අභිප්‍රමෝදයං චිත්තං අස්සසිස්සාමීති සික්ඛති, අභිප්‍රමෝදයං චිත්තං පස්සසිස්සාමීති සික්ඛති"
සිත විශේෂයෙන් ප්‍රමෝදයට පත් කරමින් ආශ්වාස කරන්නෙමි හික්මෙයි, සිත විශේෂයෙන් ප්‍රමෝදයට පත් කරමින් ප්‍රශ්වාස කරන්නෙමි හික්මෙයි.
මෙහි 'අභිප්‍රමෝදය' යනු සිත විශේෂයෙන් ප්‍රමෝදයට පත්කරවීමයි. ධ්‍යාන සිතෙහි ප්‍රීතිය පවතී. එම ප්‍රීතිය නම් වූ අංගය ප්‍රීති සම්බොජ්ඣංගයයි. එම ප්‍රීති සම්බොජ්ඣංගයෙන් හෙවත් ධ්‍යානය තුළ පවතින ප්‍රීතියෙන් සිත සතුටට පත් කරමින් ආශ්වාස කිරීම, ප්‍රශ්වාස කිරීම මෙහිදී අභිප්‍රමෝදය නමින් හඳුන්වනු ලබයි. ඒ සමථ භාවනා වශයෙනි.
ආනාපානසති විදර්ශනාව වඩන විට ද ධ්‍යාන අංග පහ උපදී:
විතර්කය යනු විදර්ශනා අරමුණට සිත යොමු වීමම යි.
විචාරය යනු විදර්ශනා අරමුණ තුළ සිත පැවතීම යි.
ප්‍රීතිය යනු ආනාපානසති විදර්ශනා අරමුණෙහි ප්‍රීතිමත් වන ස්වභාවය යි.
සුඛය යනු එම අරමුණෙහිම ඇතිවන්නා වූ පස්සද්ධි සහගත වූ සැප සහගත සුඛ චෛතසිකය යි.
ඒකග්ගතාව යනු එම අරමුණෙහිම සිත එකඟ වීම නමැති ධ්‍යාන අංගය යි.
මෙම ධ්‍යාන අංග පහ මුල සිට ටිකෙන් ටික වැඩි වී ඉතාම බලවත් බවට පත්වේ. එසේ බලවත් වූ පසු විදර්ශනා වඩන යෝගාවචරයාට තමන් වඩන ආශ්වාස ප්‍රශ්වාස ඉතා හොඳින් වැටහෙන ආකාරයේ සමාධියක් ඇතිවෙයි. එය පරිකර්ම සමාධියයි. භාවනා අරමුණ මෙනෙහි කිරීමෙන් ඇතිවන්නා වූ සමාධිය පරිකර්ම සමාධිය නම් වේ.
තවදුරටත් භාවනා කරගෙන යන විට ආශ්වාස ප්‍රශ්වාස අරමුණ හිතට වර්ණයක් සේ වැටහෙන ආකාරයේ නිමිත්තක් සහිතව සමාධියක් උපදියි. එය උපචාර සමාධියයි. විදර්ශනාවේදී ඇතිවෙන එම සමාධිය ඉතා බලවත්ය; ධ්‍යාන සමාධියකටත් වඩා ශ්‍රේෂ්ඨය. එම සමාධිය තුළ පවතින්නා වූ ප්‍රීතිය ද ප්‍රීති සම්බොජ්ඣංගයයි. එම ප්‍රීතියෙන් සිත සතුටට පත් කරමින්ම ආශ්වාස කරන්නෙමි හික්මීම හෙවත් පුහුණුවීම ද, එම ප්‍රීතියෙන් හිත සතුටට පත් කරවමින් ප්‍රශ්වාස කිරීම සඳහා පුහුණුවීම ද මෙම කොටසේදී උගන්වයි.