හේතුඵල න්‍යාය පටිච්චසමුප්පාදය යනුවෙන් හඳුන්වනු ලබයි. දුක හට ගන්නා ආකාරය පටිච්චසමුප්පාදයෙන් උගන්වයි. "ඒවමේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හෝති" යන පාඨයෙන් එය සනාථ වෙයි. පටිච්චසමුප්පාද න්‍යාය මෙසේය:
- ඉමස්මිං සති ඉදං හෝති. (මෙය ඇති කල්හි මෙය වෙයි.)
- ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති. (මෙය උපන් කල්හි මෙය උපදී.)
- ඉමස්මිං අසති ඉදං න හෝති. (මෙය නැති කල්හි මෙය නොවෙයි.)
- ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ඣති. (මෙය නිරෝධ වීමෙන් මෙය නිරුද්ධ වෙයි.)
මේ න්‍යායට ගලපනු ලබන්නේ අවිද්‍යා ආදී ධර්මයන්ය.
- අවිද්‍යාව ඇති කල්හි සංස්කාර වෙයි.
- අවිද්‍යාව ඉපදීමෙන් සංස්කාර උපදී.
- අවිද්‍යාව නැති කල්හි සංස්කාර නොවේ.
- අවිද්‍යාව නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වෙයි.
මේ ආකාරයට සෙසු ප්‍රත්‍ය ධර්මයන්ද ගලපා බලා තේරුම් ගත යුතුය.
කතමඤ්ච භික්ඛවේ ජරාමරණං? යා තේසං තේසං සත්තಾನං තම්හි තම්හි සත්තනිකායේ ජරා ජීරණතා ඛණ්ඩිච්චං පාලිච්චං වලිත්ථචතා ආයුනෝ සංහානි ඉන්ද්‍රියානං පරිපාකෝ අයං වුච්චති ජරා.
මහණෙනි, ජරා, මරණ යනු කුමක්ද? ඒ ඒ සත්වයන්ගේ, ඒ ඒ සත්ව කොටස්වල යම් දිරීමක් වේද, දිරන ස්වභාවයක් වේද, දත් නිය පොතු ආදිය කැඩීමක් වේද, කෙස් ලොම් ආදිය පැසීමක් වේද, හම රැළි වැටීමක් වේද, ආයුෂ පිරිහීමක් වේද, ඉන්ද්‍රියන්ගේ පරිපාක වීමක් වේද, එය ජරාව යැයි කියනු ලැබේ.
කතමඤ්ච භික්ඛවේ මරණං? යා තේසං තේසං සත්තಾನං තම්හා තම්හා සත්තනිකායා චුති චවනතා භේදෝ අන්තරධානං මච්චු මරණං කාලකිරියා ඛන්ධානං භේදෝ කළේබරස්ස නික්ඛේපෝ ජීවිතින්ද්‍රියස්ස උපච්ඡේදෝ. ඉදං වුච්චති මරණං. ඉති අයඤ්ච ජරා ඉදඤ්ච මරණං, ඉදං වුච්චති භික්ඛවේ ජරාමරණං.
මහණෙනි, මරණය යනු කුමක්ද? ඒ ඒ සත්ත්වයන්ගේ, ඒ ඒ සත්ත්ව නිකායවල්වල චුතවීමක් වේද, චුතවන ස්වභාවයක් වේද, කයෙහි බිඳී යාමක් වේද, අතුරුදහන් වීමක් වේද, මච්චු නමින් හඳුන්වන මරණයක් වේද, කළුරිය කිරීමක් වේද, ස්කන්ධයන්ගේ බිඳීමක් වේද, මෘත ශරීරයෙහි බැහැර කිරීමක් වේද, ජීවිත ඉන්ද්‍රියෙහි සිඳී යාමක් වේද, මෙය මරණය යැයි කියනු ලැබේ. මෙසේ මේ ජරාවද, මේ මරණයද යන මේ දෙක ජරා-මරණය යැයි කියනු ලැබේ.
කතමා ච භික්ඛවේ ජාති? යා තේසං තේසං සත්තනං තම්හි තම්හි සත්තනිකායේ ජාති සඤ්ජාති ඔක්කන්ති නිබ්බත්ති අභිනිබ්බත්ති ඛන්ධානං පාතුභාවෝ ආයතනානං පටිලාභෝ අයං වුච්චති භික්ඛවේ ජාති.
මහණෙනි, ඉපදීම යනු කුමක්ද? ඒ ඒ සත්ත්වයන්ගේ, ඒ ඒ සත්ව නිකායවල්හි හට ගැනීමක් වේද, පරිපූර්ණ හට ගැනීමක් වේද, මව්කුසට බැස ගැනීමක් වේද, ඉපදීමක් වේද, විශේෂයෙන් ඉපදීමක් වේද, ස්කන්ධයන්ගේ පහළවීමක් වේද, ආයතනයන්ගේ ලැබීමක් වේද, මහණෙනි, මෙය ඉපදීම යැයි කියනු ලැබේ.
කතමෝ ච භික්ඛවේ භවෝ? තයෝමේ භික්ඛවේ භවා. කාමභවෝ රූපභවෝ අරූපභවෝ. අයං වුච්චති භික්ඛවේ භවෝ.
මහණෙනි, භවය යනු කවරේද? මහණෙනි, කාමභවය, රූපභවය, අරූපභවය යි මේ බව තුනකි. මහණෙනි, මේ භවය යැයි කියනු ලැබේ.
කතමඤ්ච භික්ඛවේ උපාදානං? චත්තාරිමානි භික්ඛවේ උපාදානානි. කාමූපාදානං දිට්ඨූපාදානං සීලබ්බතූපාදානං අත්තවාදූපාදානං. ඉදං වුච්චති භික්ඛවේ උපාදානං.
මහණෙනි, උපාදානය යනු කුමක්ද? මහණෙනි, කාම උපාදානය, දිට්ඨි උපාදානය, සීලබ්බත උපාදානය, අත්තවාද උපාදානය යැයි මේ උපාදාන හතරකි.
මහණෙනි, මේ උපාදානය යැයි කියනු ලැබේ.
කතමා ච භික්ඛවේ තණ්හා? ඡයිමේ භික්ඛවේ තණ්හාකායා. රූපතණ්හා සද්ධතණ්හා ගන්ධතණ්හා රසතණ්හා ඵොට්ඨබ්බතණ්හා ධම්මතණ්හා. අයං වුච්චති භික්ඛවේ තණ්හා.
මහණෙනි, තණ්හාව යනු කුමක්ද? මහණෙනි, රූප තණ්හාව, ශබ්ද තණ්හාව, ගන්ධ තණ්හාව, රස තණ්හාව, ස්පර්ශ තණ්හාව, ධර්ම තණ්හාව යි මේ තණ්හා හයකි. මහණෙනි, මේ තණ්හාව යැයි කියනු ලැබේ.
කතමා ච භික්ඛවේ වේදනා? ඡයිමේ භික්ඛවේ වේදනාකායා. චක්ඛුසම්ඵස්සජා වේදනා, සෝතසම්ඵස්සජා වේදනා, ඝානසම්ඵස්සජා වේදනා, ජිව්හාසම්ඵස්සජා වේදනා, කායසම්ඵස්සජා වේදනා, මනෝසම්ඵස්සජා වේදනා. අයං වුච්චති භික්ඛවේ වේදනා.
මහණෙනි, වේදනාව යනු කුමක්ද? ඇසෙහි අරමුණු ගැටීමෙන් ඇතිවන වේදනාවය, කනෙහි අරමුණු ගැටීමෙන් ඇතිවන වේදනාවය, නාසයෙහි අරමුණු ගැටීමෙන් ඇතිවන වේදනාවය, දිවෙහි අරමුණු ගැටීමෙන් ඇතිවන වේදනාවය, කයෙහි අරමුණු ගැටීමෙන් ඇතිවන වේදනාවය, මනසෙහි අරමුණු ගැටීමෙන් ඇතිවන වේදනාවය. මහණෙනි, මේ වේදනා සමූහ හයකි. මහණෙනි, මේ වේදනාව යැයි කියනු ලැබේ.
කතමෝ ච භික්ඛවේ ඵස්සෝ? ඡයිමේ භික්ඛවේ ඵස්සකායා. චක්ඛුසම්ඵස්සෝ, සෝතසම්ඵස්සෝ, ඝානසම්ඵස්සෝ, ජිව්හාසම්ඵස්සෝ, කායසම්ඵස්සෝ, මනෝසම්ඵස්සෝ. අයං වුච්චති භික්ඛවේ ඵස්සෝ.
මහණෙනි, ස්පර්ශය යනු කුමක්ද? මහණෙනි, ඇසෙහි අරමුණු ගැටීම ඇසෙහි ස්පර්ශයයි. කනෙහි අරමුණු ගැටීම කනෙහි ස්පර්ශයයි. නාසයෙහි අරමුණු ගැටීම නාසයෙහි ස්පර්ශයයි. දිවෙහි අරමුණු ගැටීම දිවෙහි ස්පර්ශයයි. කයෙහි අරමුණු ගැටීම කයෙහි ස්පර්ශයයි. සිතෙහි අරමුණු ගැටීම මනසෙහි ස්පර්ශයයි. මහණෙනි, මේ ස්පර්ශ සමූහ හයකි. මහණෙනි, මේ ස්පර්ශය යැයි කියනු ලැබෙයි.
කතමඤ්ච භික්ඛවේ සළායතනං? චක්ඛායතනං සෝතායතනං ඝානායතනං ජිව්හායතනං කායායතනං මනායතනං. ඉදං වුච්චති භික්ඛවේ සළායතනං.
මහණෙනි, සළායතන යනු කවරේද? ඇස නැමැති ආයතනය, කන නැමැති ආයතනය, නාසය නැමැති ආයතනය, දිව නැමැති ආයතනය, කය නැමැති ආයතනය, මනස නැමැති ආයතනය. මහණෙනි, මේ සළායතනය යැයි කියනු ලැබේ.
කතමඤ්ච භික්ඛවේ නාමරූපං? වේදනා සඤ්ඤා චේතනා ඵස්සෝ මනසිකාරෝ. ඉදං වුච්චති නාමං. චත්තාරෝ ච මහාභූතා, චතුන්නඤ්ච මහාභූතානං උපාදායරූපං, ඉදං වුච්චති රූපං. ඉති ඉදඤ්ච නාමං, ඉදඤ්ච රූපං, ඉදං වුච්චති භික්ඛවේ නාමරූපං.
මහණෙනි, නාමරූප යනු කුමක්ද? වේදනාවය, සංඥාවය, චේතනාවය, ස්පර්ශය, මනසිකාරය යන මෙය නාමයයි කියනු ලැබේ. සතර මහා භූතයෝද, සතර මහා භූතයන්ගෙන් හටගත් උපාදාය රූපද යන මෙය රූපය යැයි කියනු ලැබේ. මහණෙනි, මෙසේ මේ නාමයද, මේ රූපයද යන මේ නාමරූපය යැයි කියනු ලැබේ.
කතමඤ්ච භික්ඛවේ විඤ්ඤාණං? ඡයිමේ භික්ඛවේ විඤ්ඤාණකායා. චක්ඛුවිඤ්ඤාණං සෝතවිඤ්ඤාණං ඝානවිඤ්ඤාණං ජිව්හාවිඤ්ඤාණං කායවිඤ්ඤාණං මනෝවිඤ්ඤාණං. ඉදං වුච්චති භික්ඛවේ විඤ්ඤාණං.
මහණෙනි, විඤ්ඤාණය යනු කුමක්ද? මහණෙනි, චක්ඛු විඤ්ඤාණය, සෝත විඤ්ඤාණය, ඝාන විඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණය, කාය විඤ්ඤාණය, මනෝ විඤ්ඤාණය යැයි මේ විඤ්ඤාණ සමූහ හයකි. මහණෙනි, මෙය විඤ්ඤාණය යැයි කියනු ලැබේ.
කතමේ ච භික්ඛවේ සංඛාරා? තයෝමේ භික්ඛවේ සංඛාරා. කායසංඛාරෝ වචීසංඛාරෝ චිත්තසංඛාරෝ. ඉමේ වුච්චන්ති භික්ඛවේ සංඛාරා.
මහණෙනි, සංස්කාරයෝ යනු කවරහුද? මහණෙනි, කාය සංස්කාරය, වචී සංස්කාරය, චිත්ත සංස්කාරය යි මේ සංස්කාර තුනකි. මහණෙනි, මේවා සංස්කාරයෝ යැයි කියනු ලැබෙති.
කතමා ච භික්ඛවේ අවිජ්ජා? යං ඛෝ භික්ඛවේ දුක්ඛේ අඤ්ඤාණං, දුක්ඛසමුදයේ අඤ්ඤාණං, දුක්ඛනිරෝධේ අඤ්ඤාණං, දුක්ඛනිරෝධගාමිනියා පටිපදාය අඤ්ඤාණං. අයං වුච්චති භික්ඛවේ අවිජ්ජා.
මහණෙනි, අවිද්‍යාව යනු කුමක්ද? මහණෙනි, දුක්ඛ ආර්ය සත්‍යය පිළිබඳ යම් නොදැනීමක් වේද, දුක්ඛ සමුදය ආර්ය සත්‍යය පිළිබඳ යම් නොදැනීමක් වේද, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය පිළිබඳව යම් නොදැනීමක් වේද, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යය පිළිබඳව යම් නොදැනීමක් වේද, මහණෙනි, මේ අවිද්‍යාව යැයි කියනු ලැබේ.