ජනක කර්මය විපාක දීමේදී දුර්වලව ගිය අවස්ථාවලදී, ඒ කර්මයෙන් උපන් සියලු විපාකයන්ට කාලයක් පැවතීමට අනුබල දෙන්නේ උපත්ථම්භක කර්මයයි. වැටෙන්නට යන කෙසෙල් ගසකට ආධාරයක් තැබූ විට එය නොවැටී පවතින්නාක් මෙන්, ජනක කර්මය විපාක දීමේදී දුර්වල වන අවස්ථාවලදී උපත්ථම්භක කර්මයේ පිහිට හා ආධාර ලැබීමෙන් ජනක කර්මයේ විපාක ශක්තිය කලක් පවතින්නේය. ඒ අනුව උපත්ථම්භක කර්මය යනු ජනක කර්මය විපාක දීමේදී දුර්වල වී ගිය අවස්ථාවලදී ආධාර වන, පිහිට වන සහ උපකාර වන කර්මයයි. මෙම උපත්ථම්භක කර්මය ජනක කර්මයට ශක්තිය ලබාදෙයි. එය කුසල අකුසල වශයෙන් ආකාර දෙකකි.
උසුපත් නිරයක ඉපදීමට සිටින තැනැත්තා සමහර විට උසුපත් නිරයක උපදින්නේ නැතුව මහා නිරයේ උපදින්නේය. මෙයට හේතු වන්නේ අකුසල ජනක කර්මයකට අකුසල උපත්ථම්භක කර්මයකින් අනුබල ලැබීමයි. සාමාන්‍ය කුලයක ඉපදිය යුතු තැනැත්තා සමහර විට උසස් කුලයක උපත ලබයි. එසේ වන්නේ කුසල ජනක කර්මය කුසල උපත්ථම්භක කර්මයකින් අනුබල ලැබීමයි.. කලින් කලට පොහොසත් වන, දුප්පත් වන අය දක්නට ලැබේ. එයට හේතුවත් කුසල අකුසල උපත්ථම්භක කර්මයෙන් ප්‍රවෘත්ති විපාකයට අනුබල ලැබීමයි.