පොත් ලැයිස්තුව

පඨවි ධාතුව

star_outline

​අජ්ඣත්තං පච්චත්තං කක්ඛළං ඛරිගතං උපාදින්නං.. තමාගේ යැයි සලකන, තමා තුළ පවතින තද ගතියෙන් යුතු, ගොරෝසු ගතියෙන් යුතු, සතර මහා ධාතූන්ගෙන් හටගත් දෙය පඨවි ධාතුව නම් වේ. (මහාරාහුලෝවාද සූත්‍රය - මජ්ඣිම නිකාය).තමාගේ යැයි සලකන, තමා තුළ පවතින තද ගතියෙන් යුතු, ගොරෝසු ගතියෙන් යුතු, සතර මහා ධාතූන්ගෙන් හටගත් කොටස් විස්සක් ප්‍රධාන වශයෙන් තිබේ:

​කේසා (කෙස්)

​ලෝමා (ලොම්)

​නඛා (නිය)

​දන්තා (දත්)

​තචෝ (සම)

​මංසං (මස්)

​නහාරූ (නහර)

​අට්ඨි (ඇට)

​අට්ඨිමිඤ්ජං (ඇටමිදුලු)

​වක්කං (වකුගඩුව)

​හදයං (හදවත)

​යකනං (අක්මාව)

​කිලෝමකං (දළබු සිවිය)

​පිහකං (බඩදිව / අග්න්‍යාසය)

​පප්ඵාසං (පෙනහළු)

​අන්තං (බඩවැල)

​අන්තගුණං (බඩවැල් බන්ධනය)

​උදරියං (නොදිරවූ ආහාර)

​කරීසං (මල)

​මත්ථලුංගං (මොළය)

​මෙම කොටස් විස්සත්, මේ හැරුණු කොට තද ගතියෙන් යුතු ගොරෝසු ගතියෙන් යුතු යමක් වේ නම් ඒ සියල්ලත් පඨවි ධාතු නමින් හඳුන්වයි.පඨවි ධාතුව පිළිබඳව නුවණින් විමසා බැලීම ඉතා වැදගත්ය. ඒ තුළින් තමාගේ ශරීරය පිළිබඳව ඉතා ගැඹුරු, ධර්මානුකූලව යථාර්ථවාදී දැකීමක් ඇති කරගත හැකිය. කයෙහි පවතින ඇත්ත තත්ත්වය තේරුම් කර ගැනීමට එමගින් අවස්ථාව සැලසේ.ගස්, ගල්, පර්වත, වැලිකැට ආදියෙහි ඇත්තේ බාහිර පඨවි ධාතුවයි. ඒවා තුළ ඇති තද ගතිය, ගොරෝසු ගතිය, හැපෙන ගතිය, මෘදු ගතිය, මොළොක් ගතිය පඨවි ධාතුවයි. ගස්, ගල්, පර්වත ආදී පඨවි ධාතූන් සත්ත්වයෙකු නොවේ, පුද්ගලයෙකු නොවේ, ආත්මයක් නොවේ, මම නොවේ, මාගේ නොවේ, මට අයත් නොවේ. එසේම කෙස්, ලොම්, නිය, දත්, සම, මස්, නහර, ඇට, ඇටමිදුළු ආදී පෙර සඳහන් කරන ලද සෑම පඨවි ධාතුවක්ම සත්ත්වයෙකු නොවේ, පුද්ගලයෙකු නොවේ, ආත්මයක් නොවේ, මම නොවේ, මාගේ නොවේ. මෙන්න මේ ආකාරයට මෙනෙහි කරන්න. එසේ සිතන විට ගස්, ගල්, පර්වත ආදියෙහි ඇති පඨවි ධාතුවත්, තමා තුළ පවතින පඨවි ධාතු කොටස් සෑම දෙයක්මත් සත්ව පුද්ගල ආත්ම බවින් තොර වූ දේවල් ලෙස ඔබට වැටහෙනු ඇත. එම වැටහීම ධාතු ස්වභාවය තේරුම් ගැනීමයි.

​ආපෝ ධාතුව

​අජ්ඣත්තිං පච්චත්තං ආපෝ ආපෝ ගතං උපාදින්නං.. තමාගේ යැයි සලකන, තමා තුළ පවතින, ජලය හෝ ජලය වැනි ස්වභාවයෙන් යුතු යමක් වේද, සතර මහා ධාතූන්ගෙන් හටගත් දෙයක් වේද, එය ආපෝ ධාතුව නම් වේ. (මහාරාහුලෝවාද සූත්‍රය - මජ්ඣිම නිකාය).ශරීරය තුළ ආපෝ ධාතු කොටස් දොළහක් පවතී:

​පිත්තං (පිත)

​සෙම්හං (සෙම)

​පුබ්බෝ (සැරව)

​ලෝහිතං (ලේ)

​සේදෝ (දහඩිය)

​මේදෝ (මේද තෙල)

​අස්සු (කඳුළු)

​වසා (වුරුණු තෙල්)

​ඛේළෝ (කෙළ)

​සිංඝානිකා (සොටු)

​ලසිකා (සඳමිදුලු / සන්ධි ලිහිස්සි දියර)

​මුත්තං (මුත්‍රා)

​මේවා හැරුණු කොට තමාගේ යැයි සලකන, තමා තුළ පවතින, ජලය හෝ ජලය වැනි ස්වභාවයෙන් යුතු යමක් වේද, සතර මහා ධාතූන්ගෙන් හටගත් දෙයක් වේද ඒ සියල්ල ආපෝ ධාතු නම් වෙයි. ඇල, දොළ, ගංගා, වැව්, පොකුණු ආදියෙහි ඇත්තේ බාහිර ආපෝ ධාතුවයි. එම ආපෝ ධාතුවෙහි සත්ත්වයෙක් නොවේ, පුද්ගලයෙක් නොවේ, ආත්මයක් නොවේ, මම නොවේ, මාගේ නොවේ. ජීවයක් එහි නැත, සිතක් එහි නැත. එසේම කය තුළ පවතින්නා වූ පිත, සෙම, සැරව, ලේ, දහඩිය ආදී ආපෝ ධාතු කොටස්ද සත්ත්වයෙක් නොවේ, පුද්ගලයෙක් නොවේ, ආත්මයක් නොවේ, මම නොවේ, මාගේ නොවේ. සිතක් නැත, සිතුවිලි නැත. එසේ මෙනෙහි කරන්න. එසේ මෙනෙහි කරන විට මේ ආපෝ ධාතු කොටස් සත්ව පුද්ගල ආත්ම බවින් තොර වූ පදාර්ථයන් බව වැටහී යනු ඇත. ධාතු ස්වභාවය මැනවින් අවබෝධ වනු ඇත.