අවීචි මහා නිරයේ සිට පරනිම්මිත වසවර්ති දිව්‍යලෝකය දක්වා ඇති කාම භූමිය එකොළොස් ආකාරයකින් යුක්ත වන අතර, එය කාම භවය යන නමින් හඳුන්වනු ලබයි.
රූප රාගයෙන් යුත් බ්‍රහ්මපාරිසජ්ජ බ්‍රහ්ම ලෝකයේ පටන් අකනිටා බඹලොව දක්වා ඇති බ්‍රහ්ම භූමි රූප භවය යන නමින් හැඳින්වෙයි. අරූප තණ්හාවෙන් යුතුව ළඟා කරගන්නා වූ ආකාසානඤ්චායතනයේ පටන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය අවසන් කොට ඇති අරූපාවචර බ්‍රහ්ම ලෝක හතර අරූප භවය යන නමින් හඳුන්වනු ලබයි.
අසඤ්ඤසත්ත බ්‍රහ්ම ලෝකය හැර සෙසු සියලු සත්ව නිවාසයන්හි සංඥාව පවතින බැවින් ඒවා සංඥා භවය යන නමින් හඳුන්වනු ලබයි. මෙම සංඥා භවයට නේවසඤ්ඤානාසඤ්ඤායතනය අයත් නොවෙයි. අසඤ්ඤසත්ත බ්‍රහ්ම ලෝකය අසඤ්ඤ භවය යන නමින් හැඳින්වෙයි. ඕලාරික වූ හෙවත් ගොරෝසු වූ සංඥා නොමැති බැවින්ද, ඉතා සූක්ෂම වූ සංඥා ඇති බැවින්ද, නේවසඤ්ඤානාසඤ්ඤායතන බ්‍රහ්ම ලෝකය නේවසඤ්ඤානාසඤ්ඤායතන භවය යන නමින් හැඳින්වේ.
එකම රූප ස්කන්ධය පමණක් ඇත්තා වූ අසඤ්ඤසත්ත බ්‍රහ්ම ලෝකය ඒකවෝකාර භවය යන නමින් හැඳින්වෙන අතර, අරූපාවචර බ්‍රහ්ම ලෝකවල නාමස්කන්ධ හතරක් (වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ) පමණක් පවතින බැවින් ඒවා චතුවෝකාර භවය යන නමින් හඳුන්වනු ලබයි. සෙසු සියලු සත්ව නිවාසයන්හි පංචස්කන්ධයම (රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ) පවතින බැවින් පංචවෝකාර භවය යන නම භාවිතා කරයි.