"පටිනිස්සග්ගානුපස්සී අස්සසිස්සාමීති සික්ඛති, පටිනිස්සග්ගානුපස්සී පස්සසිස්සාමීති සික්ඛති"
පටිනිස්සග්ගය දකිමින් ආශ්වාස කරන්නෙමි යි හික්මෙයි; පටිනිස්සග්ගය දකිමින් ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මෙයි. පටිනිස්සග්ගය, පරිච්චාග පටිනිස්සග්ගය සහ පක්ඛන්දන පටිනිස්සග්ගය යනුවෙන් ආකාර දෙකකින් සඳහන් වෙනවා. එම පටිනිස්සග්ග දෙක අනුව බැලීම පටිනිස්සග්ගානුපස්සනා නමින් හඳුන්වනවා.
පටිනිස්සග්ගානුපස්සනාව යනු විදර්ශනා භාවනාවටත්, මාර්ගයටත් යන කාරණා දෙක සඳහා භාවිතා කරන නමක් බව මනාව තේරුම් ගන්න. අනිත්‍ය දර්ශනය අනුව දකිමින් විදර්ශනා වඩන විට තදංග වශයෙන්ම නිත්‍ය සංඥාව දුරු වෙයි. 'නිත්‍ය' යන අදහස ග්‍රහණය කරගෙන උපදින්නා වූ, හටගන්නා වූ ක්ලේශ ධර්මයන් ද දුරු වෙයි. නිත්‍ය වශයෙන් ගැනීම හේතු කරගෙන උපදින ඒ හා සම්බන්ධ වූ අභිසංස්කාර ධර්මයන් ද දුරු වෙයි. එසේම මෙම නිත්‍ය සංඥාවත්, ඒ සම්බන්ධව උපදින ක්ලේශයනුත්, අභිසංස්කාරයනුත් දුරු වීම හේතු කරගෙන අනාගතයෙහි උපදනා විපාක ස්කන්ධයන් ද දුරු වෙනවා.
දුක්ඛ සංඥාව වඩන විට සුඛ සංඥාව ද, එසේම දුක්ඛ සංඥාව මුල් කරගෙන පවතින ක්ලේශ ධර්මයන් ද තදංග වශයෙන් ප්‍රහාණය වෙයි. ඒ කෙලෙස් හා මූලික වී පවතින අභිසංස්කාර ධර්මයන් ද දුරු වෙයි. අනාගතයෙහි උපදින්නට ඇති විපාක ස්කන්ධයන් ද දුරු වෙයි. අනාත්ම සංඥාව අනුව බලන විට ආත්ම සංඥා දුරු වෙයි. ආත්ම සංඥාව මුල් වී පවතින ක්ලේශ ධර්මයන් ද, ඒ හා බැඳී පවතින අභිසංස්කාර ධර්මයන් ද දුරු වෙයි. අනාගතයෙහි පැවැත්මට හේතු වන විපාක ස්කන්ධයන් ද දුරු වීම සිදු වෙයි. මෙන්න මේ ආකාරයට ක්ලේශයන් අතහැරෙන, පරිත්‍යාග කරන ස්වභාවයක් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන විදර්ශනා වැඩීමෙහි ඇත. එම ස්වභාවයම පටිනිස්සග්ගානුපස්සනා යන නමින් හඳුන්වන බව මනාව තේරුම් ගත යුතුය.
දැනට මේ සරල විග්‍රහය ප්‍රමාණවත් වේවා! වැඩිපුර විස්තර දැනගනු කැමති සත්පුරුෂයන් විසින් විසුද්ධි මාර්ගයෙහි 'අනුස්සති කර්මස්ථාන නිර්දේශය' බලා තේරුම් ගත යුතුය.
අවසාන නිගමනය:
අවසාන නිගමනය ලෙස දක්වන්නට තිබෙන්නේ, ආනාපානසතිය මුල් කරගෙන අනිත්‍ය, දුක්ඛ, අනාත්ම බලමින් විදර්ශනා වඩන විට; අනිච්චානුපස්සී, විරාගානුපස්සී, නිරෝධානුපස්සී, පටිනිස්සග්ගානුපස්සී කියන සතර ආකාරයෙන්ම භාවනාව දියුණු වන බවයි.