පොත් ලැයිස්තුව

පරිඤ්ඤා (පරිජානං) යනු කුමක්ද.

star_outline

​පරිඥා යනු පිරිසිඳ දැනීමයි. ඉතුරුවක් නැතුව සර්ව සම්පූර්ණයෙන්ම යමක් අවබෝධ කර ගැනීම පරිඤ්ඤා යනුවෙන් හඳුන්වනු ලැබේ. පරිඤ්ඤා තුනකි.

​ඥාත පරිඤ්ඤා, තීරණ පරිඤ්ඤා, පහාන පරිඤ්ඤා, යනුවෙනි.

​1.ඥාත පරිඤ්ඤා යනු කුමක්ද.

"තත්ථ කතමා ඥාතපරිඤ්ඤා? සබ්බං තේභූමකං නාමරූපං. ඉදං රූපං, එත්තකං රූපං, න ඉතෝ භීයෝති භූතප්පසාදාදිභේදං රූපං පරිගණ්හාති. ඉදං නාමං, එත්තකං නාමං, න ඉතෝ භීයෝති ලක්ඛණ, රස, පච්චුප්පට්ඨාන, පදට්ඨානභේදං නාමඤ්ච පරිගණ්හාති. තතෝ වත්තපේති කම්මවිජ්ජාධිකානං පච්චයං පරිගණ්හාති. අයං ඤාතපරිඤ්ඤා." (විසුද්ධි මාර්ගය)

​1.මෙහිදී ඤාතපරිඤ්ඤාව

සියලු තේභූමක (කාම, රූප, අරූප යන භූමි තුනට අයත්) නාමරූපයන්ය. 'මෙය රූපයයි', 'මෙපමණක් රූපයයි', 'මීට වඩා රූපයක් නැතැයි' කියා මහාභූත හා ප්‍රසාද රූප වශයෙන් රූපය පිරිසිඳ (වෙන් කර) දැනගනී. 'මෙය නාමයයි', 'මෙපමණක් නාමයයි', 'මීට වඩා නාමයක් නැතැයි' කියා ලක්ෂණ, රස (කෘත්‍ය), පච්චුප්පට්ඨාන (ප්‍රතිඵල), පදට්ඨාන (ආසන්න හේතු) වශයෙන් නාමය ද පිරිසිඳ දැනගනී. ඉන්පසු කර්ම හා අවිද්‍යාව මුල් කරගත් නාමරූපයන්ගේ හේතු ප්‍රත්‍යයන් පිරිසිඳ දැනගනී. මෙය ඤාතපරිඤ්ඤාව නම් වේ.

​නාම රූප ධර්මයන් නිවැරදිවම තේරුම් ගැනීම, වෙන්කර හඳුනා ගැනීම ඥාත පරිඤ්ඤා යනුවෙන් සඳහන් කරයි.

​2.තීරණ පරිඤ්ඤා

ඥාත පරිඤ්ඤාවෙන් හඳුනාගන්නා ලද ධර්මයන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් තීරණය කිරීම තීරණ පරිඤ්ඤාවයි. හෙවත් ත්‍රිලක්ෂණ වශයෙන් අවබෝධ කර ගැනීම තීරණ පරිඤ්ඤාවයි. ආකාර හතළිහකට අවබෝධ කරගන්නා ආකාරය ද චත්තාලීසාකාර විදර්ශනාවේ දක්වා තිබේ.

​ස්කන්ධ, ධාතු, ආයතන, පටිච්ච සමුප්පාදය, චතුරාර්ය සත්‍යය ආදී ධර්මයන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් විදර්ශනා වඩා තීරණය කිරීම තීරණ පරිඤ්ඤා වන බව දත යුතුය. තවදුරටත් පංච උපාදානස්කන්ධය චත්තාලීස ආකාරයෙන් විදර්ශනා වඩා අවබෝධ කරගැනීම ද තීරණ පරිඤ්ඤාවය.

​3.පහාන පරිඤ්ඤා

අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් තීරණය කොට අරිහත් මාර්ගයෙන් චන්දරාගය ප්‍රහාණය කිරීම, පහාන පරිඤ්ඤා යනුවෙන් හඳුන්වනු ලැබේ.

​සප්ත විසුද්ධියේදී දිට්ඨි විසුද්ධිය සහ කංඛාවිතරණ විසුද්ධිය ඥාත පරිඤ්ඤාවට අයත්ය.

​මග්ගාමග්ග ඤාණදස්සන විසුද්ධිය ද, පටිපදා ඤාණදස්සන විසුද්ධිය ද, රූප කලාප ආදිය සංමර්ශණය කරන බැවින් ද, අනිත්‍යාදි වශයෙන් විදර්ශනා වඩන බැවින් ද තීරණ පරිඤ්ඤාවට අයත්ය.

​ආර්ය මාර්ගයෙන් චන්දරාගය ප්‍රහාණය කිරීම පහාන පරිඤ්ඤා යනුවෙන් දක්වා තිබේ.

​මෙම ත්‍රිවිධ පරිඤ්ඤාවෙන් යුතුව ස්කන්ධ, ධාතු, ආයතන, පටිච්චසමුප්පාද ආදී ධර්මයන් අවබෝධ කර ගැනීම පරිජානං යනුවෙන් ද, එසේ අවබෝධ කර නොගැනීම අපරිජානං යනුවෙන් ද හඳුන්වනු ලැබේ.

'අප්පජහං' සහ 'අවිරාජයං' විග්‍රහය

​අප්පජහං

විදර්ශනාව සහිත වූ මාර්ග ප්‍රඥාවෙන් ප්‍රහාණය කළ යුතු සියලු කෙලෙස් ධර්මයන් ප්‍රහාණය නොකිරීම 'අප්පජහං' යනුවෙන් හඳුන්වයි.

​අවිරාජයං

රාගය දුරු කිරීම විරාගයයි. විරාගයෙන් තොරවීම 'අවිරාජයං' යනුවෙන් හඳුන්වයි. ආසාව දුරු නොකිරීම යන අර්ථය තවත් සරලය.

​මෙම සූත්‍ර දේශනාවේදී ඉතා මැනවින් විදර්ශනා භාවනාව සහ නිවන් මාර්ගය දක්වා ඇත.