අරමුණෙහි රසය විඳින්නා වේදනාවය. වේදනාවේ ප්‍රභේද රාශියකි.
දුක් වේදනාව, සැප වේදනාව යනුවෙන් ප්‍රභේද දෙකකි.
දුක් වේදනාව, සැප වේදනාව, උපේක්ෂා වේදනාව යනුවෙන් ප්‍රභේද තුනකි.
දුක් වේදනාව, සැප වේදනාව, උපේක්ෂා වේදනාව, සෝමනස්ස වේදනාව, දෝමනස්ස වේදනාව යනුවෙන් ප්‍රභේද පහකි.
ඇසේ ස්පර්ශයෙන් හටගන්නා වේදනා, කනේ ස්පර්ශයෙන් හටගන්නා වේදනා, නාසයේ ස්පර්ශයෙන් හටගන්නා වේදනා, දිවේ ස්පර්ශයෙන් හටගන්නා වේදනා, කයේ ස්පර්ශයෙන් හටගන්නා වේදනා, මනසේ ස්පර්ශයෙන් හටගන්නා වේදනා යනුවෙන් ප්‍රභේද හයකි. තවත් වේදනාවේ ප්‍රභේදයෝ ඇත.
වේදයතීති ඛෝ භික්ඛවේ තස්මා වේදනාති වුච්චති.
(ඛජ්ජනීය සූත්‍රය, සංයුත්ත නිකාය)
මහණෙනි, විඳිනවා යන අර්ථයෙන් වේදනාව යැයි කියනු ලැබේ.
වේදනාව යනු විඳීමය. විඳීම් තුනකි: සැප විඳීමය, දුක් විඳීමය, උපේක්ෂා විඳීමය යනුවෙනි.
සැප වූ, මිහිරි වූ යම් විඳීමක් වේද, එය සැප වේදනාවයි. දුක් වූ, අමිහිරි වූ යම් විඳීමක් වේද, එය දුක් වේදනාවයි. දුක් නැත්තා වූ, සැප නැත්තා වූ යම් විඳීමක් වේද, එය උපේක්ෂා වේදනාවයි.
වේදනා හය
කතමා ච භික්ඛවේ වේදනා? ඡයිමේ භික්ඛවේ වේදනාකායා. චක්ඛුසම්ඵස්සජා වේදනා, සෝතසම්ඵස්සජා වේදනා, ඝානසම්ඵස්සජා වේදනා, ජිව්හාසම්ඵස්සජා වේදනා, කායසම්ඵස්සජා වේදනා, මනෝසම්ඵස්සජා වේදනා. අයං වුච්චති භික්ඛවේ වේදනා.
මහණෙනි, වේදනා සමූහ හයකි: ඇසේ ස්පර්ශයෙන් හටගන්නා වේදනාය, කනේ ස්පර්ශයෙන් හටගන්නා වේදනාය, නාසයේ ස්පර්ශයෙන් හටගන්නා වේදනාය, දිවේ ස්පර්ශයෙන් හටගන්නා වේදනාය, කයේ ස්පර්ශයෙන් හටගන්නා වේදනාය, මනසේ ස්පර්ශයෙන් හටගන්නා වේදනාය. (විභංග සූත්‍රය, සංයුත්ත නිකාය)
වේදනාව සහ ස්පර්ශය පිළිබඳ විස්තර ඉදිරියේදී තවත් දැක්වෙයි.