දෙවන ආත්මභාවයෙන් පසු තුන්වන ආත්මභාවයේ සිට නිවනින් අවසන් වීම දක්වා ඉඩකඩ ලැබෙන අවස්ථාවලදී ප්‍රතිසන්ධි විපාක සහ ප්‍රවෘත්ති විපාක ලබා දෙන්නා වූ කර්මය අපරාපරියවේදනීය කර්මය යන නමින් හඳුන්වනු ලබයි. ජවන සිත් හත අතරින් මැද සිටින ජවන සිත් පහ තුළ යෙදුණු චේතනාව අපරාපරියවේදනීය කර්මය යන නමින් හඳුන්වනු ලබයි. එය විපාක දෙන්නේ පළමුවන ජවන සිතෙහි පැවති චේතනාවේ අනුබල ලැබීමෙනි. රාත්‍රී කාලයෙහි තනියම සොහොන් බිමකට යාමට නොහැකි පුරුෂයෙකු හට වෙනත් කෙනෙකුගේ උදව් උපකාර ලැබුණ විට රාත්‍රී කාලයෙහි සොහොන් බිමට යාමට හැකියාව ලැබෙන්නාක් මෙන්, දිට්ඨධම්මවේදනීය කර්මයේ උපකාරය ලැබීමෙන් අපරාපරියවේදනීය කර්මය විපාක දීමට සමත් වෙයි.
එක සත්වයෙකුට ඇත්තා වූ අපරාපරියවේදනීය කර්මයන්ගේ ප්‍රමාණය කෙළවරක් දක්වන්නට බැරි තරම්ය. මහා සාගරයෙහි ජලය අබ පියල්ලෙන් හෙවත් අබ ඇට පොත්තකින් මැන බැලුවද, එක් සත්වයෙකුට ඇති අපරාපරියවේදනීය කර්මයන්ගේ ගණන මොනම ආකාරයකින්වත් මැන බැලිය නොහැකිය. මෙය විපාක දීමට ඉඩ ලැබුණු කල්හිම විපාක දෙයි. නිර්වාණය දක්වාම ප්‍රතිසන්ධි විපාකද ප්‍රවෘත්ති විපාකද ලබාදෙයි. එක් කර්මයක් එක් ප්‍රතිසන්ධියක් දුන්නේ ද ආත්මභාව ලක්ෂ ගණනක් ප්‍රවෘත්ති විපාක දීමට එම කර්මය සමත්ය.