චේතනාව කර්මය බව මුලින් දක්වන ලදී. එවිට චේතනාව පමණක් කර්මය වේද යනුවෙන් චෝදනාවක් නැගිය හැක. එම චෝදනාවට ප්‍රතිප්‍රහාරයක් ලෙස චේතනා චේව ඒකච්චේ ච චේතනා සම්පයුත්තකා ධම්මා යනුවෙන් චේතනාවද සමහර චේතනා සම්පයුත්ත වූ චෛතසික ධර්මයන්ද කර්ම යනුවෙන් හඳුන්වන බව සඳහන් වේ.
චේතනාහං භික්ඛවේ කම්මං වදාමි යන පාඨයෙන් චේතනාව කර්මය වන බව පැහැදිලි වෙයි. සත්වයන් විසින් කරනු ලබන යහපත් ප්‍රතිඵල ලබා දෙන්නා වූද අයහපත් ප්‍රතිඵල ලබා දෙන්නා වූද කර්ම ඇත. යහපත් ප්‍රතිඵල ලබා දෙන්නා වූ කර්ම පින් කුසල් යන නමින්ද, අයහපත් ප්‍රතිඵල ලබා දෙන්නා වූ කර්ම පව් අකුසල් යන නම්වලින්ද හඳුන්වනු ලැබේ. යහපත් වූද අයහපත් වූද ප්‍රතිඵල උපදවන බැවින්ම කර්ම යැයි කියනු ලබයි. ඒ බව කරෝති අභිනිබ්බත්තේති ඉට්ඨානිට්ඨඵලානී ඒතේනාති කම්මං යන පාලි වාක්‍යයෙන් සනාථ වෙයි. කර්මය දැක්වීමට කරීයතීති කම්මං යනුවෙන්ද කියනු ලැබේ. කරනු ලබන දෙය කර්මය වේ යනු එහි තේරුමයි. සත්වයා විසින් කයින් කරන්නා වූ දෙය කායකර්ම නම් වෙයි. වචනයෙන් කියන්නා වූ දෙය වචීකර්ම නම් වෙයි. සිතින් සිතන්නා වූ දෙය මනෝකර්ම නම් වෙයි. කයින්, වචනයෙන්, මනසින් කරන්නා වූ සෑම දෙයක්ම කුසල හෝ අකුසල නොවේ. කුසල අකුසල නොවන ක්‍රියාවෝද සත්වයෝ කරති. අව්‍යාකෘත කියා හඳුන්වන්නේ ඒවාය.
කෙටියෙන්ම කිවහොත් සිතත්, චේතනා චෛතසිකයත්, ඒ හා යෙදෙන සෙසු චෛතසික ධර්මත් කර්මය නමින් හැඳින්විය හැකිය. චේතනා චෛතසිකයා තමාද ක්‍රියාවෙහි යෙදෙමින් තමන් හා යෙදුණු සෙසු චෛතසික ධර්මයන්ද ඒ ඒ චෛතසිකයන්ට අයත් ක්‍රියාවන්හි යොදවමින් පිළියෙල කරවමින් කටයුතු කරයි. විදුහලක ඉගෙන ගන්නා වූ දක්ෂ සිසුවෙකු තමන්ද ඉගෙන ගනිමින් අන් අයද ඔවුන්ට අදාළ විෂයන්වල යොදවමින් කටයුතු කරන්නාක් මෙන් චේතනාවේ ක්‍රියාකාරිත්වය ඒ ආකාරයෙන්ම තේරුම් ගත යුතුය. වඩු කාර්මිකයෙකු ළඟ වැඩ කරන සේවකයෙකු තමාද සේවය කරමින් අන් අයද සේවයෙහි යොදවන්නාක් මෙන් චේතනාව කටයුතු කරනු ලැබේ. චේතනාව සද්ධා ආදී සෝබන චෛතසිකයන් සමඟ යෙදෙන විට එය කුසල කර්ම නමින් හඳුන්වයි.
මෝහය ආදී අසෝභන චෛතසිකයන් සමඟ යෙදුණු විට එය අකුසල කර්ම යන නමින් හඳුන්වනු ලබයි.
චේතනාව සංඛ්‍යාත කර්මය කෘත්‍ය වශයෙන් සිව්වැදෑරුම් වෙයි. එනම් ජනක කර්මය, උපත්ථම්භක කර්මය, උපපීළක කර්මය සහ උපඝාතක කර්මය යනුවෙනි. ඉපදීමේදී විපාක නාමස්කන්ධයත්, ප්‍රතිසන්ධිය හා එකට පහළ වන කර්මජ රූප නම් වූ කටත්තාරූපයත් උපදවන කර්මය ජනක කර්මය යනුවෙන් හඳුන්වයි. අපගේ ශරීරයෙහි මූලිකම අවස්ථාව කළල රූපයයි. එය මවුපියන් නිසා පමණක්ම හටගත් දෙයක් නොවේ. එය කර්මයෙන් හටගත් දෙයකි. මේ අනුව ඉපදීමට හේතු වන්නා වූ විඤ්ඤාණය සහිත වූ නාමස්කන්ධයත් කළල රූපයත් උපදවන්නා වූ කර්මයන් ජනක කර්මය නමින් හඳුන්වයි. එය කුසල හා අකුසල වශයෙන් ආකාර දෙකකි. මෙම කර්මය සත්වයාට ප්‍රතිසන්ධිය ලබාදෙයි. එතැනින් නොනැවතී ප්‍රවෘත්ති විපාකද ලබාදෙයි. කර්මපථ භාවයට පැමිණි කර්මයම ප්‍රතිසන්ධි විපාක ලබාදෙන බව දත යුතුයි. එක් වරක් ප්‍රතිසන්ධිය ලබා දුන් කර්මය නැවත ප්‍රතිසන්ධියක් ලබා නොදෙයි. එසේ නැවත ප්‍රතිසන්ධියක් ලබාදීමට එම කර්මය අපොහොසත්ය. ප්‍රවෘත්ති විපාක ලබාදීමේදී කර්මය කර්මපථයක් බවට පැමිණියත් නොපැමිණියත් විපාක දෙන්නේමය. එක කර්මයක ප්‍රවෘත්ති විපාක ආත්මභාව දහස් ගණනකදී වුවද ලැබිය හැකිය.