විඤ්ඤාණය හට ගැනීමට හේතුව නාමරූප බවක් පෙර සඳහන් කරන ලද විභංග සූත්‍රයේදී දක්වන ලදී. විඤ්ඤාණයේ පැවැත්මට නැඹුරු වී පවතින බැවින් "නාම" යන නම භාවිතා කරයි. පටිච්චසමුප්පාදයේදී වේදනා, සංඥා, සංඛාර, යන ස්කන්ධ තුන නාම ධර්ම හැටියට දක්වා තිබේ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා ධාතූන් සහ සතර මහා ධාතූන්ගෙන් හටගන්නා වර්ණ, ගන්ධ, රස, ඕජා යන උපාදාය රූපයන්ද "රූප" යනුවෙන් හඳුන්වනු ලබයි. මෙහිදී සූත්‍ර දේශනාවලට අනුකූලවන පරිද්දෙන් නාමරූප ධර්ම පිළිබඳව ඉතා කෙටියෙන් විස්තර කරනු ලැබේ. අභිධර්ම ක්‍රමයෙන් දතයුතු සත්පුරුෂයෝ ඒ පිළිබඳව පොතපත බලා දැනගත යුතුය.