පොත් ලැයිස්තුව

දිට්ඨධම්මවේදනීය කර්ම:

star_outline

මෙම ජීවිතය තුළදීම විපාක දෙන කර්මය දිට්ඨධම්මවේදනීය කර්මය යන නමින් හඳුන්වනු ලබයි. කුසලයක් හෝ අකුසලයක් කිරීමේදී පහළ වන ජවන් සිත් හතෙන් පළමු වන ජවන් සිතෙහි විපාකය මෙලොව ලැබෙන බව අභිධර්ම නියාමයයි.

කුසල අකුසල කර්ම රැස් කරන්නා වූ කාලයෙහි හමුවන ඉෂ්ඨ වූ සහ අනිෂ්ඨ වූ අරමුණු මුල් කරගෙන හටගන්නා වූ චිත්ත වීථි තිබේ. එම චිත්ත වීථීන්ගෙන් ජවන වීථියෙන් අරමුණෙහි හත් වතාවක් වේගයෙන් දුවන්නේය. එම චිත්ත වාර හතෙන් පළමු වන චිත්ත වාරයෙහි යෙදුණු චේතනාව රැස් කළ ආත්මභාවයේදීම විපාක දෙයි. එම නිසා එම චේතනාව දිට්ඨධම්මවේදනීය කර්මය යන නමින් හඳුන්වනු ලබයි. මුල් අවස්ථාවේදී යමකගේ රුකුලක් නොලබන ජවන් සිතේ ආසේවන ප්‍රත්‍යය නොලැබීම හේතු කරගෙන දුර්වල වෙයි. එම නිසා ප්‍රතිසන්ධි විපාක ලබාදීම සිදු නොවෙයි. පළමු වන ජවන් සිතෙන් ලබා දෙන්නේ ප්‍රවෘත්ති විපාක මාත්‍රයක් පමණකි. විපාක දීමට අවස්ථාව නොලැබී ගියේ නම් එය අහෝසි කර්මයක් බවට පත්වෙයි. නැවත විපාක දීම සඳහා කිසි කලෙකත් ඉදිරිපත් නොවෙයි.

​කුසල අකුසල වශයෙන් දෙපරිදිය. අකුසල පක්ෂයෙහි නන්දමානවක තුමා උප්පලවන්නා මෙහෙණින් කෙරෙහි වරදවා පිළිපැදීමෙන් එදිනම එහි විපාක ලැබී දුකට පත් වූ ආකාරය උදාහරණයට ගත යුතුය. නන්ද ගෝඝාතකයා පසළොස්වක පොහොය දවසෙහි ගොනුන්ගේ දිව කපා උයා බැදගෙන ගෙනැවිත් කෑමට දිවෙහි තැබූ මොහොතේදීම දිව මුලින් ගැලවී බත් පිඟානට වැටුණේ දිට්ඨධම්මවේදනීය විපාකයක් වශයෙනි. කෝකාලික භික්ෂුව සැරියුත් මුගලන් තෙරුන් ලාමක පහත් ආසා ඇත්තෝ යැයි ආර්යෝපවාදය කළ මොහොතේදීම සිරුරෙහි බෙලි ගෙඩි පමණ ගෙඩි විශේෂයක් හටගත්තේය. එයින් දුක් විඳ මරණයට පත්ව නිරයේ උපත ලැබුවේය. එයද දිට්ඨධම්මවේදනීය විපාකයකි.

කුසල විපාක විස්තර කිරීමේදී කාක වලිය සිටාණන් නිරෝධ සමාපත්තියෙන් නැගී සිටි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට ලබා දුන්නා වූ කැඳ දානයේ විපාකයෙන් මේ ආත්මභාවයේදීම මහත් සම්පත් ඇතුව සිටු තනතුරු ලැබීම දැක්විය හැකිය. සැරියුත් මහරහතන් වහන්සේට දන් දීමෙන් මෙම ආත්මභාවයේදීම පූර්ණ නම් දුගියා සිටු තනතුරක් ලැබීමද දිට්ඨධම්ම විපාකයකින් සිදු වූවකි. දිට්ඨධම්මවේදනීය කුසල කර්ම එම ආත්මභාවයේදීම ඇස් ඉදිරියේදීම පෙනිපෙනී මහත් සේ විපාක දීමට නම් බුදු පසේබුදු මහරහතන් වහන්සේ කෙනෙකු හමුවීමද, ධාර්මික දාන වස්තුව වීමද, එදවසෙහිම නිරෝධ පල සමාපත්තියෙන් නැගී සිටි කෙනෙකු කෙරෙහි ශ්‍රද්ධා වීර්ය ප්‍රඥාවන්ගෙන් යෙදී පිරිනැමීමද කළ යුතුය.