පොත් ලැයිස්තුව

උපසමානුස්සති භාවනාව සහ නිර්වාණ විග්‍රහය

star_outline

​නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.

​"ඒකධම්මෝ, භික්ඛවේ, භාවිතෝ බහුලීකතෝ ඒකන්තනිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. කතමෝ ඒකධම්මෝ? උපසමානුස්සති."

​— (අංගුත්තර නිකාය, ඒකක නිපාතය)

​අර්ථය:

"මහණෙනි, එකම ධර්මයක් වඩන ලද්දේ, නැවත නැවත පුරුදු කරන ලද්දේ, ඒකාන්තයෙන්ම කලකිරීම පිණිස (නිබ්බිදාය), රාගය දුරු කිරීම පිණිස (විරාගාය), තණ්හාව නිරුද්ධ කිරීම පිණිස (නිරෝධාය), කෙලෙස් සංසිඳීම පිණිස (උපසමාය), විශේෂ අවබෝධය පිණිස (අභිඤ්ඤාය), චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිස (සම්බෝධාය) සහ නිර්වාණය පිණිස (නිබ්බානාය) පවතින්නේය. ඒ එකම ධර්මය කුමක්ද? එනම් උපසමානුස්සතියයි."

​උපසම හෙවත් නිර්වාණය

​"උපසම" යනු සියලු කෙලෙස් සංසිඳීමයි. එය උදාර වූ නිවන් පුරයට කියන තවත් එක් ශ්‍රේෂ්ඨ නාමයකි. නිවනෙහි ස්වභාවය විග්‍රහ කරමින් සූත්‍ර පිටකයේ විවිධ ස්ථානවල මෙසේ දක්වා ඇත:

​1. රාධ සූත්‍රය (සංයුත්ත නිකාය)

​රාධ තෙරුන් වහන්සේ දිනක් බුදුරජාණන් වහන්සේ වෙත එළඹ, "ස්වාමීනී, නිවන යනු කුමක්ද?" යැයි විමසූ සේක. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ:

​"රාගක්ඛයෝ රාධ නිබ්බානං, දෝසක්ඛයෝ රාධ නිබ්බානං, මෝහක්ඛයෝ රාධ නිබ්බානං."

​"රාධය, රාගය ක්ෂය කිරීම (සහමුලින්ම නැති කිරීම) නිවනය. ද්වේෂය ක්ෂය කිරීම නිවනය. මෝහය ක්ෂය කිරීම නිවනය."

​එම උතුම් දේශනාවට අනුව සත්වයා සසර බඳවා තබන ප්‍රධාන මූලයන් තුන වන රාග, ද්වේෂ, මෝහයන්ගේ සහමුලින්ම නැති වී යාම නිර්වාණය ලෙස දක්වා ඇත.

​2. තණ්හක්ඛය විග්‍රහය

​එලෙසම ධර්මයෙහි නිවන හඳුන්වනු ලබන තවත් අතිශය ප්‍රසිද්ධ පාඨයක් මෙසේය:

​"තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං"

​තණ්හාව ක්ෂය කිරීම, කෙලෙස් කෙරෙහි නොඇලීම (විරාගය), කෙලෙස් නිරුද්ධ කිරීම (නිරෝධය) යනු නිවනම වෙයි.

​3. ධම්මචක්කපවත්තන සූත්‍රය (සංයුත්ත නිකාය.)

​ප්‍රථම ධර්ම දේශනාව වූ දම්සක් පැවතුම් සූත්‍රයෙහි, දුක්ඛ නිරෝධ අරියසච්චය (නිවන) විග්‍රහ කිරීමේදී බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක:

​"යෝ තස්සා යේව තණ්හාය අසේසවිරාගනිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්ති අනාලයෝ."

...තස්සා යේව තණ්හාය..කාම තණ්හා භව තණ්හා , විභව තණ්හා , යන තණ්හාවේම ..

අසේස.. ඉතුරුවක් නැතුව.

විරාග..නොඇල්මෙන්

නිරෝධෝ...නිරුද්ධ කිරීමක් වේද.

චාගෝ: අතහැරීමක් රිත්‍යාග කිරීමක් වේද.

​පටිනිස්සග්ගෝ: තණ්හාව සහමුලින්ම දුරු කර හැරීමක් වේද..

​මුත්ති: තණ්හාවෙන් මිදීමක් වේද.

අනාලයෝ: ආලය නොකිරීමක් වේද.

​මෙසේ තණ්හාවෙන් සහමුලින්ම මිදී නිදහස් වීම උතුම් නිවන යැයි දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවෙහි මැනවින් දක්වා ඇත.