ආසීවිසෝපම සූත්‍රයෙහි සළායතන පිළිබඳව ඉතා ලස්සන උපමාවක් දක්වා තිබේ. බයේ දුවන මිනිසෙක් ආරක්ෂාව පතා ගම්මානයකට පැමිණෙයි. පළමු නිවසට ඇතුල් වෙයි; එම නිවස හිස්ය; මිනිසුන් රහිතය; සතුන් රහිතය; වළං මුට්ටි ඇර බලයි, ඒවායේ කිසිවක් නැත; මුළු ගෙදරම හිස්ය. ඊළඟ නිවසටද ගමන් කරයි; ඒ ගෙදරත් එසේමය. එය කුඩා ගමකි, ඇත්තේ ගෙවල් හයකි; ගෙවල් හයම මිනිසුන්ගෙන් හිස්ය; භාජන ද, ආහාරපාන, ජලය ආදියෙන් හිස්ය.
මෙම හිස්කමෙහි රැඳී සිටින විට ඔහුගේ යහපත කැමති කෙනෙකු ඔහුට මෙසේ කියයි: "ඔබ ඔය ගමේ රැඳී සිටින්න එපා, තව සුළු මොහොතකින් ගම විනාශ කරන හොරු හය දෙනකු පැමිණෙයි." ඔහු මෙම තොරතුර අසා හොරු හය දෙනාට බයෙන් එම ගම අතහැර පලා යයි.
ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස යන ආයතනයන්ද හිස් ගම්මානයක් බඳුය. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස තුළ ආත්මයක් නැත; ආත්මයට අයත් දෙයක්වත් නැත. එබැවින් ආත්මයෙන් හිස්ය; ආත්මයට අයත් වූ දෙයකින්ද හිස්ය. එබැවින් ශුන්‍යතාවයෙන් යුක්තය.
"මාගේ ඇස මෙසේ වේවා! මාගේ ඇස මෙසේ නොවේවා!" කියා පැවැත්විය නොහැකිය. එයින් පැහැදිලි වන්නේ ඇස අනාත්ම බවයි. කන, නාසය, දිව, ශරීරය, මනසද එසේමය; ආත්මයෙන් හිස්ය; ආත්මයට අයත් දේවල් වලින්ද හිස්ය; අනාත්මය.
කළු ගොනා සහ සුදු ගොනා
කළු ගොනෙකු සහ සුදු ගොනෙකු සිටිති. මේ ගවයන් දෙදෙනා එකම ලණුවේ දෙපැත්තක බැඳ ඇත. කළු ගොනාට සුදු ගොනා බැඳී සිටීද? නැත. සුදු ගොනාට කළු ගොනා බැඳී සිටීද? නැත. මේ දෙදෙනාම බැඳී ඇත්තේ ලණුවෙනි; එබැවින් එහි බන්ධනය ලණුවයි.
එසේම ඇසට රූපය බැඳී තිබේද? නැත. රූපයට ඇස බැඳී තිබේද? නැත. රූපයත් ඇසත් මේ දෙක බැඳී ඇත්තේ ඡන්දරාගයෙන්ය, හෙවත් තණ්හාවෙන්ය. මේ තණ්හාව මේ දෙක අතර පවතින බැඳීම හෙවත් සංයෝජනය බව වටහාගත යුතුය. සෙසු ආයතන ගැනද මෙසේමය. (කොට්ඨිත සූත්‍රය, සළායතන සංයුත්තය)