන් ආර්යයන් වහන්සේලා දැක තිබුණත්, ඔවුන් ආර්යයන් වහන්සේලා දැක ඇති අය ලෙස නොසලකති. යම්කිසි පිරිසක් දිවැසින් ආර්යයන් වහන්සේලා දැක තිබුණත්, ඔවුන්ද ආර්යයන් වහන්සේලා දුටු අය ලෙස නොසලකති. ආර්යයන් වහන්සේලා යනු කවුද, උන්වහන්සේලාගේ ගුණ මොනවාද, උන්වහන්සේලා කෙබඳු පිරිසක්ද ආදී වශයෙන් නුවණින් විමසා දැන තේරුම් ගත් තැනැත්තෝම සැබවින්ම ආර්යයන් වහන්සේලා දකින ලද අය වෙති.

​ආර්යයන් නොදුටු රහතුන් පිටුපස ගිය පැවිද්දා...

​සිතුල්පව්වේ වාසය කළ එක්තරා රහතන් වහන්සේ නමකට උපස්ථාන කරන්නා වූ මහලු පැවිද්දෙක් විය. දිනක් එම මහලු පැවිද්දා රහතන් වහන්සේ සමඟ පිඬු පිණිස වැඩම කරන අතරතුර තෙරුන් වහන්සේගේ පා සිවුරු ගෙන පිටුපසින් ගමන් කරයි. එසේ යන අතරතුර මෙසේ විමසයි: "ස්වාමීනී, ආර්යයන් වහන්සේලා කෙබඳුද?"

​එවිට තෙරුන් වහන්සේ මෙසේ පිළිතුරු දේශනා කළහ: "යම්කිසි මහලු කෙනෙක් ආර්යයන් වහන්සේලාගේ පාත්‍ර සිවුරු ගෙන, වත්පිළිවෙත් කරමින්, එකට හැසිරෙමින්, එකට වාසය කළත් ආර්යයන් නොදනියි. ඇවැත්නි, මෙසේ ආර්යයන් වහන්සේලා දැකගැනීම දුෂ්කරය" යි උන්වහන්සේ දේශනා කළහ.

​මෙසේ කියන ලද විටදීද ඔහු ආර්යයන් වහන්සේලා නුවණින් දැකගත්තේ නැත. එම නිසා ආර්යයන් වහන්සේලා දැකීම යනු ඇසින් දැකීම නොවේ; ඥාන දර්ශනයෙන්ම දැකීමයි. මෙසේද බුදුරජාණන් වහන්සේ වදාළසේක: "යමෙක් ධර්මය දකී නම් ඔහු මා දකී. යමෙක් මා දකී නම් ඔහු ධර්මය දකී." (යෝ ධම්මං පස්සති සෝ මං පස්සති, යෝ මං පස්සති සෝ ධම්මං පස්සති). එම නිසා ඇසින් දැකීමත්, ඥානයෙන් ආර්යයන් වහන්සේලා දැකීමත් යන දෙක අතර වෙනසක් තිබෙයි.

​විශේෂයෙන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය නුවණින් මෙනෙහි කොට දකින තැනැත්තා ධර්මය තේරුම් ගන්නා කෙනෙකි, දකින කෙනෙකි. එම තැනැත්තාම ආර්යයන් වහන්සේලා දකින කෙනෙකු බව දත යුතුය. ඒ අනුව විදසුන් වඩන තැනැත්තාම ආර්ය දර්ශනය ලබති. ඔවුන් මාර්ගඵල නොලබා සිටියත්, "අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ආර්යයන් වහන්සේලා විසින් අවබෝධ කරන ලද්දේය, මා විසින්ද අවබෝධ කළ යුත්තේය" යනුවෙන් අර්යයෝ දකිති.

​අරිය ධම්මස්ස අකෝවිදෝ - ආර්ය ධර්මයට අදක්ෂය.

​ආර්ය ධර්මය යනු සතර සතිපට්ඨානයන්ය, සතර ඉද්ධිපාද ධර්මයන්ය, සතර සම්‍යක්ප්‍රධාන ධර්මයන්ය, පංච ඉන්ද්‍රිය ධර්මයන්ය, පංච බල ධර්මයන්ය, සප්ත බොජ්ඣංග ධර්මයන්ය, ආර්ය අෂ්ටාංගික මාර්ග ධර්මයන්ය. මෙම ධර්මයන් පිළිබඳව අදක්ෂ වීම "අරිය ධම්මස්ස අකෝවිදෝ" යනුවෙන් හඳුන්වනු ලබයි.

​ධර්මාවබෝධය කර ගැනීමට කැමති සත්පුරුෂයෝ පෙර සඳහන් කරන ලද බෝධිපාක්ෂික ධර්මයන් ඉතා ගෞරවයෙන් යුතුව ඇසිය යුතුය. අසන ලද එම ධර්ම ධාරණය කරගත යුතුය. ධාරණය කරන ලද එම ධර්ම වචනයෙන්ද පුරුදු පුහුණු කළ යුතුය. වචනයෙන් පුරුදු පුහුණු කරන ලද එම ධර්මයන් සිතින් බැලිය යුතුය. "මනසානුපෙක්ඛිතා" යනුවෙන් හඳුන්වන්නේ එයයි. එය අටුවාවේ "චිත්තෙන ඕලෝකිතා" යනුවෙන් සිතින් බලයි කියා විස්තර කර දෙයි.

​සිතින් බලන ලද ධර්මයන්ගේ ධර්ම කාරණාවන් සහ අර්ථයන් නුවණින් හෙවත් ප්‍රඥාවෙන් තේරුම් ගත යුතුය. ධර්මය යනු පාලි දහම් කොටස් තේරුම් ගැනීමයි. අර්ථය යනු අටුවාව තේරුම් ගැනීමයි. එසේ නුවණින් හෙවත් ප්‍රඥාවෙන් ත්‍රිපිටක ධර්ම කොටස සහ එහි අට්ඨකථාවට අනුව පැහැදිලි කිරීම නුවණින් දැනගත යුතුය. ඔහු ආර්ය ධර්මයට දක්ෂ වූ කෙනෙකි. අන් අය ආර්ය ධර්මයට දක්ෂ නොවූවෝ වෙති.

​අරිය ධම්මේ අවිනීතෝ - ආර්ය ධර්මයෙහි නොහික්මුණෝය.

​ආර්ය ධර්මය යනු බෝධිපාක්ෂික ධර්ම බව ඉහත දක්වන ලදී. ආර්ය ධර්මයෙහි හික්මීම යනු කුමක්ද? හික්මීම යනු සංවරයට කියන නමකි. මෙම ශාසනය තුළ සංවරවීම් පහක් දක්වා ඇත.

බුද්ධ ශාසනය තුළ සංවරවීම හෙවත් විනය කොටස් දෙකකට බෙදා තිබේ. එනම් සංවර විනය සහ පහාන විනය යනුවෙනි. මේ විනයන් දෙක අතරෙන් එක් විනයක් ආකාර පහකට බෙදෙයි. සංවර විනය කොටස් පහකි. එනම් සීල සංවරය, සති සංවරය, ඤාණ සංවරය, ඛන්ති සංවරය සහ විරිය සංවරය යනුවෙනි.

​සීල සංවරය

​සීල සංවරය යනු සීලයෙන් සංවර වීමයි. ගිහි පින්වතුන් විසින් නිත්‍ය සීලය වූ පංචශීලය රැකීම සීල සංවරයයි. පැවිද්දා විසින් ප්‍රාතිමෝක්ෂ සංවර සීලය රැකීම සීල සංවරයයි.

​සති සංවරය

​සති සංවරය යනු ඉන්ද්‍රිය සංවර සීලයට නමකි. ඇසෙහි සංවරයක් නැත; රූපයෙහි සංවරයක් නැත. කන, නාසය, දිව, ශරීරය, මනස යන ඒවායේද සංවරයක් නැත. එසේම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි යන මේවායේද ස්වභාවයෙන්ම සංවරයක් නැත. මේවා සංවර කර ගැනීම යනු නුවණින් කළ යුතු දෙයකි. නුවණින් තොරව සිටින විට ඉන්ද්‍රියන් තුළ සිහිය නොපවතී. නුවණින් යුතුව ඉන්ද්‍රිය ධර්මයන් තුළ සිහිය පැවැත්වීම සංවරයයි. එම නිසා ඉන්ද්‍රිය සංවර සීලය සති සංවරය යනුවෙන් හඳුන්වනු ලබයි. සති අවිප්පවාසය හෙවත් සිහිය අත්නොහැර වාසය කරන විට ඉන්ද්‍රිය සංවරය මනාව පිහිටයි. ඇසින් රූප දැක කෙලෙස් උපදීමට හේතුවන රූපය සිතට නොගත යුතුය. කෙලෙස් ඉපදීමට හේතුවන රූපයේ කොටස්ද සිතට නොගත යුතුය. ආසාවද, දොම්නසද, ලාමක පාපක කෙලෙස්ද, වැගිරෙන්නා වූ කෙලෙස් අරමුණු සිතට නොගත යුතුය. ඇස සංවර කර ගත යුතුය. ඇස ආරක්ෂා කර ගත යුතුය. මෙසේ කන, නාසය, දිව, ශරීරය, මනසින් සංවර කර ගන්නා ආකාරය නුවණින් විමසා තේරුම් ගැනීම යහපත්ය.

ඉන්ද්‍රිය සංවර කර ගැනීම සති සංවරයයි.

​ඤාණ සංවරය

​"යානී සෝතානි ලෝකස්මින් - සති තේ සංනිවාරණං

සෝතානං සංවරං බෟමි - පඤ්ඤායේ තේ පිතියරේ"

​ලෝකයෙහි යම් සැඩ පහරවල් වෙත්නම්, සතිය තුළින් ඒවා නිවාරණය කළ යුතුය. සැඩ පහරවල්වල සංවරය යැයි කියමි. ප්‍රඥාවෙන් ඔවුහු වසනු ලැබෙති යනුවෙන් පරායන වර්ගයේ සඳහන් වන්නේ ඤාණ සංවරයයි.

​ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස යන ආයතනයන්ගෙන් නිරතුරුවම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි මුල් වී කෙලෙස් ගංගාවෝ ගලා යති. එම කෙලෙස් ගලායාම සිහියෙන් යුතුව තාවකාලිකව නැවැත්විය හැකිය. එය සම්පූර්ණයෙන්ම නැවැත්විය හැක්කේ ප්‍රඥාවෙනි. එම ප්‍රඥාව ඥාන සංවරයයි

ඛන්ති සංවරය

​ඛන්ති යනු ඉවසීමයි. සම්බුද්ධ ශාසනය තුළ ඇති ගුණධර්මයන් අතරින් ඉවසීම යනු ඉතා ශ්‍රේෂ්ඨ ගුණධර්මයකි. "ඛන්ති පරමං තපෝ තිතික්ඛා" යනුවෙන් ඉවසීම ශ්‍රේෂ්ඨම තපස බව ධම්මපදයෙහි දක්වන ලදී. "ඛන්ත්‍යාභියෝ න විජ්ජති" - ඉවසීමට වඩා උතුම් ගුණධර්මයක් නැතැයි එම පාඨයෙන් දේශනා කළහ. තරහ ගත යුතු අවස්ථාවදී තරහ නොගෙන සිටීම ඉවසීමයි. කෙලෙස් නූපදවා ගත යුතු අවස්ථාවදී කෙලෙස් නූපදවා සිටීම ඉවසීමයි. අප මහා බෝධිසත්වයන් වහන්සේ ශාන්තිවාදී තාපසව මහත්සේ ඉවසීම පුරුදු කළහ. කලාඹූ නමින් හඳුන්වන රජ කෙනෙක්ද ශාන්තිවාදී තාපසතුමාට වධකයෙකු ලවා මහත්සේ හිරිහැර කළහ. කස පහර 1500ක් ගැසූහ. අත් පා කපා දැමූහ. කන් පෙති කපා දැමූහ. නාසිකාව කපා දැමූහ. ඒත් තාපසතුමා ඉවසූහ. එම ඉවසීම ඉතා ශ්‍රේෂ්ඨය. බෞද්ධ වන අප ආදර්ශයට ගත යුත්තේ ඒ උතුම් ඉවසීමයි. ධර්ම මාර්ගයෙහි ගමන් කරන සත්පුරුෂයන් විසින්ද ඉවසිය යුතු කාරණා රාශියක් තිබේ. ඒවා සබ්බාසව සූත්‍රය ආදී බොහෝ දේශනාවල සඳහන්ය.

​"කතමේ ච භික්ඛවේ ආසවා අධිවාසනා පහාතබ්බා?" -

මහණෙනි, ඉවසීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව මොනවාද?

"ඉධ භික්ඛවේ භික්ඛු පටිසංඛා යෝනිසෝ ඛමෝ හෝති සීතස්ස උණ්හස්ස ජිඝච්ඡාය පිපාසාය."

මේ බුද්ධ ශාසනයෙහි භික්ෂුව නුවණින් සලකා සීතල ඉවසයි, උෂ්ණත්වය ඉවසයි, කුසගින්න ඉවසයි, පිපාසය ඉවසයි.

"ඩංසමකසවාතාතපසිරිංසපසම්ඵස්සානං,"

ඇට මැස්සන්ගෙන් වන පීඩා ඉවසයි, මදුරුවන්ගෙන් වන පීඩා ඉවසයි, සුළඟින් වන පීඩා ඉවසයි, අව්වෙන් වන පීඩා ඉවසයි, සර්පයන්ගේ ස්පර්ශයෙන් වන පීඩා ඉවසයි.

​"දුරුත්තානං දුරාගතානං වචනපථානං, උප්පන්නානං"

නපුරු සේ කියන ලද, නපුරු සේ පැමිණෙන ලද වචනයන් ඉවසයි.

​"සාරීරිකානං වේදනානං දුක්ඛානං තිප්පානං ඛරානං කටුකානං අසාතානං අමනාපානං පාණහරානං අධිවාසකජාතිකෝ හෝති."

දුක් වූ, තියුණු වූ, ගොරෝසු වූ, කටුක වූ, අමිහිරි වූ, අමනාප වූ, දිවි තොර කරන්නා වූ, උපන්නා වූ ශාරීරික වේදනා ඉවසයි.

​"යං හිස්ස භික්ඛවේ අනධිවාසයතෝ උප්පජ්ජෙය්‍යුං ආසවා විඝාතපරිළාහා, අධිවාසයතෝ ඒවංස තේ ආසවා විඝාතපරිළාහා න හොන්ති."

මහණෙනි, නොඉවසන්නා වූ තැනැත්තාට යම් ආශ්‍රව උපදිත්නම්, ඉවසන්නා වූ තැනැත්තාට දුක පිණිස පවතින කෙලෙස් දැවිලි පිණිස පවතින එම ආශ්‍රව නූපදිති.

​"ඉමේ වුච්චන්ති භික්ඛවේ ආසවා අධිවාසනා පහාතබ්බා."

මහණෙනි, මේවා ඉවසීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවයයි කියනු ලැබේ.

​(සබ්බාසව සූත්‍රය - මජ්ඣිම නිකාය)

​මෙහි සඳහන් කරඛන්ති සංවරය

​ඛන්ති යනු ඉවසීමයි. සම්බුද්ධ ශාසනය තුළ ඇති ගුණධර්මයන් අතරින් ඉවසීම යනු ඉතා ශ්‍රේෂ්ඨ ගුණධර්මයකි. "ඛන්ති පරමං තපෝ තිතික්ඛා" යනුවෙන් ඉවසීම ශ්‍රේෂ්ඨම තපස බව ධම්මපදයෙහි දක්වන ලදී. "ඛන්ත්‍යාභියෝ න විජ්ජති" - ඉවසීමට වඩා උතුම් ගුණධර්මයක් නැතැයි එම පාඨයෙන් දේශනා කළහ. තරහ ගත යුතු අවස්ථාවలలోදී තරහ නොගෙන සිටීම ඉවසීමයි. කෙලෙස් නූපදවා ගත යුතු අවස්ථාවలలోදී කෙලෙස් නූපදවා සිටීම ඉවසීමයි. අප මහා බෝධිසත්වයන් වහන්සේ ශාන්තිවාදී තාපසව මහත්සේ ඉවසීම පුරුදු කළහ. කලාබු නමින් හඳුන්වන රජ කෙනෙක්ද ශාන්තිවාදී තාපසතුමාට වධකයෙකු ලවා මහත්සේ හිරිහැර කළහ. කස පහර 1500ක් ගැසූහ. අත් පා කපා දැමූහ. කන් පෙති කපා දැමූහ. නාසිකාව කපා දැමූහ. ඒත් තාපසතුමා ඉවසූහ. එම ඉවසීම ඉතා ශ්‍රේෂ්ඨය. බෞද්ධ වන අප ආදර්ශයට ගත යුත්තේ ඒ උතුම් ඉවසීමයි. ධර්ම මාර්ගයෙහි ගමන් කරන සත්පුරුෂයන් විසින්ද ඉවසිය යුතු කාරණා රාශියක් තිබේ. ඒවා සබ්බාසව සූත්‍රය ආදී බොහෝ දේශනාවල සඳහන්ය.

​"කතමේ ච භික්ඛවේ ආසවා අධිවාසනා පහාතබ්බා?" - මහණෙනි, ඉවසීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව මොනවාද?

"ඉධ භික්ඛවේ භික්ඛු පටිසංඛා යෝනිසෝ ඛමෝ හෝති සීතස්ස උණ්හස්ස ජිඝච්ඡාය පිපාසාය."

මේ බුද්ධ ශාසනයෙහි භික්ෂුව නුවණින් සලකා සීතල ඉවසයි, උෂ්ණත්වය ඉවසයි, කුසගින්න ඉවසයි, පිපාසය ඉවසයි.

​"ඩංසමකසවාතාතපසිරිංසපසම්ඵස්සානං,"

ඇට මැස්සන්ගෙන් වන පීඩා ඉවසයි, මදුරුවන්ගෙන් වන පීඩා ඉවසයි, සුළඟින් වන පීඩා ඉවසයි, අව්වෙන් වන පීඩා ඉවසයි, සර්පයන්ගේ ස්පර්ශයෙන් වන පීඩා ඉවසයි.

​"දුරුත්තානං දුරාගතානං වචනපථානං, උප්පන්නානං"

නපුරු සේ කියන ලද, නපුරු සේ පැමිණෙන ලද වචනයන් ඉවසයි.

​"සාරීරිකානං වේදනානං දුක්ඛානං තිප්පානං ඛරානං කටුකානං අසාතානං අමනාපානං පාණහරානං අධිවාසකජාතිකෝ හෝති."

දුක් වූ, තියුණු වූ, ගොරෝසු වූ, කටුක වූ, අමිහිරි වූ, අමනාප වූ, දිවි තොර කරන්නා වූ, උපන්නා වූ ශාරීරික වේදනා ඉවසයි.

"යං හිස්ස භික්ඛවේ අනධිවාසයතෝ උප්පජ්ජෙය්‍යුං ආසවා විඝාතපරිළාහා, අධිවාසයතෝ ඒවංස තේ ආසවා විඝාතපරිළාහා න හොන්ති."

මහණෙනි, නොඉවසන්නා වූ තැනැත්තාට යම් ආශ්‍රව උපදිත්නම්, ඉවසන්නා වූ තැනැත්තාට දුක පිණිස පවතින කෙලෙස් දැවිලි පිණිස පවතින එම ආශ්‍රව නූපදිති.

"ඉමේ වුච්චන්ති භික්ඛවේ ආසවා අධිවාසනා පහාතබ්බා."

මහණෙනි, මේවා ඉවසීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවයයි කියනු ලැබේ.

​(සබ්බාසව සූත්‍රය - මජ්ඣිම නිකාය)

​මෙහි සඳහන් කර ඇත්තේ ඛන්ති සංවරයයි.

​වීර්යය සංවරය

​සම්බුද්ධ ශ්‍රාවකයා විසින් වීර්ය කරමින් සංවර කර ගත යුතු කාරණා තිබෙයි. ඒ පිළිබඳව මජ්ඣිම නිකායේ සබ්බාසව සූත්‍රයෙහි මෙසේ දක්වා ඇත.

කතමේ ච භික්ඛවේ ආසවා විනෝදනා පහාතබ්බා?

මහණෙනි ඉවසීමෙන් යුතුව දුරුකරමින් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව මොනවාද.

ඉධ භික්ඛවේ භික්ඛු පටිසංඛා යෝනිසෝ උප්පන්නං කාමවිතක්කං නාධිවාසේති, පජහති, විනෝදේති, බ්‍යන්තීකරෝති, අනභාවං ගමේති.

මේ බුද්ධ ශාසනයෙහි භික්ෂුව නුවණින් සලකා උපන්නා වූ කාමවිතර්කය නොඉවසයි, ප්‍රහාණය කරයි, දුරුකරයි, ගෙවා දමයි, අභාවයට පත් කරයි.

උප්පන්නං ව්‍යාපාද විතක්කං නාධිවාසේති, පජහති, විනෝදේති, බ්‍යන්තීකරෝති, අනභාවං ගමේති.

උපන්නා වූ ව්‍යාපාද විතර්කය නොඉවසයි, ප්‍රහාණය කරයි, දුරුකරයි, ගෙවා දමයි, අභාවයට පත්කරයි.

උප්පන්නං විහිංසාවිතක්කං නාධිවාසේති, පජහති, විනෝදේති, බ්‍යන්තීකරෝති, අනභාවං ගමේති.

උපන්නා වූ විහිංසා විතර්කය නොඉවසයි, ප්‍රහාණය කරයි, දුරුකරයි, ගෙවා දමයි, අභාවයට පත් කරයි.

උප්පන්නුප්පන්නේ පාපකේ අකුසලේ ධම්මේ නාධිවාසේති, පජහති, විනෝදේති, බ්‍යන්තීකරෝති, අනභාවං ගමේති.

උපදින උපදින පාපක අකුසල ධර්මයන් නොඉවසයි, ප්‍රහාණය කරයි, දුරුකරයි, ගෙවා දමයි, අභාවයට පත් කරයි.

යං හිස්ස භික්ඛවේ අවිනෝදයතෝ උප්පජ්ජෙය්‍යුං ආසවා විඝාතපරිළාහා, විනෝදයතෝ ඒවංස තේ ආසවා විඝාතපරිළාහා න හොන්ති.

මහණෙනි, වීර්යයෙන් යුතුව දුරු නොකරන තැනැත්තාට යම්කිසි දුකක් කෙලෙස් දැවිල්ලක් හට ගනීද, එම ආශ්‍රව දුරු කළ තැනැත්තාට එම දුක, එම කෙලෙස් දැවිල්ල ඇති නොවේ.

ඉමේ වුච්චන්ති භික්ඛවේ ආසවා විනෝදනා පහාතබ්බා.

මහණෙනි, මේවා වීර්යයෙන් යුතුව දුරු කළ යුතු, ප්‍රහාණය කළ යුතු ආශ්‍රවයයි කියනු ලැබේ.

​මෙම දේශනා කොටස මජ්ඣිම නිකායේ සබ්බාසව සූත්‍රයෙන් උපුටා ගන්නා ලදී. එහි වීර්යය සංවරය මනාකොට දක්වා ඇත.

මෙම දක්වන ලද සංවරයන්ගෙන් සංවර නොවූ තැනැත්තා, ධර්මය තුළින් නොහික්මුණු තැනැත්තා යනුවෙන් හඳුන්වනු ලබයි. ඔහු අශ්‍රුතවත් පෘථග්ජනයෙකි.

​මෙම අශ්‍රුතවත් පෘථග්ජනයා තුළ විසි ආකාර සක්කාය දිට්ඨිය හටගනී. සක්කාය යනු පංච උපාදානස්කන්ධයට නමකි. දිට්ඨි යනු එම පංචස්කන්ධය තුළින් ආත්මයක් ඇත යන වැරදි දැකීමයි.

​විසි ආකාර වූ සක්කාය දිට්ඨිය:

    1. ​රූපං අත්තතෝ සමනුපස්සතී.

රූපය ආත්මය වශයෙන් සලකයි.

රූපයත් ආත්මයත් එකක් යැයි සිතීම රූපය ආත්මය වශයෙන් සැලකීමයි. රූපය නිත්‍ය දෙයකි, රූපය ස්ථිර දෙයකි, රූපය සදාකාලික දෙයකි, රූපය වෙනස් නොවන දෙයකි. රූපය ඉර හඳ සේ හැමදාම පවතින්නේය. මෙම අදහස රූපය ආත්මය වශයෙන් සලකයි යන සක්කාය දිට්ඨියයි. තවත් විදිහකින් කිවහොත්, රූපය මමය, මම රූපය කියා සිතීම මින් අදහස් කරයි. ඇවිලෙන තෙල් පහනක් තිබෙයි. එහි ගින්දරත් වර්ණයක් එකක් යැයි සිතයි. යම් ගින්දරක් වේද එය වර්ණයයි. යම් වර්ණයක් වේද එය ගින්දරයි. ඒ ආකාරයෙන්ම, යම් රූපයක් වේද එය ආත්මයයි, යම් ආත්මයක් වේද එය රූපයයි කියා සිතන ස්වභාවය මෙම සක්කාය දිට්ඨියයි.

    1. ​රූපවන්තං වා අත්තානං සමනුපස්සති.

ආත්මය අරූපී දෙයක් යැයි සිතා එය රූපයෙන් හටගත්තේය යනුවෙන් සිතන ස්වභාවය දෙවන සක්කාය දිට්ඨියයි. මෙම සක්කාය දිට්ඨිය ඇති තැනැත්තෝ වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන අරූපී ධර්ම ආත්මය ලෙස සලකති.. ආත්මය අරූපී දෙයක් ලෙස ගෙන එම ආත්මය රූපයකින් යුක්තය යනුවෙන් හිතයි. සෙවනැල්ලක් ඇති ගසක් මෙනි. සෙවනැල්ල සහිත ගසක් ඇත. මේ ගසකි. එය සෙවනැල්ල සහිතය කියන්නාක් මෙන්ම, මේ ආත්මයය, එය රූපයක් සහිතය යනුවෙන් සිතීම මෙම සක්කාය දිට්ඨියයි.

    1. ​අත්තනි වා රූපං

ආත්මය තුළ රූපය ඇත.

​මෙම තුන්වන සක්කාය දිට්ඨිය ඇති තැනැත්තා අරූපයම ආත්මය වශයෙන් සලකයි. අරූපය යනු වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධයෝය. එම අරූපයම ආත්මය වශයෙන් ගෙන, මලක සුවඳ පවතින්නාක් මෙන්, ආත්මය තුළ රූපය ඇතැයි පවසයි.

    1. රූපස්මිං වා අත්තානං

රූපය තුළ ආත්මය ඇත.

​මෙම සක්කාය දිට්ඨිය ඇති තැනැත්තා අරූපයම ආත්මය වශයෙන් සලකයි. අරූපය ආත්මය වශයෙන් සලකා එම ආත්මය රූපය තුළ ඇතැයි සිතයි. කරඬුවක් තුළ මැණිකක් තිබෙන්නාක් මෙනි. කරඬුවට උපමා කර ඇත්තේ රූපයයි. මැණිකට උපමා කර ඇත්තේ ආත්මයයි. කරඬුව තුළ මැණිකක් තිබෙන්නාක් මෙන්, රූපය තුළ ආත්මය ඇතැයි ඔවුහු පවසති.

මේ ආකාරයෙන්ම සෙසු ස්කන්ධයන් තුළ සක්කාය දිට්ඨිය හටගන්නා ආකාරය තේරුම් ගත යුතුය.

​සැබවින්ම ආත්මයක් තිබේද

​සැබවින්ම ආත්මයක් තිබේද යන පැනයට දිය හැකි සෘජු පිළිතුර වන්නේ "නැත" යන්නයි. බුදු දහම හැර අන්‍ය සියලු ආගම්ද අන්‍ය සියලු ආගමික දර්ශනයන්ද ආත්මය පිළිගනිති. ආත්මය නොපිළිගන්නා එකම ආගම සහ එකම දර්ශනය වන්නේ බුදු දහම පමණයි. ආත්මයක් නැති කල්හි සත්වයෙක්, පුද්ගලයෙක්, ජීවියෙක්ද නැත. සම්මුති වශයෙන් ආත්මයක් ඇතැයි සලකනු ලබයි. එසේම සම්මුති වශයෙන් සත්ත්වයෙක් ඇත, පුද්ගලයෙක් ඇත, ආත්මයක් ඇත, ජීවයක් ඇත යනුවෙන් සලකයි. ආත්මයක් ඇත යන අදහස අපගේ සිත තුළ හටගන්නා වූ සංස්කාරයකි. එම සංස්කාරය හටගන්නා ආකාරය සංයුත්ත නිකායේ පාරිලෙයියක සූත්‍රයෙහි දක්වා තිබේ.

​සක්කාය දිට්ඨියට හේතුව

​අවිද්‍යා සහගත ස්පර්ශයෙන් හටගත් විඳීම් විඳින අශ්‍රුතවත් පෘථග්ජනයාට තණ්හාව උපදී. රූපය ආත්මයයි යන සංස්කාරය එම තණ්හාවෙන් හටගත්තේය. (පාරිලෙයියක සූත්‍රය - සංයුත්ත නිකාය)

​අවිද්‍යාව අනිත්‍ය වූ දෙයකි. අවිද්‍යා සහගත ස්පර්ශයද අනිත්‍ය වූ දෙයකි. එම ස්පර්ශයෙන් හටගත් වේදනාවද අනිත්‍ය වූ දෙයකි. එම වේදනාවෙන් හටගත්ත තණ්හාවද අනිත්‍ය වූ දෙයකි. එම තණ්හාවෙන් හටගත් රූපය ආත්මය වශයෙන් සලකයි යන සංස්කාරයද අනිත්‍ය වූ දෙයකි. (පාරිලෙයියක සූත්‍රය - සංයුත්ත නිකාය)

​පාරිලෙයියක සූත්‍රය අනුව සක්කාය දිට්ඨිය යනු සංස්කාරයක් බවත්, එය අවිද්‍යා සහගත ස්පර්ශයෙන් හටගත් විඳීම් විඳින අශ්‍රුතවත් පෘථග්ජනයාට තණ්හාව උපදී. එම තණ්හාවෙන් සක්කාය දිට්ඨිය නම් සංස්කාර හට ගන්නා බවත් පැහැදිලි කර දෙයි. . එම සංස්කාරයට හේතු වූ අවිද්‍යාව, ස්පර්ශය, වේදනාව, තණ්හාව, එම සංස්කාරය යන සෑම ධර්මයක්ම අනිත්‍ය බැවින් ආත්මයක් ඇත යන අදහසද සිත තුළ ඇතිවන අනිත්‍ය සංකල්පනාවක් බව මනාව තේරුම් ගත යුතුය. සත්ත්වයෙක් ඇත, පුද්ගලයෙක් ඇත යන සංකල්පනා ද අනිත්‍ය වූ දෙයක් බව මනාව තේරුම් ගත යුතුය.

භවය සහ කර්ම භවය

​"භවතීති භවෝ" - වන්නේය (වෙයි) යන අර්ථයෙන් භවය නම් වෙයි. මෙයින් කර්මය හා උප්පත්තිය යන දෙකම විස්තර කරයි. කර්මය කර්ම භවයයි; කර්මය නිසා හටගන්නා වූ ස්කන්ධ උප්පත්ති භවයයි. ප්‍රධාන වශයෙන් උප්පත්ති භවයම භවය නම් වෙයි.

​"භවෝ දුවිධේන අත්ථි කම්ම භවෝ අත්ථි උප්පත්ති භවෝ."

භවය දෙයාකාරය: කර්ම භවය ඇත, උප්පත්ති භවය ඇත. (විභංග ප්‍රකරණය)

​එහිදී කුසල අකුසල කර්මයන්ම කර්ම භවය යනුවෙන් හඳුන්වනු ලබයි. කර්මය නිසා හටගන්නා වූ උත්පත්තියම උප්පත්ති භවය යනුවෙන් හඳුන්වනු ලබයි. මෙසේ උප්පත්තිය යන අර්ථයෙන් භවය නම් වෙයි. මෙහි උප්පත්තිය යනු කර්මයෙන් උපදින්නා වූ ස්කන්ධයෝය. එම ස්කන්ධ හට ගැනීමට කර්මය මූලික වන බැවින් කර්මය ද භවය නම් වෙයි. "අත්තනෝ ඵලං කරෝති කම්මං" යනුවෙන් තමාගේ ඵලය සිදු කරන්නේ කර්මය බව දේශනා කළේ එම නිසාය.

​කර්ම භවය

​කර්ම භවය යනු චේතනාව හා චේතනාව සමඟ යෙදෙන චෛතසික ධර්මයන්ය.

​"තත්‍ථ කතමෝ කම්ම භවෝ? පුඤ්ඤාභිසංඛාරෝ අපුඤ්ඤාභිසංඛාරෝ ආනෙඤ්ජාභිසංඛාරෝ පරිත්තභූමකෝ වා මහාභූමකෝ වා, අයං වුච්චති කම්මභවෝ." (විභංග ප්‍රකරණය)

​එහි කර්ම භවය යනු කුමක්ද? කාමාවචර භූමියෙහි හෝ රූපාවචර, අරූපාවචර මහග්ගත භූමිවල හෝ යම් පින් රැස්කිරීමක් වේද, පව් රැස්කිරීමක් වේද, අරූපාවචර ධ්‍යාන කුසල සිත් රැස්කිරීමක් වේද, එය කර්ම භවය නම් වෙයි.

​"සබ්බං භවගාමී කම්මං කම්ම භවෝ." (විභංග ප්‍රකරණය)

සියලු භවගාමී කර්මයන් කර්ම භවය නම් වෙයි.

​මෙම විස්තරයට අනුව, කාමාවචර, රූපාවචර, අරූපාවචර යන ත්‍රිවිධ භූමීන්හි ඉපදීමට හේතුවන්නා වූ පුඤ්ඤාභිසංඛාර, අපුඤ්ඤාභිසංඛාර, ආනෙඤ්ජාභිසංඛාර කර්ම භවය යන නමින් හඳුන්වනු ලබයි. භවගාමී හෙවත් සසර ගමනට හේතුවන සියලු කර්මයන් ද කර්ම භවය යන නමින් හඳුන්වනු ලබයි

පුඤ්ඤාභිසංඛාර යනු කාමාවචර කුසල චේතනා අට සහ රූපාවචර කුසල චේතනා පහ යන සිත් දහතුනෙහි යෙදෙන චේතනාවන්ය. අපුඤ්ඤාභිසංස්කාර යනු අකුසල සිත් දොළහ තුළ යෙදෙන චේතනාවන්ය. අරූපාවචර කුසල් සිත්වල යෙදෙන්නා වූ චේතනාව ආනෙඤ්ජාභිසංඛාර නම් වෙයි.

​උප්පත්ති භවය

​"තත්‍ථ කතමෝ උපපත්ති භවෝ? කාම භවෝ, රූප භවෝ, අරූප භවෝ, සඤ්ඤා භවෝ, අසඤ්ඤා භවෝ, නේවසඤ්ඤාණානාසඤ්ඤා භවෝ, ඒකවෝකාර භවෝ, චතුවෝකාර භවෝ, පඤ්චවෝකාර භවෝ. අයං වුච්චති උපපත්ති භවෝ." (විභංග ප්‍රකරණය)

​එහි උප්පත්ති භවය යනු කුමක්ද:

  1. ​එකොළොස් ආකාර වූ කාම භවය.
  2. ​සොළොස් ආකාර වූ රූප භවය.
  3. ​සතර ආකාර වූ අරූප භවය.
  4. සඤ්ඤා භවය.
  5. අසඤ්ඤසත්ත නම් වූ අසඤ්ඤ භවය.
  6. ​නේවසඤ්ඤානාසඤ්ඤායතන භවය.
  7. ​අසඤ්ඤසත්ත බ්‍රහ්මයන්ගේ එක ස්කන්ධයක් පමණක් පවතින බැවින් ඒකවෝකාර භවය.
  8. ස්කන්ධ හතරක් (වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ) ඇත්තා වූ අරූප භවය චතුවෝකාර භවය නම් වේ.
  9. ​ස්කන්ධ පහක් (රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ) ඇත්තා වූ කාම සහ රූප භවයන් පංචවෝකාර භවය නම් වේ.

උප්පත්ති භවයේ ප්‍රභේද

​අවීචි මහා නිරයේ සිට පරනිම්මිත වසවර්ති දිව්‍යලෝකය දක්වා ඇති කාම භූමිය එකොළොස් ආකාරයකින් යුක්ත වන අතර, එය කාම භවය යන නමින් හඳුන්වනු ලබයි.

​රූප රාගයෙන් යුත් බ්‍රහ්මපාරිසජ්ජ බ්‍රහ්ම ලෝකයේ පටන් අකනිටා බඹලොව දක්වා ඇති බ්‍රහ්ම භූමි රූප භවය යන නමින් හැඳින්වෙයි. අරූප තණ්හාවෙන් යුතුව ළඟා කරගන්නා වූ ආකාසානඤ්චායතනයේ පටන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය අවසන් කොට ඇති අරූපාවචර බ්‍රහ්ම ලෝක හතර අරූප භවය යන නමින් හඳුන්වනු ලබයි.

​අසඤ්ඤසත්ත බ්‍රහ්ම ලෝකය හැර සෙසු සියලු සත්ව නිවාසයන්හි සංඥාව පවතින බැවින් ඒවා සංඥා භවය යන නමින් හඳුන්වනු ලබයි. මෙම සංඥා භවයට නේවසඤ්ඤානාසඤ්ඤායතනය අයත් නොවෙයි. අසඤ්ඤසත්ත බ්‍රහ්ම ලෝකය අසඤ්ඤ භවය යන නමින් හැඳින්වෙයි. ඕලාරික වූ හෙවත් ගොරෝසු වූ සංඥා නොමැති බැවින්ද, ඉතා සූක්ෂම වූ සංඥා ඇති බැවින්ද, නේවසඤ්ඤානාසඤ්ඤායතන බ්‍රහ්ම ලෝකය නේවසඤ්ඤානාසඤ්ඤායතන භවය යන නමින් හැඳින්වේ.

​එකම රූප ස්කන්ධය පමණක් ඇත්තා වූ අසඤ්ඤසත්ත බ්‍රහ්ම ලෝකය ඒකවෝකාර භවය යන නමින් හැඳින්වෙන අතර, අරූපාවචර බ්‍රහ්ම ලෝකවල නාමස්කන්ධ හතරක් (වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ) පමණක් පවතින බැවින් ඒවා චතුවෝකාර භවය යන නමින් හඳුන්වනු ලබයි. සෙසු සියලු සත්ව නිවාසයන්හි පංචස්කන්ධයම (රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ) පවතින බැවින් පංචවෝකාර භවය යන නම භාවිතා කරයි.

ජාති පච්චයා ජරා, මරණං

​ඉපදීම නිසා ජරා-මරණ හටගනී. එහි ඉපදීම යනු කුමක්ද?

​"තත්‍ථ කතමා ජාති: යා තෙසං තෙසං සත්තානං තම්හි තම්හි සත්තනිකායේ ජාති සංජාති ඔක්කන්ති නිබ්බත්ති අභිනිබ්බන්ති, ඛන්ධ පාතුභාවෝ ආයතනානං පටිලාභෝ, අයං වුච්චති ජාති." (විභංග ප්‍රකරණය)

​එහි ඉපදීම යනු කුමක්ද:

ඒ ඒ සත්ත්වයන්ගේ සත්ව නිකායයන්හි යම් හටගැනීමක් වේද, පරිපූර්ණ හටගැනීමක් වේද, මව්කුසට බැස ගැනීමක් වේද, ඉපදීමක් වේද, විශේෂයෙන් ඉපදීමක් වේද, ස්කන්ධයන්ගේ පහළවීමක් වේද, ආයතනයන්ගේ ලැබීමක් වේද, එය ඉපදීම යැයි කියනු ලැබේ.

​"භව පච්චයා ජාති" - භවය නිසා ඉපදීම සිදුවන බව දක්වා තිබේ. එහිදී ඉපදීමට හේතු වන්නේ කර්ම භවයයි; උප්පත්ති භවය නොවේ (විසුද්ධිමාර්ගය).

​භවය ඉපදීමට ප්‍රත්‍ය වන ආකාරය

​සත්වයන්ගේ නොයෙක් වෙනස්කම් දක්නට ලැබේ. උස් පහත්කම් දක්වා ඇත. වර්ණවත් වූ සත්වයෝද, දුර්වර්ණ වූ සත්වයෝද ඇත. සුගතියේ උපදින සත්වයෝද, දුගතියේ උපදින සත්වයෝද ඇත. දුප්පත් සත්ත්වයෝද, පෝසත් සත්වයෝද ඇත. මෙසේ සත්ත්වයන්ගේ නොයෙක් වෙනස්කම් සිදුවන්නේ කර්මය නිසාය.

"කම්මං සත්ත විභජති යදිදං හීනප්පනීතතාය"

​යනුවෙන් මජ්ඣිම නිකායේ සුභ සූත්‍රයෙහිදී දේශනා කළේ එයයි. "කර්මය විසින් සත්වයන් හීන, ප්‍රණීත වශයෙන් බෙදනු ලැබේ" යනු එහි තේරුමයි. මේ ආකාරයෙන් කර්මය ඉපදීමට ප්‍රත්‍ය හෙවත් හේතු වන බව දත යුතුයි.

​ඉපදීම නිසා ජරා, මරණ, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස ආදී සියලු දුක් හටගනිති.

​පටිච්චසමුප්පාද කුසල භික්ෂුව

​අවිද්‍යා නිරෝධයෙන් පටිච්චසමුප්පාදයෙහි සියලු අංගයන් නිරෝධයට පත්වන ආකාරය පෙර විභංග සූත්‍රයෙහි පාලි කොටස් සමඟ දක්වන ලදී. මෙසේ පටිච්චසමුප්පාදය පිළිබඳව නුවණින් දන්නා, දකිනා භික්ෂුව "පටිච්චසමුප්පාද කුසල භික්ෂුව" යැයි කීමට සුදුසු වන්නේය යනුවෙන් තථාගතයන් වහන්සේ වදාළ සේක.

​කෙටියෙන් අප විසින් ලියන ලද පටිච්චසමුප්පාද විවරණය මෙපමණකින් අවසානය.

බහුධාතුක සූත්‍රය අවසන් කොටස

ඨාන අට්ඨාන කුසල භික්ෂුවක් වන්නේ කෙසේද යන කාරණාව දීර්ඝ වශයෙන් නොලියා සාරාංශ වශයෙන් දක්වනු ලැබේ..

, ස්වාමීනී කොපමණකින් ඨානාඨාන කුසල භික්ෂුව යැයි කීමට සුදුසු වන්නේද යනුවෙන් ආනන්ද තෙරුන් වහන්සේ විමසූහ. එවිට තථාගතයන් වහන්සේ ඨාන හෙවත් සිදුවිය හැකි දේවල්ද, අඨාන හෙවත් කිසිසේත් සිදුවිය නොහැකි දේවල්ද පිළිබඳව ඉතා මනහර දේශනාවක් කළහ.

​ඒ අනුව, ආනන්දය, මේ ශාසනය තුළ යම් භික්ෂුවක් දිට්ඨිසම්පන්න හෙවත් සෝවාන් ආර්ය ශ්‍රාවකයකු විසින් කිසිදු සංස්කාරයක් නිත්‍ය වශයෙන් හෝ සැප වශයෙන් හෝ ආත්ම වශයෙන් ගන්නේය යන මේ කාරණාවට හේතු නැත, ප්‍රත්‍ය නැත, එම කරුණ නොලැබෙන්නේය කියා දැනගනී. එසේම පෘථග්ජන කෙනෙකු විසින් සංස්කාර නිත්‍ය වශයෙන්, සැප වශයෙන් හා ආත්ම වශයෙන් ගැනීම සිදුවිය හැකි දෙයක් යැයි දැනගනියි.

​තවද, සෝවාන් ආර්ය ශ්‍රාවකයකු විසින් මව ජීවිතයෙන් තොර කිරීම, පියා ජීවිතයෙන් තොර කිරීම, රහතන් වහන්සේ නමක් ජීවිතයෙන් තොර කිරීම, දුෂ්ට සිතින් තථාගතයන් වහන්සේගේ ශරීරයෙහි ලේ සෙලවීම, සංඝ භේදය සිදු කිරීම සහ වෙනත් ශාස්තෘවරයකු සරණ යාම යන කාරණාවන් සිදුකිරීමට හේතු නැත, ප්‍රත්‍ය නැත යනුවෙන් දැනගනී. එහෙත් පෘථග්ජනයකු විසින් ඒවා කිරීමට හේතු ඇත, ප්‍රත්‍ය ඇත යනුවෙන් දනී.

​එමෙන්ම, එක් ලෝක ධාතුවක පෙර-පසු නොවී අර්හත් සම්මා සම්බුදුවරුන් දෙනමක් හෝ චක්‍රවත්ති රජවරුන් දෙදෙනෙක් එකවර පහළ වීම සිදු නොවන බව දනී.

ස්ත්‍රියක් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකු බවට, චක්‍රවත්ති රජ කෙනෙකු බවට, ශක්‍ර දේවේන්ද්‍ර බවට, මාරයෙකු බවට හෝ බ්‍රහ්මයෙකු බවට පත් නොවන්නේය යන කාරණාවද සිදුනොවන්නේය. යනුවෙන් උන්වහන්සේ පැහැදිලි කළහ.

​කර්ම විපාක සම්බන්ධයෙන් දේශනා කරමින්, කාය දුශ්චරිතයෙන්, වචී දුශ්චරිතයෙන් හෝ මනෝ දුශ්චරිතයෙන් ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ සැප විපාක උපදින්නේය යන කාරණාව සිදු නොවන බවත්, කයින් දුසිරිත් කිරීම වචනයෙන් දුසිරිත් කිරීම මනසින් දුසිරිත් කිරීම යන කාරණා හේතු කරගෙන එයම නිධාන කරගෙන මරණින් මතු සුගතියෙහි උපදින්නේය යන්න සිදු නොවන බවත් දැනගනී.

එසේම ත්‍රිවිධ සුචරිතයෙහි හැසිරුණු තැනැත්තා යන කාරණාව හේතු කරගෙන එයම නිදාන කරගෙන අපායෙහි උපදින්නේය යන කාරණාවද සිදු නොවන බව දැනගනී. යම්කිසි භික්ෂුවක් මේ කාරණාවන් මනාව දැනගනී නම්, එපමණකින් ඒ භික්ෂුව ඨානාඨාන කුසල භික්ෂුව යැයි කීමට සුදුසු වන්නේය.

​මෙසේ දේශනා කළ කල්හි, ආනන්ද තෙරුන් වහන්සේ "ස්වාමීනී, අතිශයින්ම ආශ්චර්යයකි, අද්භූතයකි, මේ ධර්ම පර්යාය කුමක්ද?" යනුවෙන් ඇසූහ. එවිට තථාගතයන් වහන්සේ, "ආනන්ද, මේ ධර්ම පර්යාය 'බහුධාතුක' යැයිද, 'චතුපරිවට්ට' යැයිද, 'ධම්මාදාස' යැයිද, 'අමතදුන්දුභී' යැයිද, 'අනුත්තර සංගාමවිජය' යැයිද දරාගන්න" යැයි දේශනා කළහ. භාග්‍යවතුන් වහන්සේ මේ වදාළ සේක; සතුටට පත් වූ ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්හ

අනු මාතෘකා