පොත් ලැයිස්තුව

නිර්වාණය හඳුන්වන නාමයන් සහ ඒවායේ අර්ථ

star_outline

​අසංඛත: හේතු ප්‍රත්‍යයන්ගෙන් හට නොගත් බැවින් නිර්වාණය "අසංඛත" නමින් හඳුන්වයි.

​විරාගය: රාගය ක්ෂය වීමට පත්ව ඇති හෙවත් රාගයෙන් තොර වූ බැවින් නිර්වාණය "විරාගය" යනුවෙන් හඳුන්වනු ලබයි.

​මදනිම්මදන: නිර්වාණයට පැමිණීමෙන් සියලු මානමද, පුරුෂමද, ජාතිමද, යොබ්බනමද, ආරෝග්‍යමද ආදී සියලු මදයන් දුරු වී, විනාශ වී යන්නේය. එබැවින් නිර්වාණය "මදනිම්මදන" යනුවෙන් හඳුන්වයි.

​පිපාසවිනය: නිර්වාණයට පැමිණීමෙන් සියලු කාම පිපාසා සහ කාම තණ්හාවන් දුරු වී, අස්තයට ගොස් නැතිව යන්නේය. එබැවින් නිවන "පිපාසවිනය" නමින් හඳුන්වයි.

​ආලයසමුග්ඝාත: නිර්වාණයට පැමිණීමෙන් පංචකාම වස්තූන් කෙරෙහි ඇති ආලය සහමුලින්ම විනාශයට යයි. එබැවින් නිර්වාණය "ආලයසමුග්ඝාත" නම් වෙයි.

​වට්ටූපච්ඡේද: නිර්වාණයට පැමිණීමෙන් කාම, රූප, අරූප යන සමස්ත සංසාර චක්‍රයම සිඳී යන්නේය. එබැවින් නිර්වාණය "වට්ටූපච්ඡේද" නමින් හඳුන්වයි.

​තණ්හක්ඛය / විරාග / නිරෝධ: නිර්වාණයට පැමිණීමෙන් සියලු තණ්හාවෝ ක්ෂය වී යති (තණ්හක්ඛය), නොඇලීමට පත් වෙයි (විරාගය), තණ්හාව නිරුද්ධ වී යයි (නිරෝධය). එබැවින් නිවන මේ නාමයන්ගෙන් හඳුන්වනු ලබයි.

​නිර්වාණ (නිවන): සතර යෝනි, පස් ගති, සප්ත විඤ්ඤාණට්ඨිති, නව සත්තාවාස යන මේ මතු බව පිණිස (පුනර්භවය පිණිස) හේතුවන්නා වූ සියලු කෙලෙස් නමැති වැනීමෙන් (වාණයෙන්) දුරු වීම, නික්මීම, නොඇලීම යන අර්ථයෙන් "නිර්වාණය" යන නම යොදනු ලැබේ.

​සච්චං: නිවනෙහි කිසිම පර්යායක් (වෙනස් වීමක්) නොවන බැවින් ද, ඒකාන්තයෙන්ම සත්‍ය වන හෙයින් ද, අවිපරීත අර්ථයෙන්ම හෙවත් වෙනස් නොවන අර්ථයෙන්ම "සත්‍ය" නම් වෙයි. "ඒකං හි සච්චං න දුතියමත්ථි" යනුවෙන් සත්‍යය එකක්ම මිස දෙවැන්නක් නැති බව සඳහන් කර ඇත.

​පාරං: සසරෙහි එතෙර වෙරළ වන බැවින් "පාර" යන නමින් නිවන හඳුන්වයි.

​අජර: පරම ගම්භීර බැවින් ද, ඉතා සියුම් ශාන්ත ස්වභාවයක් ඇති බැවින් ද, දියුණු නොකළ නුවණැත්තන් විසින් දක්නට දුෂ්කර බැවින් ද, ජරාවට පත් වීමක් නැති බැවින් ද නිවන "අජර" නමින් හඳුන්වයි.

​ධුව: ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදියෙන් නොනැසෙන බැවින් සහ ස්ථීර බැවින් "ධුව" නමින් හඳුන්වයි.

​නිප්පපඤ්ච: තෘෂ්ණා ප්‍රපංචයන්ගෙන් රහිත බැවින් "නිස්ප්‍රපංච" (නිප්පපඤ්ච) නමින් හඳුන්වයි.

​අමත: මරණයක් නොමැති බැවින් "අමත" නමින් හඳුන්වයි.

​සිව: අශිව බව ඇති කරන සියලු කෙලෙසුන් නසා දමන බැවින් "සිව" නමින් හඳුන්වයි.

​ඛේම: කාමාදී වූ දරුණු උපද්‍රවයන් නොමැති බැවින් "ඛේම" නමින් හඳුන්වයි.

​අබ්භූත: අතිශය ආශ්චර්යමත් වූ ද, අද්භූත ස්වභාවයෙන් යුක්ත වූ ද දෙයක් වන බැවින් "අබ්භූත" නමින් හඳුන්වයි.

​අනීතික: 'ඊති' නමින් හඳුන්වන සියලු අනර්ථයන් (රෝග උපද්‍රවයන්) නොමැති බැවින් "අනීතික" නමින් හඳුන්වයි.

​අබ්‍යාපජ්ඣ: කිසිදු දුකක් හෝ පීඩාවක් නොමැති බැවින් "අභ්‍යාපජ්ඣ" නමින් හඳුන්වයි.

​විසුද්ධි: ඒකාන්තයෙන්ම පිරිසිදු වන බැවින් "විසුද්ධි" නමින් හඳුන්වයි.

​දීප: කාමාදී වූ චතුර් ඕඝයන්ගෙන් (මහා සැඩපහරවල් හතරෙන්) යට නොවන ආරක්ෂිත ගොඩබිමක් බඳු බැවින් "දීප" නමින් හඳුන්වයි.

​තාණ: සසර මහා දුකින් සත්වයන්ව ආරක්ෂා කරන බැවින් "තාණ" නමින් හඳුන්වයි.