දෙවන ආත්මභාවයේ ප්‍රතිසන්ධිය ලබාදෙන්නා වූ චේතනාව උපපජ්ජවේදනීය කර්මය යන නමින් හඳුන්වනු ලබයි. එය කුසල හා අකුසල වශයෙන් කොටස් දෙකකි. කුසල අකුසල ජවන වීථියෙහි අන්තිම චිත්ත වාරය වූ හත්වන චිත්ත වාරයෙහි යෙදෙන චේතනාව උපපජ්ජවේදනීය කර්මය යන නමින් සඳහන් කරයි. මෙය එයට මුලින් සිටි චිත්ත වාර හයෙන්ම රුකුල් හෙවත් ආසේවන ප්‍රත්‍යය ලද්දේ වෙයි. එබැවින් මෙම කර්මය දෙවන ආත්මභාවයෙහි විපාක දෙයි.
විපාක දීමට අවස්ථාවක් හෝ අවසරයක් නොලැබුණේ නම් එය අහෝසි කර්මයක් බවට පත්වෙයි. මෙය ප්‍රතිසන්ධි විපාකය ලබාදීමට පමණක් නොව ප්‍රවෘත්ති විපාකය ලබාදීමටද සමර්ථය. විපාක ලබාදීමට නම් ආසේවන ප්‍රත්‍යය ලැබිය යුත්තේමය. අරමුණක් ගෙන පහළ වූ ජවන සිත් හතෙන් හත්වන ජවන සිත විපාකය ලබාදෙන්නේ එයට මුලින් සිටි පළමුවන, දෙවන, තෙවන, සිව්වන, පස්වන සහ හයවන යන චිත්තක්ෂණයන්ගෙන් අනුබල ලැබීමෙනි. කරත්තයක යොදා ඇති ගවයන් යුගල හතක් ඇතැයි සිතන්න. මුලින් යෙදූ ගව යුගල හය හත්වන ගව යුගලයට ගැළපෙන ආකාරයට ශක්තිය ලබාදෙයි. ඒ හත්වන ගව යුගලය කරත්තය පහසුවෙන් අදින්නාක් මෙන් අවස්ථාව සලසා දෙයි. එක සත්වයෙකු කෙරෙහි ඇති උපපජ්ජවේදනීය කර්ම ප්‍රමාණය බොහෝය. නමුත් විපාක දෙන්නේ ඉතා බලවත් වූ කර්ම පමණකි. අනික් කර්ම අහෝසි කර්ම නම් වෙයි. නියම කාලය ඉක්මවීමෙන් බොල් වී ගිය පැල නොවන ඇට ජාති සේ එම අහෝසි කර්ම කිසි කලෙකත් විපාක නොදෙයි.