මජ්ඣිම නිකායේ චූලවේදල්ල නමින් සූත්‍රයක් තිබේ. එහි කාය සංස්කාර යනුවෙන් ආශ්වාස ප්‍රශ්වාස දක්වා ඇත. වචී සංස්කාර යනුවෙන් විතක්ක විචාර දක්වා ඇත. චිත්ත සංස්කාර යනුවෙන් සංඥා-වේදනා දක්වා ඇත. සමහර සත්පුරුෂයෝ පටිච්චසමුප්පාදයේ සංස්කාර ලෙස මෙය විස්තර කරති. එය වැරදිසහගතය. එයට හේතුව කුමක්ද? එම දේශනාවේ දක්වා ඇත්තේ නිරෝධ සමාපත්තියට සමවදින විට ප්‍රහාණය වන සංස්කාරය. ආශ්වාස ප්‍රශ්වාස අවිද්‍යාව ප්‍රහීණ කළ විටද පවතී. විතක්ක විචාර අවිද්‍යාව ප්‍රහීණ කරන ලද රහතන් වහන්සේ තුළද ඇත. සංඥා-වේදනාද අවිද්‍යාව ප්‍රහාණය කරන ලද රහතන් වහන්සේ තුළද ඇත. එබැවින් ඒවා අවිද්‍යා සහගත සංස්කාර නොවන බව ඉතා මැනවින් වටහා ගත යුතුය.