"සමාදහං චිත්තං අස්සසිස්සාමීති සික්ඛති, සමාදහං චිත්තං පස්සසිස්සාමීති සික්ඛති"
ධ්‍යාන සමාධි වශයෙන් සිත භාවනා අරමුණ තුළ මනාව පිහිටුවමින් ආශ්වාස කරන්නෙමි හික්මෙයි, ප්‍රශ්වාස කරන්නෙමි හික්මෙයි. ඒ සමාධි භාවනා වශයෙනි.
සමාධි භාවනා වඩන විට ස්වල්ප මාත්‍රයක්වත් සිත අලස බවට, කම්මැලිකමට යා නොදී, එසේම විසිරීම් පැත්තට යා නොදී, ඉන්ද්‍රියයන්ගේ සම බවට පත්වීමෙන් විසම නොවේ. එසේ ඉන්ද්‍රියයන් සම තත්ත්වයෙහි තැබීම සමාධිය උසස්ව පවත්වා ගැනීමට, අචලව පවත්වා ගැනීමට උපකාර වෙයි. එවිට මනාකොට අරමුණ තුළ සිත පිහිටයි. ඒ ආකාරයට ඉන්ද්‍රිය සමත්වයෙන් යුතුව ධ්‍යාන අරමුණ තුළ සිත මනාව පිහිටුවීම 'සමාදහං චිත්තං' යනුවෙන් අදහස් කරයි.
ප්‍රථම ධ්‍යානයට සමවැදී එයින් නැගී සිට, ධ්‍යානය සමඟ පවතින සිතෙහි ඇතිවීම නැතිවීම වශයෙන් උදයව්‍යය බලන්නේ නම්, විදර්ශනා වඩන ඒ අවස්ථාවේදී අනිත්‍ය ලක්ෂණය අවබෝධ වීම් වශයෙන් සිතෙහි යම් ඒකාග්‍රතාවයක්, එකඟ බවක්, සමාහිත බවක් උපදී ද, එවිට ආශ්වාස ප්‍රශ්වාස අරමුණ තුළ මනාව සිත පිහිටියා වෙයි. ඒ සමථ පූර්වාංගම විදර්ශනා වශයෙනි.
විදර්ශනාව පමණක් වඩන්නේ නම්, අරමුණෙහි නිරන්තරයෙන් ඒකාකාරයෙන් සිත පවතී. එසේ පවතින විට ප්‍රතිපක්ෂ හෙවත් විරුද්ධ ධර්මයන්ට (විරුද්ධ ධර්ම යනු පංච නීවරණයි) යට නොවන බැවින් ද, සිත නිශ්චලව පිහිටුවා ගත හැකි බැවින් ද 'සමාදහං චිත්තං' යැයි කියනු ලැබේ.