අවිද්‍යාව යනු දුක්ඛ ආර්ය සත්‍යය අවබෝධ නොවීමයි, සමුදය ආර්ය සත්‍යය අවබෝධ නොවීමයි, නිරෝධ ආර්ය සත්‍යය අවබෝධ නොවීමයි, මාර්ග ආර්ය සත්‍යය අවබෝධ නොවීමයි. අතීතයෙහි ස්කන්ධ, ධාතු, ආයතන පැවැති බව අවබෝධ නොවීමයි. අනාගතයේදීද ස්කන්ධ, ධාතු, ආයතන පවතින බව අවබෝධ නොවීමයි. අතීත, අනාගත යන දෙකෙහිමත් ස්කන්ධ, ධාතු, ආයතන පවතින බවත්, වර්තමානයෙහිද එසේම ස්කන්ධ, ධාතු, ආයතන පවතින බවත් අවබෝධ නොවීමයි. එසේ තුන් කාලය අවබෝධ නොවීම අවිද්‍යාවයි.
"අවිජ්ජා පුබ්බංගමා අකුසලානං ධම්මානං සමාපත්තියා." (මග්ග සංයුත්තය)
අකුසල ධර්මයන්ට පත්වීමට අවිද්‍යාව මූලික වෙයි. අවිද්‍යාවද සත්ත්වයකු නොවන, පුද්ගලයකු නොවන ධාතු මාත්‍රයකි.
"ස්වාමීනී, ධාතු කුසල භික්ෂුව යැයි කීමට සුදුසු වෙනත් ක්‍රමයක් තිබේද?"
එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කළ සේක:
"සියා ආනන්ද, ඡයිමා ආනන්ද, ධාතුයෝ: කාමධාතු නෙක්ඛම්මධාතු ව්‍යාපාදධාතු අව්‍යාපාදධාතු විහිංසාධාතු අවිහිංසාධාතු. ඉමා ඛෝ ආනන්ද, ඡ ධාතුයෝ යතෝ ජානාති පස්සති. එත්තාවතාපි ඛෝ ආනන්ද, ධාතුකුසලෝ භික්ඛූති අලං වචනායාති."
ආනන්ද, ධාතු හයක් තිබේ. එනම්: කාම ධාතුවය, නෙක්ඛම්ම ධාතුවය, ව්‍යාපාද ධාතුවය, අව්‍යාපාද ධාතුවය, විහිංසා ධාතුවය, අවිහිංසා ධාතුවය යනුවෙනි. ආනන්ද, යම් කාරණාවකින් මේ ධාතු හය දනීද, දකීද, ආනන්ද, මෙපමණකින් ධාතු කුසල භික්ෂුව යැයි කියන්නට සුදුසු වෙයි.
ධර්මාර්ථ විස්තරය
කාම ධාතුව යනු කාමරාගයටම නමකි. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන ධර්ම පංච කාම වස්තුන් යනුවෙන් හඳුන්වයි. එම පංචකාම වස්තූන් කෙරෙහි ඇතිඡන්දරාගය හෙවත් තණ්හාවෙන් ඇලීම කාමයයි. කාමච්ඡන්දය යනුවෙන් හඳුන්වන්නේද එයයි.
"කතමෙ කිලෙසකාමා? ඡන්දො කාමො රාගො කාමො ඡන්දරාගො කාමො; සඞ්කප්පො කාමො රාගො කාමො සඞ්කප්පරාගො කාමො; යො කාමෙසු කාමච්ඡන්දො කාමරාගො කාමනන්දී කාමතණ්හා කාමස්නෙහො කාමපරිළාහො කාමමුච්ඡා කාමජ්ඣොසානං කාමොඝො කාමයොගො කාමුපාදානං කාමච්ඡන්දනීවරණං"
(කාම නිර්දේශය - මහානිද්දේශපාලි)
ක්ලේශ කාමයෝ යනු කවරේද:
ඡන්දය හෙවත් කැමැත්ත නම් කාමයයි.
රාගය නමින් හඳුන්වන කාමයයි.
ඡන්දරාගය නමින් හඳුන්වන කාමයයි.
සංකල්ප කාමයයි.
රාග නම් වූ කාමයයි.
යමෙකුට කාමයන් කෙරෙහි කැමැත්තක් තිබේද, කාම රාගය තිබේද, කාමයෙන් සතුටු වීම හෙවත් කාම නන්දිය තිබේද, කාම තණ්හාව තිබේද, කාමය කෙරෙහි සෙනෙහස තිබේද?
කාමයන් මුල්වී ඇතිවන කෙලෙස් දැවිල්ල තිබේද, කාමයන් නිසා හටගන්නා සිහි මුලාව තිබේද, කාමයට බැස ගැනීම තිබේද, කාමය නම් වූ ඕඝය තිබේද, කාමයෙහි යෙදීම නම් වූ කාම යෝගයක් වේද?
කාමයන් තණ්හා, දිට්ඨි, මාන වශයෙන් උපාදාන කර ගැනීමක් තිබේද, කාමච්ඡන්ද නීවරණයක් තිබේද, මේවා කාමයයි.
නිද්දේසයේ එන මෙම කොටසෙන් නොයෙක් ආකාරයෙන් කාමයෝ විස්තර කර ඇත. එය මහානිද්දේශයෙහි කාම නිර්දේශය බලා විස්තර වශයෙන් දතයුතුය.
- රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන පංචකාම වස්තූන් වස්තු කාම යන නමින් හඳුන්වනු ලබයි.
- එම කාම වස්තූන් කෙරෙහි ඇති තණ්හාව, ආසාව ක්ලේස කාම යන නමින් හඳුන්වනු ලබයි.
- ඇසට පෙනෙන රූපයන් කෙරෙහි ඇති කැමැත්ත රූපකාමයයි.
- කනට ඇසෙන ශබ්දයන් කෙරෙහි ඇති කැමැත්ත සද්දකාමයයි.
- ගඳ සුවඳ කෙරෙහි ඇති කැමැත්ත ගන්ධකාමයයි.
- රසය කෙරෙහි ඇති කැමැත්ත රසකාමයයි.
- ස්පර්ශය කෙරෙහි ඇති කැමැත්ත පොට්ඨබ්බකාමයයි.
- සිතුවිලි කෙරෙහි ඇති කැමැත්ත ධම්මකාමයයි.
කාමයද සත්ත්වයකු නොවන, පුද්ගලයකු නොවන දෙයකි; හෙවත් ධාතු මාත්‍රයකි.