පටිච්චසමුප්පාදයේදී සංඛාර යනුවෙන් හඳුන්වන්නේ කර්මයයි. ඒ බව සංයුත්ත නිකායේ පරිවීමංසන සූත්‍රයෙන් දත යුතුය.
අවිජ්ජාගතෝයං භික්ඛවේ පුරිසපුග්ගලෝ පුඤ්ඤං චේ සංඛාරං අභිසංඛරෝති, පුඤ්ඤෝපගං හෝති විඤ්ඤාණං. අපුඤ්ඤං චේ සංඛාරං අභිසංඛරෝති, අපුඤ්ඤෝපගං හෝති විඤ්ඤාණං. ආනෙඤ්ජං චේ සංඛාරං අභිසංඛරෝති, ආනෙඤ්ජූපගං හෝති විඤ්ඤාණං.
මහණෙනි, අවිද්‍යාවෙන් යුක්ත වූ මේ පුද්ගලයා ඉතින් කුසල සංස්කාර රැස් කරන්නේ නම් කර්ම විඤ්ඤාණය කුසල සහගත වෙයි. ඉතින් අකුසල සංස්කාර රැස් කරන්නේ නම් කර්ම විඤ්ඤාණය අකුසල සහගත වෙයි. ඉතින් අරූපාවචර කුසල සංස්කාර රැස් කරන්නේ නම් කර්ම විඤ්ඤාණය අරූපාවචර කුසල සහගත වෙයි.
(පරිවීමංසන සූත්‍රය, සංයුත්ත නිකාය)
මෙම දේශනාවට අනුව සංස්කාර තුනක් දක්වා තිබේ. එනම් පුඤ්ඤාභිසංඛාර, අපුඤ්ඤාභිසංඛාර, ආනෙඤ්ජාභිසංඛාර යනුවෙනි. පින හැඳින්වීම සඳහා පුඤ්ඤාභිසංඛාර යන වචනය භාවිතා කරයි. පාපය හෙවත් අකුසලය හැඳින්වීම සඳහා අපුඤ්ඤාභිසංඛාර යන වචනය භාවිතා කරයි. අරූපාවචර කුසල් සිත් හැඳින්වීම සඳහා ආනෙඤ්ජාභිසංඛාර යන වචනය භාවිතා කරයි.
මෙම ත්‍රිවිධ කර්මයන් සිදු කරන්නා වූ ද්වාර හෙවත් දොරටු තුනකි. එනම් කය, වචනය, සිතය. එම දොරටු තුනෙහි නාමයන්ගෙන්ද සංස්කාර හඳුන්වා තිබේ.
- කාය සංස්කාර: කාය සංස්කාර යනු කයින් සිදුකරන කුසල අකුසල ධර්මයන්ය.
- වචී සංස්කාර: වචී සංස්කාර යනු වචනයෙන් සිදුකරන කුසල අකුසල ධර්මයන්ය.
- චිත්ත සංස්කාර: චිත්ත සංස්කාර යනු සිතින් කරන කුසල අකුසල ධර්මයන් සහ අරූපාවචර ධ්‍යාන කුසල සිත්ය.
ද්වාර වශයෙන් දක්වා ඇත්තේ ඉහත සඳහන් කරන ලද පුඤ්ඤාභිසංඛාර, අපුඤ්ඤාභිසංඛාර, ආනෙඤ්ජාභිසංඛාර යන ත්‍රිවිධ සංස්කාරයෝ බව තේරුම් ගත යුතුය.
පටලවා ගැනීම
මජ්ඣිම නිකායේ චූලවේදල්ල නමින් සූත්‍රයක් තිබේ. එහි කාය සංස්කාර යනුවෙන් ආශ්වාස ප්‍රශ්වාස දක්වා ඇත. වචී සංස්කාර යනුවෙන් විතක්ක විචාර දක්වා ඇත. චිත්ත සංස්කාර යනුවෙන් සංඥා-වේදනා දක්වා ඇත. සමහර සත්පුරුෂයෝ පටිච්චසමුප්පාදයේ සංස්කාර ලෙස මෙය විස්තර කරති. එය වැරදිසහගතය. එයට හේතුව කුමක්ද? එම දේශනාවේ දක්වා ඇත්තේ නිරෝධ සමාපත්තියට සමවදින විට ප්‍රහාණය වන සංස්කාරය. ආශ්වාස ප්‍රශ්වාස අවිද්‍යාව ප්‍රහීණ කළ විටද පවතී. විතක්ක විචාර අවිද්‍යාව ප්‍රහීණ කරන ලද රහතන් වහන්සේ තුළද ඇත. සංඥා-වේදනාද අවිද්‍යාව ප්‍රහාණය කරන ලද රහතන් වහන්සේ තුළද ඇත. එබැවින් ඒවා අවිද්‍යා සහගත සංස්කාර නොවන බව ඉතා මැනවින් වටහා ගත යුතුය.
විඤ්ඤාණය (විඤ්ඤාණය හෙවත් සිත)
සිත යනු අරමුණු දැනගැනීමේ ස්වභාවයයි.
විජානාතීති ඛෝ භික්ඛවේ තස්මා විඤ්ඤාණංති වුච්චති.
(ඛජ්ජනීය සූත්‍රය, සංයුත්ත නිකාය)
"මහණෙනි, (රූපාදී අරමුණු) දැනගනියි, එබැවින් විඤ්ඤාණය යැයි කියනු ලැබේ."
විඤ්ඤාණය විස්තර කරන ක්‍රම දෙකකි. සූත්‍ර දේශනා ක්‍රමය සහ අභිධර්ම දේශනා ක්‍රමයයි. මෙහිදී අප සූත්‍ර දේශනා ක්‍රමයෙන් පමණක් විඤ්ඤාණය පිළිබඳව කෙටියෙන් විස්තර කරනු ලැබේ. අභිධර්ම ක්‍රමයට එය ඉගෙන ගනු කැමති සත්පුරුෂයෝ අභිධර්මය පිළිබඳ සඳහන් පොතපත බලා දැනගනිත්වා.
විඤ්ඤාණ හයකි
- චක්ඛු විඤ්ඤාණය: ඇසින් රූප දැනගැනීම හෙවත් ඇසෙහි පහළ වන සිත චක්ඛු විඤ්ඤාණය යන නමින් හඳුන්වයි.
- සෝත විඤ්ඤාණය: කනින් ශබ්ද දැනගැනීම හෙවත් කනෙහි පහළ වන සිත සෝත විඤ්ඤාණය යන නමින් හඳුන්වයි.
- ඝාන විඤ්ඤාණය: නාසයෙන් ගඳ-සුවඳ දැනගැනීම හෙවත් නාසයෙහි පහළ වන සිත ඝාන විඤ්ඤාණය යන නමින් හඳුන්වයි.
- ජිව්හා විඤ්ඤාණය: දිවෙන් රසය දැනගැනීම හෙවත් දිවෙහි පහළ වන සිත ජිව්හා විඤ්ඤාණය යන නමින් හඳුන්වයි.
- කාය විඤ්ඤාණය: කයින් පහස දැනගැනීම හෙවත් කයෙහි පහළ වන සිත කාය විඤ්ඤාණය යන නමින් හඳුන්වයි.
- මනෝ විඤ්ඤාණය: මනසින් සිතුවිලි දැනගැනීම හෙවත් මනසෙහි පහළ වන සිත මනෝ විඤ්ඤාණය යන නමින් හඳුන්වයි.
(විභංග සූත්‍රය, සංයුත්ත නිකාය)
විඤ්ඤාණයට නම් තැබීම
යඤ්ඤදේව භික්ඛවේ පච්චයං පටිච්ච උප්පජ්ජති විඤ්ඤාණං තේන තේනේව සංඛං ගච්ඡති:
චක්ඛුඤ්ච පටිච්ච රූපේ ච උප්පජ්ජති විඤ්ඤාණං, චක්ඛුවිඤ්ඤාණන්තේව සංඛං ගච්ඡති. සෝතඤ්ච පටිච්ච සද්දේ ච උප්පජ්ජති විඤ්ඤාණං, සෝතවිඤ්ඤාණන්තේව සංඛං ගච්ඡති. ඝානඤ්ච පටිච්ච ගන්ධේ ච උප්පජ්ජති විඤ්ඤාණං, ඝානවිඤ්ඤාණන්තේව සංඛං ගච්ඡති. ජිව්හඤ්ච පටිච්ච රසේ ච උප්පජ්ජති විඤ්ඤාණං, ජිව්හාවිඤ්ඤාණන්තේව සංඛං ගච්ඡති. කායඤ්ච පටිච්ච ඵොට්ඨබ්බේ ච උප්පජ්ජති විඤ්ඤාණං, කායවිඤ්ඤාණන්තේව සංඛං ගච්ඡති. මනඤ්ච පටිච්ච ධම්මේ ච උප්පජ්ජති විඤ්ඤාණං, මනෝවිඤ්ඤාණන්තේව සංඛං ගච්ඡති.
- මහණෙනි, යම් යම් ප්‍රත්‍යයක් හේතු කොටගෙන විඤ්ඤාණය උපදීද, එය ඒ ඒ නමින්ම හැඳින්වෙයි:
- ඇසද හේතු කොටගෙන, රූපයද හේතු කොටගෙන විඤ්ඤාණය උපදී නම්, එය චක්ඛු විඤ්ඤාණය යන නමින්ම හැඳින්වෙයි.
- කනද හේතු කොටගෙන, ශබ්දයද හේතු කොටගෙන විඤ්ඤාණය උපදී නම්, එය සෝත විඤ්ඤාණය යන නමින්ම හැඳින්වෙයි.
- නාසයද හේතු කොටගෙන, ගඳ-සුවඳද හේතු කොටගෙන විඤ්ඤාණය උපදී නම්, එය ඝාන විඤ්ඤාණය යන නමින්ම හැඳින්වෙයි.
- දිවද හේතු කොටගෙන, රසයද හේතු කොටගෙන විඤ්ඤාණය උපදී නම්, එය ජිව්හා විඤ්ඤාණය යන නමින්ම හැඳින්වෙයි.
- කයද හේතු කොටගෙන, ස්පර්ශයද හේතු කොටගෙන විඤ්ඤාණය උපදී නම්, එය කාය විඤ්ඤාණය යන නමින්ම හැඳින්වෙයි.
- මනසද හේතු කොටගෙන, ධර්ම (සිතුවිලි) හේතු කොටගෙන විඤ්ඤාණය උපදී නම්, එය මනෝ විඤ්ඤාණය යන නමින්ම හැඳින්වෙයි.
සෙය්‍යථාපි භික්ඛවේ යඤ්ඤදේව පච්චයං පටිච්ච අග්ගි ජලති, තේන තේනේව සංඛං ගච්ඡති:
කට්ඨඤ්ච පටිච්ච අග්ගි ජලති, කට්ඨග්ගිතේව සංඛං ගච්ඡති. සකලිකඤ්ච පටිච්ච අග්ගි ජලති, සකලිකග්ගිතේව සංඛං ගච්ඡති. තිණඤ්ච පටිච්ච අග්ගි ජලති, තිණග්ගිතේව සංඛං ගච්ඡති. ගෝමයඤ්ච පටිච්ච අග්ගි ජලති, ගෝමයග්ගිතේව සංඛං ගච්ඡති. ථුසඤ්ච පටිච්ච අග්ගි ජලති, ථුසග්ගිතේව සංඛං ගච්ඡති. සංකාරඤ්ච පටිච්ච අග්ගි ජලති, සංකාරග්ගිතේව සංඛං ගච්ඡති. ඒවමේව ඛෝ භික්ඛවේ යඤ්ඤදේව පච්චයං පටිච්ච උප්පජ්ජති විඤ්ඤාණං තේන තේනේව සංඛං ගච්ඡති.
(මහා තණ්හාසංඛය සූත්‍රය, මජ්ඣිම නිකාය)
මහණෙනි, යම් සේ ගින්නක් යම් යම් ද්‍රව්‍යයක් (ප්‍රත්‍යයක්) හේතු කොටගෙන දැල්වෙයිද, එය ඒ ඒ නමින්ම හැඳින්වෙයි:
- දර හේතු කොටගෙන ගින්න දැල්වේ නම්, එය දර ගින්න (කට්ඨග්ගි) යන නමින් හැඳින්වෙයි.
- ලී කැබලි (සිහින් දර කැබලි) හේතු කොටගෙන ගින්න දැල්වේ නම්, එය සකලික ගින්න යන නමින් හැඳින්වෙයි.
- තණකොළ හේතු කොටගෙන ගින්න දැල්වේ නම්, එය තණ ගින්න යන නමින් හැඳින්වෙයි.
- ගොම හේතු කොටගෙන ගින්න දැල්වේ නම්, එය ගොම ගින්න යන නමින් හැඳින්වෙයි.
- තණ හේතු කොටගෙන ගින්න දැල්වේ නම්, එය තණ ගින්න යන නමින් හැඳින්වෙයි.
- කුණු-රොඩු හේතු කොටගෙන ගින්න දැල්වේ නම්, එය කුණු රොඩු ගින්න යන නමින් හැඳින්වෙයි.
- මහණෙනි, එසේම යම් යම් ප්‍රත්‍යයක් හේතු කොටගෙන විඤ්ඤාණය උපදී නම්, එය ඒ ඒ නමින්ම හැඳින්වෙයි.