පොත් ලැයිස්තුව

ආනාපානසති භාවනාව: තෘතීය චතුස්කය

star_outline

චිත්තපටිසංවේදී

​"චිත්තපටිසංවේදී අස්සසිස්සාමීති සික්ඛති, චිත්තපටිසංවේදී පස්සසිස්සාමීති සික්ඛති"

​මෙහි 'චිත්ත' යනුවෙන් හඳුන්වා ඇත්තේ ප්‍රථම ධ්‍යානය, දුතිය ධ්‍යානය, තෘතීය ධ්‍යානය සහ චතුත්ථ ධ්‍යානය යන ධ්‍යාන සිත්ය.

​ප්‍රථම ධ්‍යාන කුසල චිත්තය: විතක්ක, විචාර, පීති, සුඛ, ඒකග්ගතා සහිතං පඨමජ්ඣාන කුසල චිත්තං.

​දුතිය ධ්‍යාන කුසල චිත්තය: පීති, සුඛ, ඒකග්ගතා සහිතං දුතියජ්ඣාන කුසල චිත්තං.

​තෘතීය ධ්‍යාන කුසල චිත්තය: සුඛ, ඒකග්ගතා සහිතං තතියජ්ඣාන කුසල චිත්තං.

​චතුත්ථ ධ්‍යාන කුසල චිත්තය: උපෙක්ඛා, ඒකග්ගතා සහිතං චතුත්ථජ්ඣාන කුසල චිත්තං.

​'චිත්ත' යනුවෙන් හඳුන්වා ඇත්තේ එම ධ්‍යාන සිත් හතරයි.

​විතක්ක යනු භාවනා අරමුණට සිත යොමු කිරීමය, හෙවත් ආශ්වාස ප්‍රශ්වාසයන් වෙත සිත යොමු වීමයි.

​විචාර යනු එම අරමුණෙහිම සිත පැවැත්වීමයි.

​ප්‍රීතිය යනු එම අරමුණ තුළ සිත ප්‍රීතිමත් වන ස්වභාවයයි.

​සුඛ යනු එම අරමුණ තුළ ඇති වන්නා වූ සැප සහගත බවයි.

​ඒකග්ගතා යනු ආශ්වාස ප්‍රශ්වාස අරමුණෙහිම සිත එකඟ වීමයි.

​මෙම අංග පහෙන් යුක්ත වූ සිතක් රූපාවචර ප්‍රථම ධ්‍යාන සිත නමින් හඳුන්වයි.

​දුතිය ධ්‍යානයේදී විතක්ක, විචාර සංසිඳීමට පත්වෙයි. තෘතීය ධ්‍යානයේදී ප්‍රීතිය ද සංසිඳීමට පත්වෙයි. හතරවන ධ්‍යානය උපෙක්ඛා, ඒකග්ගතා සහිතය. එහි උපේක්ෂාව යනු අරමුණ තුළම සිත මනාව පිහිටා මධ්‍යස්ථ බවට පත්වීමයි.

අභිප්‍රමෝදයං චිත්තං

අභිප්‍රමෝදයං චිත්තං අස්සසිස්සාමීති සික්ඛති, අභිප්‍රමෝදයං චිත්තං පස්සසිස්සාමීති සික්ඛති"

​සිත විශේෂයෙන් ප්‍රමෝදයට පත් කරමින් ආශ්වාස කරන්නෙමි හික්මෙයි, සිත විශේෂයෙන් ප්‍රමෝදයට පත් කරමින් ප්‍රශ්වාස කරන්නෙමි හික්මෙයි.

​මෙහි 'අභිප්‍රමෝදය' යනු සිත විශේෂයෙන් ප්‍රමෝදයට පත්කරවීමයි. ධ්‍යාන සිතෙහි ප්‍රීතිය පවතී. එම ප්‍රීතිය නම් වූ අංගය ප්‍රීති සම්බොජ්ඣංගයයි. එම ප්‍රීති සම්බොජ්ඣංගයෙන් හෙවත් ධ්‍යානය තුළ පවතින ප්‍රීතියෙන් සිත සතුටට පත් කරමින් ආශ්වාස කිරීම, ප්‍රශ්වාස කිරීම මෙහිදී අභිප්‍රමෝදය නමින් හඳුන්වනු ලබයි. ඒ සමථ භාවනා වශයෙනි.

​ආනාපානසති විදර්ශනාව වඩන විට ද ධ්‍යාන අංග පහ උපදී:

​විතර්කය යනු විදර්ශනා අරමුණට සිත යොමු වීමම යි.

​විචාරය යනු විදර්ශනා අරමුණ තුළ සිත පැවතීම යි.

​ප්‍රීතිය යනු ආනාපානසති විදර්ශනා අරමුණෙහි ප්‍රීතිමත් වන ස්වභාවය යි.

​සුඛය යනු එම අරමුණෙහිම ඇතිවන්නා වූ පස්සද්ධි සහගත වූ සැප සහගත සුඛ චෛතසිකය යි.

​ඒකග්ගතාව යනු එම අරමුණෙහිම සිත එකඟ වීම නමැති ධ්‍යාන අංගය යි.

​මෙම ධ්‍යාන අංග පහ මුල සිට ටිකෙන් ටික වැඩි වී ඉතාම බලවත් බවට පත්වේ. එසේ බලවත් වූ පසු විදර්ශනා වඩන යෝගාවචරයාට තමන් වඩන ආශ්වාස ප්‍රශ්වාස ඉතා හොඳින් වැටහෙන ආකාරයේ සමාධියක් ඇතිවෙයි. එය පරිකර්ම සමාධියයි. භාවනා අරමුණ මෙනෙහි කිරීමෙන් ඇතිවන්නා වූ සමාධිය පරිකර්ම සමාධිය නම් වේ.

​තවදුරටත් භාවනා කරගෙන යන විට ආශ්වාස ප්‍රශ්වාස අරමුණ හිතට වර්ණයක් සේ වැටහෙන ආකාරයේ නිමිත්තක් සහිතව සමාධියක් උපදියි. එය උපචාර සමාධියයි. විදර්ශනාවේදී ඇතිවෙන එම සමාධිය ඉතා බලවත්ය; ධ්‍යාන සමාධියකටත් වඩා ශ්‍රේෂ්ඨය. එම සමාධිය තුළ පවතින්නා වූ ප්‍රීතිය ද ප්‍රීති සම්බොජ්ඣංගයයි. එම ප්‍රීතියෙන් සිත සතුටට පත් කරමින්ම ආශ්වාස කරන්නෙමි හික්මීම හෙවත් පුහුණුවීම ද, එම ප්‍රීතියෙන් හිත සතුටට පත් කරවමින් ප්‍රශ්වාස කිරීම සඳහා පුහුණුවීම ද මෙම කොටසේදී උගන්වයි.

සමාදහං චිත්තං

"සමාදහං චිත්තං අස්සසිස්සාමීති සික්ඛති, සමාදහං චිත්තං පස්සසිස්සාමීති සික්ඛති"

​ධ්‍යාන සමාධි වශයෙන් සිත භාවනා අරමුණ තුළ මනාව පිහිටුවමින් ආශ්වාස කරන්නෙමි හික්මෙයි, ප්‍රශ්වාස කරන්නෙමි හික්මෙයි. ඒ සමාධි භාවනා වශයෙනි.

​සමාධි භාවනා වඩන විට ස්වල්ප මාත්‍රයක්වත් සිත අලස බවට, කම්මැලිකමට යා නොදී, එසේම විසිරීම් පැත්තට යා නොදී, ඉන්ද්‍රියයන්ගේ සම බවට පත්වීමෙන් විසම නොවේ. එසේ ඉන්ද්‍රියයන් සම තත්ත්වයෙහි තැබීම සමාධිය උසස්ව පවත්වා ගැනීමට, අචලව පවත්වා ගැනීමට උපකාර වෙයි. එවිට මනාකොට අරමුණ තුළ සිත පිහිටයි. ඒ ආකාරයට ඉන්ද්‍රිය සමත්වයෙන් යුතුව ධ්‍යාන අරමුණ තුළ සිත මනාව පිහිටුවීම 'සමාදහං චිත්තං' යනුවෙන් අදහස් කරයි.

​ප්‍රථම ධ්‍යානයට සමවැදී එයින් නැගී සිට, ධ්‍යානය සමඟ පවතින සිතෙහි ඇතිවීම නැතිවීම වශයෙන් උදයව්‍යය බලන්නේ නම්, විදර්ශනා වඩන ඒ අවස්ථාවේදී අනිත්‍ය ලක්ෂණය අවබෝධ වීම් වශයෙන් සිතෙහි යම් ඒකාග්‍රතාවයක්, එකඟ බවක්, සමාහිත බවක් උපදී ද, එවිට ආශ්වාස ප්‍රශ්වාස අරමුණ තුළ මනාව සිත පිහිටියා වෙයි. ඒ සමථ පූර්වාංගම විදර්ශනා වශයෙනි.

​විදර්ශනාව පමණක් වඩන්නේ නම්, අරමුණෙහි නිරන්තරයෙන් ඒකාකාරයෙන් සිත පවතී. එසේ පවතින විට ප්‍රතිපක්ෂ හෙවත් විරුද්ධ ධර්මයන්ට (විරුද්ධ ධර්ම යනු පංච නීවරණයි) යට නොවන බැවින් ද, සිත නිශ්චලව පිහිටුවා ගත හැකි බැවින් ද 'සමාදහං චිත්තං' යැයි කියනු ලැබේ.

විමෝචයං චිත්තං

විමෝචයං චිත්තං අස්සසිස්සාමීති සික්ඛති, විමෝචයං චිත්තං පස්සසිස්සාමීති සික්ඛති"

​ප්‍රථම ධ්‍යානයෙන් පංච නීවරණයන්ගෙන් සිත මුදවා ගනිමින් ද, දුතිය ධ්‍යානයෙන් විතක්ක විචාර යන ධ්‍යාන අංගයන්ගෙන් සිත මුදවා ගනිමින් ද, තෘතීය ධ්‍යානයෙන් ප්‍රීතියෙන් සිත මුදවා ගනිමින් ද, හතරවන ධ්‍යානයෙන් සුඛයෙන් සිත මුදවා ගනිමින් ද ආශ්වාස කරන්නෙමි හික්මෙයි, ප්‍රශ්වාස කරන්නෙමි හික්මෙයි. මේ සමථය වශයෙන් වඩන ආකාරයයි.

​සමථ පූර්වාංගම විදර්ශනා වශයෙන් වඩන ආකාරය:

​ධ්‍යානයෙන් නැගී සිට ආශ්වාස ප්‍රශ්වාස අරමුණෙහි ඇතිවීම නැතිවීම හෙවත් උදයව්‍යය නුවණින් විමසමින්;

​අනිත්‍ය ලක්ෂණය බලන විට නිත්‍ය සංඥාවෙන් සිත මුදවමින් ද,

​දුක්ඛ ලක්ෂණය බලන විට සැප හෙවත් සුඛ සංඥාවෙන් සිත මුදවමින් ද,

​අනාත්ම ලක්ෂණය බලන විට ආත්ම සංඥාවෙන් සිත මුදවමින් ද ආශ්වාස කරන්නෙමි හික්මෙයි, ප්‍රශ්වාස කරන්නෙමි හික්මෙයි.

​ ශුෂ්ක විදර්ශක වශයෙන් වඩන ආකාරය:

​ශුෂ්ක විදර්ශක හෙවත් සමථය නොවඩාම විදර්ශනා වඩන තැනැත්තා ද ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ;

​අනිත්‍ය විමසන විට නිත්‍ය සංඥාවෙන් හිත මුදවමින් ද,

​දුක්ඛ ලක්ෂණය බලන විට සුඛ සංඥාවෙන් සිත මුදවමින් ද,

​අනාත්ම ලක්ෂණය බලන විට ආත්ම සංඥාවෙන් සිත මුදවමින් ද ආශ්වාස කරන්නෙමි හික්මෙයි, ප්‍රශ්වාස කරන්නෙමි හික්මෙයි.

සුඛපටිසංවේදී

"සුඛපටිසංවේදී අස්සසිස්සාමීති සික්ඛති, සුඛපටිසංවේදී පස්සසිස්සාමීති සික්ඛති"

​ප්‍රීතියට වඩා මෙහි ඇති වෙනස "සුඛ" කියන වචනය යෙදීමයි. සුඛ නම් ධ්‍යාන අංගය ඇති ධ්‍යාන තුනකි. එනම්, ප්‍රථම ධ්‍යානය, දුතිය ධ්‍යානය සහ තෘතීය ධ්‍යානය යන තුනයි.

​එම ධ්‍යානයන්ට සමවැදීම් මාත්‍රයෙන්ම, හෙවත් සමවැදුණු පමණින්ම සුඛය දැනගත්තා වෙයි. එසේම සුඛය විදර්ශනා වඩන තැනැත්තා ද සුඛය දැනගත්තා වෙයි.

...ආනාපානසති විදර්ශනාවේදී කායික සුඛය සහ මානසික සුඛය දෙකම සුඛ නමින් හඳුන්වනු ලබන බව පටිසම්භිදා මග්ගපාලියෙහි සඳහන්ය..

චිත්තසංඛාරපටිසංවේදී අස්සසිස්සාමීති සික්ඛති, චිත්තසංඛාරපටිසංවේදී පස්සසිස්සාමීති සික්ඛති"

​මෙහි විශේෂයෙන් කිව යුත්තක් නැත. චිත්ත සංස්කාර නම් වේදනා ස්කන්ධය සහ සංඥා ස්කන්ධයයි. මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු දෙයක් නැත.

​"පස්සම්භයං චිත්තසංඛාරං අස්සසිස්සාමීති සික්ඛති, පස්සම්භයං චිත්තසංඛාරං පස්සසිස්සාමීති සික්ඛති"

​ගොරෝසු හෙවත් ඕලාරික චිත්ත සංස්කාර සංසිඳුවමින් (චිත්ත සංස්කාර යනු ආශ්වාස ප්‍රශ්වාසය නිරුද්ධ කරමින්) ආශ්වාස කරන්නෙමි හික්මෙයි, ප්‍රශ්වාස කරන්නෙමි හික්මෙයි.

​විශේෂයෙන් මෙම චතුස්කයේදී;

​'පීති' යන පදයෙන් ප්‍රීති ස්වරූපයෙන් වේදනාව ද,

​'සුඛ' යන පදයෙන් සුඛ ස්වභාවයෙන් වේදනාව ද,

​'චිත්තසංඛාර' යන පද දෙකෙන් සංඥාව ද වේදනාව ද දක්වන ලදී.

​එහිදී සංඥා සම්ප්‍රයුක්ත වූ වේදනාව කියන ලද බවත් තේරුම් ගෙන, මේ හතරෙන්ම වේදනානුපස්සනාව වදාළ බව දතයුතුය.

මේ අප විසින් ලියන ලද ආනාපානසති භාවනා සම්පූර්ණ ලිපියයි.

ධර්ම දානය පිණිසයි

https://www.nipunadhamma.org