පොත් ලැයිස්තුව

අනභිජානං යනු කුමක්ද?

star_outline

අනභිජානං විග්‍රහය

​මෙම සබ්බ පරිඤ්ඤා සූත්‍ර දේශනාවේදී පංච උපාදානස්කන්ධයට අදාළ වන්නා වූ සියලු ධර්මයන් 'සබ්බ' යනුවෙන් හඳුන්වා ඇති බව දත යුතුය. විදර්ශනා භාවනාවට අරමුණු වන සියලු ධර්මයන් මෙම දේශනාවේදී අදහස් කරනු ලැබේ.

​“ඉමේ ධම්මා කුසලා, ඉමේ ධම්මා අකුසලා, ඉමේ සාවජ්ජා, ඉමේ අනවජ්ජාති...” (ඉතිවුත්තක පාලි අට්ඨකථා)

​මේ ධර්මයෝ කුසල්ය, මේ ධර්මයෝ අකුසල්ය, මේ ධර්මයෝ වරද සහිතය (සාවජ්ජ), මේ ධර්මයෝ වරද රහිතය (අනවජ්ජ) යනුවෙන් විශිෂ්ට ඥානයෙන් දැනගත යුතුය. එසේ දැන නොගැනීම 'අනභිජාන' හෙවත් විශිෂ්ට ඥානයෙන් දැන නොගැනීම යනුවෙන් අදහස් කරයි.

රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන පංචස්කන්ධයෝය කියා විශිෂ්ට ඥානයෙන් දත යුතුය. එසේ නොදැනීම අනභිජානං යනුවෙන් හඳුන්වයි.

​ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස සහ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි යනු ආයතන දොළහය. මෙම ධර්ම විශිෂ්ට ඥානයෙන් දත යුතුය. එසේ නොදැනීම අනභිජානං යනුවෙන් හඳුන්වයි.

​චක්ඛු ධාතු, රූප ධාතු, චක්ඛු විඤ්ඤාණ ධාතු; සෝත ධාතු, සද්ධ ධාතු, සෝත විඤ්ඤාණ ධාතු; ඝාන ධාතු, ගන්ධ ධාතු, ඝාන විඤ්ඤාණ ධාතු; ජිව්හා ධාතු, රස ධාතු, ජිව්හා විඤ්ඤාණ ධාතු; කාය ධාතු, පොට්ඨබ්බ ධාතු, කාය විඤ්ඤාණ ධාතු; මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ විඤ්ඤාණ ධාතු යන ධාතු දහඅට විශිෂ්ට ඥානයෙන් අවබෝධ කළ යුතුය. එසේ අවබෝධ නොකිරීම අනභිජානං නම් වෙයි.

​දුක්ඛ ආර්ය සත්‍යය ආදී චතුරාර්ය සත්‍ය ධර්මයෝ ද, අවිද්‍යා ආදී පටිච්චසමුප්පාද අංගයෝ ද විශිෂ්ට ඥානයෙන් අවබෝධ කරගත යුතුය.

​විශිෂ්ට ඥානයෙන් අවබෝධ කරගත යුතු සියලු ධර්ම අවබෝධ කර නොගැනීම අනභිජානං යනුවෙන් හඳුන්වන බව තේරුම් ගැනීම මැනවි.