විපාක නොදිය හැකි කර්ම අහෝසි කර්ම නමින් හඳුන්වනු ලබයි. ජවන වීථියෙහි ප්‍රථම ජවනය මේ ජීවිතයේදීම විපාක ලබා දෙන්නේය. එසේ විපාක ලබාදීමට අවස්ථාව නොලැබී ගියහොත් එහි ඇති චේතනාව හෙවත් කර්මය අහෝසි වෙයි. සත්වන ජවනය දෙවන ආත්මභාවයේදී විපාක දෙන්නේය. විපාක නොදුන්නේ නම් එම කර්මය අහෝසි වෙයි. එයද කුසල අකුසල වශයෙන් කොටස් දෙකකි. දේවදත්ත තෙරුන් වහන්සේ ඉතා මැනවින් සිල් ආරක්ෂා කරගෙන අෂ්ට සමාපත්ති උපදවාගෙන කාමාවචර රූපාවචර කුසල ධර්මයන් රැස් කර ගත් කෙනෙකි. එසේ වුවත් කළා වූ සංඝභේදක කර්මය හේතු කරගෙන නිරයෙහි උපත ලැබූහ. උන්වහන්සේ රැස්කළ ඒ කුසල කර්මයන්ගේ දිට්ඨධම්මවේදනීය විපාකද උපපජ්ජවේදනීය කර්ම ශක්තියද අහෝසි විය.
අංගුලිමාල තෙරුන් වහන්සේ ගිහි කාලයේදී ප්‍රාණඝාතය කරමින් බොහෝ අකුසල් රැස්කළ කෙනෙකි. එහෙත් උන්වහන්සේ මරණින් මතු නිරයේ උපත ලැබුවේ නැත. මතු ආත්මභාවයන්හි විපාක දීමට තිබුණු කර්ම රහත් වීම හේතුවෙන් අහෝසි වී ගියේය. මෙම ජීවිතයේ විපාක දීමට තිබුණු කර්මය සම්පූර්ණයෙන්ම අහෝසි නොවීය. එම කර්මයේ විපාක වශයෙන් උන්වහන්සේට බල්ලන් සහ කපුටන් එළවීමට ගල් කැට සහ දඬු මුගුරු ආදියෙන් පහර දෙන විට හිසේ වැදීමෙන් තුවාල වී මහත් පීඩාවන් විඳින්නට සිදු විය. අපරාපරියවේදනීය කර්මය අහෝසි බවට පත් වන්නේ සසර ඉපදීම අවසන් කොට නිවන අවබෝධ කිරීමෙන් පසුවය. අනුපාදිසේස පරිනිබ්බාන ධාතුවෙන් නිවනට පැමිණෙන තුරු සත්ත්වයන්ට අපරාපරියවේදනීය කර්මයෙන් මිදීමක් නැත. මෙසේ ඒ ඒ කර්මයන්ගේ විපාකයට නියම කාලය ඉක්ම යාමෙන් බොල් වී ගිය කර්ම අහෝසි කර්ම යනුවෙන් හඳුන්වනු ලබන බව දත යුතුය.